Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගූග්ල් ක්‍රෝම් සඳහා හොඳම Extensions 5ක්

ගූග්ල් ක්‍රෝම් වෙබ් බ්‍රවුසරයේ වැඩකෑලි තවත් වැඩි කරගන්නට එයට සබඳා ගත හැකි දිගු හෙවත් Extensions හරහා පුළුවන්. මේ වන විටත් එම පහසුකම දුරකතනවලට නැතත්, පරිගණකය භාවිත කරද්දී වැඩ පහසු කරගන්නට මේවායෙන් හොඳ පහසුවක් ලැබෙනවා. එවන් හොඳ ම ගූග්ල් ක්‍රෝම් දිගු 5ක් මේ ලැයිස්තුවෙන් ගෙන එනවා.

ඡායාරූප භාවිතයෙන් සොයන්න

අපි සාමාන්‍යයෙන් ගූග්ල් සර්ච් එකෙන් කරන්නේ වචන කිහිපයක් දීලා ඊට අදාල සෙවුම් ප්‍රතිඵල ලබාගැනීම වූවත් ගූග්ල් ඉමේජ් සර්ච් එකෙන් අපි දෙන ලද ඡායාරූපයකට අදාලව සෙවුම් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. උදාහරණයක් විධියට ඔබට ප්‍රසිද්ධ ගායකයකුගේ නමක් මතක නැත්නම් ඔහුගේ ඡායාරූපය images.google.com වෙත උඩුගත කර සොයන්නට පුළුවන්. එනමුත් මෙසේ කිරීමේදී ඔබේ පරිගණකයේ ඡායාරූපයක් නොතිබුණොත් අන්තර්ජාලයෙන් බාගත කරගෙන නැවතත් ගූග්ල් ඉමේජ් සර්ච් එකට උඩුගත කරන්නට සිදු වෙනවා.

නමුත් ඒ කරදරය වළක්වා ලන්නට Search by Image දිගුවට පුළුවන්. මෙය ස්ථාපනය කරගැනීමෙන් පසු අන්තර්ජාලයේ ඔබ දකින ඡායාරූපවල දකුණු පස පහළට කැමරා අයිකනයක් එක් වන අතර ඔබට ඉතා පහසුවෙන් එය ක්ලික් කිරීමෙන් එම ඡායාරූපය පිළිබඳ වැඩි විස්තර සොයා ගන්නට හැකියාව ලැබෙනවා.

බැක්ස්පේස් එකෙන් පසුපසට

ඉස්සර ගූග්ල් ක්‍රෝම් සතුව තිබුණු වඩාත් පහසු කෙටිමඟක් වුණේ ඕනම පිටුවක ඉඳගෙන එහි පසුපසට යන්නට ඕනෑ නම් හුදෙක් Backspace යතුර එබීමෙන් එය ක්‍රියාවට නැගිය හැකි වීමයි. එනමුත් ෆ්ලෑෂ්, ජාවාස්ක්‍රිප්ට් (බ්‍රවුසර් ගේම්ස් වැනි) අන්තර්ගතයන් ආදී විශේෂ දෑ අඩංගු පිටුවලදී මෙය එබීමෙන් බහුතරයක් අපහසුතාවයට ලක් වුණා. ඒ නිසා පසුකාලීන වෙළුම් වලදී ඒ පහසුකම; වරදක් සේ සලකා ඉවත් කරනු ලැබුවා. එහෙත් ඔබ මේ අපූරු කෙටිමඟට පෙම් බැඳි කෙනෙක් නම් එය තවමත් ලබා ගන්නට පුළුවන්. ඊට කළ යුත්තේ Go back with Backspace දිගුව ස්ථාපනය කර ගැනීමයි. එය හරහා විශේෂිත වෙබ් පිටුවල ලිපින ලබාදීමෙන් ඒවා සඳහා අක්‍රීය කරමින් පොදුවේ අනෙකුත් වෙබ් පිටුවලදී බැක්ස්පේස් යතුරෙන් පසුපසට ගමන් කරන්නට ඔබට අවස්ථාව උදා වෙනවා.

