Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රාන්ස් සයිබීරියන් රේල්ලුවේ යන ලොව දිගම දුම්රිය ගමන

අපි කවුරුත් දුම්රියෙන් ගමන් බිමන් යන්න කැමතියි. එයට ප්‍රධානම හේතුවක් වන්නේ දුම්රියෙන් ගමන් කිරීමේදී දැනෙන වෙහෙස බස් රියක ගමන් කරනවාට වඩා සාපේක්ෂව අඩු වීමයි. ඊට අමතරව ශ්‍රී ලංකාව වැනි රටක දුම්රියෙන් ගමන් කරන විට ගමන් වියදම සාපේක්ෂව අඩු වීමත්, දුම්රිය මාර්ග අවට පෙනෙන මනස්කාන්ත දර්ශන නැරඹීමේ නොතිත් ආශාවත් නිසා එදිනෙදා ගමන් වලට අමතරව විනෝද චාරිකා යෑමටත් පුද්ගලයින් දුම්රිය භාවිතා කරනවා.

ශ්‍රී ලංකාව කුඩා රටක්. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දුම්රියපළ ලෙස සැලකෙන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි එහි සිට ගමන් කළ හැකි දුරින් වැඩිම හා ජනප්‍රියම ගමනාන්ත දෙකක් වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ අන්තය වන බදුල්ල හා උතුරු දුම්රිය මාර්ගයේ පිහිටා ඇති යාපනයයි. මේ ස්ථාන දෙකට කොටුවේ සිට පිළිවෙලින් කිලෝමීටර 292.4 ක හා 397.8 ක දුරක් තිබෙනවා. මේ ගමනාන්ත දෙකටම ලඟා වීමට සාමාන්‍ය දුම්රියක් පැය 12ක් පමණ ගත කරනවා. අපට මේ දුර හා වේලාව ඉතා විශාල දෙයක් ලෙස පෙණුනත් ලෝකයේ දිගම දුම්රිය මාර්ගය හා ගමන සමඟ සැසඳීමේදී නම් ඒ දුර හා කාලය ඉතා කුඩා එකක්. මොහොතකට හිතන්න එක දිගට කිලෝමීටර 9258 ක් දිවෙන දුම්රිය මාර්ගයක් ගැන, එහි ආරම්භයේ සිට අවසානය දක්වා දින 7 ක් පුරා දිවෙන දුම්රිය ගමනක් ගැන. රුසියාවේ මොස්කව් නුවර සිට රුසියාවේම නැඟෙනහිර වෙරළාසන්නයේ ඇති ව්ලැඩිවොස්ටොක් නුවර දක්වා විහිදී ඇති  ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ග පද්ධතියේ දීර්ඝතම මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කරන දුම්රියක ගමන් කරන්නෙකුට නම් මෙම අත්දැකීම විඳගන්නට පුළුවන්. මොස්කව් සිට නැඟෙනහිර දිශාවට විහිදී ඇති, ලොව තනි දුම්රියකින් යා හැකි ප්‍රධාන ගමන් අතුරින් දීර්ඝතම ගමන ලෙස සැලකෙන මෙහි මඟීන් ගෙන යන දුම්රිය හැඳින්වෙන්නේ ට්‍රාන්ස් සයිබීරියන් ශීඝ්‍රගාමී දුම්රිය ලෙසින්. රුසියාව තුලින් විවිධ දේශගුණික කලාප ඔස්සේ, විවිධ වේලා කලාප ඔස්සේ ඇදෙන මේ යකඩ යකා තුළ ගමන් කරන මඟියෙකුට හාත්පස දර්ශන අතුළු කිව නොහැකි තරමේ ප්‍රිය ජනක අත්දැකීම් සමුදායකටම මුහුණ දෙන්නට පුළුවන්.

