Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

TikTok සමාජ ජාලයේ වෙණ වයන ආච්චිලා සහ සීයලා

 ඔබේ ආච්චිට, සීයාට ටික්ටොක් ගැන කියලා දෙන්න කැමති නැද්ද? මේ ආච්චිලා සහ සීයලා නම් මිලියන 2 ඉක්මවූ Follwersලා සමඟ මුළු ලෝකයේම ආදරය දිනාගෙන තිබෙනවා. ඔවුන් ගැන වගේම, සමාජ ඒකාකෘතිවල ගැටලු සහගත බවත් මේ ලිපියෙන් ඔබට කියවන්නට අවස්ථාව ලැබෙනවා.

තරුණ තරුණියන්ගේ සිත් දිනා ගනිමින් දැඩි උන්මාදයකට පාත්‍ර වූ TikTok සමාජ ජාලයේ දැන් මහලු වයසේ අය වෙණ ගායනා කරන්නට පටන්ගෙන ඇති ආකාරයක් ලොව පුරා දකින්නට ලැබෙනවා. තාක්ෂණය පිළිබඳ දැනුමක් නොමැති බවට හා ජව බලයකින් අඩු බවට හැඳින්වෙන මෙම පරම්පරාව ඒ හරහා එවන් සමාජ මත බිඳලීමට සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන ගණනක් Followersලා සිටින වයස අවුරුදු 60 සහ ඊට වැඩි පරිශීලකයන්ගේ TikTok ගිණුම් සංඛ්‍යාව වැඩි වන බව පර්යේෂණය සොයාගෙන ඇති බව යි. ඔවුන් තම දේහ ශක්තිය සහ ප්‍රබෝධමත් බව ප්‍රදර්ශනය කිරීමට TikTok භාවිත කර ඇති අතර, වැඩිහිටියන් සමාජ මාධ්‍ය තුළ සහ ඉන් පිටත හැසිරෙන ආකාරය පිළිබඳ ව සමාජය දරන මතය වෙනස් කරන්නටත් එමඟින් කටයුතු කරමින් සිටිනවා.

වියපත් වැඩිහිටියන් තාක්ෂණය අව‍බෝධ කර ගත නොහැකි පිරිසක් ලෙස සලකනවා – freepik/tirachardz

 

වියපත් අයට TikTok අකැපද?

සිංගප්පූරු සරසවිය මෑතකදී කළ අධ්‍යයනයක වියපත් වැඩිහිටියන් ටික්ටොක් වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය වන බව පෙන්වා දී තිබෙනවා. ටික්ටොක් යනු හුදෙක් වීඩියෝ බෙදා ගත හැකි සමාජ මාධ්‍යයක් වුව ද වැඩිහිටියන් කෙසේ වෙතත් තරුණ තරුණියන් ටික්ටොක් භාවිත කරන ආකාරය පිළිබඳ ව නම් විවිධ විවේචන එල්ල වෙනවා. එනමුත් වැඩිමහලු පරම්පරාව පිළිබඳ වන ඒකාකෘති (Stereotypes) වෙනස් කිරීමට වත්මන් රැල්ල සමත්ව ඇති අතර, අනෙකුත් සමාජ මාධ්‍යවලදී මෙන්ම සත්‍ය ජීවිතයේදීත් අවුරුදු 60න් ඉහළ අය දුර්වලයන් ‍නොව, යමක් කමක් කළ හැකි අය බව ඔවුන් එමඟින් තහවුරු කර තිබෙනවා.

සමාජ ඒකාකෘති කියන්නේ අපි අපේ පහසුවට විවිධ ප්‍රජාවන්, වයස, සංස්කෘතිය, හැසිරීම, ස්ත්‍රී/පුරුෂ/වෙනත් සමාජ භාවය, සමේ වර්ණය වැනි විවිධ සාධක මත සකසා ගත් මතවලට යි. උදාහරණයක් ලෙස පිරිමින්ට කාන්තාවන්ට වඩා බලයක්, හැකියාවක් ඇති බවටත්, කාන්තාවන් හුදෙක් පවුලේ වැඩ කටයුතු බැලිය යුතු අය බවටත් සමාජ මත තිබෙනවා. එසේම, වයසක (වයස අවුරුදු 60ට වැඩි) පුද්ගලයන් දුර්වල, රෝගාබාධවලින් පිරුණු, ඔතෑනී, සහ සමාජ මධ්‍ය මෙන්ම තාක්ෂණය අව‍බෝධ කර ගත නොහැකි පිරිසක් ලෙස ද සලකනවා.

මනාප සහ පෞරුෂත්වය

වෙනත් වචනවලින් කිවහොත්, ඒකාකෘති කියන්නේ යම් කණ්ඩායමක හැකියාව, මනාප සහ පෞරුෂත්වය පිළිබඳ පූර්ව නිගමන වන අතර, ඒවා බොහෝ විට අධික ලෙස සාමාන්‍යකරණය වී තිබෙනවා. මේ නිසාම ඒ බොහොමයක් සාවද්‍ය ඒවා යි.

