Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවැටී මග අමාරුවේ කරුණු දැන යමු ඉන්දියාවේ

ඉන්දියාව කියන්නේ අපිට ආසන්නයේම තියෙන රට. ඉන්දියාවේ සංචාරයක් යන්න බොහෝ දෙනාට හීනයක් තිබෙනවා. දෙසැම්බර් ජනවාරි උතුරු ඉන්දියාවේ හිමාලේ ආසන්නයට ගියොත් හිම බලාගන්න පුළුවනි. හිම අපේ රටේ නැහැ. හිම ඇල්ලීම සෙල්ලම් කිරීම හිම නැති අපි වගේ නිවර්තන රටක තරුණ තරුණියන්ට හීනයක්.

ඒ වගේම ටිකක් වයසට යද්දී බෞද්ධ පිංවතුන්ට බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි බුද්ධගයාව ඇතුළු සිද්ධස්ථානත්, දෙමළ ජනයාට තිරුපති කෝවිල් ආදියත්, ක්‍රිස්තියානි පිරිසට ගෝව, වේලක්කර්නි ආදී පල්ලිත් වැදපුදාගන එන්න යන්න පොඩි ආසාවක් එනවා.

අපි අද ඉදිරිපත් කරන්න යන්නේ ඉන්දියාවේ සංචාරයකට ගිහින් එන්න කැමති සාමාන්‍ය ජනයාට ලාබෙට එහේ ගිහින් එන්නේ කොහොමද කියලා පොඩි කාරණා  කිහිපයක්.

රික්ෂෝ කරුවෙක්

වීසා සහ ගුවන් ගමන්

ඉන්දියාවට ගුවන් ටිකට් පත් ලබාගැනීමේදී මුම්බායි, බැංගලෝර්, දිල්ලි, වාරණාසි, කල්කටා චෙන්නයි, මදුරෙයි, කොචි වගේ ගොඩක් තැන්වලට ලංකාවේ ඉදලා කෙලින්ම ගුවන් ගමන් පැවැත්වෙනවා. එතකොට ලංකාවෙන් නැගලා අපිට එහෙන් බැහැගන්න පුළුවනි. නමුත් ලාභදායීම ක්‍රමය තමයි චෙන්නයි හෝ මුම්බයි වලට ලංකාවේ ඉදලා ප්ලේන් එකෙන් ගිහින් එතන ඉඳලා ඉන්දියාවේ ඩොමෙස්ටික් එයාර්ලයින් එකක යන එක. ඉන්දියානු ජනතාව දැන් දැන් දුර ගමන් වලට ඩොමෙස්ටික් ගුවන් ගමන් යොදාගන්නා ප්‍රමාණය බොහෝම වැඩිවෙලා. මාසෙකට දෙකකට කලින් ගුවන් ටිකට් බුක්කරගන්න පුළුවන් නම් ගුවන් ටිකට් පත් තරමක් ලාබෙට ගන්නත් හැකියාව ලැබෙනවා. ඉන්දියානු ඩොමෙස්ටික් එයාලයින් විදියට ස්පයිස්ජෙට්, ඉන්ඩිගෝ, ජෙට් එයාවේස්, ගෝ එයා, එයාර් ඉන්දියා දක්වන්නට පුළුවනි.

ගුවන් ටිකට් පත් වල ලාභ ම ඒවා සහ මිල ගණන් යාත්‍රා, මේක් මයි ට්‍රිප්, ක්ලියර් ට්‍රිප් වගේ සයිට් එකකින් සර්ච් කලා බලාගන්න හැකියාව තිබෙනවා. ඒ වගේම දැන් ඔන්ලයින් ගුවන් ටිකට්පත් ලබාගන්න හැකියාව තිබෙන නිසා තැන් තැන්වලට ගිහින් වැඩිමනක් සල්ලි ගෙවීමක් නැතුව මිල අඩු හෝ සැප පහසු ගුවන් සේවාව තෝරාලා අපිටම ටිකට් ඔන්ලයින්ම වෙන්කරගන්න හැකියාව තිබෙනවා.

ඉන්දියාවට ගොඩ බහිනකොට ම වීසා ගන්න පුළුවන් වුනත් ඒ සඳහා ඩොලර් 60ක මුදලක් වියදම් වෙනවා. ඒ නිසා අයි වී එස් ලංකා එක හරහා ලංකාවේදි වීසා රැගෙන යන එක මුදල් අතින් වාසියක් තියේවි.

