ශ්‍රී ලංකාව ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රටක් බව ලිඛිතව මෙන් ම භෞතිකව ද රට පුරා ඇති පුරාවස්තු සහ අතීත ගොඩනැගිලි මොනවට කියා පානවා. වී පැදුරක් වේලගන්න බැරි තරම් රහතුන් හිටි බව වගේ ම පොළවට උදලු පාරක් ගැහුවොත් පුරා වස්තුවක් හමු නොවී තිබෙන්නේ නැති බවත් කට වහරේ සඳහන් වෙනවා. දැනට හමුවී ඇති ස්ථාන වලින් ලාංකේය ඉතිහාසය ගොඩනැගීමට විශාල පිටිවහලක් ලැබී ඇති අතර සොයා නොගත් සහ විනාශව ගිය ස්ථාන ඕනෑ තරම් රට පුරා ම තිබෙනවා.

ජනතාවගේ නොදැනුවත් බව, නොසැලකිලිමත්කම මෙන් ම සොරුන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටත් දැනට සොයාගෙන ඇති ස්ථාන රැක ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා. එවන් ආපදා වලින් පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගත්තත් ස්වාභාවික ඛාදනයන් නිසා එම උරුමයන් අපෙන් ගිලිහී යමින් පවතිනවා. එම නිසා ප්‍රතිසංස්කරණය කිරීමේ පහසුව උදෙසාත්, අනාගත පරපුරට ඒවායේ සැලසුම මුල් ආකාරයෙන් ම රැකදීම සඳහාත් දැඩි අවශ්‍යතාවයක් උද්ගතවී තිබෙනවා. විශේෂයෙන් පුරා වස්තූන් වඩාත් හොඳින් අධ්‍යයනය කිරීම හරහා අතීතය වෙත කාලතරණය කරගන්නට අද අපට නැති තාක්ෂණය මතු දිනයේ ලැබෙන තෙක් මේ සම්පත් සංරක්ෂණය කරගැනීම අත්‍යාවශ්‍ය යි.

මෙවන් පසුබිමක් යටතේ අද ලොව සතු ත්‍රිමාණ පරිලෝකන හැකියාවන් සහ පරිගණක සිතියම් ගත කිරීමේ තාක්ෂණයන් භාවිතා කරමින් දැනට ඉතිරිව ඇති ආකාරයෙන් හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන සිතියම් ගත කොට මතු පරපුරට රැකදීමට හැකියාව තිබෙන බව ලාංකේය පර්යේෂක කණ්ඩායමකට වැටහී ගියා.

අපේ උරුමය ඩිජිටල්කරණය

ව්‍යාපෘති කණ්ඩායම සීගිරිය පරිලෝකනයට සැරසෙමින් (RCS2 Technologies)

ශ්‍රී ලාංකික ත්‍රිමාණ මුද්‍රණ ආයතනයක් වන RCS2 Technologies විසින් ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණ සංවිධානය (CSIRO) හා අත්වැල් බැඳගෙන මොරටුව සරසවියේ ද සහාය ඇතිව අපේ උරුමය ඩිජිටල්කරණය (Digitizing Our Heritage) නමින් ව්‍යාපෘතියක් අරඹනු ලැබුවා. ඒ යටතේ පෘෂ්ඨික සිතියම්කරණ (Hover map) තාක්ෂණය භාවිතා කරමින් දේශීය පුරාවිද්‍යාඥයන්ට ලංකාවේ පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීම පහසු කරලීම සඳහා එම ස්ථාන පරිගණක සිතියම් ගත කර ත්‍රිමාණ මුද්‍රණය සිදු කරනවා. මේ සඳහා නූතන ඩ්‍රෝන තාක්ෂණයත් භාවිතා කර ගැනෙන අතර ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ සීගිරිය, ථූපාරාමය, ඉසුරුමුණිය, පොළොන්නරුව වටදාගෙය, ගාලු කොටුව සහ මුදුකොණ්ඩපොල, නිකසලනුවර, කන්දෙමැදගම පරිලෝකනය කරනු ලබනවා.

