Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ සන්නිවේදන තාක්ෂණය සහ 4G

දකුණු ආසියාවේ කිසියම් තාක්ෂණයක් ප්‍රචලිත කරන්නට පෙර ගූග්ල් ලූන්, 3G, 4G ආදී සෑම තාක්ෂණයක්ම මුලින්ම අත්හදා බැලෙන්නේ ලංකාවේ යි. මෙයට හේතුව වන්නේ සංකීර්ණ භූ විෂමතාවන්, ජනගහන ව්‍යාප්තිය, කලාපයට සාපේක්ෂව අඩු භුමි ප්‍රමාණය, අඩු මිලකට ඇතුලු විය හැකි වෙළඳපොළ ආදී දේවල් නිසා යි. මේ නිසා අතීතයේදී ‘පෙරදිග ධාන්‍යාගාරය’ ලෙස හැඳින්වූවාට අද ශ්‍රී ලංකාව ‘පෙරදිග ලැබ්-මීයා’ බවට පත්ව තිබෙනවා. හැබැයි තාක්ෂණයේ ඉදිරියට යන්නට, ලෝකය අනාගතය පිළිබඳව කරන පෙරැයීම් සඳහා සියල්ලන්ටම ප්‍රථමයෙන් මුහුණ දෙන්නට ලැබීම අප හැම කෙනෙක්ටම මහත් භාග්‍යයක්. කිසියම් තාක්ෂණයක් නිසි ලෙස ස්ථාවර වී අවුරුදු ගණනක් ගොස් ලැබෙනවා වෙනුවට වෙනස්වන තාක්ෂණයත් සමඟ ශීඝ්‍රයෙන් ඉදිරියට යන්නට ලැබීම තරම් සැපතක් තවත් නැහැ.

ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් අතර තිබෙන්නේත් මේ වගේ දෙයක්. ඇපල් සමාගම නව තාක්ෂණයක්; උදාහරණයක් වශයෙන් රැහැන් රහිත ආරෝපණය හොඳ මට්ටමකට එනතෙක් වසර ගණනක් අත්හදා බලා නිකුත් කරද්දී ඇන්ඩ්‍රොයිඩ් නිෂ්පාදකයන් ආරෝපණ වේගය අඩු මට්ටමින් හෝ එය වෙළඳපොළට ලබා දී හමාරයි. ඒ විතරක් නොවෙයි, චීන නිෂ්පාදන හරහා සිදුවන්නේත් මෙය යි. ඇමරිකානු සමාගමක් විසින් හොඳ තත්ත්වයට එනතෙක් උපකරණයක් නිෂ්පාදනය කරද්දී චීනය යන්තම් අටවන ලද නිෂ්පාදන රැසක් දවසින් දවස එළියට දමනවා. මේ නිසා ඉහළ පැළැන්තියේ කෙනෙක් අතේ අවුරුදු දහයක් තිබෙන යමක් දවසක් දහයකට හෝ පාවිච්චි කරන්නට පහළ පන්ති වලටත් අවස්ථාව ලැබෙනවා. අපිට 4G තාක්ෂණය ලැබුණේත් මේ ආකාරයටයි. දැනටමත් ඇතැම් සමාගම් 5G වෙත පා තබන්නට සූදානම් වෙද්දී දැන් දැන් 4G තාක්ෂණය ටිකක් සාමාන්‍ය ජන ජීවිතයට ළං වන කාල පරිච්ඡේදයක් තමයි දකින්නට තිබෙන්නේ.

තවමත් නොපැරැණි 3G

tqn.com

මුල් කාලීන Color Display තිබෙන දුරකතනවල අන්තර්ජාලයට පිවිසෙන්නට හැකියාව තිබුණා කියන එකත් ඒ කාලයේ හැටියට මහත් සැනසීමක්. බොහොම කුඩා තිරයක අකුරු විතරක් තිබුණු WAP ක්‍රමයෙන් මිදිලා කුඩාවට හෝ ඡායාරූපයක්, Google සයිට් එකට ගියාම පාට පාට ගූග්ල් ලෝගෝව දකින්නට ලැබීමත් ඒ කාලයේ හැම කෙනෙක්ටම සුන්දර අත්දැකීමක් වුණා. මේ කාලය වන විට ප්‍රචලිතව තිබුණු 2G සහ MMS වලින් මිදිලා ස්මාර්ට්ෆෝන් හැම කෙනෙක්ගේම අතට එන වකවානුවේදී 3G තාක්ෂණයත් ලංකාව තුළ එහි උපරිමයට පා තැබුවා. තවමත් හොඳටම සිග්නල් නැතත් අර්ධ-නගර ප්‍රදේශවල සාමාන්‍ය තරමින් හෝ අත්විඳිය හැකිව තිබෙන මෙම 3G තාක්ෂණය හෙවත් 2G වලට සාපේක්ෂව අධි වේගයක් සහිත සබඳතාව නිසා දුරකතන සඳහාම m.example.com වැනි වෙනම මොබයිල් වෙබ් අඩවි සැකසීමේ කරදරයෙන් මිදිලා පරිගණකයටත්, දුරකතනයටත් එකම ආකාරයේ පෙනුමක් ඇති වෙබ් අඩවි (responsive design) කලාවට ද මඟ පෑදුණා. නමුත් දුරකතනය හෝ ටැබ් එක පරිගණකය බවට පත්වෙමින් තිබෙන කාලයක, එයට පරිගණකයෙන් අත්විඳි බ්‍රෝඩ්බෑන්ඩ් වේගය නොලැබීම නිසා අපට 3G වලින් සෑහීමකට පත්වීමේ හැකියාවක් නැහැ.

