Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංචාරකයන් මග නොහැරිය යුතු සොඳුරු මංපෙත්

නිවාඩු කාලයක් ආව ම බොහෝමයක් දෙනෙක් කැමති යි සංචාරය කරන්න. සමහර උදවිය රට වටේ සංචාරය කරනකොට අතමිට සරු සල්ලි බාගේ තිබෙන උදවිය රට රටවල සංචාරයට යනවා. මේ විදියට ලෝකේ වටේ සංචාරයේ යනකොට හමුවෙන සුන්දර තැන් නම් අනන්ත යි. සමහර ස්ථාන කොතරම් මනස්කාන්ත ද කියනවා නම් සිතුවම් කරන ලද පින්තූරයක් වගෙයි පෙනෙන්නේ.

ඒ වගේ ම බොහෝමයක් රටවල් විසින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ම නිර්මාණය කරන ලද ස්ථාන පවතිනවා. අපේ මේ සූදානම ලෝක සංචාරයක දී හමුවෙන සොඳුරුතම වීදි කිහිපයක් ගෙන තොරතුරු ඔබ වෙත ගෙන එන්න යි.

චෙයිචාවන් හි මෙඩීනා වීදිය (මොරොක්කෝව)

(post.naver.com)

වයඹදිග මොරොක්කෝවේ චෙයිචාවන් නගරයේ පිහිටා ඇති මෙඩීනා වීදිය ඇති ගොඩනැගිලි සියල්ලක් ම පාහේ වර්ණ ගන්වා ඇත්තේ නිල් පැහැයෙන් සහ එහි විවිධ ප්‍රභේදයන්ගෙන්. මෙසේ සම්පූර්ණ වීදිය ම නිල් පැහැයෙන් ම වර්ණවත් කිරීම ආරම්භ කර ඇත්තේ 1930 දී පැමිණි මොරොක්කෝවට පැමිණි යුදෙව් ජාතිකයන් විසින්.

යුදෙව් ජාතිකයන් නිල් පැහැය පූජනීය වර්ණයක් ලෙස සලකන අතර එයින් දෙවියන් සහ අහස නිරූපණය කෙරෙනවා. වර්තමානය වන විට මෙඩීනා වීදියේ යුදෙව් ජාතිකයන් පදිංචි වී නොසිටිය ද තවමත් සාම්ප්‍රදායක් ලෙස එහි පවතින ගොඩනැගිලි නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමට එහි පදිංචිකරුවන් කටයුතු කරනවා.

ආගුඩා හි පාවෙන කුඩ වීදිය (පෘතුගාලය)

(tribarte.blogspot.com)

සෑම වසරක ම ජූලි මාසයේ දී ආජිටාගේඩා නම් කලා උත්සවය සඳහා පෘතුගාලයේ ආගුඩා නම් නගරයේ වීදි ඉහළන ලද කුඩ යොදා ගනිමින් සම්පූර්ණයෙන් ම ආවරණය කරනු ලබනවා. මෙම සාම්ප්‍රදාය ආරම්භ කර ඇත්තේ 2012 තරම් වූ ඉතාමත් මෑත කාලයේ දී වුවත් එහි ඇති වර්ණවත් සහ මනස්කාන්ත බව නිසා ම එය ලොව පුරා සංචාරකයන් අතර ජනප්‍රිය යි.

කවදා හෝ දිනෙක පෘතුගාලයේ සංචාරය කරන්නට අවස්ථාවක් ලැබුණොත් එම සංචාරය ජූලි මාසයේ දී සිදු කරන්න අමතක කරන්න එපා.

ලා ඔරටාවා හි මල් පෙති ඇතිරූ වීදි (ස්පාඤ්ඤය)

(canarina-de.com)

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වලට අයත් ටෙනෙරීෆ් නම් දූපතේ පිහිටා ඇති සුන්දර නගරයක් ලා ඔරටාවා යනුවෙන් නම් කර තිබෙනවා. මේ පුංචි නගරයේ ඇති විශේෂත්වය වන්නේ ජූනි මාසයේ දී එහි ඇති සෑම වීදියක් ම පාහේ මල් පෙති සහ මුහුදු වැලි යොදා ගනිමින් නිර්මාණය කරන ලද අපූරු රටාවන් මගින් ආවරණය කර තිබීම යි.

මෙම සාම්ප්‍රදාය බිහි වී ඇත්තේ 19 වැනි සියවසේ ලා ඔරටාවා හි ජීවත් වූ තරුණ කාන්තාවක් ඇගේ නිවස ඉදිරිපස ඇති මාර්ගය මත මල් පෙති යොදා ගනිමින් අලංකාර කිරීමෙන් අනතුරු ව යි. 2006 වසරේ දී පුද්ගලයන් 10 දෙනෙක් දින 40 ක් තිස්සේ තනි රටාවක් නිර්මාණය කළ අතර වර්ග මීටර් 950 ක් පුරා පැතිරුණු එය ගිනස් ලෝක වාර්තා පොතට ද ඇතුළත් කරනු ලැබුවා.

