චාරිකා

විනාඩි 5 ක කියවීමක්

කල්තොට සිරියාව

Published

විනාඩි 5 ක කියවීමක් to read

Facebook Twitter GPlus

බලංගොඩ සිට කි. මී. 32ක දුරින් පිහිටි කල්තොට අපූරු දේශගුණයකින් සහ සුන්දර වටපිටාවකින් යුත් පෙදෙසක්. කොළඹ සිට කල්තොටට දුර කි. මී. 161ක් වෙනවා.

මේ ලිපියෙන් ඔබට කියන්නට යන්නේ කල්තොට ප්‍රදේශයේ දී දැකගත හැකියි සුන්දර ස්ථාන ගණනාවක් පිළිබඳවයි.

ගමන් මග

කල්තොට යන අතරමඟ (කුසුම්සිරි විජයවර්ධන)

කල්තොට කරා යාමට බලංගොඩ ඉඳන් විකිලිය, රජවක, මොලමුරේ, තංජන්තැන්න හරහා ගමන් කළ යුතුයි. කැමති නම් බලංගොඩ, කිරිමැටිතැන්න, වැලිගෙපොල, කපුගල, දියවින්න හරහාත් යන්න පුළුවන්. මේ මාර්ග නම් දැන් හොඳින් සකසා ඇති නිසා මෝටර් රථයකට වුවත් පහසුවෙන් ගමන් කළ හැකියි. මේ මාර්ග දෙකින් පළමු පාර ඇදී යන්නේ සුන්දර කඳුකර බෑවුම් පිරි වටපිටාවක් මැදින්. කල්තොටට යන ඔබට මධ්‍ය කඳුකරය අවසාන වී පහතරට වියළි කලාපය ආරම්භ වන ආකාරයත් විඳගන්නට ලැබෙනවා.

බෙල්ලන්ගල කන්ද

කල්තොට නගරය අද්දර සුන්දරත්වය (කුසුම්සිරි විජයවර්ධන)

රජවක තංජන්තැන්න හරහා කල්තොටට යන විට ඔබ ගමන් කරන්නේ බෙල්ලන්ගල කන්ද හරහා තැනූ මාර්ගය ඔස්සේයි. මේ කන්ද භු විද්‍යාත්මකව වැදගත් වන්නේ මධ්‍යම කඳුකරයේ අවසානය සටහන් කරනා නිසයි. භූ විද්‍යාඥයන් එයට පවසන්නේ දක්ෂිණ වේදිකාව කියලයි. එහි උතුරු මායිමේ පිහිටා තිබෙන්නේ රජවක ඖෂධ උද්‍යානයයි. අතරමැදි කලාපයට අයත් මෙහි වියළි කලාපීය වනාන්තර වගේම තෙත් කලාපීය වනාන්තරත් පැතිර තිබෙනවා.

බෙල්ලන්ගල කන්ද වටිනා ඖෂධයක් වන ගම්මාලු ගස්වලට ප්‍රසිද්ධයි. සමහර තැන්වල ගම්මාලු ගස් මණ්ඩි වශයෙන් දක්නට තිබෙනවා. සංජීවනී නම් දුලබ ඔසු පැළෑටිය ද මෙහි තිබෙනවා. බිංකොහොඹ, කොතලහිඹුටු වැනි ඖෂධ වගේම අප රටට ආවේණික මැන්දෝර ගස්ද, නෙල්ලි, බුරුත, වීර, කහට, කිරිකෝන් ආදී ගස්ද මේ වනාන්තරයේ අගය ඉහළ නංවනවා. මෙම දුර්ග මාර්ගයේ ගමන් කරන විට පහළින් වලවේ ගංගා මිටියාවත හා උඩවලව වනෝද්‍යානය අලංකාරව දිස්වන අයුරු දැකගත හැකියි. බෙල්ලන්ගල කන්ද පසුකර ටික දුරක් ගමන කරන ඔබ පිවිසෙන්නේ කල්තොට කුඩා නගරයටයි. එය තවමත් නාගරීකරණය නොවූ ප්‍රදේශයක්.

කල්තොට අමුණ

කල්තොට (කුසුම්සිරි විජයවර්ධන)

පුරාණයේ කල්තොට ඉතා සශ්‍රීක භූමියක් වශයෙන් පැවති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගැනීමට වලවේ ගඟ හරහා තැනූ පැරණි අමුණ ඉංග්‍රීසි පාලන යුගයේ දී ප්‍රතිසංස්කරණය කරලා. දුවිලි ඇල්ල පාරේ කි. මී. 4.4 ක් දුරින් පිහිටි වලවේ ගඟ හරහා ඉදිකළ පාලමට නුදුරින් මෙම අමුණ පිහිටා තිබෙනවා. අදත් ඉන් ලබාගන්නා ජලයෙන් කුඹුරු අස්වද්දනවා.

