Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

OnePlusහි නවතම 5T දුරකතනය

2017 කියන්නේ මුහුණත පුරාම තිරය තිබෙන ආකාරයේ දුරකතන ලොවට බිහිව ඒවා වඩාත් ප්‍රචලිත වෙමින්, ස්ථිර වශයෙන්ම ඉදිරි දුරකතන සැලසුම් වලට එම ආකාරයේ තිරයක් අපේක්ෂා කළ යුතු බවට අපට බලාපොරොත්තු ලබාදුන් වර්ෂයයි. කෙතරම් ස්මාර්ට් දුරකතන ලෝකයට නිපදවූවත් ඒ බොහෝමයකම නිෂ්පාදන සමාගම විසින් මූලික ඇන්ඩ්‍රොයිඩ් පෙනුම වෙනස් කරමින් ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති ආකෘතියක් ඊට ඔබ්බවනු ලබනවා. මෙම සුපිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම ගූගල් සමාගම විසින් නිපදවන නූතන පික්සල් දුරකතන (හෝ අතීතයේ, නෙක්සස්) මාදිලියෙන් ලබා ගැනීමට හැකි වුවත් ඒවායේ ඇති මිල, පහසුකම් ආදිය නිසා අනෙකුත් නිෂ්පාදන සමාගම්වල දුරකතන වලට යොමු වන්නට පාරිභෝගිකයාට සිදුවෙනවා. එසේ යොමුවීමේදී එයට ඉතාමත්ම සමාන අත්දැකීමක් ලබාගත හැකි දුරකතනයක් වන One1+ දුරකතන මිලදී ගන්නට මේ වනවිට තරුණ පිරිස බෙහෙවින් නැඹුරුව සිටිනවා.මේ එම සමාගමේ නවතම දුරකතනය වන OnePlus 5T දුරකතනය පිළිබඳවයි.

කවුද මේ OnePlus කියන්නේ?

gadgethacks.com

ඇපල්, සැම්සන්ග්, පික්සල්, LG, Huawei ආදී දුරකතන නාම නිතරම අපට අහන්නට ලැබුණත් බොහෝ දෙනෙකුට මේ oneplus කියන්නේ අලුත් ම නුපුරුදු නමක්. නමුත් ඔබ Oppo දුරකතන ගැන දන්නවා නම්, ඔවුන්ගේ ම පවුලේ තවත් සහෝදර සමාගමක් තමයි වන් ප්ලස් කියන්නේ. ඔපෝ හි උප සභාපති පීට් ලෞ සහ කාර්ල් පෙයි එක්ව 2013 වර්ෂයේ අග භාගයේ අරඹන ලද මෙම සමාගම මේ වන විට BBK ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ උප සමාගම් වන Oppo, Vivo අතරට එක්ව තිබෙනවා. ඔපෝ සහ වීවෝ දුරකතන සමාගම් තිබියදීත් ඔවුන් තවත් නමකින් ස්මාර්ට් දුරකතන සමාගමක් වන වන් ප්ලස් ඇරඹීමේ පරමාර්ථය වන්නේ එම දුරකතන ශ්‍රේණි දෙකට හසු නොවන පාරිභෝගිකයන් පිරිස අල්වා ගැනීමයි.

මෙම වෙළඳ උපක්‍රමය බොහෝ නිෂ්පාදන සිදු කරන සමාගම් වලින් සිදුකරන අතර ඔවුන් ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ තවත් නිෂ්පාදන සමාගමක් වශයෙන් පෙනී සිටිමින් පාරිභෝගිකයන්ට වඩාත් වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබාදීමයි. BBK Electronics සමාගම මෙහිදී වෙනසක් ලෙස සිදුකර ඇත්තේ දුරකතනයේ අභ්‍යන්තර වෙනස්කම් සහ සැලසුම හරහා විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන සහ විවිධ තරාතිරම්වල අය ඉලක්කගත කර ගනිමින් තමන්ගේ නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීමයි.මෙම වෙළඳ උපක්‍රමය අප නිතර භාවිත වන සබන් වර්ග, දත් බෙහෙත් වර්ග ආදියේද අපිට පසුගිය දශක වල නිතර දකින්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම ඔපෝ සහ වන්ප්ලස් අතර සන්නාම වශයෙන් වෙනසක් නොතිබුණත් ඒවායෙන් වෙළඳපොළට නිකුත් වන දුරකතන මාදිලිවල නම් ඇත්තටම විශාල වෙනසක් තිබෙනවා. හැබැයි, ඒවායේ හොඳ නරක තීරණය වෙන්නේ ඔබ දුරකතනය හරහා බලාපොරොත්තු වන දේවල් අනුව පමණයි.

