Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විරළ අමුද්‍රව්‍ය උකහා ගන්නට ඇස්ටරොයිඩ කණින විද්‍යාඥයෝ

වර්තමාන ලෝකය තාක්ෂණික අතින් ඉතා ඉදිරියට ගමන් කරමින් සිටිනවා. නිතිපතා නව සොයාගැනීම් සහ නිපැයුම් සිදුවන අතර, මෙම කටයුතු කරන්නට සොබාදහමේ පවතින විවිධාකාරයේ අමුද්‍රව්‍ය යොදාගන්නටත් විද්‍යාඥයන් යුහුසුළුව කටයුතු කරනවා.

දිගින් දිගට ම මෙම විද්‍යාත්මක පර්යේෂණ සඳහා පෘථිවියේ විරළ ව පවතින අමුද්‍රව්‍ය යොදාගැනීම නිසා පෘථිවි ගෝලයට හානි සිදුවිය හැකි බැව් අනුමාන කර තිබෙනවා. මේ නිසා විද්‍යාඥයන් දැන් දැන් එම අමුද්‍රව්‍ය උකහාගැනීම සඳහා විකල්ප සොයා යාමට පටන්ගෙන තිබෙනවා. ‘ඇස්ටරොයිඩ කැණීම’ ඉන් එකක්.

හරිත තාක්ෂණයෙහි නොකියවෙන පැත්ත

හරිත තාක්ෂණයෙහි මූලිකාංගයක් වන්නේ, පුනර්ජනනීය සම්පත් මඟින් ශක්තිය නිපදවීම යි. කෙසේ නමුත් මෙම තාක්ෂණයට අනුකූල ව ශක්තිය නිපදවා ගන්නට හා ගබඩා කරගන්නට අදාළ ටර්බයින, සූර්ය පැනල, බැටරි වැනි දේ නිපදවීම සඳහා සැලකිය යුතු මට්ටමකින් පෘථිවියේ ශේෂ ව ඇති ඉතා දුලබ මූලද්‍රව්‍ය සහ සංයෝගවලින් සෑදුණු අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. දිනෙන් දින මෙම තාක්ෂණය කරා ලෝකය යොමු වන විට, මේ උපකරණ වැනි දේ නිපදවීම සඳහා වැඩි වැඩියෙන් දුලබ අමුද්‍රව්‍ය යොදා ගන්නට, නිර්මාපකයන්ට සිදුවන අතර, මේ නිසා ඒවා සොයා ගන්නට පෘථිවි කබොල සිසාරා කැණීම් වැනි දේ ද කළ යුතු වෙනවා. මේ හේතුවෙන් ජල ප්‍රභව අපවිත්‍ර වීම, පස සෝදා යාම වැනි දේ සිදුවිය හැකි අතර, එම අමුද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ක්‍රියාවලිවල දී විස සහිත අතුරුපල සහ අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම ද සිදු විය හැකි වෙනවා.

 වෛද්‍ය උපකරණ ඇතුළු නවීන තාක්ෂණය සහිත උපකරණ සමහරක් නිපදවන්නට විරළ මූලද්‍රව්‍ය සහ සංයෝග අවශ්‍ය වෙනවා- Mike Miesen

 

හරිත තාක්ෂණයට ලොව හුරු කරවන විට මේ ආකාරයෙන් පරිසරයට හානි සිදු වන්නේ නම් එමඟින් ඉන් අපේක්ෂිත වාසි නොලැබිය හැකි බැව් අනුමාන කළ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් වහ වහා මෙම අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහා විකල්ප ක්‍රම සොයන්නට වුණා. අවසානයේ ඔවුන් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වන ඇස්ටරොයිඩ මත කැණීම් කර, ඉන් විරළ මූලද්‍රව්‍ය උකහාගන්නට තීරණය කර ඇත්තේ ඒ අනුව යි.

විරළ අමුද්‍රව්‍ය සුලබ ඇස්ටරොයිඩ

ඇස්ටරොයිඩ යනුවෙන් පොදුවේ හැඳින්වෙන්නේ සෞරග්‍රහමණ්ඩලය පුරා විසිරී ඇති කුඩා පාෂාණ සහ ලෝහ කැබලි යි. මේවා සෞරග්‍රහමණ්ඩලයේ සමහර ස්ථානවල වෙනත් ස්ථානවලට සාපේක්ෂව වැඩිපුර එක්කාසු වී ඇති අතර, සමාන්‍යයෙන් මෙම ඇස්ටරොයිඩයක් මීටර කිහිපයක සිට දහසකට වැඩි තරමේ විෂ්කම්භයක් ඇති ඒවා විය හැකි යි.

