Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉලෝන් මස්ක් යටතේ ට්විටර් අනාගතය කොයිබටද?

ලොව ධනවත් ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට ට්විටර් සමාගමේ බහුතර කොටස් මිල දී ගැනීමත් සමඟ ඔහු එහි හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය. මෑතකාලීන ව වඩාත් කතාබහට ලක් වූ ගනුදෙනුවක් වන මෙය, පසුගිය අප්‍රේල් මස ආරම්භ වී මාස ගණනාවක් පුරාවට සිදු වූ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම්වලින් පසු අවසානයක් කරා එළැඹුණේ පසුගිය ඔක්තෝබර් 27 වැනි දින ය.

ට්විටර් සමාගමේ හිමිකාරිත්වය ලබා ගැනීමත් සමඟ එහි එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල් සහ තවත් විධායක නිලධාරීන් ගණනාවක් (ඉන්දියාවේ පමණක් එහි සාමාජිකයන් 200 දෙනකුගෙන් 90% කට වඩා වැඩි ප්‍රමාණයක්) සේවයෙන් ඉවත් කිරීමට මස්ක් කටයුතු කළේ ය. ඊට අමතර ව ට්විටර් සමාගමේ සේවකයන් විශාල ප්‍රමාණයක් ඉවත් කර, සමහර ප්‍රදේශවල හා රටවල කාර්යාල වසා දැමීම ඇතුළු ආන්දෝලනාත්මක වෙනස්කම් ගණනාවක් සිදු කිරීම පිළිබඳ ව මේ වන විට ඔහුගේ අවධානය යොමු වී ඇත.

මස්ක්, ට්විටර් සමාගම මිල දී ගත් දින පටන් එහි සිදු වූ වෙනස්කම් සහ ඉදිරියේ දී සිදුවීමට නියමිත වෙනස්කම් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි ට්විටර් සමාගමේ ප්‍රධාන කාර්යාලය – sf.curbed.com

රැකියා කප්පාදුව

7,500කට වැඩි ට්විටර් සමාගමේ සේවක පිරිස අතරින් 50%ක් පමණ සේවයෙන් ඉවත් කිරීමට මස්ක් පසුගිය සතියේ කටයුතු කළේ ය. ඔහු සමාගමේ සේවක සංඛ්‍යාව 3,700ක් වැනි සංඛ්‍යාවක් දක්වා කප්පාදු කර තිබිණි. ට්විටර් සමාගමේ සේවකයන් වෙත ආයතනයේ කළමනාකාරිත්වය පසුගිය සතියේ එවා තිබූ විද්‍යුත් තැපැල් පණිවිඩයක “ට්විටර් සමාගම සුබදායි මාවතකට ප්‍රවේශ කිරීම උදෙසා  සේවක පිරිස පහළ දැමීමේ දුෂ්කර ක්‍රියාවලියට අවතීර්ණ වීමට අපට සිදු වේ.” යනුවෙන් සඳහන් විය.

පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 221ක අලාභයක් ලැබූ ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලබා ගැනීමට මස්ක් ඩොලර් බිලියන 13කට ආසන්න මුදලක් ණය වශයෙන් ලබා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ සඳහා වසරකට ගෙවිය යුතු පොලී මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන එකක් පමණ වනු ඇත. ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට ඔහු ට්විටර් සමාගමේ අනවශ්‍ය වියදම් කපාහැර එහි වාර්ෂික ආදායම ඉහළ නැංවිය යුතු ව ඇත. සමාගමේ පසුගිය වසරේ ආදායම ඩොලර් බිලියන 5.1ක් විය.

