Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන් සමග දිග චාරිකාවක් ඇරඹීමේදී මේවා ගැනත් සිතමු

“හැමදාම වැඩට යනවා එනවා ට්‍රිප් එකක් වත් ගියොත් හොදයි නේද?”  යැයි පවුලේ සමීපතමයෙක් ඇසූවිට; “හැමදාම වැඩ වැඩ වැඩ. කොහෙද ඉතිං ට්‍රිප් එකක් වත් යන්න වෙලාවක්. ඒ ලැබුණත්, මේ ළමයි එක්ක? පේනවනේ ගෙදර ඉන්න කොට තියෙන විසේ. ඉතිං කොහොමද දුර ගමනක් ට්‍රිප් එකක් යන්නේ. ” යැයි කියමින් දෙමාපියන් එවන් උත්තරයක් දී සංචාරයේ යෙදීම දරුවන් නිසා අනාගතයට කල් දමන අවස්ථා සුලබව ලංකාවේදි දකින්නට පුළුවනි. ඇත්තටම දරුවන් සිටින විට තනිකඩ කාලයට වඩා වගකීම් වැඩියි. සොයා බලන්න ඕනිකරන කාරනා වැඩියි. ඒත් දරුවන් චාරිකාවලට හුරුකර ඔවුන් සමග චාරිකා යන්නට අපිට පුළුවනි නම් දරුවන් සිටිනවාය කියා විනෝද චාරිකා කල් දමන්නට සිදු වන්නේ නෑ. අපි දරුවන් සමග ගමනක් යන්න කලින් සොයාබලන්න ඕනි කාරණා ටිකක් බලමු.

නවාතැන් ගන්නා තැන

චාරිකාවකදී දිර්ඝ ගමනක් අවසානයේ අපි යම් හෝටලයක හෝ නවාතැනක නවතිනවා. අද කාලයේදී නම් හෝටලයේ තතු කෙසේද කියා අන්තර්ජාලයෙන් හෝ දුරකථන ඇමතුම් මගින් දැනගන්නත් හැකියාව තිබෙනවා. කුඩා දරුවන් සමග නැවතීමට හෝටලයක් තෝරාගන්න විට බිම් මහලක් නම් වඩාත් සුදුසුයි. නවාතැන් පහසුකම් බිම ම පිහිටා ඇති විට දරුවන් ඉහළ මහල් වලට නැගීමට තරප්පු පේලි නැගීමට යන විට ඇතිවිය හැකි අනතුරු වලකාගන්නට හැකියාව ලැබෙනවා. ස්විමින් පූල් තිබේනම් දරුවන්ටද නාන පහසුකම් තිබේදැයි සොයා බැලීමත් ආහාර මෙනුවල දරුවන් සඳහාද ඉඩකඩ වෙන්කර තිබේද යන්න සොයාබැලීමත් පවුලටම නිවාඩුවක් ගතකරන්න හෝටලයක් බැලීමේදී කළ යුතු දේවල්. සමහර සංචාරක හෝටලවල සෙල්ලම් කිරීමට විශේෂ ස්ථාන තනා තිබෙනවා. එවැන්නක තවත් දරුවන් සමග සෙල්ලම් කරන්නට ලැබීම ඔවුන්ටත් විශාල සතුටක් ගෙනන අත්දැකීමක් වේවි.

picofile.com

ගමන් ප්ලෑන් කිරීම

බොහෝ වේලාවක් එකතැන වාඩිවෙලා යන ගුවන් ගමන් ආදිය දරුවන් ගොඩක් පොඩි අවධියේදී යොදාගැනිම අපහසුතා ඇතිකරනවා. ඒත් අවුරුදු දෙක තුනක් වයසට එළැඹෙන විට දරුවන් රැගෙන ගුවන් ගමන් යෑම බටහිර රටවල දෙමාපියන් නම් එතරම් ලොකුවට සලකන දෙයක් නෙමෙයි. පවුලේ සියලු දෙනා යන ගමනකදී ගුවනින් දීර්ඝ ගමනක් යැමට සිදුවන්නේ නම් සන්ධ්‍යා කාලයේ ගමන ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි. මන්ද දිවා කාලයට වඩා දෙමාපියන්ට වගේම දරුවන්ට නිදාගෙන ගමන යන්න රාත්‍රිය උදව්වක් වෙනවා.

වාහනයකින් යන දීර්ඝ ගමනක් වුවත් අතරමග පැය පහ හයකට වතාවක් නවතමින් දරුවන්ට විවේකයක් ලබාදෙමින් යන්න පුළුවන් නම් ඔවුන්ට ගමන ගොඩක් වෙහෙසකර එක්ක වන එකක් නැහැ.