සෞරග්‍රහ මණ්ඩලය තුළ ඇස්ටරොයිඩ වැඩිමනත් ම හමු වන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර පෙදෙසේ යි. මෙම කලාපයට ‘ඇස්ටරොයිඩ පටිය’ යනුවෙන් නමක් ද පටබැඳී ඇත්තේ ඒ නිසා යි. විටින් විට මෙම කලාපයෙන් මෙම ඇස්ටරොයිඩ ඉවතට පැමිණෙන අතර, පෘථිවිය අසලින් ඇදී යාම ද සිදු වෙනවා. මේවායේ අන්තර්ගතය පෘථිවියේ සැකැස්මට බොහෝ සෙයින් වෙනස් විය හැකි අතර, පෘථිවියේ අතිශය දුර්ලභ මූලද්‍රව්‍ය මේවායේ යහමින් අඩංගු විය හැකි බැව් ඔප්පු වී තිබෙනවා. පෘථිවියේ දිනෙන් දින යාවත්කාලීන වන තාක්ෂණයේ පිහිටෙන් ඉතාම නුදුරු අනාගතයේ දී, මෙලෙස පෘථිවිය ආසන්නයෙන් ඇදී යන ඇස්ටරොයිඩයක් මතට ගොඩ බැස, එහි අන්තර්ගත විරල මූලද්‍රව්‍ය කැණීම එතරම් අපහසුවකින් තොර ව සිදු කර ගත හැකි වනු ඇති බවට විද්‍යාඥයන් මත පළ කර තිබෙනවා.

 ඇස්ටරොයිඩ පටිය සෞරග්‍රහමණ්ඩලයේ ස්ථානගත වී ඇති ආකාරය දැක්වෙන සටහනක් – Quora

 

පෘථිවිය අසලට පැමිණෙන, විෂ්කම්භයෙන් මීටර කිහිපයක් පමණක් වන ඇස්ටරොයිඩයක සමහර විටෙක, යම් විරළ මූලද්‍රව්‍යයක් මුළුමහත් පෘථිවි කබොලෙන් එදා මෙදා තුර එම මූලද්‍රව්‍ය හමු වී ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක අන්තර්ගත ව තිබිය හැකි බවට අනුමාන කෙරෙනවා. පෘථිවිය මතට වැටුණු කුඩා ග්‍රාහක කැබැලි අධ්‍යයනය කිරීමේ දී එම මතයට රුකුල් දෙන සාධක හමු වී තිබෙනවා. රන්, රිදී, ප්ලැටිනම්, ඉරිඩියම්, ඔස්මියම්, පැලේඩියම්, රේනියම්, රෝඩියම්, රුතීනියම්, ටන්ග්ස්ටන් වැනි විරළ මූලද්‍රව්‍ය රාශියක්, පෘථිවි කබොල මෙන් සිය දහස් ගුණයකින් සුලබ ලෙස මේවායේ අන්තර්ගතව තිබිය හැකි බැව් මේ වන විට හොඳාකාර ව ම පෙනී ගොස් තිබෙනවා. මෙම මූලද්‍රව්‍ය සහ ඒවා අන්තර්ගත සංයෝග සහිත අමුද්‍රව්‍ය හරිත හ්ටාක්ෂණය උදෙසා මහත් සේ වැදගත් වන අතර, ජංගම දුරකථන, වෛද්‍ය උපකරණ මෙන්ම අභ්‍යාවකාශ යානා සෑදීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකදී මේවා භාවිත වෙනවා.

ඇස්ටරොයිඩ, පහත අත්තක එල්ලී ඇති, ඉතා සරුසාර පලතුරක්

‘ඇස්ටරොයිඩ, පහත අත්තක එල්ලී ඇති, ඉතා සරුසාර පලතුරක්’ වැනි ‍යයි, රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ඇස්ටරොයිඩ කැණීම සිදු කිරීමට පර්යේෂණ පවත්වන, නාසා ආයතනයේ සේවයේ නියුතු ක්‍රිස් ලෙවිකි පවසනවා. විරළ මූලද්‍රව්‍ය සහ සංයෝග සඳහා ඇස්ටරොයිඩ කැණීම පිළිබඳ ව මේ වන විටත් ආයතන කිහිපයක් ම පර්යේෂණ පවත්වමින් සිටින අතර, ජපානය සාර්ථක ව ඒ පිළිබඳ අත්හැදාබැලීම් පවා සිදු කර තිබෙනවා. ජපානයේ අභ්‍යාවකාශ ඒජන්සිය සිදු කළ ‘හයබුසා’ මෙහෙයුම මඟින් සාර්ථක ව ‘රියුගු’ ඇස්ටරොයිඩයේ කැණීම් සිදු කර, එහි සාම්පල පෘථිවියට රැගෙන විත් තිබෙනවා.