ට්විටර් සේවක පිරිසක් – www.nytimes.com

සේවයෙන් පහ කළ විධායක නිලධාරීහු

ඔක්තෝබර් මස අවසන් සතියේ ට්විටර් සමාගමේ හිමිකාරිත්වය අත්පත් කර ගත් විගස මස්ක් එහි සභාපති බ්‍රෙට් ටේලර් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කළේ ය. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ පැරාග් අග්‍රවාල්, ප්‍රධාන මූල්‍ය නිලධාරි නෙඩ් සේගල් සහ නීති, ප්‍රතිපත්ති සහ භාරයේ ප්‍රධානී විජය ගාද්දේ සේවයෙන් පහ කළ ඉහළ පෙළේ නිලධාරීන් අතර විය. ඉවත් කළ නිලධාරීන් වෙනුවට, මස්ක් ඔහුගේ පුද්ගලික නීතීඥ ඇලෙක්ස් ස්පිරෝ සහ හිතවතුන් වන ජේසන් කැලකානිස් සහ ඩේවිඩ් සැක්ස් ඇතුළු කණ්ඩායමක් ට්විටර් සමාගම පවත්වාගෙන යාම සඳහා සම්බන්ධ කරගෙන ඇත.

සත්‍යාපිත ගිණුම් හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට තීරණයක්

යම් යම් ක්ෂේත්‍රවල කැපී පෙනෙන පුද්ගලයන්ගේ ට්විටර් ගිණුම්වල ඔවුන්ගේ නමට යාබද ව නිල් පැහැති සලකුණක් තිබෙනු ඔබ දැක තිබෙනු ඇත. එම සලකුණ සහිත ගිණුම් සත්‍යාපනය කළ ගිණුම් ලෙස හැඳින්වේ. එවැනි සත්‍යාපිත ගිණුම් සඳහා මාසික ගාස්තුවක් අයකිරීමට මස්ක්ගේ කළමනාකාරිත්වයෙන් යුතු ට්විටර් සමාගම තීරණය කර ඇත. දැනට වාර්තා වන ආකාරයට මෙම ගිණුමක් සඳහා මාසිකව ඩොලර් අටක මුදලක් අයකිරීමේ සූදානමක් තිබේ. මස්ක් පසුගියදා සිය නිල ට්විටර් ගිණුමේ තැබූ සටහනක ද ඒ පිළිබඳව සඳහන් විය.

සත්‍යාපිත ගිණුම් සඳහා මාසික ගාස්තුවක් අයකිරීමට ට්විටර් සමාගම තීරණය කර ඇත – www.hollywoodreporter.com

දෛනික ව ට්විටර් සමාජ ජාලයේ පෝස්ටු පළ කරන පරිශීලකයන් මිලියන 230කට ආසන්න ප්‍රමාණයෙන් 420,000කගේ ගිණුම් සත්‍යාපනය කළ ඒවා වේ. එම ගිණුම්වලින් මාසිකව ඩොලර් අටක ගාස්තුවක් අයකරන්නේ නම් ට්විටර් සමාගමට මාසිකව ඩොලර් මිලියන තුනකට වැඩි මුදලකුත්, වාර්ෂික ව ඩොලර් මිලියන 36කට වැඩි මුදලකුත් ඒ හරහා ලැබෙනු ඇත. ආරම්භක අවස්ථාවේ දී මාසික ගාස්තුව නොගෙවන සත්‍යාපිත ගිණුම් හිමියන්ගේ ගිණුම් අත්හිටුවීමක් සිදු නොවන නමුත්, ඔවුන් දිගින් දිගට ම ගෙවීම් නොකරන්නේ නම් එම ගිණුම් අත්හිටුවීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

පුවත් හසුන් වේදිකාව වන Revue, වසර අවසාන වන විට වසා දැමේ – chrome.google.com

මස්ක්, මුළු Twitter වේදිකාව ම ගෙවුම් පවුරක් (paywall) හරහා ක්‍රියාත්මක කිරීම ගැන ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. එවිට Twitter සමාජ ජාල වේදිකාව භාවිත කරන පිරිසට ඒ සඳහා අනිවාර්යයෙන් ම යම් ගෙවීමක් කරන්නට සිදු වනු ඇත.