අලුත් ටැබ් එකට වෝල්පේපර් එකක්

අලුතෙන් ටැබ් එකක් ඕපන් කළාම එහි තිබෙන ඒකාකාරී ගතිය නැති කරන්න ගූග්ල් Earth එකේ ඡායාරූප එයට එක් කළ හැකි අපූරු ඇප් එකක් (දිගුවකට වඩා ටිකක් හැකියාවෙන් වැඩියි) Earth View නමින් තිබෙනවා. මෙය එක් කර ගැනීමෙන් පසු, සුදු පැහැති ඒකාකාරී පසුබිම වෙනුවට අහඹු ලෙස විවිධ ඡායාරූප වලින් ඔබ ටැබ් එකක් ඕපන් කරන වාරයක් පාසා සරසාලන්නට මෙම ඇප් එකට පුළුවන්. එසේම එයින් ඡායාරූපයක් ඔබේ හිතට ඇල්ලුවොත් එය පරිගණකයේ ඩෙස්ක්ටොප් එක සරසන්නට පාවිච්චි කරන්නටත් පහසුවෙන්ම එය මත ඇති මෙනුවෙන් පුළුවන්.

යූටියුබ් එකෙන් සින්දු විතරක් අහන්න

බොහෝ දෙනෙක් යූටියුබ් එක ඕපන් කරගන්නේ සින්දුවක් දාගෙන වෙනත් වැඩක් කරන්නට මිසක් මියුසික් වීඩියෝ එක බලන්න ම නෙවෙයි. ඒත් ඉතින් යූටියුබ් කියන්නේ වීඩියෝ ස්ට්‍රීමිං සයිට් එකක් නිසා අපේ අවශ්‍යතාවය මොකක් වුණත් වීඩියෝ එකට වැඩිපුර ඩේටා ටිකක් කැපෙනවා. ඉතින් ඩේටා ටිකත් අඩුවෙන් යන ගමන් සින්දුවකුත් අහන්න ඔබට Audio Only YouTube දිගුව සහාය වෙනවා. මෙය සක්‍රීය කිරීමෙන් පසු යූටියුබ් එකේ සියළු වීඩියෝ ඉවත්ව යමින් ශබ්ද පමණක් ඇසෙන්නට සලස්වන අතර එය අක්‍රීය කිරීමෙන් ඔබට නැවතත් පෙර පරිදිම වීඩියෝ සමඟ යූටියුබ් එක භාවිතා කරන්නට හැකියාව ලැබෙනවා.

  1. පහසුවෙන් ස්ක්‍රීන්ෂොට් ගන්න

බ්‍රවුසරය හරහා වෙබ් අඩවියක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නට අවශ්‍ය වුණොත් PrintScr යතුර ඔබලා, චිත්‍රක මෘදුකාංගයක් විවෘත කරලා එයට එම ඡායාරූපය අරගෙන අවශ්‍ය ගානට ක්‍රොප් කරලා දසවධ විඳිනවා වෙනුවට Awesome Screenshot දිගුව භාවිත කරලා ඉතාම පහසුවෙන් සම්පූර්ණ වෙබ් අඩවියක, වෙබ් අඩවියේ දැනට දිස්වන කොටස හෝ ඔබ තෝරාදෙනු ලබන කොටසක් ආදී වශයෙන් වඩාත් පහසුවෙන් ඡායාරූපයක් ලබාගන්නට විතරක් නොවෙයි, එහි බලි කුරුටු ඇඳලා, ඊතල දාලා, අකුරු ලියලා කිසිවක් විස්තර කර යහළුවෙකුට යවන්නත් මෙය හරහා සවිබලය ලැබෙනවා.

ඡායාරූප මූලාශ්‍රය: Chrome web store

කවරයේ ඡායාරූපය: pcmag.com

Related Articles