Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චෙන්නායි ගුවාටි හරහා නේපාලයට

නේපාලයට යන්නට නම් තිබෙන වඩාත්ම පහසු ක්‍රමය ගුවනින් නේපාලයේ කත්මන්ඩු අගනුවර වෙතට ලඟා වීම යි. ඇසෑම් කියන්නේ බංග්ලාදේශයට උඩින් චීනයට පහළින් පිහිටි ඉන්දියාවේ ලංකාවට වඩා මඳක් විශාල පළාතක්. බ්‍රහ්මපුත්‍ර නදියට සහ විශාල පහත්බිම් රැසක් මෙම ඇසෑම් පලාතට අයත් වෙනවා. මෙම පළාත ජලයෙන් පොහොසත් පළාතක්. දුම්රියේදී හමු වූ ඇසෑමයේ චීන ඉන්දියා බෝඩරයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් පවසන පරිදි: “ඇසෑම් ඉස් ඕල්වෙස් වෝටර්, වෝටර්, වෝටර්“

ගුවාටි සිට ගොරක්පූර් දක්වා

ඇසෑම් වර්තමාන ඉන්දියේ ජනප්‍රිය වෙමින් පවතින සංචාරක ස්ථානයක් . සුවිසල් බ්‍රහ්මපුත්‍ර නදියේ නාවුක සවාරි, දේවාල ආරාම සහ බෞද්ධ වෙහෙර විහාර, ඇසෑම් ජන ජීවිතය. රයිනෝ සහ කොටි වලසුන් සහිත මහ වනාන්තර ඇසෑමයට යන සංචාරකයින්ගේ ඇස සහ සිත පිනවන ස්ථාන බවට පත් වී තිබෙනවා. අරුනාචල් සහ නාගලන්ත පළාත්වල තවමත් යම් දේශසීමා ආරවුල් තිබෙන නිසා විදේශිකයින්ට ඇතැම් දේශසීමා අසල මනරම් කඳුකර ගම්මාන දැකගන්නට අවස්ථාවක් ලබාගන්නට අපහසුයි. චෙන්නයි සිට ගුවාති දක්වා ගමණ පැය දෙක හමාරක් වූ ගුවන් ගමනක් තිබෙනවා.

දුම්රිය ගමනේ දී

තනියෙන් යන විට මූලික සැලසුම්

තනියම ගමනක් යන විට ගුවන් ගමන් වෙන්කරවා ගැනීම, නවාතැන් තිබෙන ස්ථාන සොයාබැලීම, ගුවන් තොටින් බැස්ස පසු නවාතැනට ලඟා වන ආකාරය, ඊළඟට දුම්රිය බස් ආදිය වෙන්කරගැනීම ආදිය ගැන සැලකිය යුතු අධ්‍යයනයක් කොට අවශ්‍යම තොරතුරු සටහන් වශයෙන් හෝ මුද්‍රණය කරගෙන යෑම වඩාත් වැදගත් කාරණාවක්. ඉන්දියාවේ ජංගම දුරකථන අන්තර්ජාල සේවා කෙතරම් පතළ වුවත් විදේශිකයින්ට නව සිම්පතක් සක්‍රිය කරගන්නට සැලකිය යුතු කාලයක් මිඩංගු වෙනවා .

මාස දෙකකට පමණ පෙර ගුවන් ගමන් වෙන්කරගැනීම් ගුවන් සමාගම් වල වෙබ් අඩවි වලින් සිදු කරගත හැකියි. ඉන් පසු ඉන්දීය රේල්වේ අඩවියෙන් (IRCTC) ආසන වෙන් කරගැනීම කළ හැකි අතර නැවතීම පිණිස ඔන්ලයින් හෝටල කාමර වෙන් කරගැනීම booking.com සහ අනෙකුත් අඩවි වලින් වැඩිපුර නවාතැන් පිහිටි ප්‍රදේශය හඳුනාගෙන පහසුවෙන්ම හෝටල් සහ නවාතැන් සොයාගන්නට හැකියාව ලැබෙනවා.

දුම්රියේ අසල්වැසියෝ

නේපාලයට ඉන්දියාවෙන් යන පාරවල්

ඉන්දියාව හරහා නේපාලයට යන්නට ඉන්දියානුවන්ට සහ නේපාල් ජනයාට නම් කොතෙකුත් මාර්ග තිබෙනවා. ඔවුන් අතර වීසා හෝ අනන්‍යතා පරීක්ෂාවක් දරුණුවට සිදු වන්නේ නෑ. එබැවින් නේපාල ඉන්දියා බෝඩරය විටෙක විවෘත බෝඩරයක්.