දීර්ඝ සටහන් තැබීමක් වෙනුවෙන් ඉඩ ලබා දුන් ට්විටර් හි Notes සඳහා දින නියමයක් නොමැතිව “විරාමයක්” තබා ඇත. 2021 මුල දී ට්විටර් අත්පත් කර ගත් පුවත් හසුන් වේදිකාව වන Revue, වසර අවසාන වන විට වසා දැමීමට ද මස්ක් පරිපාලනය සැලසුම් කර ඇත. Twitter සඳහා crypto wallet එකක් තැනීමේ වෑයමක් ද මෑතක දී හෙළිදරව් වූ සැලැසුම් අතර වූ බව වාර්තා වේ.

අන්තර්ගත මධ්‍යස්ථකරණය සහ ගිණුම් ප්‍රතිස්ථාපන සැලසුම්

අන්තර්ගත මධ්‍යස්ථකරණය සඳහා නව කවුන්සිලයක් පත් කරන තෙක් ට්විටර් සමාගමේ අන්තර්ගත ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක්, හෝ එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැනි තහනම් කළ ගිණුම් නැවත ස්ථාපිත කිරීමක් නොකරන බව මස්ක් ප්‍රකාශ කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ ගිණුම් ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවම වශයෙන් සති කිහිපයක් ගත වනු ඇති බව යි.

ඉලෝන් මස්ක් හා ට්විටර් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී පැරාග් අග්‍රවාල් – – www.wikipedia.org / www.lehren.com

අන්තර්ගතය අනුව බෙදා වෙන් කිරීමට සැලසුම්

අන්තර්ගතයන් අනුව ට්විටර් සමාජ මාධ්‍ය ජාලය බෙදා වෙන් කිරීමේ සැලසුමක් මස්ක් ඉදිරිපත් කර ඇත. ඔහු යෝජනා කර ඇත්තේ තමන්ට අවශ්‍ය ආකාරයේ අන්තර්ගත සහිත චිත්‍රපටයක් තෝරාගන්නා පරිදි, තමන්ට අවශ්‍ය ට්විටර් අනුවාදය තෝරා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව දිය යුතු බව යි. එමෙන් ම ට්විටර් ජාලය වීඩියෝ ක්‍රීඩා විලාස කිහිපයක ආකාරයෙන් බෙදිය යුතු බවට පරිශීලකයෙක් ඉදිරිපත් කළ යෝජනාව ද ඔහු අනුමත කර ඇත. සිය පෝස්ටු පළකිරීම් සඳහා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලබා දෙන විශේෂාංගයක් හඳුන්වා දීමට ද මේ වන විට යෝජනා වී ඇත.

වීඩියෝ හුවමාරු වයින් යෙදවුම

ට්විටර් සමඟ සම්බන්ධිත ව තිබූ, විනාඩි හයක වීඩියෝ හුවමාරු කරගැනීමට පහසුකම් සපයන වයින් යෙදවුම නැවැත හඳුන්වා දිය යුතු ද යන්න පරිශීලක අදහස් විමසීම සඳහා මස්ක් ඔක්තෝබර් මස අවසන් සතියේ මත විමසුමක් සිදු කළේ ය. එම මත විමසුමට පුද්ගලයන් මිලියන පහක් පමණ සහභාගී වී තිබූ අතර ඔවුන්ගෙන් 70%ක් පමණ එම යෙදවුම නැවත හඳුන්වා දීම සම්බන්ධයෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. 2016 වසරේ දී එම යෙදවුම අත්හිටුවීමට ට්විටර් සමාගම පියවර ගත් අතර, නැවත එය ට්විටර් යෙදවුමට සම්බන්ධ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මස්ක් අදාළ තාක්ෂණික නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

වයින් යෙදවුම නැවත ට්විටර් හා සම්බන්ධ කිරීමේ සූදානමක් ඇත – www.wikipedia.org

වීඩියෝ අන්තර්ගත සඳහා අයකිරීම්?

දැනට වාර්තා වන ආකාරයට ට්විටර් ජාලයේ පළ කරන වීඩියෝ අන්තර්ගත (Video Content) සඳහා ගාස්තුවක් අය කිරීම පිළිබඳව ද මස්ක් අවධානය යොමු කර ඇත. මෙම විශේෂාංගය යටතේ වීඩියෝ පළ කිරීමට පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන අතර, ඒවා නරඹන පරිශීලකයන්ගෙන් ගාස්තුවක් ඇය කිරීමට නියමිත ය. කෙසේ වෙතත් මෙම සැලසුම අවදානම්සහගත එකක් බවට මත පළ වී ඇත.

