Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ අනාගත රැකියා ක්ෂේත්‍ර තුළ ඔබේ සාර්ථකත්වය තීරණය කරන STEM

අපිට අනාගත රැකියා වෙළඳපොළේ හොඳ රැකියාවක් ලබන්න අවශ්‍ය මොනවාද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් දෙන පිළිතුරක් තමයි ඉංග්‍රීසි කියන එක. ඇත්තෙන්ම ජාත්‍යන්තර භාෂාවක් දැනගෙන සිටීම බොහොම වැදගත්, නමුත් බොහෝ වෙලාවට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රැකියාවේ ටික කාලයක් නියැලෙනකොට අපේ භාෂා හැකියාව ඉබේම ප්‍රමාණවත් මට්ටමකට වැඩි දියුණු වෙනවා.

නමුත් අද අපි මේ කතා කරන යන්නේ අනාගත රැකියාවන්ට ඉතාම වැදගත්, නමුත් භාෂාවක් වගේ භාවිතයෙන් විතරක් හොඳ දියුණුවක් ලබා ගන්න අපහසු අංශ 4ක් ගැනයි. මුල් අකුරු එකට එකතු කරලා STEM කියලා හඳුන්වන මේ අංශ හතර වෙන්නේ science (විද්‍යාව), technology (තාක්ෂණවේදය), engineering (ඉංජිනේරු වේදය) සහ mathematics (ගණිතය) යි. කාලයක් තිස්සේ වෙන වෙනම ඉගැන්වීම් කෙරුණත් දැන් බොහෝ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල මේ දේවල් විෂය නිර්දේශයටම ඇතුළත් කරලා උපාධිධාරීන්ගේ රැකියා සූදානම ඉහළ නංවන්න ලොකු උනන්දුවක් තියෙනවා. අනාගත ලෝකයේ බොහෝ ක්ෂේත්‍රවලට STEM වලට අදාළ විෂය ක්ෂේත්‍ර හතර බොහෝ සෙයින් වැදගත් වන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේ නිසා අනාගතයේ රැකියා වෙළඳපොළට තරඟකාරීව මුහුණ දෙන්න පුළුවන් මානව සම්පතක් ශ්‍රී ලංකාව තුළ බිහි කරන්න නම් STEM සහිත බහුවිධ අධ්‍යාපන ක්‍රම ඇති කරන එක යුගයේ අවශ්‍යතාවක් කියන්න පුළුවන්.

ශ්‍රී ලංකාවට STEM වැදගත් වෙන්නේ ඇයි?

Source: uplist.lk

ශ්‍රී ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල වගේම දියුණු රටවල වුණත් ගැටළු නිරාකරණයට වඩාත් අවශ්‍ය STEM වලට ඇතුළත් අංශයන් බවට විවාදයක් නැහැ. බුද්ධි ගලනය නිසා ශ්‍රී ලංකාවේ වටිනාම පුද්ගලයන් නිතරම රටට අහිමි වෙමින් පවතින වටපිටාවක ශ්‍රී ලංකා රජය පවා අද STEM අංශවලට වැඩි ඉඩකඩක් ලබා දෙන්න පෙළඹිලා සිටිනවා. අපේ රට දියුණුව කරා යන ගමනේදී STEM නිසා ලැබෙන දායකත්වය හඳුනාගෙන එක එක ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කරනවා වෙනුවට නිර්මාණාත්මක බව සහ ගැටළු නිරාකරණය කියන කාරණාවල සංකලනයක් තුළින් කටයුතු කරන්න පුළුවන් වටපිටාවක් ඇති කරන්න එය ලොකු උපකාරයක් වේවි.

ශ්‍රී ලංකාවත් දැන් ටිකෙන් ටික ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීම ආරම්භ කරලා තියෙනවා. බොහෝ අංශවලට විශාල දියුණුවක් ගෙන දෙන්න ඩිජිටල් ක්‍රමය සමත් වුණත් එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න නම් ඒ එක්ක හොඳින් වැඩකටයුතු කරන්න පුළුවන් පුහුණුවක් සහ නිපුණතාවක් තියෙන පිරිසක් අත්‍යාවශ්‍යයි. ඒකට අවශ්‍ය වෘත්තීය වටපිටාව සකස් කරන්න නම් තනි අංශයක හොඳ දැනුමක් තියෙන පිරිස් වෙනුවට STEM හි අංශයන් ගැන දැනුමක් තියෙන පිරිසක් සිටීම ඉතාම වැදගත්.