මොකක්ද මේ nG කියන්නේ?

aura-services.ca

සන්නිවේදන තාක්ෂණයේදී 2G, 3G, 4G ආදී වශයෙන් ඇති G යන්නෙන් අදහස් වන්නේ Generation හෙවත් පරම්පරාව යන්නයි. මෙම පරම්පරාවන්හි ඉදිරියට යාම යනු, පෙර තිබුණු ආකාරයට වඩා වැඩි bit rate එකක් (දෙන ලද කාලයක් තුළ සංසරණය වන බිට් ප්‍රමාණය), නව සංඛ්‍යාතයන්, හර්ට්ස් ප්‍රමාණය ඉහළ චැනල කලාප පළලක් (bandwidth), එක් වරකට වැඩි ප්‍රමාණයක් දත්ත සංසරණය කිරීමට ඇති හැකියාව වන අතර එහිදී ඊට පෙර තිබූ පරම්පරාවන්ට අනුසාරීවීම (compatibility) පිළිබඳව සලකා බැලෙන්නේ නැහැ. එනම්, ඔබ සතුව 2G උපාංගයක් තිබී ඔබේ දුරකතන සේවා සපයන්නා එක්වරම එය ඉවත් කොට 3G වෙත එළැඹුණහොත් ඔබට උපාංගය විසි කරනවා හැර වෙනත් පිළියමක් නැහැ. මේ නිසා මෙම පරම්පරාවන්හි ඉදිරියට යාමේදී අදාල සමාගම්වලට මෙන්ම උපාංග නිෂ්පාදන සමාගම් වලටත් පරම්පරා වැඩි ගණනකට සහාය දක්වන්නට සිදු වෙනවා. එනම්, මේ කාලයේ තිබෙන උපාංග හා දුරකතන/අන්තර්ජාල සේවා සම්පාදකයන් 2G, 3G සහ 4G යන සියල්ලටම සහාය දක්වන ආකාරයේ පහසුකම් ඔබට ලබා දෙනවා. ඉතින් ඒ සඳහා දෙපාර්ශවයටම වැඩි මුදලක් සහ අමුද්‍රව්‍ය/උපාංග භාවිත කරන්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

4G සහ 4G LTE

androidagent.com

සන්නිවේදන පරම්පරාවන් සඳහා ප්‍රමිතීන් සකසනු ලබන්නේ අන්තර්ජාතික විදුලි සංදේශන සංගමය මගින් වන අතර ඔවුන් 3G සඳහා 3Mbps සිට 21Mbps පමණ වන වේගයක් නම් කර ඇති නමුත් අපිට ප්‍රායෝගික භාවිතයේදී සිග්නල් නිසි ලෙස නොලැබීම් ආදී දෝෂ නිසා 1Mbps ලැබෙන්නේත් කලාතුරකින්. මේ ආකාරයට 4G සඳහා නිර්දේශිත වේග පරාසය වන්නේ: දුරකතන සඳහා 100Mbps සහ හොට්ස්පොට් වැනි ගෘහස්ථ භාවිතයන්ට 1Gbps වශයෙනුයි. නමුත් තවමත් ලොව බොහෝ රටවලට 3G වේගයවත් හරි හැටි තම පාරිභෝගිකයන්ට දෙන්නට නොහැකිව ඇති නිසාත්, එවන් වේගයක් ලබා දෙන්නට තරම් මුදලක් ආයෝජනය කිරීම අපහසු නිසාත්, තාක්ෂණයේ ඉදිරි ගමන පවත්වා ගැනීම පිණිසත්, පසුව ඊට විසඳුමක් වශයෙන් LTE හෙවත් Long Term Evolution (දිගු කාලීන පරිණාමය) වශයෙන් 3Gවලම වැඩි වේගයක් සහිත අවස්ථාවක් වශයෙන් සලකා 4G LTE ලෙස ලොව ව්‍යාප්ත කරනු ලැබුවා. මෙම නාමය වානිජ්‍යමය වශයෙන් ද ටෙල්කො සමාගම්වලට වාසියක් වුණා.