වන් ප්ලස් නාමය යටතේ ඔවුන් ස්මාර්ට් දුරකතන පමණක් නොව, ඒවා සඳහා චීනයට Hydrogen OS සහ අන්තර්ජාතික භාවිතයට Oxygen OS ලෙස මෙහෙයුම් පද්ධති, හෙඩ්සෙට්, පවර් බෑන්ක්, ෆෝන් කවර, ෂර්ට්, බෑග් ද නිපදවනවා.

මෙතෙක් නොතිබූ සුවිසල් තිරයක්

amazonaws.com

වන් ප්ලස් දුරකතන මාදිලිවල මෙතෙක් දුරකතන මුහුණත පුරාම තිරය සහිත ආකාරයේ එකක් බිහිවූ පළමු අවස්ථාව සනිටුහන් වන්නේ One Plus 5T දුරකතනය පසුගිය නොවැම්බර් 16වනදා ලොවට හඳුන්වාදීමත් සමඟයි. One Plus 5 දුරකතනය සාමාන්‍ය ආකාරයේ තිරය වටේ දාරය තිබෙන, ඇඟිලි සලකුණු සංවේදකය සහිත ඉදිරිපස බොත්තම ආදිය සමඟ මේ වසරේම ජුනි මාසයේ එළිදක්වා වැඩි කාලයක් ගත වන්නටත් පෙර නවතම සැලසුම් ශිල්පයට ගැලපෙන ආකාරයේ දුරකතනයක් ඊට වඩා වැඩි නමුත් ආසන්න මුදලකට ලබාදීම වන් ප්ලස් රසිකයන්ගේ නෝක්කාඩුවට ද හේතුවක් වුණා. මොකද ඔවුන් අවුරුද්ද මුල මිලදීගත් දුරකතනය මාස 5ක් යද්දී ම පරණ ප්‍රවෘත්තියක් බවට පත් වෙලා.

වම්පස නවතම 5T දුරකතනය සහ දකුණු පස One Plus 5 දුරකතනය (vox-cdn.com)

‘ඩම්ප්ලිං’ යන අභ්‍යන්තරික කේතනාමයෙන් හැඳින්වෙන මෙම දුරකතනය අඟල් 6ක ඔප්ටික් AMOLED තිරයකින් සමන්විතයි. OnePlus 5 දුරකතනයේ තිබූ අඟල් 5ක දුරකතනයට වඩා එහි දාර ඉවත් කිරීම සහ දුරකතනයේ පළල අඩු කොට උස මඳක් වැඩි කිරීම හරහා ඔවුන් මෙම තිර ප්‍රමාණය වැඩි කිරීම සිදුකර තිබෙනවා. නව දුරකතනයේ බර ග්‍රෑම් 9කින් වැඩිව තිබුණත් භාවිතයේදී 162g ක මුළු බර අතට දැනෙන තරමක්වත් වන්නේ නැහැ. තිර අනුපාතය 16:9 සිට සැම්සන්ග් S8හි ද ඇති 18:9 දක්වා ඉහළ ගොස් ඇති අතර අඟලකට ඇති පික්සල් ප්‍රමාණය නව දුරකතනයේ 401ක් පමණ වෙනවා.

මුහුණ හැඳිනුවාට ආරක්ෂිත නැහැ

cnet.com

ඇපල් අයිෆෝන් X දුරකතනය අන්ලොක් කරන්නට එහි ඇති සිරුරට අහිතක් නොමැති අධෝරක්ත කිරණ උපයෝගී කරගන්නා Face recognition තාක්ෂණය භාවිත කරනවා වගේ නවතම වන් ප්ලස් දුරකතනයේ අගුළු හරින්නටත් එහි කැමරාව භාවිතා කරන්නට පුළුවන්. මෙය, ඇපල් එක තරම් ම සංකීර්ණ නොවුණත් මුහුණ හඳුනාගැනීමේ වේගය ඉතා වැඩි බවයි පැවසෙන්නේ.

