Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාව හා ජපානය ගැටුණු සුවිසල් රොබෝවරුන්ගේ මහා සටන

බොක්සිං, රෙස්ලිං වගේම රොබෝවරුන්ගේ ෆයිට්නුත් ලොව පුරා හැම කෙනෙක්ගේම අවධානය දිනාගත් සහ ප්‍රියතාවයට ලක්වූ ක්‍රීඩාවක්. තවමත් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සටන් වැදීමට තරම් දියුණු තාක්ෂණයක් නැතත් මිනිස් පාලනය හරහා ක්‍රියාත්මක වන රොබෝවරුන්ගේ තරග වැදීම් මේ වන විටත් මහා පරිමාණයෙන් ලොව සෑම කෙළවරකම සිදු වෙනවා. විදෙස් රටවල් වල තාක්ෂණික පාසල් වල හැකියාවන් ප්‍රදර්ශනය කිරීම් වශයෙන්, රටවල් නියෝජනය කරමින් සටන් තරග වශයෙන් මෙන්ම, සූදු ඔට්ටු දැමීම සඳහා ද මේ තරගාවලි යොදා ගැනෙනවා.මේ සඳහා නිපදවනු ලබන රොබෝවරුන් තමන්ගේ සමබරතාවය පවත්වා ගැනීම වැනි සටන් සඳහාම වැදගත් වන හැකියාවන් හැරුණාම වෙනත් බුද්ධිමය හැකියාවන් ගෙන් යුත් වූ ඒවා නොවෙයි. හරියට බ්‍රොයිලර් කුකුළන් සහ පොර කුකුළන් අතර ඇති වෙනස වගේමයි.

මේ සියලු තරග වලදී යොදා ගැනුණේ ඉතාම කුඩා ප්‍රමාණයේ රොබෝවරුන් වුවත්, මිනිසකුට වුවත් එහි ඇතුළත රැඳී සිටිමින් රොබෝවරයා පාලනය කළ හැකි ආකාරයේ ඒවා සකසා කරන ලද රටවල් දෙකක් අතර රොබෝ ගැටුමක් පසුගියදා පැවැත්වුණා.

ඇමරිකාවේ මෙගාබොට්ස්

fb.com/megabotsinc

2014 වර්ෂයේදී ගුයි කැවල්කාන්ටි සහ මැට් ඕහර්ලින් විසින් ඇමරිකාවේ කැලිෆෝනියාවේ අරඹන ලද MegaBots සමාගම පරිගණක ක්‍රීඩා කරමින් චිත්‍රපට බලමින් සහ විද්‍යා ප්‍රබන්ධ පිළිබඳව වූ චිත්‍ර කතා කියවමින් සිටියේ එම ක්ෂේත්‍රයට ඇල්මක් දක්වන ඉංජිනේරුවන් මෙහි සාමාජිකයන් බවට පත්වුණා. දැන් ඔවුන්ගේ එකම අරමුණ ඔවුන් කුඩා කාලයේ දුටු දේවල් සත්‍ය ලෝකයට ගෙන එමින් සත්‍යාකාරයේ රොබෝ සටන් ලෝකයට ගෙන ඒමයි. ඔවුන්ගේ දැක්ම ලෙස දක්වා තිබෙන්නේ ද “ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වන විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ගේ සහ ඊ-ක්‍රීඩා රසිකයන්ගේ සිහින මුදුන් පමුණුවමින් විශාල ප්‍රමාණයේ රොබෝවරුන් සැබෑ ලොවට ගෙන ඒම” යන්න යි.

අඩි 15ක් පමණ උස කාලතුවක්කු ප්‍රමාණයේ පේන්ට්බෝල් පැයට කි.මී. 193ක පමණ වේගයෙන් වෙඩි තැබිය හැකි ආකාරයේ තුවක්කු සහිත, කැපීම් සහ අනෙකුත් බාහිර හානිකිරීම් වලට හැකිතාක් ඔරොත්තු දිය හැකි ආකාරයේ බඳක් සහ ඒවායෙන් සමබරතාව රැකගැනීමටත්, චලනයන් සිදු කිරීමේදී කරදරයකින් තොරව සිදු කළ හැකි ආකාරයෙන් යුතු සැලසුමක් සහිතව මිනිසුන් දෙදෙනෙකුට ආරක්ෂිතව එහි අභ්‍යන්තරයේ සිට පාලනය කළ හැකි ආකාරයට මෙම රොබෝවරුන් නිපදවනු ලබනවා.