ඔබ TDD LTE සහ FDD LTE ගැන දන්නවාද?

pestleanalysis.com

රේඩියෝ සන්නිවේදනයන් ද්විපථ ආකාරයට සිදු වෙනවා. එනම් ‘යන’ සහ ‘එන’ වශයෙන් අවස්ථා දෙකක් එය තුළ අඩංගුයි. 4G රවුටර් සහ අලුත් දුරකථනවල specs හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට මේ TDD සහ FDD යන දෙකට ඒවා සහාය දක්වන බවට සඳහන් කර තිබෙනු දකින්නට ලැබේවි. මේවායේ එසේ තිබෙන්නේ කාල බෙදුම් ද්විපථ (Time Division Duplex) සහ සංඛ්‍යාත බෙදුම් ද්විපථ (Frequency Division Duplex) ලෙස තිබෙන LTE සම්මතයන් දෙකයි.

TDDහි දී සිදු වන්නේ සබඳතාවයෙහි අප්ලෝඩ් සහ ඩවුන්ලෝඩ් සිදුවීම් අතර කාල ප්‍රාන්තරයක් තබා ඒවා එකිනෙක වෙන්කර හඳුනා ගැනීමයි. මේ සඳහා ටෙල්කො සමාගම් වලට උපකරණ වෙනුවෙන් වැඩි වියදමක් දැරිය යුතු වන්නේ නැහැ. එනමුත් මෙහිදී අවාසියක් ලෙස පවතින්නේ ස්ථිර වශයෙන්ම මෙම අතරමැද කාල ප්‍රාන්තරය පවත්වා නොගතහොත් එකිනෙක මත යාම හෝ බිඳවැටීම් හරහා සබඳතාවයට බාධා එල්ල වීමයි. FDD තාක්ෂණයේදී මෙය වළකමින් කාල ප්‍රාන්තරයක් වෙනුවට කලාප (band) වෙනසක් අතර මැද ඇති කොට සබඳතා ආකාරය (Upload හෝ Download ලෙස) වෙන් කර හඳුනා ගන්නා අතර එයට ටිකක් වැඩිපුර කලාප පළලක් (bandwidth) අවශ්‍ය වෙනවා.

flymeos.com

එසේම මෙම සන්නිවේදනයේදී දත්ත හුවමාරු කිරීමට circuit-switching සහ packet-switching ලෙස ක්‍රමවේද දෙකක් භාවිත වන අතර 4G සඳහා සම්පූර්ණයෙන් ම භාවිත වන්නේ පැකට් ක්‍රමය යි. එහිදී වඩාත් කාර්යක්ෂමව බිඳ නොවැටී දත්ත සංසරණය සිදුවන අතර බොහෝ ටෙල්කො සමාගම් අන්තර්ජාල සබඳතාවන්ට එය භාවිත කරමින් circuit ක්‍රමය 4G ඇමතුම් සඳහා මාරු කරනු ලබනවා. මන්ද, එසේ නොකළහොත් ඔවුන්ට දැරිය යුතු මිල සහ සර්වර් මත වැටෙන බර ප්‍රමාණය වැඩි වීම මෙන්ම මිනිත්තුවට අය කිරීම ද අපහසු වෙනවා. එනමුත් LTE ඇමතුම් VoLte හෙවත් Voice over LTE ලෙස ඔබ දැක තිබෙන ක්‍රමවේදයේ සිදුවන්නේ ස්කයිප් ඇමතුමක් ගන්නවා වගේම, ඉහළ වේගයක් සහිතව ඉහළ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් ඇමතුමට ලබා දීමයි.

ඉතින්, මේ දේවල් හරියට දැනගත්තාම ඔබ මිලදී ගන්නට තීරණය කරන උපකරණ අනාගතය සඳහා ගැලපෙන බව මෙන් ම නිසියාකාරව දුරකතන/අන්තර්ජාල සේවා සපයන්නෙක් තෝරා ගැනීම වඩාත් පහසු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සේවාවන් දෙන්නට තිබෙන අමාරුකම වැටහුණාම තොරතෝංචියක් නැතිව එයාලාට බනින්න හිතෙන එකත් නිතැතින්ම අඩු වේවි.

කවරයේ ඡායාරූපය: stelladoradus.com

Related Articles