CSIROහි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ නවින්ද කෝට්ටගේ මහතා විසින් මූලිකත්වය ගෙන කටයුතු කරන මෙම ව්‍යාපෘතිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මහාචාර්ය සමිත මානවඩු මහතාත්, මොරටුව සරසවිය වෙනුවෙන් ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුලෝචන සූරියාරච්චි මහතාත්, RCS2 Technologies ආයතනය වෙනුවෙන් රන්දිම බණ්ඩාර මහතාත් සහභාගී වන අතර ඩ්‍රෝනය ක්‍රියාකරවීමට ප්‍රසාද් දේවින්ද මහතා සහාය වෙනවා.

පෘෂ්ඨික සිතියම්කරණ තාක්ෂණය

පෘෂ්ඨික සිතියම්කරණයට භාවිතා කරන ලිඩාර් උපකරණය (RCS2 Technologies)

CSIRO විසින් නිපදවනු ලැබූ Hovermap හෙවත් මතුපිට පෘෂ්ඨය සිතියම් ගත කිරීම සඳහා රේඩාර් තාක්ෂණයට සමාන ක්‍රියාවලියක් භාවිතා කෙරෙනවා. රේඩාර් වලදී ශබ්ද තරංග භාවිතා වූවත් මෙහි භාවිතා වන ලිඩාර් (LiDAR) තාක්ෂණයේදී ඒ වෙනුවට ආලෝක තරංග (ලේසර් කිරණ) භාවිතා කෙරෙනවා. ඩ්‍රෝනයකට සබඳා හෝ අතේ තබාගෙන භාවිතා කළ හැකි ඉහත ඡායාරූපයේ දැක්වෙන ලිඩාර් උපාංගය මගින් සිරස් අතට අංශක 360ක් ආලෝක තරංග නිකුත් කරමින් අවට පරිසරය පිළිබඳ දත්ත රැස් කරගන්නා අතර එය භ්‍රමණය කරවීමෙන් සිරස්ව මෙන් ම තිරස්ව ද ගෝලයක් වශයෙන් සම්පූර්ණ පරිසරය ම ආවරණය කරගත හැකි වෙනවා.

ලිඩාර් තාක්ෂණය උන්නතාංශ සිතියම් සඳහා මෙන් ම රියදුරු රහිත රථවල අවට පරිසරය හඳුනාගැනීම සඳහා ද යොදා ගැනෙනවා.

ජේතවනාරාමය පරිගණක සිතියම් ගත කිරීමෙන් පසු දැක්වෙන ආකාරය (RCS2 Technologies)

අංශක 360ක ඡායාරූප ගත හැකි කැමරා මේ දිනවල බහුල වුවත් ලිඩාර් හරහා අඩු ආලෝක මට්ටම් මෙන් ම රාත්‍රියේදී වුව සිතියම් ගත කර ගැත හැකි නිසා කාල වේලාවේ සහ ස්ථානයේ බාධාවකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගැනීමට හැකි වෙනවා. සීගිරිය සහ දඹුළු ලෙන ආශ්‍රිත සිතියම්කරණයේදී මේ පහසුකම විශේෂයෙන් දායකවූවා. Hovermap සඳහා CSIRO නිපදවූ මෘදුකාංගය හරහා මෙසේ ගැනෙන ඡායාරූප ත්‍රිමාණව අධ්‍යයනය කිරීමටත් ගන්නා ලද තනි සිතියම් එක් කොට විශාල ප්‍රදේශයක එක් සිතියමක් එන පරිදි පහසුවෙන් සකසා ගැනීමත් සිදු කර ගත හැකි අතර එසේ එක් කිරීමේදී තනි සිතියම් දෙකක් අතර ඇති වෙනස්කම් හඳුනාගැනීමට ද එම තාක්ෂණය සමර්ථ වෙනවා.