බයිකල් විල පසු කරන ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය- travelexperta.com

ට්‍රාන්ස් සයිබීරියන් රේල්ලුවේ ඉතිහාසය

ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය ඉදි කිරීමට මුලින්ම යෝජනා වෙන්නේ 1886 වසරේදීයි. ව්ලැඩිවොස්ටොක් සිට ඉදිකිරීම ආරම්භ වෙන මෙහි පළමු පියවර දියත් වන්නේ 1891 වසරේදීයි. එවකට රුසියාවේ අධිරාජ්‍යයා වූ තෙවන ඇලෙක්සැන්ඩර් විසින් සිය පුතු නිකොලායි ඇලෙක්සැන්ඩ්‍රෝවිච් වෙත ට්‍රාන්ස් සයිබීරියන් මාර්ගයේ මූලික වැඩ කටයුතු ඇරඹීම පවරන අතර ඉතාම දැඩි ශීතල හා කටුක කාලගුණික තත්වයන් ඔස්සේ ඉදි කිරීම් සිදු කරන්නට වෙන්නේ ටිකක් හෙමින්. මීට අමතරව ප්‍රාග්ධනයත් ඉදිකිරීමට අවශ්‍ය වන බලශක්තිය සපයා ගැනීමත් එවක ඉතාම අභියෝගාත්මක කර්තව්‍යයන් වුණා.

රුසියානු කම්කරුවෝ ට්‍රාන්ස් සයිබීරියන් මාර්ගය ඉදි කරමින්-colonisminasia.weebly.com

මේ සියළු බාධක මධ්‍යයේ ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය වසර 12ක් තුළ නිම කිරීමට රුසියානුවන් සමත් වෙනවා. එය ඔවුන් ලැබූ විශාල ජයග්‍රහණයක් වන අතර මුළු රුසියාවේම සාමාජීය, ආර්ථික හා සංස්කෘතික වර්ධනයට මේ දුම්රිය මග මනා පිටිවහලක් වෙනවා. පළමු ලෝක යුද්ධයේදී හා රුසියානු සිවිල් විප්ලවයේදී අලාභ හානි වලට ලක් වූවත් පසුව පත් වූ රජයන් විසින් ඉක්මණින්ම එය ප්‍රතිසංස්කරණය කරන්නේ මේ මාර්ගය රුසියාවට ඒ තරම්ම වැදගත් දෙයක් නිසායි.

ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග

ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය වැඩිමනක් ඉදීවී තිබෙන්නේ ටයිගාවක් හරහායි. මේ නිසා දිවා කාලය තුලදී එහි සොබා සෞන්දර්යය විඳින්නට මෙහි ගමන් කරන මඟියෙකුට පුළුවන්. මේ ගමනේ සුන්දරත්වය සම්පූර්ණයෙන් විඳගන්නට නම් දවසේ වැඩි කාලයක් උත්තර අර්ධගෝලයට හිරු රැස් පතිත වෙන මැයි සිට සැප්තැම්බරය අතර කාලයේදී මෙහි ගමන් කළ යුතුයි.

ට්‍රාන්ස් සයිබීරියන් මාර්ග පද්ධතිය.මෙහි අවශේෂ මාර්ගද අධ්‍යනය කරන්න-transsiberian.info

වර්තමානය වන විට මෙහි මොස්කව් -ව්ලැඩිවොස්ටොක් ප්‍රධාන මාර්ගයට අමතරව තවත් මාර්ග 2ක් ඉදි වී තිබෙනවා. ඒ මොස්කව් සිට මැන්චූරියාව හරහා චීනයේ බෙයිජිං නුවරට වැටී ඇති කි.මී 8986ක් දිග මාර්ගය හා මොස්කව් සිට මොන්ගෝලියාව හරහා බෙයිජිං වෙත යන කි.මී 7621 ක් දිගැති මාර්ගයයි. මීට අමතරව යූරල් හා අමූර් යනුවෙන් අවශේෂ දුම් රිය මාර්ග දෙකක් ඉදි වී තිබුණත් සංචාරකයන් අතර ඒවා ඒ තරම් ප්‍රසිද්ධ නැහැ