ජපානයේ සුයිඩොබොෂි

amazonaws.com

“මම කුඩා කාලයෙදි හිතාගෙන හිටියා අනාගතේදි (චිත්‍රපට ආදියේ දැකපු) විශාල ප්‍රමාණයේ රොබෝවරු ලොවට බිහි වේවි කියලා. ඒත් කොච්චර බලාගෙන හිටියත් ඇසීමෝලා (මිනිස් උස ප්‍රමාණයේ) රොබෝවරුන් විතරමයි බිහි වුණේ. මට ඉතින් තවත් බලාගෙන ඉන්න බැරි නිසා මම ම ඒ වගේ එකක් හැදුවා” ජපානයේ විශාල ප්‍රමාණයේ රොබෝවන් වන ‘කුරාටා’වන්ට පණ පෙවූ, නිර්මාතෘ කොගොරෝ කුරාටා පවසනවා. අවුරුදු තුනක පමණ වෙහෙසකින් සහ ආකෘතිය සඳහා පමණක් යෙන් මිලියන 110ක මුදල් වැය කිරීමකින් අනතුරුව ඩීසල් වලින් දිවෙන, හයිඩ්‍රොලික් හරහා චලනයන් සිදු කෙරෙන ආකාරයේ විශාල ප්‍රමාණයේ රොබෝවෙක්, එහෙමත් නැත්නම් නිර්මාතෘ වරයාගේ නමින් ම නම් කර ඇති ‘කුරාටා’වෙක් බිහිවුණා.

twimg.com

මෙම රොබෝවරුන් පාලනය කිරීමේදී බොහෝ දේවල් ගැන අවධානය යොමු කරන්නට සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් රොබෝවා පයින් ගසනවා නම්, එහි සමබරතාව රැක ගැනීම සඳහා පසුපස ආධාරක වලින් ශක්තිය ලබා ගැනීම, දෑත චලනය කරමින් ඊට සහාය වීම, පාදයට වැඩි බලයක් යෙදවීම වැනි අමතර කාරණා ද ඊට බලපානවා. ඉතින් මේ සියල්ල ගැන සිතමින් පාලනය කරන්නට ගියොත් සටනක් වෙත අවධානය යොමු කිරීම අපහසුයි. මේ නිසාම පසුකාලීනව මෙම කර්තව්‍යයට බඳවා ගැණුනු වටාරි යොෂිසාකි විසින් නිපැයූ රොබෝවරුන් සඳහාමවූ මෙහෙයුම් පද්ධතියක් වන V-Sido මෙම රොබෝවරුන් පාලනය කිරීම සඳහා යොදා ගැණුනා. එය හරහා රොබෝවරුන්ගේ මූලික චලනයන් පිළිබඳ පාලනය යාමනය කරන නිසා හසුරුවන්නාට ඊට වඩා සංකීර්ණ දේවල් (සටන පිළිබඳව) ගැන අවධානය යොමු කරන්නට හැකියාව ලැබෙනවා.

මෙගාබොට්ස් අභියෝගය

2015දී ඇමරිකාවේ මෙගාබොට්ස් සමාගමේ නිර්මාතෘ දෙපළ ජපානයේ සුයිඩොබාෂි සමාගමට අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ ඔවුන්ගේ මෙගාබොට්ස් රොබෝව සමඟ සුයිඩොබොෂි සමාගමේ කුරාටාව එකිනෙක ගැටිය යුතු බව සඳහන් කරමින්. ඒ වන විටත් ඔවුන්ගේ රොබෝවරුන් දෙපළම සටනක් සඳහා සූදානම්ව තිබුණේ නැහැ. මේ නිසා ඊට සූදානම් වීම සඳහා වසරක කාලයක් ඔවුන් ලබාගත්තා (හැබැයි අන්තිමට වසර දෙකක්ම ගතවුණා). මෙම අභියෝගය කරද්දී තමන්ගේ ආයුධ වල ශක්තිය පෙන්වා ජපානය ටිකක් බය කරන්නට ඇමරිකානුවන් අමතක කළේ නැහැ. තම රොබෝව ගැසොලීන් වලින් ධාවනය වන බව, තුවක්කු විශාල ප්‍රමාණයක් අඩංගු කළ බව සහ ඉන් නිකුත් වන පේන්ට් බෝල්වල වේගය හරහා කාර් රථවල වීදුරු කුඩුවී යන හැටි වැනි ‘ඇමරිකානු ලොකුකම’ කියා පෑවා.

සතියකට පමණ පසු මෙයට පිළිතුරු වශයෙන් ජපානයේ සුයිඩොබොෂි වෙනුවෙන් කථා කරමින් “මෙන්න එක පාරම එයාලා එහෙම දේකට (සටනකට) කතා කරනවා?! නිකංම නිකං ලොකු තුවක්කු හයි කරපු ලොකු (යකඩ ගොඩක් වගේ) එකක් එක්ක. මහ ලොකු ඇමරිකාව! අපිට වෙනත් රටක් දිනන්න දෙන්න බෑ. විශාල රොබෝවරුන් කියන්නේ ජපානයේ සංස්කෘතියක්. අපි අනිවාර්යයෙන්ම අභියෝගය භාරගන්නවා”යි පවසනවා.