STEM නිසා ලැබෙන වාසිදායක තත්ත්වයට හොඳම උදාහරණයක් විදිහට ඇමරිකාව සලකන්න පුළුවන්. 1990 දශකයේ ඇති වුණු ඩොට්කොම් විප්ලවයට සමගාමීව ඇමරිකාව ලෝකයේ ප්‍රධානම තාක්ෂණික, ඉංජිනේරු සහ විද්‍යාත්මක කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න සමත් වුණා. ජපානය, දකුණු කොරියාව සහ ෆින්ලන්තය ඇතුළු ස්කෑන්ඩිනේවියානු රටවල් STEM අංශ මුල් කාලයේදීම තමන්ගේ විෂය නිර්දේශ තුළ අන්තර්ගත කිරීමෙන් තමන්ගේ ශ්‍රම බලකාය ඉතා උසස් මට්ටමකට ගෙන එන්න සමත් වෙලා තියෙනවා. පැරණි ලෝකයේ විශාල වටිනාකමක් හිමි වෙලා තිබුණු බොහෝ අංශවල පසුබෑමක් තියෙද්දී වුණත් මේ රටවල්වල ආර්ථිකය වඩාත් දියුණු වුණේ ඒ නිසාමයි.

මේ නිසා ශ්‍රී ලංකාවෙත් කැපී පෙනෙන දියුණුවක් දකින්න අවශ්‍ය නම් අපේ තරුණ පරපුර STEM භාවිතයට ගන්නත්, ප්‍රගතිශීලීව හිතන්නත් දිරිමත් කරන්න මේ හොඳම කාලය කියලා කියන්න පුළුවන්.

STEM නිසා හිමි වන ප්‍රතිලාභ

STEM නිසා හිමි වෙන්න පුළුවන් සුවිශේෂී ප්‍රතිලාභ බොහොමයක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

  • නව ප්‍රවණතාවන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව

තාක්ෂණික ලෝකය බොහොම වේගයෙන් වෙනස් වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම විද්‍යාව සහ ඉංජිනේරුවේදය වගේ අංශ අද නිරන්තරයෙන්ම පුළුල් වෙමින් තියෙන්නේ. STEM තුළින් රටේ වැඩි පිරිසකට ඩිජිටල් ප්‍රවණතාවන් සහ විද්‍යාත්මක සොයා ගැනීම් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව සැලසෙනවා. නව අදහස් තියෙන, අලුත් දේ නිර්මාණය කරන, පසුගාමී බව අවම රටක් බවට පත් වීමේදී ඒක බොහෝ වැදගත්.

  • අලුත් දේ නිර්මාණයට පෙළඹෙන මනසක්

නිර්මාණශීලී චින්තනයටත්, විවිධ අංශවලින් අධ්‍යාපනය ලැබීමටත් STEM හරහා අවස්ථාව සැලසෙන නිසා අලුත් දේ නිර්මාණයට පෙළඹෙන වටපිටාවක් ඉබේම බිහි වෙනවා. තාක්ෂණික අංශයේ විතරක් දැනුමක් තියෙන කෙනෙකුට රූපයක් දිහා බලලා වාහනයක තියෙන කොටස් හඳුනාගන්න පුළුවන් ඇප් එකක් හදන්න හැකියාවක් තියේවි, නමුත් විද්‍යා අංශයේ ඒ වගේ තාක්ෂණයක් නැති බව ඔහු හෝ ඇය නොදන්නවා වෙන්න පුළුවන්. යමක් සඳහා අවශ්‍ය දැනුම් පරාසය පුළුල් වීමත් එක්ක නව්‍යකරණය වඩාත් සාර්ථක වෙනවා. නව නිර්මාණ බිහි වෙන්න හොඳ තල්ලුවක් ලබා දෙන සංකල්පයක් විදිහට STEM සැලකෙන්නේ මේ නිසාමයි.

  • ඉහළ ආදායමක් ලැබීම

STEM අංශයේ රැකියා ක්ෂේත්‍ර තුළ ඉහළ ආදායමක් ලබා ගැනීමේ හැකියාව පවතින නිසා තනි දක්ෂතාවයක් තියෙන කෙනෙකුට වඩා ආර්ථික වශයෙනුත් සාර්ථක වීමේ අවස්ථාව තියෙනවා. ජෛව වෛද්‍ය විද්‍යා ඉංජිනේරු, මූල්‍ය පරීක්ෂක සහ වෛද්‍ය විද්‍යාඥ වගේ අංශ ශ්‍රී ලංකාව තුළත් ඉතා ඉහළ වැටුප් වරප්‍රසාද ලබනවා. අපේ රටේ ආර්ථිකය දියුණු වීමත් එක්ක ඒ වගේ තනතුරුවලට සුදුසුකම් තියෙනවා නම් ඉහළ වටිනාකමක් ලබා ගන්නත් හොඳ අවස්ථාවක් හිමියි.