වර්තමානය වන විට ඇස්ටරොයිඩ කැණීමට අදාළ රොබෝ තාක්ෂණය පෘථිවිය සතු ව තිබෙනවා. වර්තමානයේ විසඳාගත යුතු ප්‍රධානත ම බාධකය වන්නේ අභ‍්‍යවකාශගත වීම සහ කැණීම්වල නිරහ වන්නට අවශ්‍ය වන ඉන්ධනවලට සහ අනෙකුත් අමුද්‍රව්‍යවලට අදාළ දැඩි වියදම යි. කෙසේ නමුත් මීට දශක දෙක තුනකට පෙරට වඩා මේ වියදම් තුනෙන් එකක් දක්වා අඩු කර ගන්නට විද්‍යාඥයන් නවීන තාක්ෂණයේ පිහිටෙන් සමත් ව සිටිනවා.

 නාසා ආයතනය මඟින් ඇස්ටරොයිඩ කැණීම සිදු කරන්නට බලාපොරොත්තු වන අයුරු පියවර මඟින් දැක්වෙන සටහනක්- Joel Sercel, TransAstra Corporation

 

ඇස්ටරොයිඩ කැණීම සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය

වර්තමානය වන විට පෘථිවියේ සිට ම යම් ඇස්ටරොයිඩයක සංයුතිය නිශ්චිත ව සොයා ගන්නට හැකි තාක්ෂණය ලොව පහළ වී තිබෙනවා. මේ නිසා දුලබ මූලද්‍රව්‍ය සහිත ඇස්ටරොයිඩ හඳුනා ගෙන, ඒවා පමණක් කැණිමේ හැකියාව ලැබී තිබෙනවා. ඇස්ටරොයිඩය වෙත යන්නට සහ එන්නට රොකට් භාවිත කරන්නට වන නිසා ඉන් දැඩි ලෙස පරිසරයට කාබන් විමෝචනය වන බවට යමෙක් තර්ක කළත්, මේ පිළිබඳ ව අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ මෙම ක්‍රමයෙන් පරිසරයට එකතු වන කාබන් ප්‍රමාණය, සාමාන්‍ය ක්‍රමවලට සාපේක්ෂව විශාල ප්‍රමාණයකින් අඩු බව යි.

උදාහරණයක් ලෙස පෘථිවි කබොලෙන් ප්ලැටිනම් කිලෝවක් උකහා ගෙන නිස්සාරණය කරන විට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 40,000 ක් පරිසරයට මුදා හැරෙන අතර, ඇස්ටරොයිඩ කැණීමේ දී එය කිලෝවට කිලෝග්‍රෑම් 150 ක් තරම් අවම අගයක් ගන්නා බවට ගණන් බලා තිබෙනවා. මෙම ගණනය කිරීම් සිදු කර ඇත්තේ ලක්සම්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඇන්ඩ්‍රෙයාස් හෙයින් ය. ඔහු ලක්සම්බර්ග් විශ්වවිද්‍යාලය හා එක් වී ‘ඇස්ටරොයිඩ කැණීම පිළිබඳ ව ඉතා සාධනීය පර්යේෂණ සිදු කරන අතර, ලොව පුරා අභ්‍යාවකාශ සමාගම් රාශියක් ඔහු සමඟත්, ලක්සම්බර්ග් හි අභ්‍යාවකාශ ඒජන්සිය සමඟත් මේ වන විට අත්වැල් බැඳ ගෙන සිටිනවා. හෙයින්ට අනුව, අඛණ්ඩව, එදිනෙදා ඇස්ටරොයිඩ කැණීම් සිදුකර විරළ මූලද්‍රව්‍ය උකහා ගන්නා ක්‍රමයක් ඇති කර ගතහොත් එය මානව වර්ගයාගේ යහපැවැත්මට රුකුල් දෙනු ඇති.

රොබෝ තාක්ෂණයෙන් ඇස්ටරොයිඩ කැණීම ප්‍රායෝගික ව ආරම්භ වන්නේ කවදා ද?

නාසා ආයතනය ‘සයිචේ’ නම් ඇස්ටරොයිඩය ප්‍රායෝගික ව කැණීම 2023 වසරේදී ආරම්භ කරන්නට කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඔවුනට අනුව එහි ඩොලර් ක්වින්ටිලියන 700 ක විරළ මූලද්‍රව්‍ය පවතිනවා (ක්වින්ටිලියනට බින්දු 27 කි ). මෙම මෙහෙයුම සම්පූර්ණ විද්‍යාත්මක පදනමකින් සිදු කෙරෙන අතර, අනාගත වෙළඳ පදනමකින් සිදුකෙරෙන ඇස්ටරොයිඩ කැණීම්වලට පෙරහුරුවක් ලෙස භාවිත කරන්නට නියමිත යි. නාසා ආයතනයට සහ ලොව සමහරක් විද්වතුන්ට අනුව 2030 දශකයේ දී ලොව ‘ඇස්ටරොයිඩ කැණීම’ වෙළෙඳ පදනමෙන් ආරම්භ වනු ඇති.

 කවරයේ ඡායාරූපය - aerospacelectures.com 

මූලාශ්‍ර:
Hir.harvard.edu
Web.mit.edu
Forbes.com

Related Articles