Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ ව්‍යාපාරය නව මානයන් කරා ගෙන යාමට Venture Engine 2017

ව්‍යවසායකයෙක් විදිහට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන එක සෑහෙන අමාරු වෙන්න පුළුවන්. ආයෝජකයන් සොයා ගන්න තියෙන කරදර බාධක ජයගන්නත්, ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය අත්දැකීම් ලබා ගන්න හා උපායමාර්ග ඉගෙන ගන්නත්, තමන් අලුතෙන්ම පිවිසුණු ක්ෂේත්‍රයක් ඇතුලේ ව්‍යාපාරයක් විදිහට ස්ථාවර වෙන්නත් තරමක් මහන්සි වෙන්න වෙනවා.

කොහොම නමුත් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර පණගන්වා ගන්න අවශ්‍ය මූලික පදනම සකසා දෙන්නත්, දැනට තමන්ගේ ස්වශක්තියෙන් පුළුවන් වූ ප්‍රමාණයට වඩා ඒ ව්‍යාපාර පුළුල් කරගන්නත් පීඨිකාවක් සකසා දෙන වැඩසටහන් පවතිනවා. ඒ වගේ එක් වැඩසටහනක් තමයි Venture Engine කියන්නේ. 2012 අවුරුද්දේ ඇරඹුණු මේ ව්‍යවසාය වැඩසටහනේ අරමුණ වෙන්නේ සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නගා ගන්න විවිධ පැතිකඩවලින් අවශ්‍ය උපකාර ව්‍යාපාර නිර්මාණකරුවන් වෙත ලබා දෙන එකයි.

Venture Engine වැඩසටහන Blue Ocean Ventures සහ Indian Angel Network කියන ව්‍යාපාරික ජාල දෙකේ සහයෝගීත්වයෙන් බිහි වුණු එකක්. එය ආයෝජකයන් වෙත ඍජුවම ප්‍රවේශය ලබා දෙන, ඒ වගේම ව්‍යවසායකයන්ගෙන්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් හා උපදේශකයන්ගෙනුත් සැදුම් ලත් වැඩසටහනක්. මේ නිසා මේ වැඩසටහනට සහභාගී වෙන ව්‍යාපාරවලට ආයෝජන ලබා ගන්න සමත් වුණත් නැතත් ඔවුන්ට මිල කළ නොහැකි දැනුම් සම්භාරයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

ව්‍යවසායකයන්ට තමන්ගේ අදහස් ආයෝජනය කරන්න බලාගෙන ඉන්න පිරිස් වෙත ඍජුවම ඉදිරිපත් කරලා ඊට ලැබෙන ප්‍රතිචාර, යෝජනා ආදිය ඇසුරින් ව්‍යාපාරික සැලසුම් වැඩිදියුණු කර ගන්න අවස්ථාව තිබෙනවා. මේ වැඩසටහනට සහභාගී වෙන හැම ව්‍යවසායකයෙක්ම ආපසු එන්නේ වඩාත් සාර්ථක ව්‍යාපාරික සැලසුම් සහ සමහර විට ව්‍යාපාරය වර්ධනය කර ගන්නට අවශ්‍ය ප්‍රාග්ධනය පවා සොයාගෙනයි.

Venture Engine 2016 වැඩසටහනේ තෝරා ගැනීමේ තරඟයක අවස්ථාවක්. (daily mirror)

වැඩසටහන පැවැත්වෙන ආකාරය

Venture Engine වැඩසටහන බලාපොරොත්තු වෙන්නේ තනිකරම අදහසක් මට්ටමේ පවතින ඒවා නෙවෙයි, ඊට තරමක් එහාට ගිය ව්‍යාපාරයි. මෙයට සහභාගී වෙන්න දැනටමත් ආදායම් උපයන සහ/හෝ දැනටමත් පාරිභෝගිකයන් (සේවාවක් නම් පරිශීලකයන්) දෙදෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින ව්‍යාපාරයක් වෙන්න අවශ්‍යයි.

ඒ සුදුසුකම් තිබෙන ව්‍යාපාරවලට පුළුවන් මේ වැඩසටහනට අයැදුම්පත් යොමු කරන්න. වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටයි.