විදේශිකයින්ට ඉන්දියාවෙන් නේපාලයට පිවිසෙන්නට ස්ථාන තුනක් තිබෙනවා. රක්ෂෝල් බිර්ගුන්ජ් (Raxaul-Birgunj) පිවිසුම, සොනෝලි-බයිරවා (Sounouli –Bahirawa)පිවිසුම, පනිටන්කි කකර්විට්ටා (Panitanki-Kakkarvitta) ආදී පිවිසුම් තුනක් තිබෙනවා. මෙයින් දිල්ලිය, වාරණාසී ලක්නව් ආදී උතුරු ඉන්දීය පළාත් වලින් නේපාලයේ පොකරා ලුම්බිණි ආදී ප්‍රදේශවලට පිවිසිය හැකි සොනෝලි පිවිසුම් වඩාත් ජනප්‍රිය පිවිසුම වනවා. කල්කටා-පාඨලීපුත්‍ර වැනි ඉන්දීය පළාත්වලින් කෙලින්ම කත්මන්ඩු වලට ප්‍රවිශ්ට වීමට අපේක්ෂා කරන අයට රක්ෂෝල් බිර්ගුන්ජ් පිවිසුම වඩාත් යෝග්‍ය වෙනවා. බංග්ලාදේශ ජාතිකයින්, ඇසෑම් ජාතිකයින් නේපාලයට පිවිසෙන්නට භාවිතා කරන්නේ නේපාල නැගෙහිර දෙස වූ කකර්විට්ටා පිවිසුම යි.

නේපාලයේ කත්මන්ඩු නුවරට කෙලින්ම ගුවන් ගත වුවද ඉන් පසු ලුම්බිණි හෝ පොකරා වැනි නගර කරා ළඟා වීමට පැය කිහිපයක් කදුකර මගක ගමන් කරන්නට හෝ අභ්‍යන්තර ගුවන් ගමනක් භාවිතා කරන්නට සිදු වෙනවා. දඹදිව වන්දනා නඩ බහුල ඇතැම් කාලවල කල්කටා, ගයා, වාරණාසී වැනි නගර කරා කෙලින්ම ලංකාවෙන් ගුවන් ගමන් යෙදෙන අවස්ථා තිබෙනවා. එවන් ගුවන් ගමනක් යොදාගත හැකිනම් නේපාලයට පහසුවෙන්ම ඉන්දියාව හරහා ඇතුළුවන්නට අවකාශ සැලසෙනවා.

ගුවාටි ගොරක්පූර් පාර

මෙම මාර්ගය පැය විසිහතරක දීර්ඝ දුම්රිය ගමනක් සහිත ඉන්දියාවේ දවස් දෙකක් පමණ රැඳී සිටිමින් නේපාලයට ඇතුළුවීමේ දුෂ්කර ප්‍රවේශයක්. සැබැවින්ම මෙම ඇසෑම් කොටසේ දුම්රිය මග දෙපස භූමි දර්ශන සාමාන්‍ය ඉන්දිය දුම්රිය මගක භූමි දර්ශන වලට වඩා නෙත්කළුයි. ඇතැම් තැනක ඈත ඉම දක්වා කදු යායවල්, කෙත් යායවල්, තේවතු යායවල් දර්ශනය වනවා. අපේ මෙන් වරක් බැලූවිට කෙළවර ලෙහෙසියෙන් පෙනෙන ගංගා වෙනුවට මෙහි ඇති මහා බ්‍රහ්මපුත්‍ර නදිය එක් කෙලවරක සිට බැලූ කල අනෙක් කෙලවර දක්වා පෙනෙන්නේ තෙරක් නොපෙනන ජල තලය සහ ක්ෂිතිජය පමණයි..

බ්‍රහ්මපුත්‍ර නදියේ ඉදිකර ඇති මහල් දෙකේ පාලම මෙහි දුම්රිය ධාවනය වන්නේ පහත මාලයේය. https://i.ytimg.com/vi/0M2HT2h1rn8/maxresdefault.jpg

Kamakhya-Anandvihar (15621) දුම්රියේ ගුවාටි සිට ගොරක්පූර් දක්වා ගමනට නිදන මැදිරියක ආසනයක් හරිම අගෙයි. කාරුණික මගීන් මුණගැසෙන මෙම ගමනේදී සිය වැඩිමහලු නෑසියන්ට වන්දනාමාන කොට ඔවුන් අත රුපියල් 20-30 බැගින් බලෙන්ම වගේ මිට මොලවන දරු මුණුබුරන් සහ සන්තෝසයට දුන් ඒ කුඩා රුපියල් ප්‍රමාණයෙන් වැඩිකොටසක් දුම්රියේ ගමන්ගත් යාචකයින්ට ලබාදීම පිණිසම වියදම් කරන මහල්ලන් ද ඔබට දැකගත හැකිවේවි. දීර්ඝ දුම්රිය ගමනක් වන බැවින් සැහැල්ලු ඇඳුම් උචිතයි.

ගුවාටි කමාක්යා සිට ගොරක්පූර් දක්වා දුම්රියේ ගමන්කල මාර්ගය

මෙම සාමාන්‍ය නිදන මැදිරි සහිත දුම්රිය පංතිය භාවිත කරන්නේ ඉන්දීය පහළ මැද පන්තිය සහ දුප්පතුන් විසින්. එහෙත් මින් ඉහළ ඇති වායුසමන මැදිරි තුළදී එළියේ සිරිය නිවැරදිව විඳ ගැනීමටවත් ඡායාරූප ගැනීමටවත් හැකියාව අඩුයි. මන්ද ඒවායෙහි වායුසමනයට සුදුසු පරිදි වීදුරු සීල් කර ඇති නිසා. එසේ ම ඇතැම් අවස්ථාවලදී වායුසමන පද්ධතිය සුවපහසුවෙන් තොර වූ විට සාමාන්‍ය පන්තියටත් වඩා අපහසුවෙන් අපිට ඒ මැදිරිවල ගමන් කරන්නට සිදු වෙනවා.

