Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබා සෞන්දර්යයෙන් ආඩ්‍ය නවසීලන්තය

නවසීලන්තය කියූ සැණින් කෙනෙකුගේ මතකයට නැඟෙන්නේ නිල්වන් තණ පිට්ටනි, මනස්කාන්ත කඳු පන්ති ගැවසීගත් සුවදායක පරිසරයක්. ශ්‍රී ලාංකිකයෙකුට නම් කාරණා කිහිපයක් නිසාත් නවසීලන්තය පිළිබඳව හොඳින් මතකයේ රැඳෙනවා. ලොව හොඳම ගණයේ කිරි පිටි, නවසීලන්ත ක්‍රිකට්, රග්බි පමණක් නොවෙයි, අප කුඩා කාලයේ රස විඳි  වන රොබින්සන් අන්දරය හා විලියම් ටෙල් වැනි රූපවාහිනී වැඩසටහනුත් නවසීලන්තයේ නිෂ්පාදිත ඒවා. මීට අමතරව අධ්‍යාපනික හා වෘත්තීමය කරුණු නිසාත් බොහෝ ශ්‍රී ලාංකිකයන් නවසීලන්තය බලා යනවා පමණක් නොවෙයි ස්ථිරවම එයට සංක්‍රමණයත් වනවා.

ඔසේනියානු මහාද්වීපයට අයත්ව පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන නවසීලන්තයට සංචාරකයෙක් වශයෙන් ගොඩබසින්නෙකුට අත්දැකීමට හැකි සුන්දර දේ බොහෝමයි. එහි සොබා සෞන්දර්යය, ඉතිහාසය වැනි දේ රස විඳීමට හැකි ස්ථාන රාශියක්  පිහිටා තිබෙනවා. නවසීලන්තයේ සුන්දරත්වය ගැන කරුණු කාරණා කිහිපයක් ඔබ හමුවේ තබන්නට අපි තීරණය කළේ නවසීලන්තයට හා එහි සොබා සෞන්දර්යයට පෙම්බඳින්නන් රාශියක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන නිසායි.

නවසීලන්තයේ පිහිටීම

නවසීලන්තය පිහිටා ඇත්තේ දකුණු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවට කිලෝමීටර 1600 ක් පමණ ගිණිකොණට වන්නටයි. උතුරු හා දකුණු වශයෙන් ප්‍රධාන දූපත් 2 කුත්, තවත් කුඩා දූපත් රාශියකුත් එක්ව සෑදී ඇති නවසීලන්තයෙහි අගනුවර වන වෙලින්ටන් හා විශාලම නගරය වන ඕක්ලන්ඩ් යන නගර දෙකම පිහිටා ඇත්තේ උතුරු දූපතේයි.

නවසීලන්තයේ පිහිටීම (maphill.com)

ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 267,710 ක භූමියකට උරුමකම් කියන නවසීලන්තයෙහි 4,718 ,905 දෙනා ජීවත් වන අතර එහි ජන ඝණත්වය වර්ග කි.මී 1කට 18 ක් තරම් අඩු අගයක් ගන්නවා. නවසීලන්තය කිරි කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධියක් උසුළන අතර එහි මිනිසුන්ට වඩා හරකුන් ජීවත් වනවා.

නවසීලන්ත කිරි පට්ටියක් (rogerdickie.co.nz)

භූගෝලීය හා දේශගුණික තත්ත්ව

නවසීලන්තය ඉතා දැඩි භූ විෂමතාවලින් යුතු භූමියකට උරුමකම් කියනවා. ගිනිකඳු, ගල්ගුහා, හිමෙන් වැසීගත් දකුණු ඇල්ප්ස් ගිරි ශිඛර, ග්ලැසියර, විල්, දිගු වෙරළතීරවලින් ගහණ මෙහි ඉතාම හොඳින් වැඩුණු වන වැස්මක් තිබෙනවා. නවසීලන්තයේ ජාතික සත්ත්වයා වන කිවි ඇතුළු සත්ත්ව හා පක්ෂි විශේෂ ගණනාවක්ම මෙහි ජීවත් වෙනවා.

කිවි පක්ෂියා (aatkings.com)

නවසීලන්තය මකර නිවර්තනයට දකුණින් දකුණු අක්ෂාංශ 37 -47 පිහිටා තිබීම නිසා ප්‍රධාන වශයෙන්ම පවතින්නේ සෞම්‍ය කාලගුණයක්. රටෙහි උතුරු පෙදෙසේ ගිම්හානයේදී උප නිවර්තන දේශගුණයක් පවතින අතර දකුණු දූපතේ ඇල්ප්ස් කඳු ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය ශිශිරයේදී සෙල්සියස් අංශක -10° දක්වා පහත වැටෙනවා. නවසීලන්තයට වසර පුරාම පාහේ හොඳින් හිරු එළියත්, වර්ෂාවත් සම සමව ලැබෙනවා.

දක්ෂිණ ඇල්ප්ස් (rei.com)

දකුණු අර්ධගෝලයේ පිහිටා ඇති බැවින් නවසීලන්තයේ දකුණට යන්නට යන්නට සාමාන්‍ය පරිසර උෂ්ණත්වය අඩුවන අතර දකුණු දූපත බොහෝ කොටම සෞම්‍ය කලාපික ලක්ෂණ පෙන්වනවා. මෙහි සෘතු භේදය හොඳින් දකින්නට ඇති අතර මල් පූදින මනස්කාන්ත වසන්තය සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වාත්, දීප්තිමත් ග්‍රීෂ්මය දෙසැම්බර්-පෙබරවාරි දක්වාත්, රන් පැහැති පත්‍රවලින් තුරු සැරසෙන සරත් සමය මාර්තු සිට මැයි දක්වාත්, හිමෙන් පිරෙන ශීත ඍතුව ජුනි සිට අගෝස්තු දක්වාත් බලපැවැත්වෙනවා.

ඉතිහාසය

නවසීලන්තයේ ලිඛිත ඉතිහාසයට අනුව ක්‍රි.ව 1200-1300 අතර කාලයේදී මඔරි වරුන් මෙහි පැමිණ පළමුවෙන්ම ජනාවාස ඇති කරගෙන තිබෙනවා. නවසීලන්තයට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා වන්නේ 1642 වසරේදී මෙහි පැමිණි ලන්දේසි දේශ ගවේෂක අබෙල් ටස්මන් නැමැත්තායි. ක්‍රි.ව 1769 දී කපිතාන් ජේම්ස් කුක් ගොඩබැසීමත් සමඟ යුරෝපියයන් අතර ජනප්‍රිය වූ මේ දූපත් රාජ්‍යයට කෙමෙන් කෙමෙන් යුරෝපියයන් ඇදී එන්නට වූ අතර ක්‍රි.ව 1840 දී මඔරි වරුන් හා ඇති කරගත් වයිටැන්ගි ගිවිසුමෙන් මෙහි පාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පැවරෙනවා.

19 වන සියවසේ මැද භාගය වන විට නවසීලන්ත භූමියෙන් රත්‍රන් ඉල්ලම් සොයා ගැනීමත්, කිරි පට්ටි කර්මාන්තය දියුණු වීමත් නිසා වැඩි වැඩියෙන් යුරෝපියයන් නවසීලන්තයට සංක්‍රමණය වුණා. 1907 වසරේදී බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඩොමීනියන් නිදහස හා 1947 පාර්ලිමේන්තු බලතල ලද මෙම රාජ්‍යය 1893 වසරේදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමත් සමඟ එසේ කළ ලොව ප්‍රථම රට බවට පත් වුණා.

මඔරි ජනතාව (Tim Graham/Corbis)

ජනවර්ග

නවසීලන්තය බහු වාර්ගික රටක් ලෙස හඳුනාගත හැකියි. ක්‍රි.ව 2013 ජන සංගණනයට අනුව 71.2% ක් පමණ සුදූ ජාතික යුරෝපියයන් මෙහි වෙසෙන අතර 14.1% ක් පමණ ස්වදේශික මඔරි ජනතාවද 11.3% පමණ වූ ආසියාතිකයන්ද වෙසෙනවා.

මෙහි 7.6%ක් පමණ අනෙකුත් පැසිෆික් දූපත්වලින් මෙහි සංක්‍රමණය වී ඇති අතර 10,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද මෙහි වෙසෙනවා. එය නවසීලන්තයේ සම්පූර්ණ ජනගහනයෙන් 0.2% පමණ වෙනවා. නවසීලන්තයේ වැඩිපුරම භාවිත වන භාෂාව ලෙස ඉංග්‍රීසි හඳුනාගත හැකි අතර ඊට අමතරව මඔරි, සැමොවා හා හින්දි භාෂාවන්ද භාවිත වෙනවා.

නවසීලන්ත 19 පහල ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක රඛිත වීරසුන්දර නවසීලන්ත පුරවැසි භාවය සහිත ශ්‍රී ලාංකිකයෙක් (espncricinfo.com)

නවසීලන්තයට පැමිණෙන්නෙකුට සංචාරය කළ හැකි බොහෝ ස්ථාන එහි පිහිටා තිබෙනවා. පහත විස්තර කෙරෙන්නේ ඉන් කිහිපයක් පමණයි.

මවුන්ට් කුක් ජාතික උද්‍යානය

JacobAdamiec/Flickr

නවසීලන්තයේ දකුණු දූපතේ දක්ෂිණ ඇල්ප්ස් කඳු පන්තිය මධ්‍යයේ පිහිටා ඇති මවුන්ට් කුක් ජාතික උද්‍යානයේ 40% ක් පමණ ග්ලැසියරවලින් හා නවසීලන්තයේ උසම කඳු මුදුන වන කුක් කන්දෙන් ආවරණය වී තිබෙනවා. අඔරකි යනුවෙන්ද මෙම කඳු මුදුන හැඳින්වෙන අතර ටස්මන් ග්ලැසියරය මෙහි දැකගත හැකි සොඳුරු දසුනක්.

ලොව උසම කඳු මුදුන වන එවරස්ට් තරණය සඳහා නවසීලන්ත ජාතික එඩ්මන් හිලරි සිය මූලික පුහුණුවීම් කර ඇත්තේ මෙහියි. ඉතා වැඩි ජෛව විවිධත්වයකට උරුමකම් කියන මේ පෙදෙසෙහි වර්ග 300 කටත් වඩා ඇල්පයින තුරු වැල් වර්ගද, පක්ෂීන් වර්ග 40 ක් පමණද හමු වෙනවා. මෙහි පාමුල ඇති මවුන්ට් කුක් ගම්මානයට පැමිණෙන සංචාරකයින්ට හිම ක්‍රීඩා කිරීම, දඩයම්, පා ගමන් සඳහා මාර්ගෝපදේශන ලබා දීම වැනි දේ සඳහා පහසුකම් ලබාගත හැකියි.

ෆොක්ස් හා ෆ්‍රාන්ස් ජෝසෆ් ග්ලැසියරය

luxuryadventures.co.nz

ලොව වඩාත්ම පහසුවෙන් ලඟා විය හැකි ග්ලැසියර ද්විත්වයක් ලෙස සැළකෙන ෆ්‍රාන්ස් ජෝස්ෆ් හා ෆොක්ස් ග්ලැසියර පිහිටා ඇත්තේ නවසීලන්තයේ දකුණු දිවයිනෙහි වෙස්ට්ලන්ඩ් ටයි පෝටිනී ජාතික උද්‍යානයේයි. දක්ෂිණ ඇල්ප්ස් කඳුවල සිට අයිස් දහරාවක් සේ ගලා බසින මේවා සෞම්‍ය දේශගුණයක් සහිත මුහුදු සීමාවට ළඟා වන විට ඉතා පහසුවෙන් සි‍යැසින් දැකගන්නට සංචාරකයින්ට හැකියාව තිබෙනවා.

මෙය හොඳින් නැරඹීම සඳහා පා සංචාර හෝ හෙලිකොප්ටර් සවාරි පවා සූදානම් කරගත හැකියි.

ෆියොඩ්ලෑන්ඩ් ජාතික උද්‍යානය හා මිල්ෆෝර්ඩ් සවුන්ඩ්

L. Gim/Creative Commons

ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ෆියොඩ්ලෑන්ඩ් ජාතික උද්‍යානය නවසීලන්තයේ දක්නට හැකි මනස්කාන්තම ස්ථානවලින් එකක්. මෙහි ඇති ඉතා විචිත්‍ර භූ විෂමතා ලක්ෂණ ප්‍රදේශය මිහිබට සුරපුරක් බවට පත් කර තිබෙනවා.

මෙහි සංචාරය කරන්නෙකුට වැසි වනාන්තර, විල්, හා කඳු ගැට හමු වන අතර කිසිදා අමතක නොවන පාගමන්වල යෙදිය හැකියි. පරසිඳු මිල්ෆෝර්ඩ් ට්‍රැක් නම් පා ගමන් මාර්ගය පිහිටා ඇත්තේ මෙහියි. වෙරළාසන්නවම ඇති කඳු ගැට මෙහි සුන්දරත්වය තවත් වැඩි කර තිබෙනවා.

ටෞපෝ විල හා ටොන්ගරිරො ජාතික උද්‍යානය

ටෞපෝ විල (youtube.com)

නවසීලන්තයේ උතුරු දූපතේ මධ්‍යයට වන්නට පිහිටා ඇති නවසීලන්තයේ විශාලම විල වන ටෞපෝ විලත්, ඒ අසළම ඇති ටොන්ගරිරො ජාතික උද්‍යානයත් සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගෙන ඇති ස්ථාන දෙකක්. ටොන්ගරිරෝ ජාතික උද්‍යානය විශේෂිත එකක් වන්නේ එහි ඇති ගිනිකඳු ආශ්‍රිත පාරිසරික ලක්ෂණ හා එය මඔරි වරුන්ට සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථානයක් නිසායි.

ටොන්ගරිරෝ ජාතික උද්‍යානය ලොව පැරණිම ජාතික උද්‍යානයක් ලෙස සැළකෙනවා. මෙහි දැකිය හැකි ගිනිකඳු මුදුන්, විල්, අර්ධ ශුෂ්ක කලාපීය ලක්ෂණ හා උණු ජල උල්පත් වැනි දේ ඉතා විශේෂිතයි. මෙහි පිහිටා ඇති ‘ටොන්ගරිරෝ ඇල්පයින් ක්‍රොසින්ග්’ නැමති පා ගමන් මාර්ගය නවසීලන්ත ජනයා අතර ප්‍රසිද්ධ එකක්.

ටොන්ගරිරෝ ඇල්පයින් ක්‍රොසින්ග් (nakedbus.com)

රොටොරුආ

GreatSights New Zealand

පැසිෆික් ගිනි වළල්ල නම් සමුද්‍ර යමහල් පද්ධතියට අනුරූපව නවසීලන්ත ගොඩබිම මත පිහිටි රොටරුආ ප්‍රදේශය ලොව වැඩිම භූගත උණුසුමක් සහිත පෙදෙසක් හැටියට ප්‍රචලිතයි. මේ ප්‍රදේශය පුරාවට දුම් දමන මඩ කඩිති, යමහල් ද්වාර, උණු ජල උල්පත් වැනි දේ දැකගත හැකියි.

මීට අමතරව මේ ප්‍රදේශයට පැමිණෙන්නෙකුට ප්‍රතාපවත් මඔරි වරුන්ගේ ප්‍රාදේශීය ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳවද උගත හැකියි. තවද විවිධ ක්‍රීඩාවල නිරත වීමටද නන් දෙසින් ජනයා මෙහි පැමිණෙනවා.

වයිහෙකෙ දූපත

backpackerguide.nz

වයිහෙකෙ දූපතට ළඟා වීමට ඕක්ලන්ඩ් සිට විනාඩි 45 ක පමණ බෝට්ටු සවාරියක් යා යුතුයි. මෙහි ඇති පාම් ගස්, සුදෝ සුදු වැලි සහිත වෙරළ තීරයන් නිසා එක් වරම හවායි දූපතකට ළඟා වූවා වැනි හැඟීමක් ඇති වෙනවා. මේ දූපත පරසිඳු මනස්කාන්ත දර්ශනතල වලට පමණක් නොවේ; මෙහි නවසීලන්තයෙන් හමුවන හොඳම වයින් වර්ගද නිෂ්පාදනය කෙරෙනවා.

මවුන්ට් මෞන්ගනුයි

ayofplentynz.com

මවුන්ට් මෞන්ගනුයි නවසීලන්තය සතු අලංකාරම වෙරළ තීරයක් ලෙස සැලකෙනවා. සිහිල් නළ හමන, සිහිල් ජලය සහිත මේ වෙරළ තීරය පාරාදීසයක සිරි ගන්නා නිසා ඉතා දැඩි සංචාරක ආකර්ෂණයක් පවතිනවා. මෙහි විශේෂත්වය වන්නේ වෙරළාසන්නවම සෑදුණු උස් කඳු ගැටයක් වැනි අර්ධද්වීපයක් පිහිටා තිබීමයි.

කවරයේ පින්තූරය (Ekkapan Asavapanumas/Ekkapan Fotolia)

Related Articles