Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල යුනිකේත සමඟ ලාංකීයයන් ආ ගමන් මඟ

පසුගිය දශකයේදී පරිගණකයේයි, දුරකථනවලයි සිංහල පෙනෙන්නේ නැතිවීම අපිට තිබුණු ලොකු ප්‍රශ්නයක්. ඉංග්‍රීසි ෆොන්ට්වල ආකෘතියට ම සිංහල ෆොන්ට් හදලා ඒවායෙන් MS Word වැනි ඒවායේ භාවිතා කරන්නට හැකි වුණත් සිංහල භාෂාවේ සංකීර්ණත්වය නිසා ඒ සඳහා විශේෂ තෙවන පාර්ශවීය මෘදුකාංග භාවිතා කළ යුතු වුණා. අන්තර්ජාලය තුළ සිංහල අකුරු ටයිප් කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. වෙබ් අඩවිවලත් එසේ සකසන ලද ෆොන්ට් භාවිතා කළාම ඒවා බලන්නට ඔවුන් භාවිතා කළ ෆොන්ට් එක අපිට ඉන්ස්ටෝල් කරගන්නට සිදුවුණා. මේ නිසා සිංහල වෙබ් අඩවි 10කට විතර ගියා ම ෆොන්ට් දහයක් පහළොවකුත් දාගන්න සිද්ධ වෙනවා.

යුනිකේත ක්‍රමය ලොවට සම්භවය වීමත් සමඟ විවිධ රටවල පාලි, සංස්කෘත, හින්දි, චීන වැනි සංකීර්ණ භාෂාවලට පරිගණකකරණය සඳහා අවස්ථාව ලැබුණු අතර ඊට සිංහල භාෂාව එක් කරන්නට අපේ රටේ බොහෝ දෙනෙක් තම දායකත්වය ලබා දුන්නා. මේ නිසා සිංහලෙන් බ්ලොග්කරණයට, forum භාවිතයට අපේ රටේ අයටත් අවස්ථාවක් ලැබුණේ විශාල වශයෙන් මව් බසින් දැනුම අන්තර්ජාලය වෙත හුවමාරු වෙමිනුයි. එය එසේ නො වන්නට අද ඔබට Roar සිංහල වෙබ් අඩවිය දකින්නට නො ලැබෙන්නටත් ඉඩ තිබුණා.

සිංහල යුනිකේතවලට පෙර යුගය

යුනිකේත නොවන ෆොන්ට් වින්ඩෝස් මතදී පූර්වදර්ශනය වන ආකාරය

ශ්‍රී ලාංකියකයන් අතලොස්සක් පමණ පරිගණකයකට උරුමකම් කී සමයේ, එනම් වර්ෂ 1985 කාල වකවානුවේදී තොරතුරු තාක්ෂණය සඳහා වූ කවුන්සිලය (CINTEC) පරිගණක සඳහා සිංහල හා දමිළ අකුරු ගෙන ඒම හරහා ශ්‍රී ලංකාව තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයක් ඇති කළ හැකි බව දැන, ඒ සඳහා කමිටුවක් පත් කළා.

ඕස්ට්‍රේලියාවේ ස්ප්‍රිංවේල් විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමියන්ගේ අදහසක් අනුව 1987දී ‘බොදු පුවත්’ නමින් මාසික සඟරාවක් නිකුත් කරන්නට මුල පිරුණා. එහෙත් මෙය ඉටු කරගන්නට ප්‍රමාණවත් පරිගණක අකුරුකරණ පහසුකම් නොතිබුණු අතර එකල තිබූ ඩිස්ක මෙහෙයුම් පද්ධතියේ (DOS) භාවිතා වූ මෘදුකාංගයක් වන WordPerfect සඳහා ‘ලිහිල්’ නමින් ෆොන්ටයක් නිර්මාණය කරන්නට ජයන්ත ද සිල්වා මහතා කටයුතු කළා. එහි අකුරු සැකැස්ම ක්‍රියා කළේ සිංග්ලිෂ් ආකාරයට යි.

80 දශකය අගභාගයේ සහ 90 දශකයේදී සිංහල සහ දමිළ අකුරු පරිගණකවල භාවිතා කිරීම ඔප්නැංවීම සඳහා විවිධ පාර්ශවයන්ගේ විශාල දායකත්වයක් දකින්නට ලැබුණා. මුලදී Super77 ලෙස හැඳින්වුණු සහ පසුව ‘තිබස් ත්‍රෛ භාෂා’ නම්වූ ලාංකේය වදන් සකසුවක් 1988දීත්, 1990දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‘වදන් තරුව’ නමින් ප්‍රථම වාණිජ්‍යමය සිංහල වදන් සකසුවක් ද නිමැවුණු අතර ඒ හරහා සිංහල භාෂාව වෙනුවෙන් පරිගණක ක්‍රමලේඛ තනන්නට අපේ රටේ මෘදුකාංග සංවර්ධකයන්ට උත්තේජනයක් ලැබුණා.

