Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවාඩුවට ත්‍රිකුණාමලේ යනවා නම්!

එළැඹෙන පාසල් නිවාඩු සමය සමග වයස් භේදයකින් තොර ව සෑම දෙනෙක් ම පාහේ පවුලේ උදවිය එක්ක ශ්‍රී ලංකාවේ නොයෙක් තැන්වල සංචාරය කිරීම අතිශයින් ම ශ්‍රී ලාංකික දෙයක්. එහෙම නිවාඩුවක් ගත කරන්න යනකොට බොහෝමයක් දෙනෙක් තෝරා ගන්නේ සෞම්‍ය දේශගුණයක් සහිත නුවරඑළිය වගේ ප්‍රදේශයක් හෝ තිස් වසරක යුද්ධය නිසා සංචාරකයන්ට තහනම් වී තිබුණ උතුරු නැගෙනහිර පළාතට අයත් ස්ථානයක්.

ත්‍රිකුණාමලය නගරයට යන පාර (lankamurasu.com)

ඒ අතරින් ඉහළ ම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් නගරයක් විදියට ත්‍රිකුණාමලය නගරය හඳුන්වා දිය හැකි යි. මේ නිවාඩුවට ත්‍රිකුණාමලේ පැත්තේ සංචාරයකට යනවා නම් ඔබ නැරඹිය යුතු ස්ථාන ලැයිස්තුවට අනිවාර්යයෙන් ම ඇතුළත් කර ගත යුතු ස්ථාන කිහිපයක් ගැන වගේ ම එහි දී ලබා ගත හැකි අපූරු අත්දැකීම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

ත්‍රිකුණාමල වරාය

ඈත අතීතයේ පටන් ම විදේශිකයන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට නොමඳ උත්සාහයක නිරත වීමට මූලික හේතුවක් වූ ත්‍රිකුණාමල වරාය පිහිටා ඇත්තේ කොඩ්ඩියාර් බොක්කේ යි. සෑම ආකාරයේ ම මුහුදු යාත්‍රා සඳහා ඕනෑ ම ආකාරයක කාලගුණික තත්ත්වයක් යටතේ ඇතුළත් විය හැකි ඉන්දියානු සාගරයේ ඇති එක ම වරාය වන එය දැනට ලෝකයේ පවතින දෙවැනියට හොඳම ස්වභාවික වරාය ලෙස ද සැලකෙනවා.

ත්‍රිකුණාමලය වරායේ සිට දසුනක් (en.wikipedia.org)

ත්‍රිකුණාමල වරාය, පිටත වරාය සහ ඇතුළත වරාය ලෙස ඛණ්ඩ දෙකකින් යුක්ත වන අතර එය හෙක්ටයාර 5261 ක භූමි බාගයක් මුළුල්ලේ පැතිරී පවතිනවා. මැයි දිනය හැරුණුකොට වසරේ සෑම දිනක ම පැය 24 පුරාවට ම ත්‍රිකුණාමල වරාය විවෘත යි. වරාය නැරඹීමට පැමිණෙන අය, ඒ සඳහා අවසර පත්‍රයක් ලබා ගත යුතු අතර (පාසල් ළමුන් සඳහා රු. 25 ක්, වයස අවුරුදු 18 අඩු දේශිය සංචාරකයන් සඳහා රු. 50 ක් සහ දේශීය වැඩිහිටියන් සඳහා රු. 100 ක්) ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සංචාරයන් සඳහා බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කරනු ලබනවා. මෙසේ ලබා ගන්නා අවසර පත්‍රය, බෝට්ටු සවාරියට පමණක් නොව නාවික කෞතුකාගාරය නැරඹීම සඳහා ද සංචාරකයින්ට අවස්ථාවක් ලබා දෙනවා.

සමුද්‍ර සහ නාවික ඉතිහාස කෞතුකාගාරය

නාවුක ඉතිහාස කෞතුකාගාරය (en.wikipedia.org)

17 වැනි සියවසේ දී පමණ ලන්දේසීන් විසින් ගොඩ නංවන ලද මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමල වරායේ නාවික හමුදාවට අයත් නෞකා තටාකය අසල යි. 2013 වසරේ දී 65 වැනි නිදහස් සැමරුම් උළෙලට සමගාමී ව ජනතා ප්‍රදර්ශනය සඳහා මෙය විවෘත කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. සමුද්‍ර සහ නාවික ඉතිහාස කෞතුකාගාරය මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසය, සමුද්‍රීය ජෛවවිවිධත්වය සහ නාවික හමුදා ඉතිහාසය ගැන තොරතුරු ප්‍රදර්ශනය කිරීම සිදු කරනවා.

