Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව උසම පියස්ස එවරස්ට් කන්ද දැකබලාගන්න යන පාගමන

ලෝකයේ මුහුදු මට්ටමේ සිට ඇති උසම ස්ථානය වන්නේ එවරස්ට් කඳු පියස්ස වේ. පෘථිවි මධ්‍ය ලක්ෂයේ සිට දුරම ස්ථානය එක්වදෝරයේ චිම්බරාසෝ (Chimborazo) කන්ද වන අතර පිහිටි භූමියේ සිට උසම කන්ද පැසිෆික් සාගරයේ කියා (Mauna Kea) නැමැති කන්ද වේ. භූමියක උස සැලකීමේදී පොදු පිළිගැනීම වන්නේ මුහුදු මට්ටමේ සිට ඇති උසය. එබැවින් ලොව ඇති ඉහළම ස්ථානය ලෙස බොහෝ විද්වතුන් අර්ථ දක්වන්නේ එවරස්ට් කඳු පියස්සය.

එවරස්ට් පිහිටීම

ඈත අතීතයේදී ඉන්දියානු උප මහාද්වීපය ආසියානු මහාද්වීපයේ ගැටීමෙන් අනතුරුව හිමාල කන්ද බිහිවී තිබේ. ඒ  නිසාම ලොව උසම කඳු රැසක් මෙම හිමාල සීමාවට අයත් වේ. එයිනුත් ලොව උසම කඳු 7ක්  හිමාලයේ මධ්‍යම කොටස වන නේපාලයේ පිහිටා තිබේ.

එවරස්ට් කඳු පන්තිය පිහිටා ඇත්තේ නේපාලයේ උතුරුදිග මායිමේ චීන නේපාල බෝඩරය මතය. අප රටේ සිරිපාද තරණය මෙන්ම එවරස්ට් තරණයටද එකිනෙකට වෙනස් වූ මාර්ග කිහිපයක් පවතී. එයින් වඩාත්ම ජනප්‍රිය මාර්ගය වන්නේ නේපාලය හරහා එවරස්ට් තරණය කිරීමයි. එහෙත් ටිබෙට් අන්තයේ එවරස්ට් මාවතද සොබා සෞන්දර්යෙන් අගතැන්පත් මාර්ගයක් බව වාර්ථාවන්හි සදහන් වේ.

එවරස්ට් තරණය කිරීම

ටෙන්සින් නෝගේ සහ එඩ්මන්ඩ් හිලරි http://3.bp.blogspot.com/-gX30IgdyOkM/UaYIfT6heqI/AAAAAAAC9eU/ampe3meu_ug/s1600/Everest_Hillary_Norgay___2A.jpg

ලොව හතර දිග්බාගයේ කඳු නගින්නන්ගේ ශ්‍රේෂ්ඨතම සිහිනය වන්නේ එවරස්ට් කඳු පියස්සට නැගීමයි. අප ශ්‍රී ලංකා මාතාවගේ ශ්‍රී නාමය එවරස්ට් කඳු මුදුන මත පතිත කරවන්නට 2016 දී ජයන්ති උතුම්පොල සමත් වූවාය. මුලින්ම එවරස්ට් කඳු මුදුන සිපගත්තා යැයි සැලකෙන මනුෂ්‍යයා ගැන විවිධ මතභේද පවතී. ඒ අතර ජෝර්ජ් මලරි සහ ඇන්ඩෘෘ අර්වින් 1924 දී එවරස්ට් කඳු මුදුන මුලින්ම ස්පර්ශ කළා යැයි සැලකේ. නමුත් ඉහළට නැංග මුත් ඔවුන්ට කඳු පියස්සෙන් යළිත් පහළට බැස ගන්නට අවකාශ නැති විය.

මීටර 8844ක් උස එවරස්ට් කන්දේ උතුරු භාගයේ මීටර 8155ක උසින් මලරිගේ මෘත ශරීරය 1999දී සොයාගනු ලැබීය. එයින් ඔවුන් එඩ්මන්ඩ් හිලරිට කලින් එවරස්ට් නැංගාය යන මතය යම්තාක් දුරකට සනාථ වේ. හිම සහිත දැඩි ශීත තත්වය හේතුවෙන් එවරස්ට් මුදුන් වල මිය යන කඳුනගින්නන් එසේම ගල්වී තිබෙනු මිසෙක දිරායාමක් සිදුවන්නේ අඩුවෙනි. එවැනි වූ මළ සිරුරු 200ක් පමණ එවරස්ට් යන ඉහළ මඟ මං සලකුණු ලෙසද භාවිතා කරනු ලබයි.