දූවිලි ඇල්ල

දූවිලි ඇල්ල (Wikipedia.org)

අප රටේ දූවිලි ඇල්ල යයි නම් ලද දියඇලි කිහිපයක්ම තිබුණද ඒ අතරින් අලංකාරම දියඇල්ල කල්තොට දූවිලි ඇල්ලයි. කල්තොට නගරයට කි. මී. බාගයක් මෙපිටින් දූවිලි ඇල්ලට ළඟාවිය හැකි මාර්ගයක් තිබෙනවා. වලවේ ගඟේ දකුණු ඉවුර ඇළ මාර්ගය අද්දරින් වැටී ඇති එම මාවත සොබාසිරියෙන් අනූනයි.. එහි සිට කි. මී. 4ක් දුරින් දියඇල්ල පිහිටා තිබෙනවා.

තංජන්තැන්න හරහාත් මෙම දියඇල්ලට ළඟාවීමට පුළුවන්. හෙක්ටයාර් 1500ක් විශාල මුල්ගම වන රක්ෂිතය මැදින් කඩාහැලෙන වලවේ නදියෙන් නිර්මාණය වන දූවිලි ඇල්ලේ චමත්කාරය එය නැරඹීමෙන්ම විඳගත යුතුයි. එහි උස අඩි 131ක්. ගල්පර්වත මැද දොරුවකින් ජලය කඩාහැලෙන්නේ තවත් ගල් තටාකයකටයි. ඇල්ල අසල එය නැරඹීමට නැරඹුම් ස්ථානයක් මෑතකදී සකසා තිබෙනවා.

බුදුගල ආරණ්‍යය

බුදුගල පධානඝරයක් (කුසුම්සිරි විජයවර්ධන)

කල්තොට සිට කපුගල මාර්ගයේ කි. මී. හතර හමාරක් ගමන් කරන විට මාර්ගය වම්පසින් විහිදෙන කඳුගැටයක් ආශ්‍රිතව බුදුගල පධානඝර ආරණ්‍ය භූමිය දක්නට ලැබනවා. එම පුරාවිද්‍යා බිමට යාබදව බුදුගල ලෙන් විහාරයත් පිහිටා තිබෙනවා. මෙහි පාමුලින් ගලා යන්නේ වලවේ ගඟේ ජලයෙන් පෝෂිතව කල්තොට සිට එන ඇළ මාර්ගයයි.

බුදුගල පාමුල සිට කඳු මුදුනට යනතෙක් විවිධ උස් මට්ටම්වල සකස් කළ පියගැට පේළි පිහිටා තිබෙනවා. පාමුල සිට ඉහළට යනතෙක් පැරණි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා බණ භාවනා කිරීමට යොදාගත් පධානඝර නම් ගොඩනැගිලි දැකගත හැකියි.

පධානඝරයක පියගැටපෙළක් (කුසුම්සිරි විජයවර්ධන)

රිටිගල, අරන්කැලේ, මානාකන්ද වැනි ආරණ්‍යවලත් මේවා දක්නට ලැබෙනවා. ඒ අනුව බුදුගල ක්‍රි. ව. 5-6 සියවස්වල රාජ්‍ය අනුග්‍රහය ලැබූ පුදබිමක් වශයෙන් පැවති බව සැලකිය හැකියි. අද මෙහි නටබුන් රාශියක් වනයට යටවී තිබෙන අතර ඉන් ගොඩනැගිලි කීපයක් සංරක්ෂණය කර තිබෙනවා.

සඳගනා නුවර

සඳගනා නුවර නටබුන් (ඩබ්ලිව්. ප්‍රදීප්)

බුදුගල නරඹා කපුගල මාර්ගයේ තවත් ඉදිරියට යන ඔබට මාර්ගය වම් පසින් හඳගිරිය යයි සඳහන් නාමපුවරුව දැකගැනීමට ලැබෙනවා. එහි සිට වෙල් යායක් මැදින් වැටුණු අතුරු මාර්ගයේ මීටර 200ක් පමණ දුරින් නටබුන් ප්‍රදේශය පිහිටා තිබෙනවා. පැරණි දාගැබ් ගොඩැල්ලක්, මාලිගා ගොඩැල්ල නම් ස්ථානය සහ ගල්ටැම් බහුල ස්ථානයක් ද පැරණි බෝධි වෘක්ෂයක්ද මෙහි දැකගත හැකියි.