නාවුක ඉතිහාස කෞතුකාගාරයේ සුක්කානමක් මත අලවා ඇති දැන්වීමක් (easternsrilanka.natgeotourism.com)

ලන්දේසි නාවික කොමසාරිස්ගේ නිල නිවස ලෙස භාවිතා කළ මැදුර නෙදර්ලන්තයේ මූල්‍ය අනුග්‍රහය මත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ව මේ සඳහා යොදා ගෙන ඇති අතර ත්‍රිකුණාමල වරාය නැරඹීම සඳහා ලබා ගන්නා ප්‍රවේශ පත්‍රයෙන් ම මෙය ද නැරඹිය හැකි යි. මහජන ප්‍රදර්ශනය සඳහා සතියේ සෑම දිනක ම උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කෞතුකාගාරය විවෘත ව තබනවා.

ෆ්‍රෙඩ්රික් කොටුව හෙවත් ත්‍රිකුණාමල බලකොටුව

පෘතුගීසින් විසින් සෑදු “ෆ්‍රෙඩරික් බලකොටුව” හෙවත් ත්‍රිකුණාමලය කොටුව (en.wikipedia.org)

ක්‍රිස්තු වර්ෂ 1623 දී පෘතුගීසීන් විසින් පෘතුගාලයේ තෙවැනි පිලිප් රජුගේ අනුදැනුම මත විනාශ කරන්නට යෙදුණු කෝනේස්වරම් දේවාලයේ සුන්බුන් යොදාගෙන ගොඩ නංවන ලද ත්‍රිකුණාමල බලකොටුව ක්‍රිස්තු වර්ෂ 1639 දී ලන්දේසි අද්මිරාල් වෙස්ටර්වොල්ඩ්ගේ බලඇණිය විසින් අල්ලා ගත් අතර ක්‍රිස්තු වර්ෂ 1665 දී ලන්දේසීන් විසින් නැවත ගොඩ නගා ෆ්‍රෙඩ්රික් කොටුව ලෙස නම් කර තිබෙනවා.

පසු කාලීන ව ප්‍රංශ ජාතිකයන් විසින් එය ඔවුන්ගේ පාලනයට ගෙන ඇති අතර එය ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වන්නේ ක්‍රිස්තු වර්ෂ 1795 දී යි. දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී සමුද්‍රීය කාලතුවක්කු සේනාංකයන්ට නවාතැන් සැපයූ ෆ්‍රෙඩ්රික් කොටුව වර්තමානයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව යටතේ පාලනය වෙනවා. මහජනයාට විවෘත එය ත්‍රිකුණාමලේ ඇති ජනප්‍රිය ම සංචාරක ආකර්ෂණයක් ලෙස හැඳින්විය හැකි අතර යළි ගොඩ නංවන ලද කෝනේස්වරම් දේවාලය පිහිටා ඇත්තේ ද එය ඇතුළත යි.

ත්‍රිකුණාමල බලකොටුවේ තවත් දසුනක් (en.wikipedia.org)

කෝනේස්වරම් දේවාලය

කෝනේස්වරම් දේවාලය හෙවත් තිරුකෝනේස්වරම් පිහිටා ඇත්තේ ෆ්‍රෙඩ්රික් කොටුව ඇතුළත ස්වාමි ගල්කුළ මුදුනේ යි. ශිව දෙවිඳුන්ගේ ස්වරූපයන්ගෙන් එකක් වූ කෝනේසර් වෙනුවෙන් ඉදි කර ඇති එය ‘කුලුනු දහසේ දේවාලය’ ලෙස ද හඳුන්වනු ලබනවා. ශ්‍රී ලංකාවේ ඇති පැරණිත ම ශිව දේවාලයක් ලෙස සැලකෙන එය මුල් වරට ඉදි කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී පමණ යි.

