තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු වර්ථමාන ජන සමාජයේ සැම අංගයක් කෙරෙහිම බලපාන්නාවූ ක්ෂේත්‍රයක්. සන්නිවේදනය, අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල, වීඩියෝ සංවාද, සමාජ වෙබ් අඩවි ආදී සියල්ලක්ම ජන ජීවිතය හා සමීපව බැදි පවතී. වර්තමානයේ අප භාවිත කරන බොහෝ සන්නිවේදන පහසුකම් හා අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදුවන්නේ පරිගණකයන් හරහායි.

වර්තමාන පරිගණක සියවස් ගණනාවක සිට පරිණාමය වෙමින්, නව අංග එකතු වෙමින්, නව තාක්ෂනයන් ඔස්සේ නිර්මාණය කළ අතීත පරිගණකවල වර්ධනීය අවස්ථාවකි. පරිගණකයේ ඉතිහාසය සලකා බැලීමේදී ප්‍රධාන යුග කීපයක් දක්නට ලැබෙනවා, ඉතින් අද අපි ඒවා එකිනෙකක් පිලිබදව විමසා බලමු.

ආදිකාලින යුගය

(mortgagecalculator.org)

ගණිතමය සංකල්ප වල අවශ්‍යතාව මිනිසාට තදින් දැනෙන්නට වුයේ එඩේර යුගය තුලයි. මෙම යුගයේ ප්‍රධාන ජීවන වෘත්තින් වුයේ ගොවිතැන හා සතුන් පාලනයයි. උදැසන ආහාර සදහා තනපිට්ටනි වලට දක්කාගෙන යන සතුන් සවස නැවත ගාල් කිරීමේදී ඔවුන්ගේ ප්‍රමාණය අඩුවී ඇතිද යන්න සොයා ගැනීමට එඩෙරන්ට අවශ්‍ය විය. මොවුන් මුල් යුගයේදී ඒ සදහා අත් හා පාද වල ඇගිලි, මුහුදු බෙල්ලන් කටු, ගල් කැට, බොරළු ආදිය භාවිත කරන ලදී. මේ කාලයේ එඩෙරයන්ගේ මුලික අවශ්‍යතාවය වුයේ එකතු කිරීම හා අඩු කිරීම වැනි සරල ගණිතමය සංකල්පයි.

ක්‍රිස්තු පුර්ව 300දි පමණ චීන ජාතිකයන් විසින් ඇබකසය නිර්මාණය කිරීම ගණිත උපකරණ භාවිතයේ මුල් වැදගත් සංදිස්ථානයක් ලෙස දැකිය හැක. ඇබකසය යනු ගණකරාමුවකි. මෙම උපකරණ කාලයේ ඇවෑමෙන් වර්දනය වී පරිගණක නිර්මාණයට උපකාරී විය.

1600 -1960 දක්වා

යාන්ත්‍රික කැල්කියූලේටරයක් මුලින්ම නිපදවුයේ 1642දි ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වූ බ්ලේස් පැස්කල්ය. මෙම යන්ත්‍රය පැස්කලයින් ලෙස හැදින්විය. මෙය ක්‍රියාත්මක වුයේ දැති රෝද පේළියක සටහන් කර තිබු 0 සිට 9 දක්වා ඉලක්කම් උපයෝගී කර ගනිමින්ය. මෙම යන්ත්‍රයෙන් කල හැකි වුයේ එකතුකිරීම් හා අඩු කිරීම් පමණි.

1674දි ගොට්ෆීඩ් විල්හෙල්ම් ෆෝන් නැමැත්තා රෙකොනර් නම් වූ යන්ත්‍රයක් නිපදවන ලදී. මෙය ඩිජිටල් කැල්කියූලේටරයේ යාන්ත්‍රික ස්වරුපය ලෙස සැලකිය හැක. මෙම යන්ත්‍රය මගින් එකතුකිරීම් අඩුකිරීම් වලට අමතරව ගුනකිරීම් හා බෙදීමද කල හැකි විය.

(ibm.com)

1912දි පමණ චාල්ස් බැබේජ් නැමැත්තා ඩිෆරන්ස් එන්ජිම නමැති උපකරණය නිපදවන ලදී. එකතු කිරීම් හා අඩුකිරීම් වලට පමණක් සිමා වූ මෙම යන්ත්‍රය නාවික කටයුතු වලදී අවශ්‍ය වන අංක වගු වල ගණනය කිරීම් සදහා යොදාගන්නා ලදී.

බැබේජ්ගේ මීලග නිර්මාණය වුයේ ඇනලිටිකල් එන්ජිමයි. එය ප්‍රෝග්‍රෑම් කල හැකි යන්ත්‍රයක් වූ අතර එහි සේවය සදහා ලෝකයේ ප්‍රථම ප්‍රෝග්‍රෑම් කාරිය වූ ඇඩා ඔගස්ටා මෙනවිය කැදවන ලදී. ඇනලිටිකල් එන්ජිම ප්‍රධාන කොටස් 4කින් යුක්ත වූ අතර වර්තමාන පරගණක සැකිල්ලද මිට සමාන වේ. එම කොටස් නම්

  • ගබඩාව
  • දත්ත ඇතුල් කරන කොටස
  • ගණනය කරන කොටස
  • ප්‍රතිපලය පිට කරන කොටස.

(extremetech.com)

1944දි හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ හොවඩ් විසින් මාර්ක් 1 නමින් ස්වයංක්‍රිය කැල්කියූලේටරයක් නිර්මාණය කරන ලදී. මෙය ටොන් පහක පමණ බරින් යුක්ත විය.