දීර්ඝතම ගමනේ මං සලකුණු

ට්‍රාන්ස් සයිබීරියන් මාර්‍රග පද්ධතිය සතු මාර්ග 3ටම අයත් දුම්රිය උලාන් උදේ (Ulan Ude) දක්වා එකම මාර්ගයක ගමන් කරනවා. මේ මාර්ගය අතරතුර හමුවන එක් විශේෂ ස්ථානයක් ලෙස කzසාන් හඳුන්වන්න පුළුවන්. මෙහි පිහිටා ඇති අවුරුදු 500 ක් පමණ පැරණි ක්‍රෙම්ලින් ගොඩනැඟිල්ල සංචාරක ආකර්ශනය නොමඳව දිනාගත් සුන්දර තැනක්. මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අතර 16 වෙනි සියවසේ සිට 19 වන සියවස දක්වා ඉදිකෙරුණු ගොඩනැගිලි වලින් සමන්විතයි.

කzසාන් හි ක්‍රෙම්ලිනය- liveinternet.ru

යෙකටෙරින්බර්ග් (Yekaterinburg) හි පිහිටා ඇති පල්ලියත් තවත් සුවිශේෂී එකක්. මෙය ඉදි කර ඇත්තේ රුසියාවේ අවසාන රජ පවුල වන සාර් රජ පවුල ඝාතනය කළ ස්ථානයේයි. සර්බියාවේ පැරීසිය ලෙස හැඳින්වෙන ඉර්කුට්ස්ක් (Irkutsk) නගරයත් මේ ගමන අතර තුර හමු වෙනවා. මෙයි පැරණි සාම්ප්‍රදායික ගොඩනැගිලි හා දැවයෙන් තැනූ ගොඩනැගිලි තිබෙනවා.

යෙකටෙරින්බර්ග් පල්ලිය-Travhost – WordPress.com

ඉර්කුට්ස්ක්-remotelands.com

මේ ගමන අතරතුර පසුබිමින් පෙනෙන යූරල් කඳු පන්තියද මනස්කාන්ත දසුනක් මවනවා. මීට අමතරව මොස්කව් සිට කිලෝමීටර 1777ක් ගිය විට හමුවන ආසියා-යුරෝපීය මහාද්වීපික දේශසීමාව සනිටුහන් කර ඇති මං සලකුණත් සුවිශේෂී එකක්. ගස් කැපීමේ කර්මාන්තය ජයටම කෙරෙන ටයිෂෙට් (Tayshet) අසල ඇති සායන් කඳුකරය අවට ප්‍රදේශය ඡායාරූප ගත කරගන්නටත් මේ ගමනේ යෙදෙන්නෙකුට පුළුවන්.

යූරල් කඳු-anylatitude.com

යෙකටෙරින්බර්ග් හි ආසියා යුරෝපා සීමා සලකුණ-budgettravelrussia.com

මේ ගමනේ සුවිශේෂම හා දර්ශනීයම කොටස වන්නේ ලොව ගැඹුරුම විල ලෙස හැඳින්වෙන බයිකල් විල අසලින් ඇදී යන කිලෝමීටර 180කින් සමන්විත කොටසයි. කි.මී 640ක දිගකින් යුතු බයිකල් විල පිරිසිදු ජලයට හා ආවේණික සත්ත්ව ප්‍රජාවකට උරුමකම් කියනවා.

බයිකල් විල-todiscoverrussia.com

මොන්ගෝලියානු මාර්ගයේ වැදගත් කොටසක් ඇදී යන්නේ  ගෝබි කාන්තාරය හරහායි මේ කාන්තාරයේ ඇදෙන අශ්වයින් හා ඔටුවන් කලාතුරකින් මේ ගමනේ යෙදෙන්නෙකුට දැක ගන්නට පුළුවන්.