මිනිස් මනසට තර්ක කළ හැකි උපරිම ප්‍රමාණයක් වැනි මොළයේ සංජානන සීමා ඇති බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා. ඒ කියන්නේ, අපි හදිසි තීරණයක් ගනිද්දී වඩාත් ම උචිත තීරණය ගැනීමට කාලය ගත කරන්නේ නැතිව, කෙටි ක්‍රම සොයන්නට උත්සාහ කරන බව යි. එවිට නව තොරතුරු සොයා ගන්නට කාලයක් නැති නිසා තීරණය ගනිද්දී ඒකාකෘති වැනි අනුමාන කිරීම් මත ඉක්මන් නිගමනයකට එන්නට පෙලැඹෙනවා.

2021 සැප්තැම්බර් වන විට ටික්ටොක් ගිණුම් වලින් 11%ක් අවුරුදු 50ට වැඩි අයයි – Statista

 

වියපත් ගිණුම් ප්‍රතිශතය 14.5%ක්

 ගැටලුව වන්නේ, මෙවන් පුද්ගල අනුමාන කිරීම් නිවැරදි ද සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ඒවා භාවිතා කළ යුතු ද යන්න  යි. අපි බොහෝ දෙනෙක් “අපි නම් එහෙම හිතන්නේ නැහැ,”යි එය ප්‍රතික්ෂේප කරන නමුත් අපි පීඩනයක් යටතේ තීරණ ගැනීමේදී මොළයේ සීමාවන්ට යටත් නොවී, පක්ෂග්‍රාහී නොවී ප්‍රශ්නයේ දෙපස ම බලනවා ද යන්න සිතා බැලිය යුතු යි. ඒකාකෘති මෙවන් පක්ෂග්‍රාහී නිගමනවලට තුඩු දෙන අතර, අ‍පි කිසියම් ජනතාවක් වෙන් කොට සැලකීමට එය මූලාරම්භයක් වීමටත් හැකි යි.

අපේ මනස නොදැනුම්වත්ව ම එවන් පක්ෂග්‍රාහී තීරණ ගැනීම වලක්වන්නට නම් මේ ඒකාකෘති වටා ගෙතී තිබෙන මතවාද බිඳැලිය යුතු වෙනවා. එනමුත් වෙනස්වන සමාජය, අභියෝගවලට තුඩු දී සිටින ජන කොටස් සමඟ එවන් වෙනසක් කිරීම පහසු දෙයක් නොවෙ යි.

වැඩිහිටි විය සම්බන්ධ සෘණාත්මක ඒකාකෘති

වැඩිහිටි විය සම්බන්ධ සෘණාත්මක ඒකාකෘති ඉවත් කිරීමට කැමති අය දැනටමත් TikTok හි සමාජ මාධ්‍ය විප්ලවයක් ආරම්භ කර තිබෙනවා. TikTok භාවිත කරන්නන්ගෙන් 41% ක් වයස අවුරුදු 24 ට අඩු අය නමුත් මුළු පරිශීලකයන්ගෙන් 14.5% ක් පමණ 50 ට වැඩි අය යි. Statista හි දත්ත අනුව 2021 සැප්තැම්බර් වන විට එම අගය 11%ක් ව පැවතුණා.

ඉහත කී සිංගප්පූරු අධ්‍යයනය අනුව මහලු පරපුර දැන් වැඩි වැඩියෙන් ටික්ටොක් වෙත යොමු වෙමින් සිටින අතර, තරුණයන් වටා කේන්ද්‍රගත වුණු ලෝකයට තමන්ගේ ජීවිතය ගෙවෙන ආකාරය, ඔවුන් විනෝද වන ආකාරය, ඔවුන්ගේ අදහස් මොනවාද යන්න පෙන්වා දීම දැන් ඇරඹී තිබෙනවා.

අවුරුදු 60ට වැඩි ටික්ටොක් පරිශීලකයන් අතරින් followersලා 100,000 ඉක්මවූ අයගේ ගිණුම් පර්යේෂණවල අවධානය යොමු වී තිබෙනවා. ඒවායේ පෝස්ට් 1,382ක් දක්වාත්, views බිලියන 3.5ක් ඉක්මවා දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

වැඩි ජනප්‍රියතාවක් ලබා ගත් ගිණුම් කිහිපයක්

වැඩි ජනප්‍රියතාවක් ලබා ගත් ලොව පුරා වැඩිහිටි පුද්ගලයන්ගේ ටික්ටොක් ගිණුම් කිහිපයක් මෙසේයි.

