Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තාක්ෂණික ලෝකයට වැළඳුණ කොරෝනා වෛරසය

මේ වන විට ලෝකය පුරා කොරෝනා (COVID-19) වයිරසයක් පැතිරී යන බව ඔබ දන්නවා. මේ වෛරසය පසුගිය 2019 වසරේ දෙසැම්බර් 12 වන දා සිට චීනයේ වුහාන් නගරය මුල් කරගෙන පැතිරීම ආරම්භ වූයේයැ යි සැලකෙනවා. එම වෛරසය ක්ෂේත්‍රයන් ගණනාවක් වෙත බලපෑම් කරන්නට සමත් ව තිබෙනවා. තාක්ෂණික ලෝකයත් ඉන් එකක්. මේ වන විටත් ලෝකයේ ප්‍රබල, ප්‍රමුඛ තාක්ෂණික සන්නාමයන් වෙත සහ සමාගම් වෙත මිලියන ගණනින් පාඩු සිදුකරන්නට කොරෝනා වෛරසයට හැකි වුණා. ඒ වගේම, ලෝකයේ විශාලතම තාක්ෂණික සමුළු ගණනාවක් නවතා දමන්නටත් සමාගම් වෙත සිදුවුණා. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ තාක්ෂණික ලෝකය වෙත කොරෝනා දැඩිව බලපෑම් කළ ආකාරය පිළිබඳව යි.

Google I/O අතහැර දැමේ

එළඹෙන මැයි මාසයේ 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ California හි පැවැත්වීමට නියමිතව තිබුණු Google I/O 2020 සජීවී අංගය කොරෝනා වෛරසය නිසා නවතා දමන්නට තීරණය කර තිබෙනවා. Google සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වාදීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වන මේ සමුළුවේ සජීවී අංගය වෙත පමණක් 7000කට වැඩි පිරිසක් සම්බන්ධ වෙනවා. ඊට අමතරව, ලංකාව ඇතුළු රටවල් ගණනාවක එයට සමගාමීව I/O events පැවැත්වෙනවා. Google I/O 2019 event එකත් ලංකාවේ අපට Live streamවලට සීමා කරන්නට සිදුවුණා. ඒ, එවකට රටේ පැවති ආරක්ෂක අවදානම් තත්ත්වය නිසා යි. මෙවරත් එය අහිමි වීම ගැන නම් බොහෝ දෙනෙක් පසුවෙන්නේ අසතුටින්. කොහොම වුණත්, මෙවර ප්‍රධාන Google I/O 2020 Event එක ප්‍රධාන සමාජ ජාලා හරහා Live stream එකක් ලෙසින් පමණක් විකාශය කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා. 2020 වසරේ සජීවී event එක සඳහා ටිකට් මිලදී ගත් පිරිස වෙත 2021 වසරේ event එක සඳහා එය පරිවර්තනය කර ගැනීමේ හෝ සම්පුර්ණ මුදල නැවත ලබාගැනීමේ පහසුකම ලබාදෙන බව සමාගම සඳහන් කළා. 

Live streamවලට සීමා වන Google I/O 2020- nmore.com

Game Developers Conference 2020 

කොරෝනා වෛරසය නිසාවෙන් කල් දැමෙන තවත් අතිශය ජනප්‍රිය අංගයක් ලෙස Game Developers Conference – GDC හඳුන්වන්න පුළුවන්. ලෝකය පුරා සිටින Game Developerලා සහ ක්‍රීඩකයින් එකට එකතු වන GDC වාර්ෂික සමුළුව, එළඹෙන මාර්තු 16ත් 20ත් අතර කාලයේ පැවැත්වීමට නියමිතව තිබුණා. 1988 වසරේ සිට වාර්ෂිකව පැවැත්වෙන GDC අංගය ලෝකයේ බොහෝ දෙනෙක් සහභාගී වන සහ විශාල අවධානයක් දිනාගන්නා අංගයක්. සාමාන්‍යයෙන් මේ අංගය වෙත වාර්ෂිකව 29,000ක් පමණ පිරිසක් සහභාගී වෙනවා. 

