Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 මිනිස් මොළ අතර සිතිවිලි ගමන් කරවන  ‘බ්‍රේන් නෙට්’ 

මිනිස් මොළ අතර සිතිවිලි ගමන් කරවීම පිළිබඳ කතිකාවත් ඇති වූයේ අද ඊයේක නොවේ. අතීතයේ පටන් සිතිවිලි සංජානනය කිරීම පිළිබඳ ව කොතෙකුත් කතා අප අසා තිබෙනවා. පසුකාලීන ව, විද්‍යාවේ දියුණුවත් සමඟ, මිනිස් ස්නායු පද්ධතිය අනුබද්ධ මතකය සහ සිතිවිලි ජනනය පිළිබඳ ව දැනුම ලොවට ලැබුණු අතර, මිනිසුන් දෙදෙනෙක් හෝ වැඩි පිරිසකගේ ස්නායු පද්ධතීන් අතර සිතිවිලි හුවමාරු කිරීම පිළිබඳවත් විද්‍යාඥයන් පර්යේෂණ සිදු කරන්නට පටන් ගත්තා.

ඒ අනුව විද්‍යාඥයන් පිරිසක් මිනිස් මොළ තුනක් සාර්ථක ව සම්බන්ධ කොට, සිතිවිලි හුවමාරු කර ගනිමින් ‘ටෙට්‍රිස්’ ක්‍රීඩා වට කිහිපයක් ක්‍රීඩා කරවන්නට මෑතක දී සමත් වුණා.

 මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය- pinterest.com

 

විශ්වවිද්‍යාල දෙකක එකතුවක්

මේ පර්යේෂණය සිදු කරන්නට එක් ව කටයුතු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් සහ කානගී මෙලන් යන විශ්වවිද්‍යාල දෙකෙහි විද්‍යාඥයන් කිහිප දෙනෙක්. මෙම පර්යේෂණය සිදුකිරීමෙන් අනතුරු ව ඔවුන් ප්‍රකාශනයක් නිකුත් කර තිබුණා. ඔවුන් සිය පර්යේෂණ ක්‍රියාවලිය නම් කර තිබුණේ ‘බ්‍රේන් නෙට්’ ලෙස යි. එම ක්‍රියාවලිය ලොව ප්‍රථම වතාවට මිනිස් මොළ කිහිපයක ස්නායුක ප්‍රතිචාර එක්කාසු කොට, ඒ අනුව සිතිවිලි සංජානනය කොට, හවුලේ එක් ගැටලුවක් හෝ ගැටලු කිහිපයක් විසඳන අයුරෙන් සැලසුම් කොට තිබූ බවට සහ එය සිතූ පරිදි ම සාර්ථක වූ බැව් එම ප්‍රකාශනයේ අන්තර්ගතය වුණා.

මිනිසුන්ගේ ස්නායු ආවේග, මොළය ඇතුළු ස්නායු පද්ධතිය ඔස්සේ සම්ප්‍රේෂණය වන විට විද්‍යුත් ශක්තියක් නිපදවෙන අතර, ඒවා ඒ ඒ පුද්ගලයන්ගේ හිස්කබල්වල ඇලවූ ඉලෙක්ට්‍රෝඩ මඟින් උකහාගෙන, ඒවා වල සියුම් වෙනස්කම් හඳුනාගැනීම විද්‍යාඥයන් සිදු කර තිබුණා. මෙය electroencephalography (EEG) නම් පර්යේෂණ ක්‍රමවේදය ලෙස හැඳින්වෙනවා. අනතුරු ව transcranial magnetic stimulation (TMS) නම් ක්‍රමවේදයක් ඔස්සේ එම ආවේග අනෙක් පුද්ගලයන්ගේ මොළ දෙකට ඇතුළු කිරීම සිදු කර තිබුණා. මෙහි දී සිදුවන්නේ චුම්භක ක්ෂේත්‍රයක් භාවිත කර මිනිස් මොළයෙහි විද්‍යුත් ආවේග ජනනය කිරීම යි. එම චුම්භක ක්ෂේත්‍ර තනාගෙන තිබුණේ පළමුවැන්නාගේ ස්නායුක ප්‍රතිචාර අනුව ජනනය වූ විද්‍යුත් බලවලට අනුරූපව යි.

 ක්‍රමවේදය- Slashgear.com 

 

පර්යේෂණය ප්‍රායෝගික ව සිදු කළ ආකාරය

පර්යේෂණය සඳහා යොදා ගත් පුද්ගලයන් තිදෙනා අතරින් දෙදෙනෙක් පණිවිඩ යවන්නන් ලෙස යොදා ගැනුණු අතර, අනෙක් පුද්ගලයා ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කළා. පළමු පුද්ගලයන් දෙදෙනා ගෙන් ලැබෙන ප්‍රතිචාර තෙවන පුද්ගලයා වෙත යැවුණු පසු එම පුද්ගලයා පළමු පුද්ගලයන් දෙදෙනාගේ සිතිවිලිවලට අනුකූල ව ‘ටෙට්‍රිස්’ ක්‍රීඩාවේ පියවර හැසිරැවූවා.