එඩ්මන් හිලරි සහ ටෙන්සින් නෝර්ගේ සහ එඩ්මන් හිලරි විසින් 1953දී එවරස්ට් තරණය කරන ලදී. ටෙන්සින් නෝර්ගේ යනු නේපාල ජාතික සහායකයෙකි. චීන දිශාවේ ටිබෙටය ඔස්සේ තරණය කළ වැන්ග් ෆොෂෝ 1960 දී එවරස්ට් තරණය කළේය.

එවරස්ට් බේස් කෑම්ප් ට්‍රෙකින්

එවරස්ට් ගමන් ගන්නා සිතියම https://www.enepaltreks.com/wp-content/uploads/2015/09/EBCmap.jpg

එඩ්මන්ඩ් හිලරි එවරස්ට් තරණය කරන කාලයේදී කත්මන්ඩු සිට එවරස්ට් බේස් කෑම්ප් දක්වාම ඔවුන් බඩු බාහිරාදිය ආහාර පාන රැගෙන පයින්ම ආවෝය. දැන් නම් ලොව අනතුරුදායකම ගුවන්තොටුපලක් ලෙස සැලකෙන කුඩා ගුවන්පථයක් සහිත ලුක්ලා වලට කත්මන්ඩු සිට කුඩා ගුවන්යානයකින් පැමිණ දින කිහිපයක පාගමනකින් අනතුරුව එවරස්ට්  බේස් කෑම්ප් වෙත ලඟාවීම සාමාන්‍යයෙන් සිදුකරනු ලැබේ.

මෙම බේස් කෑම්ප් වෙත ලඟාවීමද කඳු නැගීමට හුරුපුරුදු නොවූ අයෙකුට තරමක් අපහසු කාර්යයකි. නමුත් ලොව උසම කඳුමුදුන සියැසින් දැකගනු වස් ලොවවටා සංචාරකයෝ රැසක් අවුරුදු පතා මෙම බේස් කෑම්ප් තරණය සිදු කරති.

එවරස්ට් බේස් කෑම්ප් යනවනම්

ලුක්ලා ගුවන් තොට සහ යානාව (Himal Liyanage)

මීටර 4000කට වඩා ඉහළ සීමාවේ දින කිහිපයක්ම ගත කරන්නට සිදු වන බැවින් වර්ෂයේ කුමන කාලයක බේස් කෑම්ප් තරණය කළ ද දැඩි ශීතලට සහ අඩු ඔක්සිජන් තත්වයන්ට මුහුණදීමට සිදු වේ.

මෙම තරණය ඇරඹෙන්නේ කත්මන්ඩු සිට පැය බාගයක පැයක පමණ ගුවන් ගමනකින් අනතුරුවය. කුඩා ගුවන් තොටුපලක් වන ලුක්ලා දක්වා ගුවනින් ගමන් කරන පිරිස එතැන් සිට පයින්ම බඩු බාහිරාදියද පිට මත රුවාගෙන තරණය සිදු කරති.

බොහෝ දුර බැහැර ගෙවායන මෙවැනි ජනප්‍රිය වූ මාර්ග වල සංචාරකයින් සඳහාම වෙන් වූ නවාතැන් ආහාර පාන ලබාගත හැකි ටී හවුස් පිහිටුවා තිබේ. සිරුර උණුසුම් කරගැනීම සහ මූලික වශයෙන් නිදාගැනීමේ පහසුව මෙම ස්ථානවලින් සපයන අතර ආහාර පානද මෙම ස්ථානවලින්ම සපයනු ලැබේ. තරමක් ජනප්‍රිය වූ මාර්ගයක් වූ එවරස්ට් බේස් කෑම්ප් තරණයේදී මග දෙපස එක් එක් ස්ථානවලදී මෙම ටී හවුස් හමුවන අතර තමුන්ගේ විඩාව සහ මහන්සිය අනුව අදාල ස්ථානවලදී නැවතෙමින් ගමනේ යෙදිය හැකිය.

ශාරීරික යෝග්‍යතාවය තිබේ නම් බේස් කෑම්ප් දක්වා එවරස්ට් දැකබලාගෙන යන මෙම ගමනේදී තවත් කන්දක් දෙකක් නැග එහි අත්දැකීම ලබාගන්නට ද රිසිසේ අවකාශ තිබේ.

තනියම යන්න පුලුවනිද?