දුම්රියේ කෑම බීම

ඉන්දීය දුම්රිය යනු විටෙක කෑම අතිරික්තයක්. නොනවතින වෙළඳුන් නිසා කෑම සහ තේ වලින් නම් කිසිම අඩුපාඩුවක් දුම්රිය ගමනේදී සිදුවන්නේ නෑ.. නමගිය දුම්රිය ස්ථානයක දුම්රිය නැවැත්වූ කල වේදිකාවල සිටින, රොටි, ඉට්ලි, තෝසේ. වඩේ, නාන්, පරාටා ආදී වෙළෙන්දන් රැසක් හමු වෙනවා. ඔවුන්ගෙන් ආහාර පාන පහසු මිලට මිලදී ගන්නට හැකියි. ඇතැම් කෑම වල ඇති රසය නම් ශ්‍රී ලාංකික දිවට එතරම්ම මිහිරි නැහැ. ඒත් කන්න පුළුවන් කෑමත් බොහෝ ප්‍රමාණයක් ඉන්දීය දුම්රිය කෑම මෙනුවල තිබෙනවා.

ඔබ හොඳ වායුසමනය කරන ලද දුර ධාවනය කරන රාජධානි, ධුරන්තෝ, ෂටාබ්ධි, හම්ෂෆර් වැනි ඉන්දීය දුම්රියක අසුනක් තෝරාගන්නේ නම් එම පංතිවල අයට ආහාරවේල සහ තේ ගාස්තුවද එම ප්‍රවේශ පත්‍රයට ඇතුලත්. එම සුවපහසු දුම්රියෙහි වෙනම ම ආහාර සකසන මැදිරියක්ද දුම්රියට ඇතුලත් නිසා සුවපහසු වායුසමන මැදිරියක ආසනයක් තොරාගත්විට  සීතලේ ගැහි ගැහී කන්නත් නැතුව නැතිව යන්නවෙයිද කියා බියවීමට නම් කිසිම හේතුවක් නැහැ.

ගොරක්පූර් වලින් බැසීම

ඉන්දීය දුම්රිය තවමත් මළ අපද්‍රව්‍ය මාර්ගයටම මුදාහරින පැරණි මැදිරි රැසක්ම ධාවනයේ යොදවනවා. ඒ නිසා ජනාකීර්ණ පලාත්වලදී දුම්රිය මග ඔස්සේ එන දුගඳට නම් නහය මඳක් හුරුකරගත යුතුම වෙනවා.

දුම්රියෙන් එලිය බැලූ විට දසුනක්

ගොරක්පූර් සිට සොනෝලි දක්වා

වාර්ථා වල දැක්වුනු පරිදි ගොරක්පූර් දුම්රිය ස්ථානය යනු රැවටිලිකරුවන් බහුල ඉසව්වක්. සොනෝලි පිවිසුමෙන් නේපාලයට ඇතුල් වන්නට ගොරක්පූර් දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 100කට ආසන්න දුර ප්‍රමාණයක් තිබෙනවා. ඉන්දියානුවෙක් වගේ දිග කලිසමකින් සහ අත්දිග කමිසයකින් සැරසී ගොරක්පූර් දුම්රිය ස්ථානයෙන් පිටවුණොත් රැවටිලිකරුවන්ගෙන්  වැඩි කරදරයක් නම් වෙන එකක් නැහැ. එතැනින් ඉතා පහසුවෙන් සොනෝලි දක්වා බස් රථයක් සොයා ගත හැකියි.

බස්රියට සොනෝලි දක්වා යන්නට තිබෙන්නේ කිලෝමීටර සියයක්. එහෙත් පාන්දර 7ට වගේ පිටත් වන නිසා බස් රථ අතරමග තැනක තේ බොන්නට පවා නවත්වනවා. භාෂාව බස් රියේ හැඩය සහ මිනිසුන් වෙනස් වුවත් බස් රියේ පරිසරය නම් ලංකාවට බොහෝම සමානයි. ඉතුරු රුපියල දෙක නොදුන්නාට කෑ ගසන මගීන්, නිතර වාඩිවෙන්නට පස්සට යන්නට කියන කොන්දොස්තර තැන, කොටමින් සිට එකවර පසුපසින් එන බසය දැක විදින රියදුරු තැන උතුරු ඉන්දියාවේ ගොරක්පූර් වලදීද එසේම දැකගන්නට හැකියි.

සොනෝලි පිවිසුමෙන් නේපාලයට ඇතුල් වූ ආකාරය සහ පොක්රා බලා ගිය සැටි අපි ඊලග ලිපියෙන් බලමු.

කවරයේ පින්තුරය: picswalls.com

 

Related Articles