1946දි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් ලෝකයේ ප්‍රථම විද්‍යුත් ඩිජිටල් පරිගණකය නිපදවන ලද අතර මෙය එනියැක් යන්ත්‍රය ලෙස හදුන්වයි. මෙය ප්‍රෝග්‍රෑම් කල හැකි වූ අතර රික්තක නල 18,000ක් යොදාගෙන නිපදවා තිබුණි. මෙය දැවැන්ත යන්ත්‍රයක් වූ අතර වර්ග අඩි 1500ක පමණ ඉඩක්ද අවශ්‍ය විය.

ට්‍රාන්සිස්ටර් යුගය

(pinterest.com)

1948දී ජෝන් බාඩින්, වෝල්ටර් බ්‍රොටෙන්, විලියම් නමැති විද්‍යාඥයින් තිදෙනාගේ දායකත්වයෙන් ට්‍රාන්සිස්ටරය සොයා ගන්නා ලදී. මේවාට තත්පරයකට ගණනය කිරිම් 200,000 සිට 250,000 දක්වා ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාවක් තිබුණි.

වර්තමානයේ අප චිප් නමින් හදුන්වන පරිගණක කොටස් නිර්මානය කර ඇත්තේ ට්‍රාන්ස්සිස්ටර් කීපයක් එකතු කිරීමෙන් සකස් කරගන්නා ලද ගේට්ටු නම් ආකෘති භාවිතයෙනි. මුල් වරට ගේට්ටු 1 සිට 10 දක්වා ප්‍රමාණයක් අන්තර්ගත චිප් එකක් නිර්මාණය කල විද්‍යාඥයෝ පසුව චිප් එකක් තුල ගේට්ටු 100ක් තැන්පත් කිරීමට සමත් විය. වර්තමානයේ පරිගණක වල ඇති මයික්‍රෝ ප්‍රෝසෙසරයක ට්‍රාන්සිස්ටර් ගේට්ටු මිලියන ගණනක් ඇතුලත් වේ.

පළමුවන පරම්පරාව

(en.wikipedia.org)

පරිගණක වල පළමුවන පරම්පරාවේදී රික්ත නල භාවිත කරන ලදී. ප්‍රමාණයෙන් ඉතා විශාල වූ මෙම පරිඝනක සඳහා කාමර තරම් ඉඩකඩ අවශ්‍ය විය. රික්ත නල බෙහෙවින් රත් වන නිසා ඒවා සිසිල් කිරීමේ උපක්‍රම යෙදීමට පරිගණක නිර්මාණකරුවන්ට සිදු විය. පළමුවන පරම්පරාවේ පරිගණක වලට දත්ත ඇතුලත් කිරීම සදහා පන්ච් කාඩ් භාවිත කෙරුණු අතර තොරතුරු පිට කිරීම මුද්‍රිත පිටපත් මගින් සිදු විය.

දෙවන පරම්පරාව

(kullabs.com)

රික්තක නල වෙනුවට ට්‍රාන්සිස්ටර් ආදේශ වීමත් සමග දෙවන පරම්පරාව ආරම්භ විය. දෙවන යුගයේ පරිගණක වල මිල බෙහෙවින් පහත වැටුණු අතර පරිගණක පළමු පරම්පරාවට වඩා කුඩා වූ අතර වේගවත් විය. ට්‍රාන්සිස්ටර රික්තක නල මෙන් අධික තාපයක් පිට නොකළ නිසා සිසිල් කිරීමට වියදම් දැරීමට සිදුවුයේ නැත. කිසියම් අවශ්‍යතාවයක් ඉටුකරගන්නා අවස්ථාවේදී පරිගණකයට උපදෙස් සැපයීම වෙනුවට පරිගණකයේ උපදෙස් ගබඩා කර තැබීම මෙම යුගයේ ආරම්භ විය.

තුන්වන පරම්පරාව

(edutry.blogspot.com)

තුන්වන පරම්පරාවේ පරිගණක සංයුක්ත පරිපත (IC) මත පදනම්ව ගොඩනගන ලදී. යතුරු පුවරු හා මොනිටර භාවිතයද මෙම යුගයේදී ආරම්භ විය.  මෙම යුගයේ පරිගණක බොහොසෙයින් ලාභදායි වීම, ප්‍රමාණයෙන් කුඩාවීම නිසා වැඩිදෙනෙකුට භාවිතයට ගැනීමේ අවස්ථාව සැලසුනි.

හතරවන පරම්පරාව

(elprocus.com)

සිලිකන් චිප් එකක් තුල දහස් ගණන් සංයුක්ත පරිපථ තැන්පත් කර නිපදවූ මයික්‍රෝ ප්‍රොසෙසර මෙම යුගයේ පරිගණක සදහා භාවිත විය. පරිගණක විශාල වශයෙන් පොදු ජනයා අතර ව්‍යාප්ත වීම ආරම්භ වුයේද මෙම යුගයේදීමය. 1981දි IBM සමාගම විසින් නිවෙස් වල භාවිතය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ප්‍රථම පරිගණකය නිකුත් කරන ලදී.

පස්වන පරම්පරාව

(syazrinda.blogspot.com)

මිනිස් මනසට සමාන පරිගණක නිපදවීම කෙරෙහි පස්වන පරම්පරාවේ අවධානය යොමුව ඇත. පරිගණකය මිනිස් කටහඩ හඳුනාගැනීම, රෝබෝතාක්ෂණය භාවිතය ආදියද වර්තමානයේ දැකිය හැක.

ඉන් ඔබ්බට ගිය මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට සමාන පරිගණක නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක වර්තමාන විද්‍යාඥයින් නියැලී සිටි.

කවරයේ පින්තුරය – Wallpaper-gallery.net

මුලාශ්‍ර: මහින්ද ගුණවර්ධන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය (S & S මුද්‍රණ, 2007), en.wikipedia.org, people.bu.edu, webopedia.com