ඒ වගේම, PAX East පරිගණක ක්‍රීඩා සමුළුවටත් කොරෝනා වෛරසය හේතුවෙන් ගැටළු මතුව තිබෙනවා. PAX East වෙත පරිගණක ක්‍රීඩා නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ sony ඇතුළු සමාගම් කිහිපයක්ම සහභාගී නොවන බව දන්වා තිබෙනවා. සේවකයන්ගේ ආරක්ෂාකාව පිළිබඳව ගන්නා පියවරක් ලෙසින් තමන් මේ සමුළුවට සම්බන්ධ නොවන බවත්, ඒ පිළිබඳව තම කණගාටුව පළ කරන බවත් Sony සමාගම දැනුම් දී තිබෙනවා. 

Facebook සහ කොරෝනා 

අප කවුරුත් හොඳින් දන්නා Facebook සමාගම වෙතත් මෙම වෛරස තත්ත්වය නිසා විශාල පාඩු සිදුවන්නට පටන් ගෙන තිබෙනවා. ඔවුන් වාර්ෂිකව පවත්වන F8 සමුළුවත් නොපවත්වන්නට ඔවුන් තීරණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් F8 සමුළුවේ දී Facebook සමාගමේ නව නිර්මාණයන් සහ තාක්ෂණයන් ගැන එළිදැක්වීම සිදුවෙනවා. කොහොම වුණත්, 2020 වසරේ ප්‍රධාන අංගය නොපැවැත්වුවත් බොහෝ රටවල්වල Developersලා වෙනුවෙන් දේශීය හමු පවත්වන්නට ඔවුන් සුදානම් වන බව දන්වා සිටිනවා. 

ඊට අමතරව, සමාගම මුහුණපාන ප්‍රධාන ගැටළුවක් බවට පත් වෙන්නේ කොරෝනා වෛරසය ගැන සහ එහි ආසාදිතයන් ගැන facebook සමාජ ජාලයේ පැතිරෙන අසත්‍ය ප්‍රවෘත්ති යි. Facebook fact-checking ටූල් එක විශාල වශයෙන් මෙවැනි පුවත්වල සත්‍ය අසත්‍යතාව පිළිබඳව හෙළි කරනවා. නමුත්, බොහෝ විට භාෂාමය ගැටළුව වැනි කරුණු නිසාවෙන් එය අසාර්ථක වන වාර ගණන විශාල යි. www.buzzfeednews.com වෙබ් අඩවිය මෙලෙස වාර්තා වන ප්‍රසිද්ධ අසත්‍ය පුවත් පිළිබඳව යාවත්කාලීන වන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. 

ලෝකයේ ලොකුම smartphone ප්‍රදර්ශනයට කොරෝනා බලපෑම 

ලෝකයේ බොහෝ පිරිසක් සහභාගී වෙන තවත් ජනප්‍රිය අංගයක් කල් දැමීමට එහි සංවිධායකයන්ට සිදුවුණා.  ඒ, Mobile World Congress ප්‍රදර්ශනය යි. Barcelona හි පැවැත්වීමට නියමිතව තිබු මේ ප්‍රදර්ශනය වෙත ලෝකය පුරා දුරකතන නිෂ්පාදකයන් සහ යෙදුම් සංවර්ධකයින් සහභාගී වෙනවා. මේ අංගය සංවිධානය කරන GSMA (Global System for Mobile Communications Association) හි CEO John Hoffman සඳහන් කළේ ලෝකය පුරා පැතිර යන මේ වෛරසය හේතුවෙන් මෙවර Mobile World Congres පැවැත්වීම කළ නොහැක්කක් බව යි. ඔවුන් 2021 වසරේ සමුළුව පැවැත්වීමට අරමුණු කරන බවත්, චීනය ඇතුළු ලෝකය පුරා මේ වෛරසයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත තම ශෝකය පළ කරන බවත් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබුණා. 

Amazon සේවකයන් පිරිසකට කොරෝනා වැළඳෙයි 

ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වන Amazon සමාගමේ, ඉතාලි ශාඛාවේ සේවකයන් දෙදෙනෙක් වෙත කොරෝනා වෛරසය වැළඳී ඇති බව Amazon සමාගම තහවුරු කර තිබෙනවා. මේ වන විටත් ඒ අදාළ සේවකයින් නිරෝධායන ක්‍රියාවලි වෙත යොමු කර ඇති අතර, ඒ සේවකයන් වෙත අවශ්‍ය වන සහාය සමාගම වෙතින් ලබාදෙන බව ඔවුන් සඳහන් කරනවා. මේ වෙද්දීත් ඔවුන් අසළ සේවය කළ අනෙක් සේවකයන් වෙත මේ පිළිබඳව දැනුවත් කර ඇති බව යි සමාගම සඳහන් කරන්නේ. 