@dolly_broadway

අවුරුදු 89ක් වයස ඩොලී ආච්චිට ෆලෝවර්ස්ලා මිලියන 2.4ක් ඉන්නවා. හාස්‍යෝත්පාදක සහ උපහාසාත්මක වීඩියෝ වලින් පිරී ගිය ඇගේ ඇතැම් වීඩියෝවල තරුණ තරුණියන්ගේ පමණ ඉක්ම වූ හැසිරීම්, විලාසිතා ක්‍රම උපහාසයට ලක් කෙරෙන අතර, අවසන් වීඩියෝවේ තම පවුලේ අය සමඟ Tortilla Challenge එක කරන ආකාරයත් දැක්වෙනවා. ඇයට වෙළෙඳ සමාගම්වලින් අනුග්‍රාහකත්වය පවා ලබා දී ඇති අකාරය ඇතැම් පළ කිරීමක දැකගන්නට පුළුවන්.

ඇගේ ගිණුම මෙතැනින් නරඹන්න: Dolly Broadway (@dolly_broadway)

@grandadjoe1933

හාස්‍යජනක වීඩියෝ කරන, වචනයක්වත් කතා නොකරන මේ සීයා ඇතැම් වීඩියෝවල තම මිණිබිරියන් ද හවුල් කරගනිමින් වීඩියෝ ඉදිරිපත් කරනවා. “මට ඔයාගේ මිණිබරියව යාළු කරලා දෙන්න බැරිද?” යන මැයෙන් යුත් වීඩියෝවක ඒ සඳහා හොර රහසින් පොඩි දරුවකුගෙන් ‍ඩොලර් 5ක් ලබා ගන්නා ආකාරයත්, “පිස්සෙක් මැරෙනවා හෝ මිණිබිරිය මැරෙනවා” යන විකල්ප දෙකෙන් එකක් තෝරාගන්නැයි කී විට මුල් විකල්පය තෝරා ගැනීමත් එවිට ඇගේ මිණිබිරිය ම මැරී වැටෙන හැටිත් (ඇයට පිස්සු නිසා) ඔහුගේ හාස්‍යෝත්පාදක වීඩියෝ එකමුතුවෙන් දැක ගත හැකි යි. ඔහු ඇත්තෙන්ම විනෝදයෙන් කල් ගෙවන ආදරණීය සීයා කෙනෙක් වගෙ යි.

ඔහුගේ ගිණුම මෙතැනින් නරඹන්න: Grandadjoe (@grandadjoe1933)

@grandma_droniak

අවුරු 92ක මේ ආච්චි ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ ව උපදෙස් ලබා දෙනවා. ඇය තරම් දිගු වයසක් ජීවිතය ගත කරන්නේ කෙසේද, සතුටින් සිටින්නේ කෙසේද වැනි දේවල් පමණක් නොව තමා කැමති සහකරුවකුගේ කුමන ආකාරයේ ගුණාංගවලට ද, පැරණි ඡායාරූපවල ඇය මොන වගේද වැනි පුද්ගලික දේවල් ද ඇය කතා බහ කරනවා.

එසේම ඇය දිගු ඇඳුම් අඳින්නේ ඇයි, සොර පෙම්වතෙක් ඉන්නවාද වැනි විවිධ අය අසන ප්‍රශ්නවලට ද ඇය පිළිතුරු ලබා දී විඩියෝ ඉදිරිපත් කර තිබෙනවා.

ඇගේ ගිණුම මෙතැනින් නරඹන්න: Grandma_Droniak (@grandma_droniak)

@grandmaann2

“මට දැන් වයසයි, ඒ නිසා ඉක්මනට මාව ෆලෝ කරන්න” යැයි තම Bio එකේ සඳහන් කරගත් මේ මිත්තණිය සපත්තු සහ ඇඳුම්වලට දැඩිව ප්‍රිය කරන්නියක්. Followersලා මිලියන 2ක් සහ Like මිලියන 63.5 ඉක්මවා ලද ඇයත් වෙළෙඳ ආයතනවල අනුගාහකත්වය ලබා ගන්නට දැන් සමත් ව සිටිනවා.

ඇගේ ගිණුම මෙතැනින් නරඹන්න: grandmas unite (@grandmaann2)

@grandpachan

අවුරුදු 79ක් වයස කොරියානු යුවළක් තමන්ගේ දවස විනෝදයෙන් ගෙවෙන හැටි ටික්ටොක් හරහා ඉදිරිපත් කරනවා. විවිධ සින්දුවලට නර්තනයේ යෙදෙමින් සහ ඇතැම් ඒවාට මිණිබිරියන් ද සහභාගී කරවා ගන්නා ඔවුන් “Head Shoulders Knees and Toes” වැනි ළමා ගීතවලට පවා නර්තයනයේ යෙදෙන්නේ වයසට යාම හන්දිපත් රුදාවට හේතුවක් නොවේයැයි පෙන්වා දෙන්නා සේ යි.

ඔවුන්ගේ ගිණුම මෙතැනින් නරඹන්න: grandpachan (@grandpachan)

කවරයේ ඡායාරූපය-  තෝරා ගත් ටික් ටොක් ගිණුම් කිහිපයක්

මූලාශ්‍ර:

TheNextWeb
The Guardian
Statista
Springer
Oxford Academic

Related Articles