අභ්‍යන්තර කැණීම්, ගොඩනැගිලි සංවර්ධනය කරන ස්ථාන, ගොඩනැගීමක ව්‍යුහය පරීක්ෂා කිරීම, විදුලි රැහැන් පරීක්ෂාව වැනි දේට යොදා ගැනෙන මෙම Hovermap ක්‍රමවේදය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය සිතියම් ගත කිරීමටත්, ගොඩනැගිලි සංවර්ධන අවස්ථාවන් සහ ද්‍රව ගබඩා ටැංකි පිළිබඳ අධ්‍යයනයටත් භාවිතා කර තිබෙනවා.

ත්‍රිමාණ සිතියම් ත්‍රිමාණ මුද්‍රණයට

මුද්‍රිත ජේතවනරාම ත්‍රිමාණ සිතියම ආකෘතියක් බවට පත්වන අාකාරය (RCS2 Technologies)

ආකලන නිශ්පාදනය හෙවත් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේදී සාම්ප්‍රදායික ද්විමාන මුද්‍රණයෙන් ඔබ්බට යමින් ද්‍රව්‍ය තනාගත හැකි වෙනවා. නව නිපැයුම් සඳහා ආකෘති තැනීමට, නිවාස හා ගොඩනැගිලි සංවර්ධනයේදී යෝජිත සැලසුම් ඉදිරිපත් කිරීමට, විලාසිතා සහ රන් භාණ්ඩ කර්මානතයන්හිදී පාරිභෝගික අපේක්ෂාවට සරිලන ආකෘතියක් ඉදිරිපත් කර එය තහවුරු කර ගැනීමට සහ පාරිභෝගික ආකර්ෂණය ලබා ගැනීමට මෙන් ම වෛද්‍ය කටයුතුවලදී ආබාධිත රෝගීන් සඳහා අවශ්‍ය ශරීරාංග තනා ගැනීමට ද මේ තාක්ෂණය උපකාරී වෙනවා.

ත්‍රිමාණ මුද්‍රණය පසුගිය වසරවල ලොව පුරා ම පැතිර ගිය තාක්ෂණයක්. මේ වන විට ලංකාවට ද එය ආගන්තුක දෙයක් නොවෙයි. මෙය භාවිතා කරමින් Hovermap හරහා ලබාගන්නා සිතියම්; ආකෘති වශයෙන් භාවිතය සඳහා මුද්‍රණය කෙරෙනවා. සාමාන්‍ය ආකෘතිකරණයට වඩා දෝෂ සහගත බව සෙන්ටිමීටරයක් දක්වා අවමයක් වන Hovermap හරහා ලබාගත් සිතියම් ප්‍රමාණ අනුපාතයන්ට අනුකූලව නිවැරදිව ආකෘතිගත කළ හැකි නිසා පුරා විද්‍යාත්මක අධ්‍යයන කටයුතු සඳහා එය වඩාත් පහසුවක් වෙනවා.

මෙම ව්‍යාපෘතියේ වැදගත්කම සඳහන් කරමින් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් “අපේ දැනට සිටින සියළුම නිලධාරීන් සහ සම්පත් යෙදවූවොත් අපි බලාපොරොත්තු වන ප්‍රමිතියේ වාර්තා ගත කිරීමකට තව අවුරුදු 75ක් වත් ගත වෙනවා.”යි පවසා සිටියා. මෙම ව්‍යාපෘතිය හරහා ඓතිහාසික ස්ථාන නිවැරදිව පරිගණකගත වන නිසා අධ්‍යයන පාඨමාලාවන්හි ඉගෙනුම් මෙවලමක් ලෙස, ත්‍රිමාණ චිත්‍රපට සහ පරිගණක ක්‍රීඩා නිර්මාණයේදී ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි නිසා මේ හරහා අපට තැබිය හැකි තාක්ෂණික පෙරළිය අති මහත් එකක්. ඉතින්, මේ අපූරු තාක්ෂණය අපේ උරුමය රැක ගැනීම වෙනුවෙන් කරන අනුපමේය සේවයේ මහඟු ප්‍රතිඵල නුදුරු අනාගතයේ ම අපිට දකින්නට ලැබේවි.

පරිවර්තනය: තඹරු විජේසේකර