එකිනෙක ගැටෙයි

bluebird-electric.net

අභියෝගයන් භාර ගැනීමෙන් පසු රොබෝවරුන් සූදානම් කිරීම ඇරඹුණා. රොබෝවරුන්ට ඔවුන්ටම ආවේණික සටන් ක්‍රම ශිල්ප ලබා දී තිබුණේ ඇමරිකාව සවිබල තුවක්කු භාවිත කරමින් සහ ජපානය අතින් පහරදීම සඳහා ශක්තිමත් බාහුවක් භාවිත කිරීමෙනුයි. ඇමරිකාව තරග වට දෙක සඳහා රොබෝවරුන් දෙදෙනෙක්: අඩි පහළොවක ටොන් 6ක් බර Iron Glory සහ අඩි දහසයක ටොන් 12ක් බර Eagle Prime යොදා ගත්තා. රොබෝවරුන් තැනීම සඳහා ඔවුන් අපි දන්සල්වලට ආධාර එකතු කරන්න වගේ KickStarter හරහා ඇමරිකානුවන්ගේ මුදල් පරිත්‍යාග ඉල්ලුවා. ඊට ඩොලර් $5,00,000කටත් වඩා වැඩි ආධාර ප්‍රමාණයක් ලැබුණා. ජපානය තමන්ගේ අඩි දහතුනක ටොන් 6.5ක් බර කුරාටාව යොදා ගත්තා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සටන පැවැත්වුණා. සටනේ අවසානය ලෙස දක්වා තිබුණේ කිසියම් රොබෝවරයෙක් භාවිතයට ගත නොහැකි ලෙස හානි වුවහොත්, සම්පූර්ණයෙන්ම විනාශ වී ගියහොත් හෝ රොබෝව ධාවනය කරන්නා තරඟය අතරමැද පරාජය භාර ගතහොත් අනෙකාට ජය ලැබෙන ආකාරයටයි.

newequipment.com

පළමු වටයේදී Iron Gloryට අත්මිටි පහරක් දී පරාජය කරලන්නට කුරාටාව සමත් වුණා. එනිසා දෙවැනි වටයේදී Eagle Prime කුරාටාවට එරෙහිව පැමිණියා. කුරාටාව ද ඩ්‍රෝනයක් භාවිත කරමින් මෙගාබොට්ස්ලාගේ අවධානය බිඳලන්නට උත්සාහ දරන ආකාරය දකින්නට ලැබුණා. එනමුත් ඒ වටය අවසන් වූයේ අත්පහරවල් පැටලී ගොස් රොබෝවන් දෙක හිරවීමෙනුයි. තෙවන වටයේදී ඇමරිකාවේ මෙගාබොට්ස්ලා චේන්සෝ එකක් (ගස් කැපීමට ගන්නා යාන්ත්‍රික කියත) භාවිත කරමින් කුරාටාව කපා දැම්මා. ඒ අනුව, ඇමරිකාවට ජය අත්වුණා.

නරඹන්නන්ගේ අප්‍රසාදය

qz.com

ලෝකයට මුලින් මවාදුන් සංග්‍රාමීය හැඟීම මේ රොබෝවරුන්ගේ ගැටුම තුළ දකින්නට ලැබුණේ නැහැ. මන්ද, හැම කෙනෙක්ම සජීවී සටනක් බලාපොරොත්තු වූවත් මෙහිදී සිදුවූයේ බාහිර අයට එන්නට තහනම් අභ්‍යන්තරික ස්ථානයක සියලු දේ සැප්තැම්බර් මාසයේදී රූගත කර ඔක්තෝබරයේදී රූපවාහිනිය හරහා සජීවීව විසුරුවා හැරීමයි. විශේෂයෙන් මින් කෝපයට පත්ව තිබුණේ Kickstarter හරහා මුදල් ආධාර ලබාදුන් අයයි. විද්‍යා ප්‍රබන්ධ කොමික්වලට ප්‍රිය කළ අය කොහොමත් මින් සෑහීමකට පත් වූයේ නැහැ. ඔවුන්ට එය තවත් ඔවුන් චිත්‍රපටයක් බලන ආකාරයේම අත්දැකීමක් බවට පත්ව තිබුණා.

එනමුත් මෙහිදී සිදුවී තිබුණේ මෙවන් සටනකදී ඇතිවිය හැකි බාහිර උවදුරු නිසා මිනිසුන්ට හානිවීම වැළැක්වීමත්, රොබෝවරුන් නිතර ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය වන නිසා ඊට කාලය ලබා ගැනීමටත් අවශ්‍යවූ නිසා බවයි සංවිධායකයන් හෙළිකර තිබුණේ. මෙසේ එවන් දේට කාලය ගත කරමින් සජීවී විකාශයක් සිදුකිරීම අපහසු නිසා මෙලෙස රෙස්ලිං සටනක් මෙන් ලෝකයට පෙන්වා තිබුණා.

deviantart.net

ඉතින්, හරියටම මේ ආකාරයේ සටනක් දෑහින් දැකගන්නට සහ සත්‍ය වශයෙන් ම සවිමත් වන්නේ රොබෝවරුන් දෙදෙනෙක් යොදාගත් ඇමරිකාව ද, එකකින් පමණක් සටන් කළ සහ ලොවට මේ රොබෝවරුන් හඳුන්වාදුන් ජපානය ද යන්න බලාගන්නට නම් තව අවුරුදු කිහිපයක් මුළු ලොවට ම ටිකක් ඉවසා වදාරන්න සිදු වෙනවා.

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles