Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගත තාක්ෂණ ලෝකයේ මිනිස් ස්වරූපය පෙන්වන ‘මින්ඩි’

ආදි මිනිසා මේ ලොව සම්භවය වූ දින පටන්, වර්තමානය වන තුරු, ඔවුන්ගේ ස්වරූපයෙහි වෙනස්කම් රැසක් සිදු වී තිබෙනවා. ස්වභාවික වරණය හේතුවෙන්, කාලයාගේ ඇවෑමෙන් මෙම වෙනස්කම් ඇති වී තිබෙනවා. අවට පරිසරයේ වූ ප්‍රවණතා අනුව මෙලෙස මිනිස් ශරීරයේ ක්‍රමික වෙනස්කම් සිදුවන අතර, මීට වසර සිය ගණනකට පෙර ජීවත් වූ මිනිසුන්ට වඩා වර්තමාන මිනිසුන්ගේ ශරීරවල යම් යම් වෙනස්කම් තිබෙනවා. උදාහරණයක් ලෙස සමහර රටවල නූතන මිනිසුන්, මීට වසර සිය ගණනකට පෙර සිටි මිනිසුන්ට වඩා උසින් වැඩි බැව් තහවුරු වී තිබෙනවා.

ක්‍රිස්තු වර්ෂ 3000 දී මිනිසකුගේ ස්වභාවය

වර්තමාන ලෝකයේ සිදු වී ඇති වෙනස්කම්වලට අනුව අදින් වසර දහසකට පමණ පසු හෙවත් ක්‍රිස්තු වර්ෂ 3000 දී පමණ මිනිසකුගේ ස්වභාවය කෙසේ වේ ද යන්න පිළිබඳ විද්‍යාඥයන් පුරෝකථනය කර තිබෙනවා. ප්‍රමාණයෙන් කුඩා මොළයක්, දෙවන ඇහිබැමක්, කුදු ගැසුණු කශේරුකාවක් ඒ වන විට ඔවුනට පිහිටා තිබෙනු ඇතැ යි අනුමාන වී තිබෙනවා. නවීන තාක්ෂණය සහිත පරිගණක සහ ජංගම දුරකථන අධික ලෙස භාවිතය නිසා මෙලෙස සිදුවනු ඇති බවට ඔවුන් නිර්ණය කොට තිබෙනවා.

මිනිස් සිරුර පිළිබඳ ව වසර ගණනාවක් තිස්සේ දත්ත එක් රැස් කර, ඒ අනුව අධ්‍යයන සිදු කළ අමෙරිකානු තාක්ෂණික සමාගමක් වන TollFreeForwarding.com අනාගත මිනිසකුගේ අනුරුවක් නිර්මාණය කර තිබෙනවා. ඔවුන් එයට දී ඇත්තේ ‘මින්ඩි’ යන නම යි.

වසර සිය ගණනක් තිස්සේ නවීන තාක්ෂණික උපකරණ අධික ලෙස භාවිත කිරීම නිසා, ඒ වන විට මිනිස් සිරුරෙහි සිදුවිය හැකි වෙනස්කම් මින්ඩිගේ ශරීරයේ හොඳින් දැක ගන්නට පිළිවන්. කුදු වූ කශේරුකාව, දුරකථන කෙටි පණිවිඩ යැවීමට සකස් වූ අතැඟිලි, අංශක 90 ට පවතින වැලමිට, ‘තාක්ෂණික’ ගෙල, වඩාත් ඝණකම් හිස්කබල, විශාලත්වයෙන් අඩු මොළය සහ දෙවන ඇහිබැම වැනි අංග ඒ අතර වෙනවා.

‘මින්ඩි’- TollFreeForwarding

කුදු වූ කශේරුකාව

වර්තමාන මිනිසුන්ට වඩා අනාගත මිනිසුන්ගේ කෂේරුකාවේ වක්‍රතාව වඩාත් වැඩි වනු ඇත්තේ නවීන තාක්ෂණයට පින් සිදුවන්නට යි. සෑම විටක ම පාහේ තම අතෙහි ඇති ජංගම දුරකථනය දෙස බලන්නට බිම බැලීම නිසා සහ ඉදිරියට එබී පරිගණක තිර දෙස බලා සිටීම නිසා මනාව සිරුර වැඩි ආතතියකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සිදුවෙනවා. විද්‍යාඥයන් පවසන ආකාරයට දුරකථන ලෙස නිතර බලා සිටීම නිසා මිනිස් කශේරුවේ සමතුලිතතාව වෙනස් වෙනවා. මේ නිසා ග්‍රීවයෙහි වූ මාංශපේෂිවලට, වැඩි බලයක් යොදවමින්, හිසට සහාය වීමට සිදු වෙනවා. වසර ගණනාවක් මෙලෙස සිදු වූ විට, පරිණාමයත් සමඟ ජංගම දුරකථන දෙස බලන විට සමතුලිත වන ලෙස කශේරුකාවේ වක්‍රතාව සකස් වීම සිදුවෙනවා. එනම් වක්‍රතාව වැඩි වෙනවා.

කෙටි පණිවිඩ යැවීම සඳහා සකස් වූ අතැඟිලි

විද්‍යාඥයන් මින්ඩි වෙනුවෙන් ‘කෙටි පණිවිඩ යැවීමට ම සකස් වූ අතැඟිලි’ සකස් කොට තිබෙනවා. මෙය සිදු වන්න්නේ කලක් තිස්සේ ජංගම දුරකථනයක් අල්ලා සිටීම සහ එමඟින් කෙටි පණිවිඩ යැවීම සඳහා නිතර මහපටැඟිල්ල යොදා ගැනීම නිසා යි. එහිදී මහපටැඟිල්ල අසාමාන්‍ය ලෙස වක්‍ර තැනෙක තබා ගෙන සිටීම සිදුවෙනවා. කාලයාගේ ඇවෑමෙන් මෙය මිනිස් සිරුරෙහි සමාන්‍ය අංගයක් බවට පත් වෙනු ඇති බැව් විද්‍යාඥ මතය යි.