මහාවංශයේ සඳහන් පුරාණ චන්දන ග්‍රාමය හෙවත් සඳගනා නුවර පිහිටියේ මෙම ස්ථානයේ බව දැන් තහවුරු වී තිබෙනවා.

දියවිනි ඇල්ල

දියවින්න කඳුවැටිය (කුසුම්සිරි විජයවර්ධන)

සඳගනා නුවර නරඹා මාර්ගයේ තවත් ඉදිරියට යන ඔබ පැමිණෙන්නේ දියවින්නටයි. කල්තොට සිට ඒ වෙත දුර කි. මී. 16ක්. මහාමාර්ගයට ඉතා කදිමට දියඇල්ල ඈතින් කඩාහැලෙන සොඳුරු දසුන දැකගන්න පුළුවන්. ඇල්ල ආසන්නයට යාමට නම් ගමේ විදුහල අසලින් වැටී ඇති කොන්ක්‍රීට් දැමූ අතුරු මාවතක ගමන් කළ යුතුයි. දියඇල්ල අසලට කි. මී. දෙක හමාරක පමණ දුරක් තිබෙනවා.

ගමනේ අවසාන කිලෝමීටරය වැටී අැත්තේ වනබද වටපිටාවක් මැදින්. දියඇල්ල පාමුල පිහිටා තිබෙන්නේ දේවගිරි ලෙන් විහාරයයි. එහි ලෙන්වල සෙල්ලිපි කිහිපයක් ද තිබෙනවා. විහාරය අසල සිට අඩිපාරක කඳුබෑවුම තරණය කර ඇල්ල අසලට යාහැකියි.

දියවිනි ඇල්ල (Ashan Geeganage, amazing lanka.com)

බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ සිට එන ගලා බසින දොළ පහරවල් එකතුවී දෙහිපිටිය, බෝවත්ත, මොලමුරේ ආදී ගම්මානවල ජලයෙන්ද පෝෂණය ලබන දියවිනි ඔය දියවිනි කන්දෙන් පහළට කඩා හැලෙනවා. ඇල්ලේ උස අඩි 200ක්. තනි ඉන්නක් සේ පහළට වැටෙන නිසා එයට දිය ඉන්න යන නම ලැබී පසුව දියවින්න වූ බවයි පැවසෙන්නේ. මෙය පරිසර සංචාරයට කදිම ස්ථානයක්. පසුව කටුපත් ඔයට වැටෙන මෙම ජල දහරාව ඇල්ලෙපොල යාය ප්‍රදේශයේදී වලවේ ගඟට එක්වෙනවා.

උඩුපියන්ගල්ගේ

උඩුපියන් ගල්ගේ සොයා යන අතර හමුවන කම්බි පාලම (කුසුම්සිරි විජයවර්ධන)

දියවින්න දේවගිරි විහාරය අසලින් කැලේ මැදින් අඩි පාරක කිලෝමීටර දෙකක් ගමන් කිරීමෙන් ළඟාවිය හැකි ගල්ලෙනක් පවතිනවා. මහා පර්වත අතරින් දියඇලි මවමින් ගලා බස්නා දොළ පාරක් අද්දර සොඳුරු වටපිටාවකයි මෙම ලෙන පිහිටා තිබෙන්නේ. මේ ලෙන කාලයක් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලාගේ වාසස්ථානයක් වශයෙන් පැවතුණා.

ගල්ලෙන අසලින් ගලා හැලෙන ඇල්ල (කුසුම්සිරි විජයවර්ධන)

වසර දෙදහසකට ඉහත කෙටූ සෙල්ලිපියක් ද එහි තිබෙනවා. මෑතකදී මහාචාර්ය රාජ් සෝමදේව මෙහි නැවත කැණීම් කළා. එහිදී කහඳ ගල්වලින් කළ පෙන්ඩන්ට් එකක් ඇතුළු ගල් අවි, බෙලිකටු, සතුන්ගේ ඇටවලින් තනාගත් උල් ආයුධ, පිළිස්සී ගිය ධාන්‍ය ඇට වැනි දේ හමුවී තිබෙනවා. මහාචාර්ය සෝමදේව පවසන්නේ මෙම ලෙනේ සාධක වර්ෂ 5,000 – 6,000ක අතීතයකට දළ වශයෙන් ඇතුළත් කළ හැකි බවයි.

ආරණ්‍යය පැවති සමයේ ලෙනට ගමන් කිරීමට තැනූ කම්බි පාලමක් ද දැකගත හැකියි. උඩුපියන් ගල්ගේ මුලින්ම පුරාවිද්‍යා කැණීමක් කළේ ආචාර්ය පී. ඊ. පී. දැරණියගලයි. ඒ 1936දී. එහිදී බලංගොඩ මානවයා භාවිත කළ ගල්මෙවලම් හමුවී තිබෙනවා.

ගල්ටැම්යාය

ගල්ටැම්යාය දාගැබ (කුසුම්සිරි විජයවර්ධන)

බලංගොඩ සිට කල්තොටට එන අතර තංජන්තැන්නට නුදුරින් ( 25 වැනි කි. මී. කණුව) හැරී ගල්ටැම්යායට පිවිසිය හැකියි. මෙම නටබුන් ආරණ්‍ය භූමිය අප සිත් අනුරාධපුර, පොළොන්නරු වැනි රාජධානිවලට රැගෙන යාමට සමත්. නිසංසල වටපිටාවක වන තුරුලතා අතර අක්කර තුනක පමණ භූමියක පැරණි නටබුන් විසිර තිබෙනවා.

නටබුන් ගොඩනැගිලි (කුසුම්සිරි විජයවර්ධන)

අනුරාධපුර යුගයට අයත් මෙම නටබුන් අතර පැරණි දාගැබක්, සංඝාරාම ආදියේ නටබුන් පිහිටා තිබෙනවා. මෙය පැරණි පබ්බත විහාරයක් බව නටබුන් අනුව පෙනෙනවා.

කූරගල

කූරගල පුරාවිද්‍යා භූමිය (කුසුම්සිරි විජයවර්ධන)

තංජන්තැන්නෙන් හැරී කිලෝමීටර දෙකක් පමණ ගමන් කළ විට කූරගල කඳු පාමුලට පිවිසිය හැකියි. එහි සිට ඉහළට නැගීමට පියගැට සකස් කර තිබෙනවා.

කූරගල කන්ද (කුසුම්සිරි විජයවර්ධන)

ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි කිහිපයක්ම මෙහි ගල්ලෙන්වල දැකගත හැකියි. කටාරම් කෙටූ ගල්ලෙන් රාශියක් මෙහි තිබෙනවා. පැරණි දාගැබක් ද කඳු මුදුනේ පිහිටා තිබෙනවා.

මුස්ලිම් ජාතිකයන්ට අයත් පූජනීය ස්ථානයක් ද මෑත අතීතයේ මෙහි පිහිටුවා තිබෙනවා. කූරගල පුරාවිද්‍යා රක්ෂිත බිමේ පිහිටි මුස්ලිම් පල්ලිය හඳුන්වන්නේ දත්තා ජෙයිලානි (Dafther Jeylani) යනුවෙන්. ඒම පල්ලිය පාලනය වන්නේ භාරකාර මණ්ඩලයන් මගින්. මෙය වන්දනා කිරීමට මුස්ලිම් බැතිමතුන් මෙන්ම බෞද්ධ බැතිමතුන් ද එනවා. එයට අමතරව සොබාදහමට කැමැති කාටත් අපූරු අත්දැකීමක් ලබාගත හැකි කඳුගැටයක් ද දැක ගත හැකියි.

වර්ෂ 2013 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙහි මුස්ලිම් පල්ලියට යාබද ලෙනෙහි කළ කැණීමකින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව ජනාවාස සාධක හමු වුණා. ඒවා අදින් වසර 6,000 – 16,000 දක්වා කාලයකට අයත් බව හෙළි වී තිබෙනවා.

කවුරුත් නිතරම චාරිකා යොදා ගන්නා ප්‍රදේශවලට පමණක් සීමා නොවී මෙවන් සැඟව ගිය ස්ථාන දැක ගැනීමත් ඔබේ චාරිකාවට එකතු කර ගන්නවා නම් එක් කරගත හැකි අත්දැකීම් බොහෝයි.

කවරයේ රූපය :(කුසුම්සිරි විජයවර්ධන)

මූලාශ්‍ර:

  1. අසිරිමත් උඩවලව – ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි
  2. සබරගමු වංශය – 2 කාණ්ඩය, සබරගමුව පළාත් සභාව
  3. දිවයින බදාදා අතිරේකය – දයානන්ද බිනරගමගේ කූරගල ලිපිය, 2013 මැයි 8
  4. සබරගමු පැරණි රජදහන සහ මධ්‍ය වලව නිම්නය – දයානන්ද බිනරගම

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්