  • ආරම්භය – මේ වැඩසටහන ජූනි 28 වැනිදා ආරම්භ වුණේ ව්‍යාපාර සැලසුම් එවන්නට කරපු ආරාධනාවකින්. දැනට පවතින, වැඩිදියුණු කර ගන්න කැමති ව්‍යාපාරයක් හිමි ඕනෑම කෙනෙකුට මේ සඳහා එකතු වෙන්න අවස්ථාව ලබා ගන්න පුළුවන්. අයැදුම්පත් භාර ගන්න අවසන් දිනය වන්නේ අගෝස්තු 9 වැනිදායි.
  • ව්‍යාපාරය පැහැදිළි කිරීම – මේ විදිහට ලැබෙන ව්‍යාපාරික සැලසුම් ආයෝජක මඩුල්ලක් මගින් තේරීමකට ලක් කෙරෙනවා. හොඳම ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කරන අයට තමන්ගේ ව්‍යාපාරය ගැන පැහැදිළි කරන්න විනාඩි දෙකක කාලයක් ලැබෙනවා. මේ අවස්ථාව ලබා ගත හැකි ව්‍යාපාරික සැලසුම් ගණන සීමා කරලා නැහැ.
  • වැඩමුළු – හොඳම ව්‍යාපාරික සැලසුම්වලට උපදේශකයන් (mentors ලා) එක්ක වැඩමුළුවට සහභාගී වෙලා ඊළඟ වටයට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා.
  • දෙවන වටය – මේ වටයේදී ව්‍යවසායකයන් තමන් වැඩමුළුවේදී ලබා ගත් දැනුමිනුත් සන්නද්ධ වෙලා වඩාත් ආකර්ෂණීයව තමන්ගේ ව්‍යාපාරය ආයෝජකයන් වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. (තමන්ගේ බිස්නස් එක හොඳින් Pitch කරන්න පුළුවන්) හොඳම ව්‍යාපාර අවසන් තරඟය සඳහා තෝරා ගැනෙනවා. අවසන් වටයට සහභාගී විය හැකි ව්‍යාපාර ගණනටත් සීමාවක් දාලා නැහැ.
  • අවසන් තරඟය – තෝරා ගැනුණු ව්‍යවසායකයන්ට දේශීය වගේම විදේශීය ආයෝජක මණ්ඩලයක් ඉදිරියේ තමන්ගේ ව්‍යාපාර යෝජනාව හොඳින් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉන් පස්සේ ප්‍රශ්න හා පිළිතුරු වටයක් පැවැත්වෙනවා. අවසාන වශයෙන් ජයග්‍රහණය කරන හොඳම ව්‍යාපාරක සැලසුම් තුනටම ප්‍රධාන ත්‍යාග හිමි වෙනවා.
  • ආයෝජන – මේ මුළු වැඩසටහන පුරාවටම ඊට සහභාගී වෙන ව්‍යවසායකයන් හඳුනාගෙන, ඔවුන්ගේ ව්‍යාපාරවල ආයෝජනය කරන්නට ආයෝජකවරුන් දිරිමත් කිරීම සිදු වෙනවා. අවසන් තරඟයේ ජයග්‍රහණය කරනවාද, නැද්ද කියන එක සැලකිල්ලට නොගෙන තමන්ගේ තේරීම මත හොඳ ව්‍යාපාරවල ආයෝජනය කරන්න ඔවුන්ට පුළුවන්. ව්‍යවසායකයන්ටත් තමන් වෙත ආයෝජනය කළ යුත්තේ කවර ආයෝජකයාද කියා තෝරා ගන්න සම්පූර්ණ නිදහස හිමි වෙනවා.

ඒ වගේම විශේෂ අංශයකිනුත් සම්මානයක් දිනා ගන්න අවස්ථාව තිබෙනවා, ඒ තමයි සමාජයට සිදු වන සේවය සැලකිල්ලට ගැනෙන Impact Award එක. සමාජය වෙත ධනාත්මක වෙනසක් කරන්න සමත් හොඳම ව්‍යාපාරයට මේ සම්මානය හිමි වෙනවා.

Venture Engine 2014 වැඩසටහනේ විනිසුරු මඩුල්ල සාකච්ඡාවක. (Sunday Times)

සහභාගීත්වය නිසා හිමි වන ප්‍රතිලාභ

Venture Engine 2017 සඳහා සහභාගී වීමෙන් පමණක් වුණත් ව්‍යවසායකයන්ට ලබා ගත හැකි ඉතාම සුවිශේෂී වරප්‍රසාද බොහොමයි. අවසන් තරඟයෙන් ජයග්‍රහණය ලබන්නේ ව්‍යාපාර තුනක් පමණක් වුණත් වැඩසටහනට සහභාගී වෙන සියලුම දෙනාට ඉතා වටිනා පුහුණු අවස්ථාවන් සහ ගුරුහරුකම් ලබාගෙන තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගන්න අවශ්‍ය දැනුම හොඳින් ලබා ගන්න පුළුවන්. මේවාට:

