Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිරුවත් සේයාරූ පළ කරන්නන් ගැන ‘Take It Down’ අවදියෙන්!

යම්කිසි පුද්ගලයකුගේ අවසරයකින් තොරව ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළ වීමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ. මේ හේතුවෙන් කුඩා ළමයින්ට සිදු වන අපහසුතා පිළිබඳ ව විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලවල හිමිකාරිත්වය දරන මෙටා සමාගම එවැනි සිදුවීම් පිටුදැකීමට විශේෂ වැඩසටහනක් අරඹා තිබේ.

අතුරුදහන් වූ සහ අපයෝජනයට ලක් වූ ළමයින් පිළිබඳ එක්සත් ජනපද ජාතික මධ්‍යස්ථානයට අනුව ළමයින්ගේ නිරුවත් ඡායාරූප සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම පසුගිය වසර කිහිපයේ දී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙටා සමාගම මේ වන විට හඳුන්වා දී ඇති ‘Take It Down’ (එය පහත හෙළන්න) නම් විශේෂාංගය එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගැනීමට උපකාරී වේ.

‘Take It Down’ වෙබ් අඩවියේ පිවිසුම – www.bandt.com.au

වෙබ් අඩවියක්

ඉහත කී ජාතික මධ්‍යස්ථානය හරහා ක්‍රියාත්මක වන ‘Take It Down’ වෙබ් අඩවියට පිවිස තමන්ගේ නිරුවත් ඡායාරූපයක් වේ නම් ඊට අදාළ හෑෂ් අගයක් (දත්ත හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි නිශ්චිත සංඛ්‍යාත්මක අගයක්) උඩුගත කිරීමට ළමයින්ට අවස්ථාව ලැබේ. ඔවුන්ගේ ම ජංගම දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් භාවිත කර, නිර්නාමිකව අදාළ ඡායාරූපය උඩු ගත කළ හැකි වීම විශේෂත්වයකි.

ඡායාරූපයට අදාළ හෑෂ් අගය නිර්මාණය කිරීමට ඔවුන් TakeItDown.NCMEC.org යන වෙබ් අඩවියට පිවිස අදාළ මෘදුකාංගය සිය උපාංගයට බාගත කර ගත යුතු වේ. උඩුගත කරන හෑෂ් අගය මෙටා සමාගමට සම්බන්ධ දත්ත පද්ධතියක ගබඩා කර තැබේ. එම ඡායාරූපය යම්කිසි පුද්ගලයෙක් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලවලට උඩුගත කළහොත් අදාළ දත්ත පද්ධතිය හරහා එය හඳුනාගෙන, කෙටි වෙලාවකින් එය ඉවත් කිරීම සිදු වේ.

වෙබ් අඩවියේ අතුරු මුහුණත – mashable.com

බරපතල ගැටලුවක්

නියම ඡායාරූපයට යම් යම් වෙනස්කම් සිදු කර ඇති වුවත් – උදාහරණයක් ලෙස එහි වර්ණය කළු සහ සුදු බවට පෙරළා හෝ ඡායාරූපයේ මුහුණ ප්‍රදේශය යම්කිසි ඉමොජියක් මඟින් ආවරණය කර ඇති අවස්ථාවක පවා මෙම මෙවලම භාවිතයෙන් ඒවායේ හෑෂ් අගය වෙබ් අඩවියට උඩුගත කළ හැක. නිරුවත් ඡායාරූප එකකට වැඩි සංඛ්‍යාවක් තිබේ නම් ඒවායේ හෑෂ් අගයන් වෙන් වෙන් වශයෙන් වෙබ් අඩවියට ඇතුළත් කිරීම වඩාත් සුදුසු බව මෙටා සමාගම නිර්දේශ කර ඇත.

“ළමයින්ට පමණක් නොව වැඩිහිටි පුද්ගලයන්ට පවා බරපතල අර්බුද ඇති කරන මේ ගැටලුව පිළිබඳ ව මෙටා සමාගම විශාල අවධානයක් යොමු කරනවා. මෙවැනි සිදුවීම් නිසා ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වී පවුල් සංස්ථා සහ මිතුරන් සමඟ ඇති සම්බන්ධතා පවා බිඳ වැටෙන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ට හානිකර විය හැකි දේවල්වල පාලනය ඔවුන්ගේ අතට පත් කිරීම සඳහා මෙවැනි ක්‍රමවේද හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වෙලා තියෙනවා” යි මෙටා සමාගමේ ගෝලීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඇන්ටිගොන් ඩේවිස් සඳහන් කළා ය.

මෙටා සමාගමේ ගෝලීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඇන්ටිගොන් ඩේවිස් – www.mandurahmail.com.au

මව්පියන්ට දායක විය හැකි අයුරු

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් යන යෙදවුම් හරහා හුවමාරු වන ඕනෑම ඡායාරූපයක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට (එහි හෑෂ් අගය වෙබ් අඩවිය ගබඩා වී තිබේ නම් පමණක්) මෙම මෙවලමට හැකියාව ඇත. වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට මෙන් ම සිය දරුවන් වෙනුවෙන් මව්පියන්ට ද මෙය භාවිත කර ඡායාරූප සම්බන්ධයෙන් වාර්තා කළ හැකි ය. මෙම වෙබ් අඩවිය සඳහා අවශ්‍ය සම්පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන මෙටා සමාගම ලබා දී ඇත.

මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාල තරුණ පරිශීලකයන් මත ඇති කරන බලපෑම පිළිබඳව එක්සත් ජනපදයේ පාර්ලිමේන්තුව මීට වසර එකහමාරක් වැනි කාලයකට පෙර මෙටා සමාගමේ ගෝලීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඇන්ටිගොන් ඩේවිස්න්ගෙන් ප්‍රශ්න කළේ ය. ඊට හේතුව වූයේ එක්තරා වාර්තාවක් මඟින් ඉන්ස්ටග්‍රෑම් තරුණ ගැහැනු දරුවන්ට හානිකර විය හැකි බව මෙටා සමාගම දැනුම්වත් බව අඟවා තිබීම යි.

මෙටා සමාගමට අයත් යෙදවුම් – www.gadgets360.com

විවේචන

මේ තත්ත්වය තුළ ‘Take It Down’ මෙවලමට අමතර ව තවත් විශේෂාංග ගණනාවක් හඳුන්වා දීමට මෙටා සමාගම කටයුතු කළත් ඒ සඳහා ගත වූ කාලය වැඩි බව බොහෝ පාර්ශව පෙන්වා දෙති. ඔවුහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තරුණ තරුණියන් ඇතුළු සියලු පරිශීලකයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිළිබඳ ව මෙටා සමාගම තවදුරටත් උනන්දු විය යුතු බව යි.

පසුගියදා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයක් අතරතුර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් තාක්ෂණික යෙදවුම් හා සම්බන්ධ සමාගම්, එම යෙදවුම් තරුණ පිරිස්වල මානසික සෞඛ්‍ය තත්ත්වය මත ඇති කරන බලපෑම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවැසුවේ ය. ඔහු සඳහන් කළේ ඊට අදාළව ගන්නා ක්‍රියාමාර්ගවල විනිවිදභාවය තහවුරු කිරීමට මෙටා වැනි සමාගම් ක්‍රියා කළ යුතු බව යි.

වැඩියෙන්ම භාවිත වන යෙදවුම් අතර ඉහළින් ම පසු වන මෙටා සමාගමට අයත් යෙදවුම් – www.insiderintelligence.com

සැඟවුණු වසංගතය

“ළමයින්ට මාර්ගගත යෙදවුම් හරහා ලැබෙන සියලු සේවා ආරක්ෂිත ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට ගත හැකි පියවර ගැනීමට මෙටා සමාගම කිසිසේත් ම පැකිළෙන්නේ නැහැ. එහිදී ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන තරුණ පුද්ගලයන්ගේ සහ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්, විශේෂයෙන් ම නිරුවත් ඡායාරූප පිළිබඳ ව, දැනට ගන්නා පියවර ඉහළ නැංවීම පිළිබඳ ව සමාගමේ අවධානය යොමු වී තිබෙනවා.” ඩේවිඩ් සඳහන් කළා ය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව අදහස් දක්වමින් එක්සත් ජනපදයේ අතුරුදහන් වූ සහ අපයෝජනයට ලක් වූ ළමයින් පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ සන්නිවේදන සහ සන්නාමකරණය පිළිබඳ උප සභාපති, ගේවින් පෝ(ර්)ට්නෝයි පැවසුවේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළකිරීම විශාල ලෙස ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ මෙවැනි මෙවලමක් හඳුන්වා දීම ඉතා වැදගත් බව යි. මෙම ගැටලුව මේ වන විට ‘සැඟවුණු වසංගතයක්’ බවට පත් වී ඇති නමුත් ඒ පිළිබඳ ව ප්‍රමාණවත් කතාබහක් ඇති වී නොමැති බව ඔහු සඳහන් කළේ ය.