True Type Font (TTF) ආකාරයේ අකුරු විලාසයක්වූ Kandy ෆොන්ටය සිංහල තොරතුරු තාක්ෂණවේදයේ උන්නතිය වෙනුවෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ නිරංජන් මීගම්මන මහතා අතින් අක්ෂර සම්මතයකින් තොරව නිමැවුණු අතර එය Sinhala Word නම් මෘදුකාංගයේ දමිළ භාෂාව ද සමඟ අන්තර්ගත කෙරුණා.

සම්මත විජේසේකර යතුරු පුවරු වින්‍යාසය (ucsc.cmb.ac.lk)

සිංහල භාෂාවේ ඉහළ අකුරු සංඛ්‍යාව, සංකීර්ණ අක්ෂර භාවිතා රටාවන් නිසා ඉංග්‍රීසි යතුරු පුවරුව හරහා සිංහල භාවිතා කිරීම අපහසු කරුණක් වුණා. මේ නිසා නව යතුරු පුවරුවක් තනනු වෙනුවට ටයිප් රයිටරවල ද භාවිතා වෙමින් තිබුණු සම්මත ‘විජේසේකර යතුරු පුවරු වින්‍යාසය’ ඉංග්‍රීසි QWERTY පරිගණක යතුරු පුවරු සඳහා ආදේශ කෙරුණා. මෙහි ‘අ’ අකුරට යතුරු පුවරුවේ ‘w’ යතුර භාවිතා කෙරුණු අතර ෆ, ඥ වැනි විශේෂ අකුරු සඳහා ඉලක්කම් පේළිය හා අනෙකුත් විරාම ලක්ෂණාදිය සහිත යතුරු භාවිතයට ගැනුණා.

මේ සමඟ 1998දී පමණ විජේසේකර යතුරුපුවරු ආකෘතිය සඳහා අප නිතර භාවිතා කරන පරිගණක අකුරු විලාසයක් වන FM-Malithi ෆොන්ටය පුෂ්පානන්ද ඒකනායක මහතා අතින් දායාද වුණේ එකල දැනුම සපයා ගැනීමට තිබූ දැඩි අවහිරතාවන් ද මධ්‍යයේ යි.

සිංහල යුනිකෝඩ් ආගමනය සහ අන්තර්ජාලය

සිංහල ෆොන්ට් එකකින් කොහොම හරි වර්ඩ්වලට අකුරු ටික අමුණලා document එකයි, ෆොන්ට් ෆයිල්ස් ටිකයි හුවමාරු කරගන්න අපි පුරුදු වෙලා හිටියත් අන්තර්ජාලය සහ වෙබ් අඩවි කියන මාතෘකාවට එද්දී ඒක තවත් කරදරකාරී කථාවක් බවට පත්වුණා. මුල්කාලීන පුරෝගාමී සිංහල වෙබ් අඩවි වුණු කපුටා.com, සිංහලයා.com ආදී වෙබ් අඩවි වල සිංහල වචනවලින් මෙනු සබැඳි ආදිය යොදද්දී ඔවුන්ට ඒ සඳහා අකුරු යොදා සැකසූ ඡායාරූප භාවිතා කරන්නට සිදු වුණා. ඒ කාලයේ අන්තර්ජාල සේවා සපයන්නන් ලබාදුන් වේගසීමා ඉතා ම අඩුවූ බැවින් ඡායාරූප භාවිතය එතරම් හොඳ පරිශීලක අත්දැකීමක් ලබා දුන්නේ නැහැ. ඒ වගේ ම දිනමිණ, ලංකාදීප වැනි පුවත්පත්වල වෙබ් අඩවි ඔවුන්ගේ ම ෆොන්ට භාවිතා කළ බැවින් ඒවා පරිහරණයේදී නිතර එම ෆොන්ට් පරිගණකයට ස්ථාපනය කරගන්නට සිදුවුණා.

පරිගණක මත

යුනිකේත නිසිආකාරව දර්ශනය නොවන විට දක්වන කොටු සලකුණු (imgur.com)

පසුකාලීන මෙහෙයුම් පද්ධති යුනිකෝඩ් තාක්ෂණය සඳහා සහාය දැක්වීමත්, ICTA ආයතනය Sinhala Tamil IME මෘදුකාංගය හඳුන්වාදීමත් සමඟ පරිගණකයේ සිංහල භාවිතය වඩාත් පහසු වුණා. බොහෝ සිංහල වෙබ් අඩවි ද ක්‍රම ක්‍රමයෙන් සිංහල යුනිකෝඩ් තම වෙබ් අඩවිවල භාවිතයට පටන් ගැනුණත් ෆොන්ට් ඉන්ස්ටෝ්ල් කරන්නට සිදුවුණු ප්‍රශ්නය එලෙසම පැවතුණා. මොකද, මුල් කාලයේදී මෙහෙයුම් පද්ධති හරහා සිංහල ෆොන්ට පෙරනිමි වශයෙන් පැමිණියේ නැති නිසා වෙබ් අඩවි වලට ගියා ම අකුරු පෙනුනේ කොටු කොටු වගේ යි. එනිසා Bhasha ආයතනය විසින් Sett deco නමින් විකේතකයක් ද නිපදවා වෙබ් අඩවිවල භාවිතා කරන්නට මුල් කාලයේදී නොමිලේ ලබා දුන්නා. ඒ හරහා ෆොන්ට නැතිව වුවත් සිංහල අකුරු දකින්නට හැකියාව ලැබුණා.

Linux සඳහා ලංකා ලිනක්ස් පරිශීලක සමූහය (LKLUG) විසින් LKLUG නමින් සිංහල යුනිකෝඩ් ෆොන්ටයක් හඳුන්වා දුන් අතර iBus හරහා සිංහල ටයිප් කිරීමට ද පරිශීලකයන්ට අවස්ථාව උදා වුණා. ඊට සමගාමීව මයික්‍රොසොෆ්ට් ආයතනය හා ඇපල් ආයතනය ද තම මෙහෙයුම් පද්ධති සඳහා සහාය ලබාදුන් අතර මයික්‍රොසොෆ්ට්හි Iskola Pota ෆොන්ටය ද ඒ හා නිකුත් කෙරුණා. MacOSහි Lion (10.7) වෙළුමේ සිට සම්මත විජේසේකර වින්‍යාසය හා Malithi Web ෆොන්ටය ලබා දුන් අතර Windows 8 සමඟ ඉස්කෝල පොත ෆොන්ටයට වඩා හොඳ පෙනුමක් ඇති සිංහල යුනිකෝඩ් ෆොන්ටයක් වන Nirmala UI හඳුන්වාදෙනු ලැබුවා. මේ වන විට ලිනක්ස්, වින්ඩෝස් සහ මැක් යන ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුනෙහි ම පරිශීලක අතුරුමුහුණත (UI) පවා සම්පූර්ණයෙන් සිංහල බසට පරිවර්තනය වී තිබෙනවා.

LibreOfficeහි සිංහල LKLUG ෆොන්ටය දිස්වන ආකාරය (imgur.com)

යුනිකෝඩ් මගින් සිංහල ටයිප් කිරීමේදී Photoshopවල තවමත් සාවද්‍යතා ඇති නමුත් කොළඹ විශ්ව විද්‍යාලය හඳුන්වාදුන් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කිරීමෙන් යුනිකේත සාමාන්‍ය ෆොන්ටයක් වෙත පරිවර්තනය කරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ ම විජේසේකර යතුරු පුවරුව නුහුරු නම් සිංග්ලිෂ් හරහා ලියා යුනිකේතයෙන් එය ලබාගන්නට Google ආදාන මෙවලම් භාවිතා කරන්නට පුළුවන්.

ස්මාර්ට් දුරකථන යුගය

ඇපල් දුරකථන සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වැඩිපුර ශ්‍රී ලාංකේය අත්වලට ලැබෙද්දී ඒවාට මුල්කාලීන පරිගණකවලට අත්වූ ඉරණම ම දකින්නට ලැබුණා. සිංහල වෙබ් අඩවිවලට පිවිසීමේදී නිසි ආකාරව අකුරු නොපෙනීම නිසා දුරකථනය root කර හෝ jailbreak කර සිංහල ෆොන්ට දාගන්නට සිදුවූ අතර එසේ කිරීමෙන් දුරකථනයේ වගකීම අහෝසි වන නිසා බොහෝ දෙනෙක්ට ඉන් භාවිතයේදී අපහසුතා ඇතිවුණා.

පැරණි ඇන්ඩ්‍රොයිඩ් වෙළුමක Helakuru ධාවනය වන ආකාරය (imgur.com)

iOS4 සහ පසුකාලීන ඇන්ඩ්‍රොයිඩ් වෙළුම් හරහා සිංහල සහාය මෙන් ම පරිශීලක අතුරුමුහුණත ද සිංහලට හැරවුණු අතර ටයිප් කිරීමේදී Helakuru වැනි ඇප් එකක් භාවිතා කරන්නට තවමත් සිදු වෙනවා. සැම්සන්ග්, හුවාවි වැනි වෙනස් කරන ලද ඇන්ඩ්‍රොයිඩ් වෙළුම් භාවිතා කරන සමාගම් සිංහල හෝඩිය ඍජුව යෙදූ යතුරුපුවරු ලබා දෙන නමුත් සිංග්ලිෂ් හෝ විජේසේකර යතුරුපුවරු භාවිතයට හුරුවූවන්ට එය බාධාවක්. මුලදී හෙළකුරු ඇන්ඩ්‍රොයිඩ් සඳහා පමණක් සීමාවී තිබුණත් දැන් එය iOS සඳහා ද ලබාදී තිබෙනවා.

මේ අපූරු ඉතිහාස කතන්දරය තුළ ඔබේ අත්දැකීම් කොහොමද? සිංහල යුනිකෝඩ් තව දියුණු වෙන්නට ඕනෑ ද? Comment එකකින් ඒ ගැන අපිත් එක්ක බෙදාහදා ගන්න.

මූලාශ්‍ර:

  1. island.lk
  2. දිනමිණ
  3. Wikipedia

Related Articles