බාසිලෝනා හි වීලා ද ග්‍රාසියා වීදිය (ස්පාඤ්ඤය)

(ilovebarcellona.it)

අගෝස්තු මාසය ස්පාඤ්ඤයේ බාසිලෝනා හි වාසය කරන්නන්ට වැදගත් වන්නේ එහි පැවැත්වෙන හොඳ ම, උත්සවාකාර ම සහ අලංකාර ම වීදි උත්සවය ලෙස සැලකෙන ග්‍රාසියා උත්සවය පැවැත්වෙන නිසාවෙන්. උත්සව සමය තුළ දී  බාසිලෝනා හි පැරණිතම වීදියක් වන වීලා ද ග්‍රාසියා වීදිය සැරසීම සඳහා යොදා ගනු ලබන්නේ ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය පමණ යි.

ඉතාමත් වර්ණවත් උත්සවයක් ලෙස සැලකෙන මෙහි දී බාසිලෝනා හි වීදි සියල්ලක් ම පාහේ මනස්කාන්ත අයුරෙන් සරසන අතර සෑම වීදියකට එයට ම අනන්‍ය වූ තේමාවක් ද පවතිනවා.

එන්ශ්‍රඩේ හි ඉරි තැලුණු පාෂාණ වීදිය (නෙදර්ලන්තය)

(ooom.it)

රූම්බීක් යනුවෙන් හඳුන්වන්නේ නෙදර්ලන්තයේ එන්ශ්‍රඩේ නුවර ඇති හි වාණිජමය වීදියක්. එම වීදියට නම තබා ඇත්තේ ඒ අසලින් ම ගලා බසින කුඩා දියපාර ඇසුරෙන්.

අතීතයේ දී එම කුඩා දියපාර මතින් රූම්බීක් විදිය ගොඩ නංවා තිබුණු අතර 2000 වසරේ දී පුද්ගලයන් 650 කට පමණ මරු කැඳවමින් සිදු වූ ජල ගැල්මකින් පසු ව මෑතක දී යළිත් වරක් වීදිය හරහා නිදහසේ ගලා බැසීමට දියපාරට අවස්ථාවක් ලබා දෙන්න පාලන අධිකාරීන් කටයුතු කර තිබෙනවා.

වසර කිහිපයකට පසු ව එම දුක්බර අතීත කතාවේ සිහිවටනයක් ලෙස දියපාර අලංකාර කිරීම සඳහා ඉරි තැලුණු ගල් කැබලි යොදා ගෙන ඇති අතර ඒ මගින් දියපාරේ වේගය අඩු කිරීම සහ වීදිය වතුරෙන් යට වීම වැළැක්වීම සිදු කරනවා. එසේ ම එය සැලසුම් කිරීමේ දී එහි පතුලට යොදාගෙන ඇති විශේෂ ගල් කැබලි ආවරණය නිසා දියපාරේ සෑම විට ම අලංකාර රැළි නැගෙන අයුරු දැක ගත හැකි යි.

අපුලියා හි ඇල්බෙරොබෙල්ලෝ වීදිය (ඉතාලිය)

(en.wikipedia.org)

1996 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ඇල්බෙරොබෙල්ලෝ හි දක්නට ලැබෙන ගල් අතුරන ලද වහලවල් සහිත ටෘෘලෝ නිවාස (සාම්ප්‍රදායික ඉතාලි නිවෙස් විශේෂයක්) නිසා ම එය සංචාරකයන් අතර ජනප්‍රිය යි.

එම නිවාස ගොඩ නැංවීම සිදු කරන්නේ එකිනෙක මත තබන ලද පැතලි ගල් මගින්. ඒ නිසා එක් ගල් කැබැල්ලක් ඉවත් කළහොත් සම්පූර්ණ නිවස ම කඩා වැටීම සිදු වෙනවා. එසේ නිවෙස් නිර්මාණය කිරීමේ සාම්ප්‍රදාය ඇරඹී ඇත්තේ බදු ගෙවීමෙන් වැළකීම සඳහා පුරාණ පදිංචිකරුවන් විසින් අනුගමනය කරන ලද උපක්‍රමයක ප්‍රතිඵලයක් ලෙස යි.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි ලොම්බාඩ් වීදිය (ඇමෙරිකා එක්සත් ජනපදය)

(1boon.kakao.com)

මෙහි දක්නට ලැබෙන කොණ්ඩා කටුවල හැඩය ගන්නා දරුණු වංගු නිසා ම සැන් ෆැන්ස්‍රිස්කෝ හි ලොම්බාඩි වීදිය දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රසිද්ධ යි. සැලසුම්කරුවන් විසින් මෙවැනි වංගු යොදාගෙන ඇත්තේ ලොම්බාඩි වීදියේ ඇති බෑවුම් බව නිසා ඇතිවෙන අනතුරු අවම කිරීම සඳහා වන අතර එහි යා හැකි උපරිම වේග සීමාව වන්නේ පැයට කිලෝමීටර් 8 යි.

‘ලෝකයේ වකුටු ම වීදිය’ ලෙස නම් දරා ඇති ලොම්බාඩ් වීදිය එක් පැත්තකට පමණක් වාහන ගමන් කරන අතර එය අලංකාර කිරීම සඳහා සෑම වංගුවක් තුළ ම වර්ණවත් මල් සහිත පඳුරු සිටවා ඇති ආකාරය දැක ගත හැකි යි.

Picture 1 කවරයේ පින්තූරය (wallpaperswide.com)

මූලාශ්‍ර :

  1. brightside.me
  2. lonelyplanet.com
  3. en.wikipedia.org
  4. boredpanda.com
  5. buzztrips.co.uk
  6. barcelonayellow.com
  7. earthporm.com

Related Articles