අතරමගදී හමුවන යැක් ගවයින් (Himal Liyanage)

වඩාත් ප්‍රසිද්ධ ගමනක් වූ එවරස්ට් බේස් කෑම්ප් තරණයේදී සාමාන්‍ය කාලගුණ තත්වයන්හිදී නම් මාර්ගය සොයාගැනීමේ විශාල අපහසුවක් නොමැත. වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් අඩු මෙම පළාතේදී එම පළාත් වාසීන් ගමන් ගන්නේද මෙම මාර්ග ආදියේමය. ඊට අමතරව නිරන්තරයෙන්ම ඇදෙන සංචාරකයින්ද ගමනේදී අතර මග හමු වේ. එහෙත් මීටර 4000කට වඩා ඉහළ මට්ටමේ හිම මිදෙන සීතල මත අඩු ඔක්සිජන් තත්වයෙන් කඳු නැගීමට ඇති ශාරීරික යෝග්‍යතාවය ගැන මඳක් සලකාබැලීම මනාය.

විදේශිකයින් බේස් කෑම්ප් තරනය කරන විට ඒ සදහා අවසර පත් ලබාගත යුතුය. එවරස්ට් අදාල වන සාගර්මාතා වනෝද්‍යාන අවසර පතත් අනෙක් නේපාල ට්‍රැකින් සදහා අවසර පතත් සංචාරකයින් විසින් මිලදී ගත යුතුය. ඒ අවසරපත් කත්මන්ඩු වලදීම ලබාගත හැකිය. මගපෙන්වන්නකු  දල වශයෙන් දිනකට ඇමරිකානු ඩොලර් 20-25ක් වියදමින් සොයාගත හැකි අතර බඩු ඔසවාගෙන යෑමට තිබේ නම් ඒ සදහා අමතර පෝටර් වරයෙක්ද කුලියට ගත හැකිය. සංචාරක ඒජන්සි හරහා අවසර පත් මෙන්ම පළපුරුදු මග පෙන්වන්නන් ද නේපාලයේදීම සොයාගැනීම වඩාත් වාසිදායකය. අන්තර්ජාලය මගින් කලින් පැකේජ වෙන්කරගෙන යෑම කළ හැකි වුවත් එය ඉතා මිල අධික තෝරාගැනීමකි.

ගතවන කාලය සහ සිරුර සූදානම් කරගැනීම

එල්ලෙන පාලමක් මතින් බඩු රැගෙන එන අය (Himal Liyanage)

හිම මිදෙන ශීතල නම් ලාංකික අපට නවමු අත්දැකීමකි. එසේම මුහුදු මට්ටමෙන් මීටර 5000ක මට්ටමට ලඟා වන විට වාතයේ ඇති ඔක්සිජන් මට්ටම අඩු නිසා ඔක්කාරය, වමනය, හිසරදය වැනි අපහසුතා ඇතැම් අයට ඇති වේ. එවිට එම තත්වයට හැඩ ගැසීම සදහා දිනක් දෙකක් විවේක ගෙන ගමන් කිරීම වඩාත් යෝග්‍ය වේ.

සාමාන්‍යයෙන් දින 9-12ක් අතර කාලයක් ප්‍රකට බේස් කෑම්ප් ගමන සදහා වැය වේ. ශාරීරික යෝග්‍යතාවය සහ අමතරව නැරඹීමට විඳීමට යන ස්ථාන අනුවද දින ගණන මඳක් වෙනස් විය හැකිය.

මාර්ග සිරිය

කඳුකර පක්ෂියෙක් (Himal Liyanage)

මෙම එවරස්ට් සීමාවේදී ලංකාවේදී මෙන් කොළ පැහැයෙන් වර්ණවත් වූ කඳුවැටි දකින්නට ලැබෙන්නේ අඩුවෙනි. දුඹුරු පැහැති කටුපඳුරු සහ ලඳු කැලෑවෙන් ගැවසීගත් ඇතැම් තැනෙක කඳු මුදුනත හිම මිදුන විශාල කඳුවැටි රැසක්ම දර්ශනය වේ.එල්ලෙන පාලම්, යැක් ගවයින්, නේපාල ෂර්පා මිනිසුන් අනතුරුදායක බෑවුම් හමුවන එවරස්ට් බේස් කෑම්ප් ගමන නේපාලයේ කඳුකර ගැමි ජීවිතයද දැකබලාගත හැකි මාහැඟි අවස්තාවකි.

ලොව උසම කඳු පියස්ස වන එවරස්ට් දැකබලා ගනිමින් ඒ අවට ජන දිවිය විඳගනිමින් හිම මිදෙන කඳුකර පරිසරය විඳගන්න ඔබටත් කැමැත්තක් මේ හරහා ඇතිවන්නට ඇති. මේ ගැන අදහස් තිබේනම් අපේ අදහස් තීරුවට කමෙන්ට් එකක් විදිහට ඒ එකතු කරලා යන්න.

Related Articles