ළමයින්ට කඩ චෝරු කෑම බීම

ගමන් යනවිට කොහොමත් ළමයිට එක එක ජාතියේ දේවල් කන්නට උවමනා වෙනවා. නොදන්නා තැන්වලින් ස්නැක් බිස්කට් ආදී රසකැවිලි දරුවාට අරන් දෙනවාට වඩා ඔවුන්ට ස්නැක් සහ බිස්කට් වැනි දේ ඇතුලත් කෙටි කෑම ටිකක් රැගෙන යෑම ඔවුන්ගේ පුංචි බන්ඩිය නිතරම පුරවා තබන්නට හේතු වේවි. ළමයින්ට වතුර තිබහ වීමෙත් කිසිම පිළිවෙලක් නැහැ . වතුර බෝතලයක් පුරවලා ළමයා රැගෙන යන මල්ලට හෝ ඔහු සතුවම තබාගන්න දීමත් දිග ගමන් වලදී හොද පුරුද්දක්. පැණි බීම සහ වෙනත් බීම වලට වඩා ජලයම දරුවන්ට ලබාදෙන එක දීර්ඝ ගමන් බිමන් වලදී වඩාත් සුදුසුයි. මන්ද වෙනත් බීම වලින් ඇතැම්විට පිපාසය නිවෙන්නේ නෑ.

ළමයාට කුඩා වගකීමක් ලබාදීම

සමහර වෙලාවට  දරුවන් ගමනකට එකතු කරගත් තැන් පටන් ඔවුන්ගේ දැඟලීමේ ඉවරයක් නැහැ. ඔවුන්ටත් යම් වගකීමක් පැවරීමෙන් එසේ අනවශ්‍ය ලෙස කරන දැඟලීම් අඩුකරගන්නටත් හැකියාව ලැබෙනවා. විශාල වගකීම් නෙමෙයි. දරුවන් පාවිච්චියට ගන්නා කුඩා බඩු ටිකක් කුඩා බැක් පැක් එකක දමා ඔහුට එල්ලාගෙන හෝ තල්ලු කරගෙන යන්නට ලබා දීම, ඔහුගේ කුඩා සෙල්ලම් බඩු ඉලෙක්ට්‍රොනික බඩු ඔහුට හෝ ඇයටම පැක් කරගන්නට ඉඩ දීම. ගමනේ හමුවන තැන් පසුකරන ස්ථාන ආදිය ගැන කලින් මූලික විස්තරයක් දරුවන්ට කියා ඒ තැන් පසුවෙනවාදැයි සෙවිල්ලෙන් සිටින්නට කීම. ගමන සැලසුම් කිරීමේදී ඔවුන්ගෙනුත් අදහස් ලබාගැනීම මගින් ළමයින්ට යම් කුඩා හෝ වගකීමක් එනවා. එවිට ඔවුන්ගේ අනවශ්‍ය දැඟලීම අඩුවිය හැකි සේම ළමයාටත් කුඩා කල පටන් චාරිකාවක් වැනි දෙයක් සංවිධානය කරගැනීම මලු සකස් කරගැනීම රට තොට බලාගැනීම ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා.

anoticia.pt

සෙල්ලම් උපාංග කට්ටලය

සෑම වයසකම පාහේ ළමුන් චිත්‍ර ඇදීමට බොහෝ ආසයි. චිත්‍ර අදින කොළ, පාට පෙට්ටිය සහ චිත්‍ර පාටකරන පොතක් රැගෙන ගියොත් අතරමගදී රස්තියාදු වෙලාවට ලමයාට කරන්නට හොඳ ක්‍රියාකාරකමක් වේවි. අයි පෑඩ් ටැබ්ලට්, ස්මාට්ෆෝන් වැනි උපාංගත් තරමක් වැඩුන දරුවන් එකතැන තබන්නට හැකි මහාර්ඝ සෙල්ලම් බඩු බවට පත් ව තිබෙනවා. ඒවායේ ළමුන්ට සුදුසු ගේම්ස් සහ වීඩියෝ ඇතුලත්කොට ගෙන අදාල උපකරණ නියමිත පරිදි චාජ් කරගෙන සූදානම් කරගන්න එකත් ගමනක් පටන් ගන්නවිට ළමයින් වෙනුවෙන් ගන්න පුළුවන් හොඳ පියවරක්. ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු සෑම විටම නරක දේවල් කියා බැහැර කරන්නට බැහැ. දරුවන්ගේ හැකියාවන් වඩවන වීඩියෝ සහ ගේම්ස් ආදිය අද දවසේ පැමිණ තිබෙනවා. පොතට පතට රුචි වූ ළමුනට නම් පොත් පත් ටිකක් අලුතින් රැගෙන යෑමත් සුදුසුයි.