ඉන්දියානු ගැහැණු ළමුන් පිරිසක්

කාලගුණේ සහ දේශගුණේ

මුලින්ම දැනකියාගන්නට ඕනි ඉන්දියාව කියන්නේ ලංකාව වගේ පොඩි රටක් නෙමෙයි. පහළ තියෙන ත්‍රිවේන්ද්‍රම් ඉදලා ඉහළම තිබෙන ඇසෑම් දිහා ගුවන්තොටකට ප්ලේන් එකෙන් යන්නත් පැය තුනකට වඩා ගන්නවා. අපි ගිය ගමනෙදි ලංකාවෙ ඉදන් චෙන්නායි වලට පැයෙන් ගියා. නමුත් එතන ඉදල දිල්ලි වලට පෑ දෙකක් ගියා ගුවනින් ගමන.

ජනවාරි මුල හරියේ දිල්ලියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 10ක් දක්වා අඩුවෙන අවස්ථා තිබෙනවා..එවිට දිල්ලියේ උඩ කිලෝමීටර 500ක් 1000ක් ඉහල හිමාල කෙළවර තවත් සීතලයි..ඉහල කදුමුදුන් තිබෙන උත්තර්කාන්ද්, කාශ්මීරය, සික්කිම් ධර්ජීලින් බටහිරි බෙංගාල කලාපය තුල හිම වැටී, කදුමුදුන් සුදු පැහැ හිම සේදවලින් වැසි යනවා. එබැවින් ගමනට පෙර දේශගුණය ගැන අවධානයක් දැක්වීම වැදගත් වෙනවා.

හිමාල කදුකර බැටළුවන් පිරිසක්

කාමර කීය ද? හොදහැටි තියේ ද?

අපි ඉන්දියාවේ වන්දනාවක ගියත් වෙනත් විනෝද චාරිකාවක ගියත් බිස්නස් වැඩකට ගියත් අපිට නවාතැන් ගන්නට තැනක් හොයාගන්නට වෙනවා. ඉන්දියානු මධ්‍යම පාන්තිකයින් ලංකාවේ අයට වඩා තාක්ෂණයෙන් වැඩ ගන්න බවක් පේනවා. එයාල කාමර වෙන් කරගන්නත් වෙබ් අඩවි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ ප්‍රධාන සංචාරක ස්ථාන ආශ්‍රිතව මට්ටම් හතරක් යටතේ කාමර පහසුකම් සොයාගන්නට තිබෙනවා.

ඉන්දියාව ලෝකයේ අඩුම මුදලක් අතේ තියාගෙන වැඩිම කාලයක් සංචාරය කරන්න පුළුවන් රටක් ලෙස පතලයි. ඒ නිසාම ඉන්දියාවේ කාමර පහසුකම්  ප්‍රකට සංචාරක ස්ථානවලදී වුවත් ඒ හා සමාන ලංකාවේ හෝටල් කාමර වලට වඩා මිල අඩුයි. ඕයෝ රූම්ස් , ඒ වගේ කාමර සොයායන අයට ඉන්දියාවේදි හමුවන හොද අඩවියක්.. ඉන්දියානු වෙබ් අඩවි හරහා ඉන්දියාවේ කාමර සෙවීම වඩාත් ලාභදායි ක්‍රියාවක්. යම් නගරයකට ස්ථානයකට ගිහින් අවට කාමර සොයමින් ලතවනවාට වඩා ඇප් එකකින් නැත්නම් අන්තර්ජාලයෙන් කාමර වෙන්කරගෙන යන්න පුළුවන් නම් ඒක වඩාත් පහසුවක් වේවි.

ගමනාගමනය

ඉන්දියාවේ ප්‍රධාන නගර අතර සුඛෝපබෝගී බස් සේවා තිබෙනවා. ඒවාත් redbus , Bus india වැනි අඩවි හරහා  ආසන කලින් වෙන්කරගන්න හැකියාව තිබෙනවා. දැන් නම් දුම්රිය සේවාවට වඩා බස් සේවාව වඩාත් ඉක්මණින් අදාල ස්ථාන කරා ලඟාවෙනවා.