සිතිවිලි දායකයන් දෙදෙනා ඉලෙක්ට්‍රෝඩ මඟින්, විද්‍යුත් බලය කියවන යන්ත්‍රයකට සම්බන්ධ කර තිබූ අතර, ඔවුන්ගේ මස්තිෂ්කවලින් පිටකරන ඕනෑම තරංගයක සංඛ්‍යාතය එමඟින් කියවීම සිදු කළා. එලෙස පණිවිඩ ජනනය සඳහා සිතිවිලි දායකයන් වෙත විවිධ ප්‍රතිචාර ලබා දෙන්නට පර්යේෂකයන් ක්‍රියා කර තිබුණා. උදාහරණයක් ලෙස එවැනි දායකයෙක් හට හර්ට්ස් 15 ක ආලෝකයක් නිකුත් කරන එල්.ඊ.ඩී බල්බයක් පෙන්වූ විට, ඔහුගේ මොළය මඟින් එම සංඛ්‍යාතයෙන් ම යුක්ත විද්‍යුත් තරංගයක් ජනනය කළා. එය පර්යේෂකයන් යොදා ගත් යන්ත්‍රය මඟින් උකහාගෙන, එයට අනුරූප වන චුම්භක ක්ෂේත්‍රයක් ජනනය කිරීම සිදු කෙරුණා. එම චුම්භක ක්ෂේත්‍රය තෙවැන්නාගේ මොළයට ලබා දුන් විට, ඔහුගේ මොළය තුළ නැවතත් අනුරූප විද්‍යුත් ආවේගයක් ජනනය වී ප්‍රතිචාර දැක්වීම සිදුවුණා.

විවිධ සංඛ්‍යාතවල ආලෝක තරංග

පර්යේෂකයන් ටෙට්‍රිස් හෙවත් කොටු පුරවන ක්‍රීඩාවට අදාළ විධාන කිහිපයක්, විවිධ සංඛ්‍යාතවල ආලෝක තරංග නිකුත් කරන බල්බවලට අදාළ වන සේ පර්යේෂණයට භාජනය වූවන්ට, ඊට පෙර හඳුන්වා දී තිබුණා. උදාහරණ ලෙස යම් හැඩයක් එලෙසින් ම පිරවීම සඳහා එක් සංඛ්‍යාතයකින් යුක්ත බල්බයක් මගින් පණිවිඩය ලබා දීම ද, එය හැරවිය යුතු නම් තවත් සංඛ්‍යාතයක ආලෝකයක් නිකුත් කරන බල්බයක් දැල්වීම ද සිදු කෙරුණා. සිතිවිලි දායකයාට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍ය නොවේ යැයි සිතේ නම් විදුලි බල්බ දෙස නොබලා සිටින්නටත් අවකාශ ලැබුණා.

 ටෙට්‍රිස් ක්‍රීඩාව -bbvaopenmind.com

ප්‍රතිචාර දක්වන්නාට ටෙට්‍රිස් ක්‍රීඩාවේ දී තමන් කොටු පුරවන කොටස නොපෙන්වා සිටින්නට විද්‍යාඥයන් කටයුතු කළා. ඔහුට තිබුණේ තමන්ට ලැබෙන සිතිවිල්ලෙහි වූ විධානයට අනුව ක්‍රියාත්මක වීම පමණ යි. එනම් ඒ ඒ අවස්ථාවට අදාළ හැඩය වමට දකුණට කරකැවීම හෝ එලෙස ම ස්ථානගත කිරීම පමණ යි. දායකයන් දෙදෙනාට ක්‍රීඩාව සිදුවන තිරය හොඳින් පෙනුණු අතර, අවස්ථානුකූල ව ප්‍රතිචාර දක්වන්නට ඔවුන්ට අවස්ථාව සලසා තිබුණා.

සාර්ථක වූ පර්යේෂණ

විද්‍යාඥ කණ්ඩායම පුද්ගල නියැදි 5 ක් යොදා ගනිමින් පර්යේෂණ සිදු කළ අතර, ප්‍රතිඵල ඉතා සාර්ථක මෙන් ම පුදුම එළවනසුලු වුණා. පර්යේෂණ අවසන් වූයේ 81.25% සාර්ථකත්වයක් ලබා දෙමින්. ඔවුන් තවත් පර්යේෂණයක් සිදු කළා. එහි දී ඉලෙක්ට්‍රෝඩ භාවිතයෙන් මිනිස් මොළ දෙකක් සම්බන්ධ කෙරුණු අතර ඔවුන් වෙත ප්‍රශ්න ඉදිරිපත් කරමින් ‘ඔවු’ සහ ‘නැහැ’ ලෙස වන ප්‍රතිචාර දක්වන ලෙස දැන්වූවා. මෙහිදී ද ප්‍රතිචාර සඳහා සංඛ්‍යාත දෙකකින් යුක්ත ආලෝකය නිකුත් කරන බල්බ දෙකක් යොදා ගැනුණු අතර, එහිදී ලැබුණු ප්‍රතිඵල ද සාර්ථක වුණා.

මෙම සොයා ගැනීම් අනාගතයේ ‘සිතිවිලි’ මඟින් පණිවිඩ සම්ප්‍රේෂණය කරන ක්‍රමවේදයකට අඩිතාලම දමනු ඇතැයි මෙම පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥ කණ්ඩායම විශ්වාස කරනවා. එය පදනම් කර ගෙන අනාගත සමාජ ජාල පවා ඇතිවනු ඇති බවට ඔවුන් මත පළකරනවා. එය සාක්ෂාත් වන කාලය නම් කෙතරම් දුරක දැයි තවමත් කිසිවකුට කිව නොහැකි යි.

කවරයේ ඡායාරූපය - gettyimages.com

මූලාශ්‍ර:

Coffylaw.com

Technologyreview.com

Allthatsinteresting.com

Related Articles