ඒ ඒ දරුවන් කැමති වූ සෙල්ලම් බඩු කට්ටල තිබෙනවා. බිල්ඩින් බ්ලොක්ස්, බෝනික්කන්, කාර් වාහන ආදී දේට එක් එක් දරුවන්ගේ රුචිකත්වය වෙනස්. එවන් දරුවන් කැමති ආකාරයේ සෙල්ලම් බඩු දෙමාපියන් ළඟ තබාගෙන අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ට ලබාදීමෙන් ඔවුන්ට කාලය ගත කරගන්නට හොද අවස්ථාවක් ලැබේවි. ගමන් වලදී ඇතැම් විට විවිධ කාරනා නිසා අපිට රස්තියාදු වන්නට සිදු වෙනවා. අවසර ලබාගැනීම්, ටිකට් ගැනීම්, මාර්ග තදබද, බස්රිය දුම්රිය වල යනවා නම් ප්‍රමාදයන් ආදියට මුහුණ දෙන්නට සිදු වෙනවා. එවන් අවස්ථාවක ළමුන්ට කරන්නට යම් කිසි ක්‍රියාකාරකම් තිබේ නම් එය ඔවුන් ගේ කැළඹීම් ගතිය අඩුකරන්නට සමත් වේවි.

බේත් හේත් ඇදුම් පැළදුම්

සෙම් රෝග, බඩේ අමාරු, හිස කැක්කුම් වගේ සුළු සුළු රෝග දරුවන්ට නිතරම වැළදෙනවා. පරිසරය ආහාර පාන මාරුවීමත් සමගම ළමුන් ඉක්මණින්ම යම් යම් සුළු ලෙඩරෝග වලට ලක්වන්නට පුළුවනි. ඒ නිසා කුඩා ප්‍රථමාධාර කට්ටලයක් සහ බෙහෙත් හේත් රැගෙන යන එක දිග ගමනකදි කළ යුතුම දෙයක්. ඇඳුම් පැළඳුම් නම් සෝදාගන්න ලොන්ඩරි පහසුව තිබෙනවා නම් ඇඳුම් කට්ටල 4කට වඩා ගෙනයෑම තේරුමක් නැහැ. චාරිකාව යොදාගන්නා පළාත අනුව සහ කරන්න බලාපොරොත්තු වන ක්‍රියාකාරකම් අනුවත් රැගෙන යා යුතු ඇදුම් පැළඳුම් වෙනස් වෙනවා.

නුවරඑළිය, සිරිපා කරුණාව ආදී චාරිකාවලදී කුඩා ජැකට්ටු බ්ලැන්කෙට්ටු රැගෙන, ළමුන් සීතලෙන් ආරක්ෂා කරගැනීම ගැන සිතිය යුතුයි. එසේම මුහුදුබඩ කලාපයේ චාරිකාවක් නිරත වේ නම් ඒ උෂ්ණදායි පරිසරයට ගැලපෙන සහ මුහුදේ නාන්නට අවස්ථාවක් ලැබුනොත් ඒ සඳහා ගැලපෙන ඇදුම් ආයිත්තම් රැගෙන යෑම කළ යුතුයි. කෑම ඇඟමත පෙරළා ගැනීමෙන්, මඩ වලවල් වල වැටීමෙන්, අනවශ්‍ය තැන්වල රිංගීමෙන් දරුවන් ඇඳුම් ඉක්මණින්ම කිලිටි කරගන්න අවස්ථා තිබෙනවා. ඒ වන් විටක පාවිච්චියට ගන්න ඇඳුමක් සෑම විටම සූදානමින් තබාගැනීමත් වැදගත්.

දරුවන් සමග චාරිකාව වධයක්ද?

දරුවන් සිටින දෙමාපියන්ට දරුවන් නිවසේ තනිකර සෑම දුර චාරිකාවකම නිරත වන්නට බැහැ. අනෙක් පසකින් දරුවන්ද දීර්ඝ ගමන් ආදියට පුරුදු පුහුණු වීම උවමනායි. ඔවුනුත් අලුත් පරිසරයක් දැකබලාගන්න අලුත් දේට හුරුවන්නට ආසාවෙන් සිටිනවා. එමනිසා ළමයින්ද රැගෙන දුර ගමන් බිමන් යෑමට හුරුවීම අපහසු වුවත් දෙමාපියන් විසින් කළ යුතු කාර්යයක් වෙනවා. ඒ ගමන් වලදී දරුවන්ද දායක කරගමින් ඔවුන්ටද අවබෝධය ලබාදෙමින් අවශ්‍ය දෑ සකසාගෙන නිසි සැලසුමකින් ගමන යනවා නම් ගමනේදී දරුවන්ගෙන් වෙන නොයෙක් වධ වේදනා  අඩුකරගන්නට හැකියාව ලැබෙනවා.

ළමුන් එක්ක දුරගමන් යද්දි සැලකිලිමත් වෙන්න ඕනි කාරණා පිළිබඳ දැනුමක් ඔබට මෙයින් ලැබෙන්නට ඇති. තවත් කාරණා තිබේනම් අපි සමග කමෙන්ට් එකක් විදිහට බෙදා හදාගෙන යන්න.

කවරයේ ඡායාරූපය: picofile.com

Related Articles