‘කෙටි පණිවිඩ යැවීමට ම සකස් වූ අතැඟිලි’- TollFreeForwarding

අංශක 90 ට සකස් වූ වැලමිට

ක්‍රිස්තු වර්ෂ 3000 වන විට, වර්තමාන මිනිසාට සාපේක්ෂව මිනිස් සිරුරෙහි ඇතිවන ප්‍රධාන වෙනස්කමක් ලෙස ‘අංශක 90 ට නැමුණු වැලමිටි’ හඳුන්වන්නට පිළිවන්. මෙයට ‘සමාර්ට් දුරකථන වැලමිට’ යනුවෙන් ද පැවසෙනවා. මෙය ඇතිවන්නේ දීර්ඝ කාලයක් ජංගම දුරකථනය අල්ලාගෙන සිටීම නිසා යි. මෙය වර්තමානයේ බොහෝ දෙනා ඇමතුම් ගැනීමේ දී මෙන් ම, වෙනත් අවස්ථාවන්හි දී ද සිදුකරනවා.

ඝණකම වැඩි හිස්කබල සහ, ප්‍රමාණයෙන් කුඩා මස්තිෂ්කය

මෙම අධ්‍යයනයේ දී ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ හිසට ළංව භාවිත කිරීම නිසා, විකිරණ හේතුවෙන් මොළයට ඇති වන හානි පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා. මේ ගැන අවධානය යොමු කරමින් 2011 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක ද, ජංගම දුරකථන විකිරණ පිළිකාජනක විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවන දීර්ඝකාලීන බලපෑම් පිළිබඳ ව ලොව පර්යේෂණ රාශියක් සිදුකර ඇති අතර, ‘මින්ඩි’ නිර්මාණය කරන ලද විද්‍යාඥයන් කණ්ඩායමට අනුව ඇයට ඝණකමින් වැඩි හිස්කබලක් පිහිටා ඇත්තේ ඒ නිසා යි. මෙමඟින් මස්තිෂ්කයට විකිරණ වෙතින් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා.

අනාගත මිනිසුන්ට ප්‍රමාණයෙන් වඩාත් කුඩා මස්තිෂ්ක පිහිටනු ඇති බැව් ද අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. 2010 වසරේදී විද්‍යාඥ ඩේවිඩ් ගියරි පවසා ඇත්තේ, කෘෂිකාර්මික, සෞඛ්‍ය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණනාවක් සබැඳි තාක්ෂණික දියුණුව හේතුවෙන්, මිනිසාගේ සිතීමේ හැකියාව ක්‍රම ක්‍රමයෙන් හීන වී යනු ඇති බව යි. ඒ අතීතයේ මෙන් නොව ජීවත්වීම සඳහා පරිසරයෙන් එල්ල වන අභියෝග ප්‍රමාණය අඩු වීම හේතුවෙන්, ඊට ප්‍රතිචාර දක්වන්නට මොළය වෙහෙසීම අවශ්‍ය නොවන නිසා යි. මේ නිසා සමස්තයක් ලෙස මිනිසා හැකිළී යනු ඇති බවට විද්‍යාඥයන් මත පළ කරනවා.

තාක්ෂණික උපකරණ අධි භාවිතය හේතුවෙන් අනාගත මිනිසා මේ ආකාරයෙන් කුදු වී සිටිය හැකි යි – mirror.co.uk

දෙවන ඇහිබැම

විද්‍යාඥයන් අනුමාන කරන අන්දමට අනාගතයේ මිනිස් ඇස්වලට පරිගණක සහ දුරකථන තිරවලින් වන හානිය අවම කිරීම සඳහා දෙවන ඇහි බැම හෝ ඇහි පිහාටු යුගළක් මෝදු වනු ඇති. මෙය බොහෝ විට ඇහි බැමකට වඩා, ඇහි පිහාටු වලටත් ඇතුළතින් පිහිටන, දෙවන ඇහි පිහාටු ස්ථරයක් ලෙස පවතිනු ඇති අතර, එමඟින් පරිගණක තිරවලින් එන අහිතකර කිරණ වැඩි වශයෙන් පෙරීමකට ලක් වනු ඇති.

ඉහත කරුණුවලට අමතර ව, වර්තමාන මිනිසාට සාපේක්ෂ ව අනාගත මිනිසා වැඩි වශයෙන් මානසික ආතතිය සහ සාංකාව සම්බන්ධ තත්ත්වයන්ට ගොදුරු වනු ඇති බව ද සොයා ගෙන තිබෙනවා. මේ කිසිවක් මිනිසාගේ අභිවෘද්ධිය සහ යහපැවැත්මට හේතු නොවන අතර, මෙම තත්ත්වය ඇති වීම වලක්වාගන්නට අද පටන්, තාක්ෂණික උපකරණ අධිභාවිතාව වැලක්වීමටත්, ඒවා භාවිතා කරන විට කෙටි විවේක ලබාගැනීමටත්, හොඳින් ව්‍යායාම කිරීමටත්, ප්‍රමාණවත් කාලයක් වෙන් කිරීමේ වැදගත්කම විද්වතුන් පෙනවා දෙනවා.

කවරයේ ඡායාරූපය - අනාගත තාක්ෂණ ලෝකයේ මිනිස් ස්වරූපය පෙන්වන 'මින්ඩි' Toll Free Forwarding
මූලාශ්‍ර
Itv.com
Dailymail.co.uk
Newshub.co.nz

Related Articles