මෙසේ හුදෙක් ම ඇඟිලි සලකුණු සංවේදකය සහ PIN අංක ඇතුලත් කිරීම හරහා ඇතිවන කරදරය මැඬීම පිණිස ම ඔවුන් මෙය ඇතුලත් කර තිබෙන අතර දුරකතනය හරහා මුදල් ගෙවීම වැනි ආරක්ෂිත කටයුතු සඳහා මෙම පහසුකම ඔවුන් ලබාදී නැහැ. ඇපල් Xහි ඇති අධෝරක්ත කිරණ තිත් 30,000ක් පමණ මුහුණට යොමා පරීක්ෂාව සිදු කරමින්, ඔබ නැවත නැවත භාවිත කරද්දී මුහුණේ ඇතිවන වෙනස්කම් වලට අනුව එය ස්වයංක්‍රීයව දත්ත යාවත්කාලීන කිරීම කරගත්ත ද වන්ප්ලස් හි එය එතරම්ම ආරක්ෂණය කර නැහැ.–අනෙකුත් ගති ලක්ෂණ

uncrate.com

ඇලුමිනියම් නිමාවකින් සහ ඉදිරිපස තනි වීදුරුවකින් තනා ඇති 5T දුරකතනයේ පසුපස ඇති 16MP සහ 20MP ද්විත්ව කැමරාව අඳුරේදී වුවත් හොඳ ඡායාරූප ගත හැකි ආකාරයේ සවිබලයෙන් යුක්තයි. නමුත් පෙර OnePlus 5 දුරකතනයේ මෙන් භෞතික විශාලනය (optical zooming) මෙහි නොමැති නිසා විශාලනය කර ගනු ලබන ඡායාරූපවල පෙර තරම් පැහැදිලි බවක් දකින්නට නැහැ. ඉදිරිපස 16MP කැමරාව සෙල්ෆි සඳහා මෙන්ම මුහුණු සලකුණු (faceprint) හඳුනාගැනීමේදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පෙර දුරකතනයේ, මුහුණත ඉදිරිපස පැවති ඇඟිලි සලකුණු සංවේදකය දැන් දුරකතනය පසුපසට යොදා තිබෙනවා. දැනට Android 7.1.1 Nougat ධාවනය වන මෙයට ලබන වසරේදී Android 8.0 Oreo පැමිණීමට නියමිතයි.

ජලය කාන්දුවීම පිළිබඳව තක්සේරුවක් නිසිව නැති මෙයට බොහෝ දුරකතනවල වගේ පොද වැස්සක් වැනි ජල පහරකට මුහුණ දීමේ හැකියාව තිබුණත් ජලයේ ගිල්වා වතුර යට ඡායාරූප ගැනීම් වැනි දේවල් කළ හැකැයි විශ්වාසය තබන්නට බැහැ. Octa-core Kryo ප්‍රොසෙසරයක් අඩංගු මෙය අභ්‍යන්තර ධාරිතාව අනුව මාදිලි දෙකකින් යුතු අතර 128 GBහි 8 GB RAM එකක් ද 64 GB මාදිලියේ 6 GB RAM එකක් ද අඩංගුයි. ඒ අනුව පෙර දුරකතනයේ අභ්‍යන්තරික හැකියාවන් ම මෙයට යොදා ඇති බව පෙනී යනවා.

androidauthority.net

දැනට කළු පැහැයෙන් පමණක් වෙළඳපොළට නිකුත් කර ඇති 5T දුරකතනයේ වේගය අතින් ඉහළ වගේ ම Galaxy S8 හෝ LG G6 දුරකතන වලටත් වඩා බැටරි බලය ආරක්ෂා වෙමින් එදිනෙදා භාවිතයට හොඳ සවිබලයක් සපයනවා. One Plus සඳහාම විශේෂිත වේගවත් ආරෝපණ තාක්ෂණයක් වන Dash charge ක්‍රමවේදය හරහා දුරකතනයට අඩු කාලයකින් වැඩි ආරෝපණයක් ලබා ගැනීමට ද හැකිවන අතර 3.5mm ශ්‍රව්‍ය සම්බන්ධකය තිබෙන නිසා නිතර ගෙදර නොරැඳෙන කෙනෙක්ට වුවත් මෙය භාවිතයට පහසු වෙනවා.

කවරයේ ඡායාරූපය: fonearena.com

Related Articles