කෝනේස්වරම් කෝවිල (en.wikipedia.org)

17 වැනි සියවසේ දී පෘතුගීසීන් විසින් මුල් ම කෝන්ස්වරම් දේවාලය විනාශ කර එහි සුන්බුන් යොදාගෙන ෆ්‍රෙඩ්රික් කොටුව නිර්මාණය කර ඇති අතර දේවාලයට අයත් තිබුණු දේව ප්‍රතිමා සහ වටිනා මෙවලම් රැසක් ලිස්බන් කෞතුකාගාරයට ගෙන ගොස් තිබෙනවා. තවත් සමහරක් දේව ප්‍රතිමා, බැතිමතුන් විසින් පොළව යට සඟවන්නට යෙදුණු අතර 1944 – 1950 කාලයේ දී සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් මගින් සොයා ගන්නා ලද එවැනි ප්‍රතිමා යොදාගෙන යි 1963 දී යළිත් කෝනේස්වරම් දේවාලය ගොඩ නගා ඇත්තේ.

රාවණාගේ කපොල්ල

ඉන්දියානු සාගරයේ ඉතා අලංකාර සහ ත්‍රාසජනක දසුනක් දැක බලා ගැනීමට නම් යා යුතු ම ස්ථානයක් තමයි, කෝනේස්වරම් දේවාලයට මීටර් කිහිපයක් ඈතින් පිහිටා ඇති රාවණාගේ කපොල්ල හෙවත් Lover’s Leap හැඳින්විය හැකි යි. ඍජු බෑවුමක් සහිත මීටර් 350 ක් පමණ උසැති ගල්කුළක් වන එය වටා ගෙතී ඇති සිත කම්පාවට පත් කරන පුරාවෘත්තයන් කිහිපයක් ම පවතිනවා.

“ලවර්ස් ලීප් ” හෙවත් රාවණා කපොල්ල (easternsrilanka.natgeotourism.com)

එ්වා සෑම එකක් ම පාහේ එකිනෙකට සමාන වන අතර එයින් වඩාත් ජනප්‍රිය වන්නේ ෆ්‍රැන්සිනා වෑන් රීඩ්ගේ කතාව යි. ඕලන්දයේ ඉහළ පන්තියේ සිවිල් නිලධාරියෙකුගේ දියණිය වූ ඇය විවාහ ගිවිසගෙන සිට ඇත්තේ තරුණ ලන්දේසි නිලධාරියෙකු සමග යි. ඔහු හදිසියේ ම විවාහ ගිවිසුම බිඳ දමා ඕලන්දය බලා යාත්‍රා කර ඇති අතර ඔහු ව රැගත් නෞකාව ත්‍රිකුණාමල වරායෙන් පිටතට ඇදී යන අයුරු ස්වාමි ගල්කුළ මුදුනේ සිට බලා සිටි ෆ්‍රැන්සිනා, රාවණාගේ කපොල්ලෙන් පැන දිවි තොර කරගෙන තිබෙනවා. පසු කාලීන ව බිඳුණු ආදරය නිසා වේදනාවට පත් ආදරවන්තයෙන් කිහිප දෙනෙකු ම රාවණා කපොල්ලෙන් පැන දිවි තොර කරගෙන ඇත්තේ එයට Lover’s Leap යන නාමය ලබා දෙමින්. වර්තමානයේ දී නරඹන්නන්ගේ ආරක්ෂාව උදෙසා ගල්කුළ වටා අඩි 3 ක උසකින් යුතු වැටක් ඉදි කර තිබෙනවා.

කිරිගරුඬ වෙරළ හෙවත් මාබල් බීච්

ත්‍රිකුණාමල නගරයෙන් කිලෝමීටර් 18 ක් පමණ දකුණෙන් ත්‍රිකුණාමල-කින්නියා මාර්ගයේ පිහිටා ඇති කිරිගරුඬ වෙරළ ශ්‍රී ලංකාවට අයත් සුන්දර ම වෙරළ තීරයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. කොඩ්ඩියාර් බොක්කට මුහුණලා ඇති එය දිවා කාලයේ දී හිරු එළිය වැටී කිරිගරුඬ මතුපිටක් මෙන් දිදුලන නිසාවෙන් එයට කිරිගරුඬ වෙරළ යන නාමය ලැබී තිබෙනවා.

කිරිගරුඬ වෙරළ (allceylon.lk )

මුහුදේ පිහිනීමට, පක්ෂීන් නැරඹීමට, බෝට්ටු සවාරි යාමට සහ දිය යට කිමිදීම සඳහා ඉතා සුදුසු මේ සොඳුරු වෙරළ තීරයේ සංචාරය සඳහා යෝග්‍ය වන්නේ අප්‍රේල් – සැප්තැම්බර් අතර කාලය යි.

බ්‍රිතාන්‍ය සංග්‍රාම සොහොන් බිම

ත්‍රිකුණාමලයේ බ්‍රිතාන්‍යය සොහොන් බිම (en.wikipedia.org)

දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී බ්‍රිතාන්‍ය වෙනුවෙන් සටන් වැදුණු සොල්දාදුවන් සිහි කරනු පිණිස ඉදි කර ඇති මෙය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමල නගරයෙන් කිලෝමීටර් 6 ක් පමණ උතුරු දෙසින් නිලාවේලි වෙරළ බලා යන මාර්ගයේ යි. එහි සොල්දාදුන් 364 කගේ භස්මාවශේෂ තැන්පත් කර ඇති අතර එය 1948 අප්‍රේල් මාසයේ දී විවෘත කර තිබෙනවා.

එහි හිමිකාරීත්වය පැවරී ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංග්‍රාම සොහොන් කොමිසමට (Commonwealth War Graves Commission) වුවත් එහි නඩත්තු කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය මගින්.

තල්මසුන් නැරඹීම

තල්මසුන් නැරඹීමට සංචාරකයන් බොහෝ දෙනෙක් තිකුණාමලය කරා ඇදී එනවා (visitbroome.com.au)

ත්‍රිකුණාමලේ සංචාරය අය අයෙක්ට ලබා ගත හැකි අපූරු අත්දැකීමක් තමයි, තල්මසුන් නැරඹීම. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ මැයි – ඔක්තෝබර් දක්වා වන කාලය යි. ශ්‍රී ලංකා නාවික හමුදාව සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනෙක ම උදෑසන 7 ට තල්මසුන් නැරඹීම සඳහා ත්‍රිකුණාමලේ නාවික හමුදා නෞකා තටාකයේ නැවක් ලබා දෙන අතර පැය 4 ක කාල සීමාවක් සඳහා දේශීය වැඩිහිටියෙකුගෙන් රු. 3,500/- ක සහ වයස අවුරුදු 6 ට වැඩි දරුවන්ගෙන් රු. 2,000/- ක මුදලක් අය කරනු ලබනවා.

කන්නියා උණුදිය උල්පත්

රාවණා රජුගේ කාලයේ සිට පැවතෙනවා යැයි කියන කන්නියා උණු දිය උල්පත් (en.wikipedia.org)

අතීතයේ පටන් ම ත්‍රිකුණාමලයේ සංචාරය කරන අය අතර ජනප්‍රිය කන්නියා උණුදිය උල්පත් ගණනින් 7 ක් පවතින අතර ඒවා සමචත්‍රරස්‍රයක හැඩයෙන් යුතු වෙනවා. අඩි 3 – 4 පමණ ගැඹුරකින් යුතු ළිඳක පතුල ඉතාමත් පහසුවෙන් දැක ගත හැකියි. වතුර බාල්දි 10 -15 ක් පිටතට ගැනීමෙන් පසු ව ළිඳ හිඳී යාම සාමාන්‍යයෙන් සිදු වන දෙයක්.

රාවණා රජුගේ සමයේ දී පවා පැවතුණා යැයි කියැවෙන මෙම උණුදිය උල්පත් පිළිබඳ ව රාමායණයේ පවා සඳහන් වී තිබෙනවා. උණුදිය උල්පත්වලින් ස්නානය කිරීමෙන් සන්ධි ප්‍රදාහය, රූමටික වේදනාවන් සහ අනෙකුත් චර්ම රෝග සුව වන බවට පවතින විශ්වාසයන් නිසා කින්නියා උණුදිය උල්පත් සංචාරකයන් අතර ජනප්‍රිය යි.

කවරයේ පින්තූරය : (lynetteghm.wixsite.com)

මූලාශ්‍ර :

  1. theculturetrip.com
  2. slpa.lk
  3. lakdasun.org
  4. www.lonelyplanet.com
  5. easternsrilanka.natgeotourism.com
  6. navy.lk
  7. en.wikipedia.org
  8. amazinglanka.com

Related Articles