බොහෝ දෙනෙක් පෙන්වා දී ඇත්තේ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් බුද්ධිමය දේපළ පිළිබඳ ගැටලු, නිර්මාපකයා සහ පරිශීලකයා අතර ඇති විශ්වාසය පිළිබඳ ව ගැටලු සහ වෙනත් නීතිමය ගැටලු ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බව ය.

ටෙස්ලා සමාගමේ සේවකයන් ට්විටර්හි සේවයට

ට්විටර් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඉතා වැදගත් කරුණක් වන මෘදුකාංග සම්බන්ධ කටයුතු සඳහා මස්ක්ට අයත් ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන් සහ විශේෂඥයන් 50කට ආසන්න පිරිසක් අනුයුක්ත කර ඇතැයි වාර්තා වේ. ප්‍රතිව්‍යුහගත කිරීම් කඩිනම් කරන්නැයි මස්ක් දිගින් දිගට ම බලපෑම් කරන නිසා ඔවුන් මේ වන විට ට්විටර් යෙදවුමේ කේත සමාලෝචනය කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ය.

මස්ක්ට අයත් ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගම – www.britannica.com

දැන්වීම් ලබා දෙන්නන් පිනවීමට උත්සුක වන මස්ක්

ට්විටර් සමාගම සමඟ කටයුතු කළ වෙළෙඳ දැන්වීම්කරුවන් සමාගමෙන් වෙන් ව යාම වැලැක්වීමට මස්ක් විශාල ප්‍රයත්නයක් දරමින් සිටී. ට්විටර් සමාගමේ ආදායමෙන් 90%ක් පමණ ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම් හරහා බැවින්, සමාගමේ ආදායම ඉහළ නංවන අතරවාරයේ වෙළෙඳ දැන්වීම් වැඩි වැඩියෙන් ලබා ගැනීම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු වී ඇත.

එහි එක් පියවරක් ලෙස සමාගම අත්පත් කරගැනීමෙන් පසු ඔහු වෙළෙඳ දැන්වීම් ලබා දෙන සමාගම් වෙත යැවූ පණිවිඩයක සඳහන් වූයේ ට්විටර් ජාලය වෛරී ප්‍රකාශ සඳහා තෝතැන්නක් වීමට ඉඩ නොතබන බව ය. කෙසේ වෙතත් ට්විටර් හරහා සිය ප්‍රචාරණ කටයුතු සිදු කළ ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක් මේ වන විට ට්විටර් සමාගමට වෙළෙඳ දැන්වීම් ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇතැයි කියැවේ.

ට්විටර් හි Notes සඳහා දින නියමයක් නොමැති “විරාමයක්” – mashable.com

රටවල් කිහිපයකින් ට්විටර් වෙත ප්‍රතිචාර

සමාගමේ සේවක සංඛ්‍යාවෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බැවින් යම් යම් රටවල්වල පුරවැසියන් ඉලක්ක කර ගත් වැරදි පළකිරීම් පිළිබඳ ව සොයා බැලීම සහ එවැනි පළ කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී ඇත.

එබැවින් ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක් සිය රටවල පුරවැසියන් ඉලක්ක කරගත් දුස් තොරතුරු ඇතුළත් සහ අපහාසාත්මක පළ කිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන් සේවයෙන් පහ කර තිබේ ද, එසේ නම් ඔවුන් සිදු කළ කාර්යභාරය මේ වන විට සිදු කරන්නේ කවුරුන් ද වැනි කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් බලාපොරොත්තුවෙන් ට්විටර් සමාගමට සහ මස්ක්ට ලිපි යොමු කර තිබේ. 

කවරයේ ඡායාරූපය: මස්ක් - www.techcrunch.com
මූලාශ්‍ර:
www.nytimes.com
www.theguardian.com
www.bbc.com

Related Articles