  • ව්‍යාපාර සැලසුම් කරන ආකාරය ගැන දැනුම ලැබීම.
  • තමන්ගේ ව්‍යාපාර සැලසුම් ආයෝජකයන්ට ආකර්ෂණීය ලෙස සකස් කර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබා ගැනීම.
  • ආයෝජකයන් හඳුනා ගැනීම.
  • සාර්ථක ව්‍යවසායකයන් දැන හඳුනා ගැනීම.
  • විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ අදහස් ලබා ගැනීම.
  • තමන්ගේ ව්‍යාපාරික ආකෘතිය ගැන විචාරයක් ලබා ගැනීම.
  • පෞද්ගලික කොටස් ආයෝජක සමාජය සමග සම්බන්ධ වීමට හැකි වීම.
  • මාධ්‍ය ආවරණය ලැබීම.

ආදිය ඇතුලත් වෙනවා.

මෙහි පැවැත්වෙන වැඩමුළුවලදී ගිණුම්කරණය සහ මූල්‍ය අංශය, ප්‍රාග්ධන ලැබීමේ චක්‍රය, කොටස් හිමිකරු එකඟතාවන්, මිල කිරීම, ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම ඇතුළුව අලුතින් ව්‍යාපාරයක් අරඹන අයට අවශ්‍ය වෙනත් බොහෝ නීතිමය සහ තාක්ෂණික කාරණා ගැන දැනුම ලබා ගන්න පුළුවන්.

Venture Engine වැඩසටහන 2012 දී ආරම්භ වීමෙන් පසුව මේ දක්වා බොහෝ දෙනා දන්නා ව්‍යාපාර ගණනාවක් මේ වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා වගේම දේශීය ව්‍යාපාර 25ක් රුපියල් බිලියන 2 කටත් වඩා වැඩි සමස්ත ප්‍රාග්ධනයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. බොහෝ දෙනාට ඒවා අහපු ගමන්ම හඳුනා ගන්න පුළුවන් වේවි; Omak Technologies, Takas.lk, Saraii, Glitteray, ZigZag.lk, Zacki Herbals, සහ Direct2Door මීට ඇතුළත්.

අයැදුම්පත් යොමු කිරීම

අනෙක් ව්‍යාපාරිකයන් හඳුනා ගැනීම සහ ව්‍යාපාරික එකමුතුවේ සාමාජිකයෙක් වෙන එක අලුතින් ව්‍යාපාර අරඹන්න හිතන ව්‍යවසායකයන් හට හරිම වැදගත්. ඒකට මේ වැඩසටහනේදී ලැබෙන උපදෙස් සහ අත්දැකීම් ආදියත් එකතු වුණාම Venture Engine කියන්නේ තමන්ගේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යන්න හිතන කාටත් සහභාගී වෙන්න ලැබෙන හොඳම පීඨිකාවක්. මෙවර වැඩසටහන වඩාත් සුවිශේෂී වන්නේ මීට සමගාමීව Asian Business Angels Forum එකත් පළමු වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන නිසා ඉතා විශාල අන්තර්ජාතික ආයෝජක පිරිසක් වෙත තමන්ගේ ව්‍යාපාරය ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාවයි.

මේ වැඩසටහනට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන ව්‍යවසායකයන්ට Venture Engine වෙබ් අඩවියට පිවිසිලා මේ වැඩසටහන ගැන වැඩිදුර තොරතුරු දැන ගන්නත්, පසුගිය අවුරුදුවල ජයග්‍රාහකයන් ගැන දැන ගන්නත් අවස්ථාව තිබෙනවා. මීට අමතරව සියලුම ව්‍යවසායකයන්ට අවශ්‍ය වෙන මූල්‍ය මගපෙන්වීම් සහ තමන්ගේ ව්‍යාපාරය ඉදිරිපත් කරන ආකාරය ප්‍රගුණ කරන්නටත් වටිනා තාක්ෂණික උපදෙස් විශාල ප්‍රමාණයක් මෙහි අඩංගුයි.

ඔබත් ඔබේ අයැදුම්පත් අගෝස්තු 9 වැනිදාට පෙර [email protected] වෙත යොමු කළොත් Venture Engine 2017 වෙත සහභාගීත්වය ලබාගෙන ඔබේ නව ව්‍යාපාරය සාර්ථකත්වයට පත් කරගන්න අවස්ථාව ලැබේවි.

Roar ටෙක් Venture Engine 2017 වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරයි.

කවරයේ රූපය: techoday.lk

මෙම ලිපිය Roar Tech හි ඉංග්‍රීසි බසින් පළ වූ මුල් ලිපියේ සිංහල අනුවාදයකි.

පරිවර්තනය:-  ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles