චාරිකා

විනාඩි 3 ක කියවීමක්

දනකිරිගල රජ මහා විහාරය

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

මාවනැල්ලේ සිට අරණායක මාර්ගයට පිවිසුණු විටම කඳුකර සුන්දර වටපිටාවක් අප නෙත ගැටෙනවා.  ඒ මාර්ගයේ උස්සාපිටිය හන්දියෙන් හැරී ගල්අතර මාර්ගයේ කි. මී. 5ක් ගමන් කර හමුවන පාට්ටගම ගම්මානයේ කඳුගැටයක දනකිරිගල ලෙන් විහාරය පිහිටා තිබෙනවා.

ලෙව්කේ දිසාව තැනූ පඩිපෙළ. (කුසුම්සිරි විජයවර්ධන)

ගුරු පාරෙහි ගමන් කරනා ඔබ ඉදිරියෙහි ඇති නිම්නයෙහි පැතිරි කෙත්යායක් නෙතට ලක්වේවි. මේ  කෙතට බෑවුම් වන්නේ දනකිරිගල පර්වතයයි. පව්ව ඉහළට යන තෙක් කලුගල් අල්ලා තැනූ පියගැට 367ක් පිහිටා තිබෙනවා.

ජනප‍්‍රවාදයේ සඳහන් අයුරින් මෙම පියගැට පෙළ ඉදිකර ඇත්තේ මහනුවර රාජධානි සමයේ හතර කෝරළේ පාලනය කළ ලෙව්කේ පරපුරට අයත් කීර්තිමත් පුද්ගලයකු වූ ලෙව්කේ විජයසුන්දර බණ්ඩාර දිසාව (1740- 1751) විසින්. ඔහු දිනපතා මාඔයෙන් ස්නානය කර පැමිණෙන අතර, ගල් පුවරුව බැගින් අරන් විත් මෙය ඉදිකළ බව පැවසෙනවා. දනකිගිරිගල විහාරය නැවත ඉදිකරවීමට මුල්වී තිබෙන්නේ ද ලෙව්කේ දිසාවයි. ලෙව්කේ වලව්ව විහාරයට නුදුරින් පිහිටා තිබුණත් දැන් එය නවීකරණය කරලා.

අවට සුන්දර දසුන. (කුසුම්සිරි විජයවර්ධන)

ලෙව්කේ පරපුරේ අවසාන පුද්ගලයා වූයේ අවසාන සිංහල රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජුගේ සෙන්පතියකු ලෙස සිටි ලෙව්කේ විජයවර්ධන බණ්ඩාර යි. ඔහු 1803 දී හංවැල්ලේ දී ඉංග‍්‍රීසින්ට එරෙහිව සටන් කළා.  එහිදී සිංහල සේනාව ලත් පරාජයෙන් කෝපයට පත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ඔහු සහ තවත් අයෙකු වූ පලිපාන මොහොට්ටාල හංවැල්ල වක්ඔය තොටුපලේ දී ගිල්වා මැරුවා.

පිටගැට තරණය කිරීමෙන් පසු අප පිවිසෙන්නේ ලෙන් විහාර අංගනයටයි. කඳු මුදුනට ආසන්නව විහාරය ඉදිකර තිබෙනවා. මහනුවර යුගයේ දී මේ විහාරය නවකම් කර තනා තිබෙන්නේ ක‍්‍රිස්තු පුර්ව යුගයේ දී මුලින්ම සංඝයාට පූජා කරන ලද ලෙන තුළයි. මෙහි පුරාණත්වය පහැදිලි කරන්නේ ලෙන අසල පිහිටුවා ඇති සෙල්ලිපියයි.

‘පරුමක වෙශ පුත පරැමක වෙශහ ලෙණෙ’ යනුවෙන් එහි සඳහන්. එහි අර්ථය වෙස නම් ප‍්‍රධානියාගේ පුත‍්‍ර වෙස ප‍්‍රධානියාගේ ලෙන යන්න යි. මෙම විහාර ලෙන අසලින් පර්වතය තරණය කර බටහිර බෑවුම දෙසට ගොස් නැවත නැගෙනහිර දෙසට යන විට ළඳු කැලෑවේ සැඟවුණු තවත් ලෙන් තුනක් හමුවේ. ඉන් එකක පරුමක නදක ලෙණෙ (නන්ද ප‍්‍රධානියාගේ ලෙන) යන පූර්ව බ‍්‍රාහ්මී ලෙන් ලිපිය හමුවෙනවා.. එය ද පෙර සඳහන් කළ යුගයටම අයත් වූවක්.

විහාර අංගනය සඳහා පර්වත බෑවුමේ ප‍්‍රාකාරයක් බැඳ පස් පුරවා සමතලා කර තිබෙනවා. ලෙන ප‍්‍රමාණයෙන් කුඩා වන අතර දනකිරිගල විහාරය කුඩා වුවත් එහි ඇති ප‍්‍රතිමා කර්ම සහ බිතුසිතුවම් මහනුවර යුගයට අයත් වටිනා කලා කෘති වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වෙනවා.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මෙම විහාරය පිළිබඳව ප‍්‍රශංසාත්මක වාර්තාවක් 1892 පුරාවිද්‍යා පාලන වාර්තාවේ ඇතුළත් කර තිබෙනවා.

බෝධිඝරය. (කුසුම්සිරි විජයවර්ධන)

විහාර මන්දිරය පෙති උලු යෙදූ පියස්සකින් යුක්තය. මහනුවර යුගයේ ලෙන් විහාරයක අංග ලක්ෂණ එහි මනාව ආරක්ෂා වී පවතිනවා. ඒ අසල සිටින අප නෙත ගැටෙන්නේ ඉදිරිපස මලුවේ ඇති බෝධිඝරයයි. එහි පුරාණ බෝධීන් වහන්සේ අභාවයට ගොසින්. ඔපමට්ටම් කළ කලුගලින් නතා ඇති බෝධිඝරය සමචතුරස‍්‍රාකාරයි.

විහාර ගැබට පිවිසි අප වෙලාගත්තේ වවුල් ගඳත් අඳුරත් විසින්. දල්වා ඇති පහන් කිහිපය එහි අඳුර මකා දමන්නට ප‍්‍ර‍්‍රමාණවත් නැහැ. විහාරයට විදුලිය නැහැ. මහනුවර යුගයේ කලාකරුවාගේ සුවඳ වහනය වන මෙය අපුරු කලාගාරයක් වැනියි. මෙහි තිබූ දැවයෙන් කළ විශිෂ්ට මකර තොරණ හා රන් පිළිමය වසර කිහිපයකට පෙර සොරකම් කර තිබුණා. පසුව හමුවූ ඒවා දැන් කොළඹ කටුගෙයි තැන්පත් කර තිබෙනවා. මෙහි වූ බුද්ධ ප‍්‍රතිමාද විනාශ කර දමා නිධන් සොයලා. විහාරය තුළ තිබූ කුඩා දාගැබ ද නිධන් හොරුන්ට ගොදුරු වෙලා.

ලෙන් විහාරය. (කුසුම්සිරි විජයවර්ධන)

මැටියෙන් කර හුණු බදාම ආලේප කළ කලාත්මක මකර තොරණ තුනක් ද විහාරය අලංකාර කරනවා. මකර තොරණ යටින් හිඳි බුදු පිළිම හතරකි. මෙහි හිටි බුදු පිළිම හය ප‍්‍රතිමා මන්දිරයේ කලාත්මක බව හා පූජනීයත්වය ඔප් නංවනවා. සැතපෙන පිළිමය පිහිටියේ දකුණුපස විහාර බිත්තියට පිටුපා වන අතර පසුකාලීන වෙනස්කිරීම් වලට භාජනය නොවීම නිසා මේවායේ පුරාවිද්‍යාත්මක අගය ද ඉහළ යි.

මෙහි චිත‍්‍ර හා මූර්ති නිර්මාණය කර තිබෙන්නේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රජ සමයේ සිටි විශිෂ්ට සිත්තරෙකු වූ දෙවරගම්පල සිල්වත් තැන නම් භික්ෂූන් වහන්සේ විසින්. උන් වහන්සේ චිත‍්‍ර ඇඳීමට මෙන්ම ප‍්‍රතිමා නිර්මාණයටත් එක සේ දක්ෂව සිටියා. රජුගේ ආරාධනයෙන් විහාර ප‍්‍රතිසංස්කරණයෙහි නිරත වුණා. සංඝරාජ සරණංකර හිමියන්ට ලැබුණු වරප‍්‍රසාද දෙවරගම්පල හිමියන්ටත් රජ වාසලෙන් ලැබුණු බව පැවසෙනවා. මෙම සිතුවම් නිමා කර ඇත්තේ සීමිත වර්ණ ප‍්‍රමාණයකින්.

මෙහි බිතුසිතුවම් අතර විශේෂත්වයක් ගන්නේ ආගමික සිත්තම්වලට අමතරව දැකගත හැකි පුරාණ සිංහල ගමක ජන ජිවිතය නිරූපණය කෙරෙන සිතුවමයි. විහාරය අසල පිහිටි දහස්වත්ත නම් වූ ගස්වැල්වලින් පිරි මේ උයන සිතුවමට නඟන ලද්දේ ලෙව්කේ දිසාවගේ අදහසක් අනුව බව පැවසෙනවා. ගස් දහසක් සිටුවා මෙම උයන කරවන ලද්දේ ලෙව්කේ දිසාව බවත් ජනප‍්‍රවාදයේ ඒනවා.

පොල්, පුවක්, කිතුල්, සල්, සපු, නා, කොස්, අඹ, තල් යන ශාක මනාව හඳුනාගත හැකි සේ සාම්ප‍්‍රදායික චිත‍්‍ර ලක්ෂණ සුරකිමින් නිමාකර තිබෙනවා. නාගසින් මල් නෙලන්නා, කිතුලට මුටිටියක් ගෙන නගින මල් කපන්නා, සපු ගසින් මල් නෙලන ගැමියන්, අඹ ගසේ පල කෑමට ආ වඳුරන් සිත්තරා දැක ඇත්තේ අපූරැ පරිකල්පනයකින්. පත්තෑයා, ගෙම්බා, දිමියා සහ දිමි ගොටු පවා චිත‍්‍රයට නඟලා.

අඩි 8ක් පමණ උස ලෙව්කේ දිසාවගේ  ප‍්‍රතිමාවක් ද මෙහි දැකගත හැකි යි. එකල ප‍්‍රදේශාධිපතියකුගේ ඇඳුම් ස්වභාවය ඉන් පෙන්නුම් කරනවා. විහාරය නරඹා පිටතට පැමිණෙන අප නෙත ගැටෙන්නේ ඉදිරිපස මලුවේ ඇති බෝධිඝරයයි. ලෙනට වම් පසින් ඉදිරියට නෙරූ ගල් තලයේ සිරිපා සලකුණ සටහන් කර තිබෙනවා.

සඳකඩ පහණ. (කුසුම්සිරි විජයවර්ධන)

බිතුසිතුවමක්. (කුසුම්සිරි විජයවර්ධන)

විහාර ලෙන පිටුපසින් පැතිර යන්නේ අක්කර ගණනාවක් විශාල ගල් තලාවයි. එහි තැන තැන වන මණ්ඩි ය. පර්වතය මත වූ පොකුණ දැන් පසින් පිරී ගොසින්. පර්වත බැම්මේ තවත් ස්ථානයක පහළට බැසීමට පියගැට 48ක් කපා තිබෙනවා.

ප‍්‍රාකාරවල ශේෂ, ගොඩනැගිලි අවශේෂ පර්වතයේ තැන තැන පැතිර ඇති ආකාරයත් දැකගන්නට පුළුවන්.

පොළොන්නරු යුගයේ දී මහා විජයබාහු රජුට රැකවරණය සැලසූ වාතගිරි පර්වතය (වාකිරිගල) පිහිටියේ මෙයට ආසන්නව යි. ඌරාකන්ද පසුබිමේ ඇති වාකිරිගල ප‍්‍රදේශය හා බතලේගල මෙම පව්ව මතට අපුරුවට දිස්වේ. දනකිරිගල චාරිකා කිරීම ඔබට අලුත් සුන්දර අත්දැකීම් එක්කරනා එකක් වන බව නම් අපිට නිසැකයි.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්