  • පුළුල් වෘත්තීය පරාසයක් හිමි වීම

එකම රැකියා අංශයක් ඉලක්ක කරගෙන වෘත්තීය සුදුසුකම් නිර්මාණය කර ගන්න එක අපිට තියෙන රැකියා අවස්ථා සීමා වෙන්න වගේම යම් අංශයක කඩා වැටීම නිසා අසරණභාවයට පත් වීමේ ලොකු අවදානමක් දරන්නත් සිදු වෙන වැඩක්. තරඟකාරී රැකියා වෙළඳපොළක තමන්ගේ රැකියා අංශයට අපහසුතා අැති වෙන අවස්ථා බොහොමයි. තවමත් සිංහල භාෂාවෙන් හරියට යෙදුමක්වත් නිර්මාණය වෙලා නැති, ඉහළ ඉල්ලුමක් සහ ආදායමක් ලබන Data scientist ලා (දත්ත විද්‍යාඥයන්), UX engineers ලා (පරිශීලක අත්දැකීම් ඉංජිනේරුවන්), growth hackers ලා (ආසන්නම පදය “වර්ධන හැකරුන්”) වගේ වෘත්තීන් අද STEM නිසා අලුතින්ම බිහි වෙලා. අංශ ගණනාවක දැනුම එකවිට යොදා ගන්න අවශ්‍ය මේ වගේ වෘත්තීය අංශත්, අනාගතයේදී වේගයෙන් බිහි වන එ් වගේ වෙනත් අංශත් තුළට පිවිසෙන්න නම් STEM අංශවල පුළුල් නිපුණතාවක් ලබා සිටීම හරිම වැදගත්.

ශ්‍රී ලාංකිකයන්ට STEM තුළින් හිමි වන අවස්ථා

Source: digitalfutureofwork.com

STEM සංකල්පය ඉගෙනුම් ක්‍රියාවලියට අැතුළත් කරන්න නම් අධ්‍යාපන ආයතනවලට කරන්න තියෙන දේ බොහොමයි. කුඩා අවධියේ ඉඳලාම STEM අංශවලට නිරාවරණය වීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම තාක්ෂණික අංශයේ නව අවස්ථාවන් බොහොමයක් විවෘත වෙමින් පවතිනවා; මේවාට අවශ්‍ය වන්නේ පුළුල් නිපුණතාවන් පැවතීම මිසක් අනිවාර්යයෙන්ම පරිගණක අංශයේ උපාධියක් ලබා තිබීම නෙවෙයි. ඉංජිනේරුවේදය, විද්‍යාව සහ තාක්ෂණය වගේ අංශ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අපේ රටේ පවතින ව්‍යාපාර සහ ක්ෂේත්‍රවල දියුණුවත් එක්ක ඒකට ගැළපෙන විදිහේ ශ්‍රමිකයන් පිරිසක් නිර්මාණය වීමත් ඉතා වැදගත්. STEM අංශ එහිදී ප්‍රධාන තැනක් ගනීවි.

ජෝන් කීල්ස් ආයතනයේ STEM වැඩසටහන

ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධානතම සමාගමක් වන ජෝන් කීල්ස් ආයතනය STEM වැඩසටහනක් දියත් කරලා තියෙනවා. ඒ යටතේ ඔවුන් ඊට සමගාමීව අදාළ අංශ පිළිබඳවත් හොඳ අවධානයකින් ඉන්නේ. මේ වෘත්තීය ක්ෂේත්‍රවල වර්තමාන තත්ත්වය ඇත්තෙන්ම අපි සිංහලෙන් කියනකොට හැඟවෙන දේට වඩා තරමක් වෙනස් වෙන්න පුළුවන්, මොකද තවමත් එයට ගැලපෙන නිසියාකාර සිංහල යෙදුම් නිර්මාණය වෙලා නැහැ. ඒවායේ ඉංග්‍රීසි යෙදුම් සහ ආසන්නතම සිංහල යෙදුම් වෙන්නේ UX/UI Designers ලා (පරිශීලක අත්දැකීම්/අතුරුමුහුණත් නිර්මාණකරුවන්), growth marketers ලා (“වර්ධන අලෙවිකරුවන්”), software engineers ලා (මෘදුකාංග ඉංජිනේරුවන්) සහ data scientist ලා (දත්ත විද්‍යාඥයන්) යනාදියයි.

ජෝන් කීල්ස් ආයතනය වැඩි අවධානයක් ලබා දෙන්නේ නිර්මාණශීලීව හිතන පිරිස් වෙතටයි. තමන්ට විසඳන්න ලැබෙන ගැටලුවට විසඳුමක් ඉදිරිපත් කිරීමට එහා ගිහින් එය කළ හැකි ආකාරයන් බොහොමයක් ගැන නිර්මාණශීලීව සිතීමයි වඩාත් වැදගත් වෙන්නේ. සීමාවන් ඇතුළේ නොසිතා නිර්මාණශීලී වෙන්නත්, අභියෝගයකට මුහුණ දීලා විවිධත්වයක් සහිත වෘත්තීය සමූහයක කටයුතු කරන්නත් කැමැත්තක් තියෙනවා නම් ඔබටත් පුළුවන් ඔවුන්ගේ STEM වැඩසටහනට ඇතුළත් වෙන්න. මෙතැනට ගිහින් ඔබේ තොරතුරු ලබා දීම තුළින් ඒ සඳහා ඔබට පහසුවෙන්ම අවස්ථාවක් හිමි කර ගන්න පුළුවන්.

Related Articles