ගෝබි කාන්තාරය-flickr.com

මැන්චූරියානු මාර්ගයේ ගමන් කරන්නෙකුට ෂැංහයිගුවාන් (Shanhaiguan) හීදී සුවිශේෂ දර්ශනයක් නරඹන්නට පුළුවන්. ඒ චීන මහා ප්‍රාකාරයයි.

චීන මහා ප්‍රාකාරය-www.history.com

ගමන් ගාස්තු හා පහසුකම්

වර්තමානය වන විට මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක් දක්වා එක් වරක් ගමන් කිරීමට යුරෝ 500ක් ගෙවා දෙවන පන්තියේ ටිකට් පතක්ද යුරෝ 800ක් ගෙවා පළමු පන්තියේ ටිකට පතක් ද වෙන් කර ගත හැකියි. මීට අමතරව චීනයේ බෙයිජිං නුවරට වැටී ඇති මාර්ග දෙකෙහි ගමන් කිරීමට යුරෝ 600ත් 830ත් අතර මුදලක් වියදම් වෙනවා. මීට අමතරව ඉතාම සුඛෝපභෝගී මැදිරි සහිත දුම්රියත් තිබෙනවා. ඒවා වල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 10ක් පමණ වන අවස්ථාත් තිබෙනවා.

සාමාන්‍ය මගී දුම්රියේ පළමු හා දෙවන පන්තියේ ගමන් කරන්නෙකුට ඇඳ පහසුකම් සපයා තිබෙනවා. මේවා ඇත්තේ ආසන හා ඇඳන් ලෙස අවස්ථානුකූලව සැකසිය හැකි ඒවා ලෙසයි. සෑම දුම්රිය මැදිරි කොටසකම හොඳින් පවත්වාගෙන යන වැසිකිළි දෙකක්, නාන කාමර වැනි දෑ තිබෙනවා. සුඛෝපභෝගී මැදිරි වල මීට වඩා බොහෝ පහසුකම් තිබෙනවා.

ට්‍රාන්ස් සයිබීරියන් හි සාමාන්‍ය නිදන මැදිරියක්-fivefeetflat.net

ට්‍රාන්ස් සයිබීරියන් හි සුඛෝපභෝගී මැදිරියක්- 56thparallel.com

ඒ තරම් තෝරා ගැනීමක් කරන්නට නැති වුණත් හොඳ කෑම වේලක් මෙහි මඟියෙකුට ලැබෙනවා. සාමාන්‍යයෙන් උදේ ආහාරයට හැම් හා බදින ලද බිත්තරත්. දහවල් හා රාත්‍රී ආහාර වශයෙන් schnitzel  නම් මාංශමය ආහාරයත් අලත් ලැබෙනවා. මීට අමතරව බීර, රුසියානු ෂැම්පේන්, වොඩ්කා, චොකලට් වැනි දේ මිලදී ගත හැකි කවුන්ටරයක්ද තිබෙනවා. මොන්ගෝලියානු ආපනශාලාවෙන් සාමන්‍යයෙන් එළුමස් හා බතුත්, චීන ආපන ශාලාවෙන් විවිධ චීන ආහාර වර්ගත් ලබාගන්නට පුළුවන්. මේ ද්විත්වය දකින්නට ලැබෙන්නේ බෙයිජිං බලා යන දුම්රිය වලයි.

ට්‍රාන්ස් සයිබීරියන් හී ප්‍රණීත කෑම වේලක්.-craigtravel.com

ජීවිතයේ කවදා හෝ දවසක ට්‍රාන්ස් සයිබීරියන් මාර්ගයේ ගමන් ගතහොත් ජීවිතයට තවත් වටිනා අත්දැකීම් ගොන්නක් එක් කරගන්නට ලැබෙනවා නොඅනුමානයි.

වැඩිදුර මූලාශ්‍ර –

  1. www.telegraph.co.uk 
  2. transsiberianexpress.net 
  3. rbth.com

කවරයේ පින්තූරය – fansshare.com

Related Articles