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළකිරීම විශාල ලෙස ඉහළ ගොස් ඇත – www.ny1.com

තවත් විශේෂාංග

නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවලට මුදා හැරීමේ සිදුවීම් නිසා සිත් තැවුලට පත් ව සියදිවි හානි කරගන්නා පුද්ගලයන් සංඛ්‍යාව ද මේ වන විට එක්සත් ජනපදයේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය ‘Take It Down’ මෙවලම හඳුන්වා දීමට මූලික වශයෙන් හේතු වූ බවත්, ඒ තුළින් ‘මං ඔබට මේක කරන්න දෙන්නේ නැහැ. මගේ ඡායාරූප සහ වීඩියෝ පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ මට’ යන පණිවිඩය අපරාධකරුවන්ට ලබා දීමට වින්දිතයන්ට හැකි වන බවත් ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මෙම මෙවලමට අමතර ව මෙටා සමාගම ළමයින්ට සිය වයසට ගැළපෙන අත්දැකීමක් ලබා ගැනීමට ඉවහල් වන තවත් විශේෂාංග කිහිපයක් සමාජ මාධ්‍ය යෙදවුම්වලට හඳුන්වා දී ඇත. මව්පියන්ට ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතාව පරික්ෂා කිරීමට අවස්ථාව සැලසීම සහ වයස තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.

‘OnlyFans’ සහ ‘Pornhub’ වෙබ් අඩවිය අයත් මව් සමාගම වන ‘MindGeek’ වැනි සමාගම් ද ළමයින්ගේ සහ තරුණ පිරිස්වල ආරක්ෂාව වෙනුවෙන් මෙටා සමාගම ගෙන ඇති පියවරවලට සමාන පියවර ගෙන තිබේ. තවත් ප්‍රධාන පෙළේ තාක්ෂණික මෙවලම් අයත් සමාගම් ගණනාවක් ද මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇත.

ළමයින් සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් – www.twitter.com

ව්‍යර්ථ වූ උත්සාහය

ළමයින්ගේ නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත් පළමු අවස්ථාව මෙය නොවේ. 2022 දී ඇපල් සමාගම එක්තරා යෙදවුමක් මඟින් ඇපල් දුරකථන සහ අනිකුත් ඇපල් මෙවලම්වල කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තිබේ ද යන්න පරික්ෂා කිරීමට තීරණය කළේ ය. පාරිභෝගිකයන්ගේ පුද්ගලිකත්වයට එවැනි ව්‍යාපෘතියක් හරහා බරපතල හානි සිදු විය හැකි බවට එල්ල වූ චෝදනා හමුවේ එම සැලසුම අත්හැරීමට ඇපල් සමාගමට සිදු විය.

2022 දී ඇපල් සමාගම එක්තරා යෙදවුමක් මඟින් ඇපල් දුරකථන සහ අනිකුත් ඇපල් මෙවලම්වල කුඩා ළමයින්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන තිබේ ද යන්න පරික්ෂා කිරීමට තීරණය කළා – https://www.youtube.com/@RoarSinhala

“පුද්ගලික දත්ත පීරීමකින් තො රව ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කළ හැකි බව අපි දනිමු. ඔවුන්ගේ පුද්ගලිකත්වය සඳහා වන අයිතිය තහවුරු කිරීමට සහ අන්තර්ජාලය ළමුන්ට මෙන්ම අනිකුත් සියලු දෙනාට ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා අප අඛණ්ඩව රජයන්, ළමා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් සහ සංවිධාන සහ අනිකුත් අදාළ පාර්ශවයන් සමඟ කටයුතු කරමු.” ඇපල් සමාගම ඉන් අනතුරුව නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

තවත් ප්‍රධාන පෙළේ තාක්ෂණික මෙවලම් අයත් සමාගම් ගණනාවක් මෙවැනි ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳව අවධානය යොමු කර ඇත – www.natchilazarus.com

කවරයේ ඡායාරූපය - 'Take It Down' වෙබ් අඩවියට පිවිස තමන්ගේ නිරුවත් ඡායාරූපයක් වේ නම් ඊට අදාළ හෑෂ් අගයක් උඩුගත කිරීමට ළමයින්ට අවස්ථාව ලැබේ - www.indianexpress.com

මූලාශ්‍ර :
www.usatoday.com
www.economictimes.com
www.abc.net.au
www.CNN.com

Related Articles