කොරෝනාවට එරෙහිව සටන් කරන Alibaba

Alibaba සමාගම කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වෙන තාක්ෂණික සමාගම් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. Alibaba සමාගමේ නිර්මාතෘ Jack Ma මේ වෛරසයට එරෙහිව සිදුකරන පර්යේෂණ වෙත යුආන් මිලියන 100ක්, එසේ නොමැති නම් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 14.5ක් පරිත්‍යාග කර තිබෙනවා. ප්‍රධාන වශයෙන් මේ මුදලේ වැඩි කොටසක් කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම වෙනුවෙන් වෙන් වේවි. ඒ වගේම රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන අනෙක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමටත් එයින් කොටසක් වෙන් වෙන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

මීට අමතරව කොරෝනා වෛරසය හඳුනාගැනීමට හැකි කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් නිර්මාණය කරන්න Alibaba සමාගමේ පර්යේශණ ආයතනයක් වන Damo Academy වෙත හැකි වී තිබෙනවා. AI මඟින් බලගැන්වෙන නව රෝග විනිශ්චය කළ හැකි පද්ධතියක් ඇසුරෙන් 96 %ක නිරවද්‍යතාවයක් සහිතව, රෝගය තප්පර 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත හඳුනාගැනීමට හැකියාව පවතිනවා. CT Scaning ක්‍රමවේදයක් ඔස්සේ රෝගය හඳුනාගන්නා මෙකී පද්ධතිය වෙත කොරෝනා රෝගීන් 5000කට අධික ප්‍රමාණයකගේ දත්ත ඇතුළත් කර තිබෙනවා. ඒ වගේ ම මේ වන විට චීනයේ රෝහල් ගණනාවක දී මෙය අත්හදා බලා තිබෙනවා.  මේ වන විටත් ලෝකය පුරා රෝහල් 100කට අධික ප්‍රමාණයක මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා.  

AI මඟින් බලගැන්වෙන නව රෝග විනිශ්චය කළ හැකි පද්ධතියක්- thenextweb.com

කොරෝනා වළකන බව සඳහන් app වෙත Playstore වෙතින් තහනමක් 

පසුගිය ජනවාරියේ coronavirus යෙදුම වෙත SOS Alert එකක් යෙදීමට Google සමාගම තීරණය කළා. මේ ඔස්සේ ඔබට අදාළ ප්‍රධාන පුවත් සහ මූලාශ්‍රයයන් ඉතා ඉකමනින් සොයාගැනීමට හැකියාව ලැබෙනවා. වෛරස තත්ත්වය එක පසෙකින් වැඩි වන අතරතුර දී coronavirus යෙදුම භාවිත කරමින් එය වළකන බවට සඳහන් වෙන Fake Apps විශාල ප්‍රමාණයක් Playstore වෙත ඇතුළත් වුණා. Playstore තුළින් මෙම යෙදුම වෙත යම් වාරණයක් පනවා තිබෙනවා. Coronavirus යන යෙදුම භාවිත වෙන කිසිඳු app එකක් දැන් වෙද්දී Playstore හි දර්ශනය වෙන්නේ නැහැ. මෙය ජනතාව අතරට අසත්‍ය පුවත් යාම වළකාලීමට ගත් ක්‍රියාමාර්ගයක් බව යි බොහෝ දෙනෙකුගේ මත ය.  

Playstore වෙතින් තහනම් වූ coronavirus Keyword එක 

මීට අමතරව තාක්ෂණික සමාගම් කොරෝනාවට එරෙහිව ගෙන යන වැඩසටහන් ගැන ඔබ දන්නවා නම්, ඒ ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා.

සබැඳි ලිපි: 

චීනයේ පැතිරී යන නව කොරෝනාවෛරසය, ලෝකයම ගිල ගනීවි ද?

වූහාන් කොරෝනා වෛරස් වසංගතය- සිද්ධි මාලාව (මෙය යාවත්කාලීන කෙරෙන ලිපියකි)

Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නාසුළු දේවල්

මූලාශ්‍රයයන්: 

Theverge.com

9to5google.com 

Reuters.com 

Bbc.com 

Blog.us.playstation.com 

Developers.facebook.com

Buzzfeednews.com   

Nytimes.com

Gamedev.world 

Businessinsider.com 

Asia.nikkei.com 

Techspot.com 

Nmore.com 

Washingtonpost.com 

කවරය- Washingtonpost.com 

Related Articles