දුම්රිය ගමන් කියන්නේ ලංකාවේ වගේ උදේ නැගලා දවල් වෙන්න බහින වර්ගයේ ගමන් නම් නෙමෙයි. ඇතැම් විට රැය දෙක තුනක් දුම්රියේ කිලෝමීටර දහස් ගනනක් ගෙවා ගමනාන්තයට ලඟාවීමටද සිදු වෙනවා. ඉන්දියානු දුම්රිය ටිකට් පත් ICRTC හරහා මාස තුනකට කලින් වෙන්කරගන්නට පුළුවනි. දුර ගමන් දුම්රිය වල බොහෝවිට කලින් ආසන වෙන්කරගත්තේ නැතිනම් ඒ අවස්ථාවේ ආසන නොමැති වෙනවා. එම නිසා දුම්රියෙන් දුර ගමන් යනවා නම් අන්තර්ජාලයෙන් ටිකට් වෙන්කරගන ගමන සැලසුම් කිරීම වඩාත් වැදගත් වේවි.

ඉන්දීය දුම්රියක් තුල

හිමාල මායිමේ කදුකර පළාත්වල ගමන් කරන්නට අදහස් කරනවා නම් වඩාත් ඒ සදහා සුදුසු වන්නේ කැබ් රථයක් තෝරාගැනීම යි. කිහිපදෙනෙක් එකතුවෙන සංචාරයකදී බස් රියට වඩා වේගයෙන් අදාල ස්ථානයට කැබ් රථයෙන් ලඟාවෙන්නට හැකියි. එසේම 7-8 දෙනෙකු යනවා නම් ඇතැම් විට වායුසමන බස් රියට වඩා කැබ් ගමන ලාභදායී එකක් ද විය හැකියි.

පැකේජ් ටුවර්

ඉන්දියාවේ දිල්ලියේ සිට ටාජ් මහල් නැරඹීමට තෝරාගත්තේ සවාරි පැකේජ සුදුසු යි. පාන්දර 6ට පමණ බස් රියට ගොඩවුනාම අග්‍රා වෙත උදේ 9ට විතර ලගාවෙලා, අග්‍රා බලකොටුව බලලා ටජ් මහල් බලලා, අතරමග දේවාල බලන්නත් නැවතිලා රෑ වෙද්දි දිල්ලියේ නවාතැන ගාවින්ම බහින්නත් පුළුවන්. සම්පූර්ණ ගමනට ම ටුවර් බස් එක ගන්නේ ඉන්දියන් රුපියල් දාහක් පමණයි.

ටජ් මහල්

මේ විදියේ එක් දින සහ සති අන්ත ටුවර් පැකේජ වගේම සති කිහිපයක් පුරා ඇදෙන ට්‍රැකින්, ආගමික නැරඹීම්, විනෝද චාරිකා ආදිය රැසක් පැකේජ ලෙස ඉන්දියාවේ ද තිබෙනවා. බොහෝ ඒවා ඔන්ලයින්ම වෙන්කරගත හැකියි. මෙම පැකේජ ඇතැම් අවස්ථාවලදී වඩාත් ලාභදායී වෙනවා. ඒ වගේම පොඩි ගාණක් වැඩිය වියදම් වුනත් අවධානම අඩු නිසා පැකේජ් වලට යන එකේ පොඩි වාසියකුත් තිබෙනවා.

පැකේජ ලබාගැනීමේදී වුනත් ඉන්දියානු ජනතාව සමඟ පැකේජ වලට එක්වන්නට හැකිනම් වඩාත් ලාභදායි පැකේජ වලට එළඹෙන්නට හැකියාව ලැබේවි.

මනාලි හඩිම්බා දෙවොල..

සැලසුම් කිරීම

ඉන්දියානු ගමනකදි අපි සරලවම හිතමු ෂොපින් සවාරියක් ගැන. දිල්ලියේ විවිධ මට්ටම් වල රෙදිපිලි අලෙවි කරන මාකට් ම 7-8කට වඩා තිබෙනවා. ඒවා මාකට් කියලා හැදින්වූවත් කඩ දෙතුන් සීයක් තිබෙන අතිශය ජනාකීර්ණ වෙළදපොලවල්. උදාහරණ විදියට දිල්ලියේ සරෝජනී නාගර් හි සාරි,සල්වාර්, කාන්තා ඇදුම් පිරි මූලිකවම සිල්ලර වෙලදපොලක්. නමුත් කරෝල් බාග් ප්‍රදේශය වඩාත් ප්‍රසිද්ධ තොග වශයෙන් රෙදි පිලි මිලදී ගන්නා අයට යි.

ඒ වගේ එක් එක් බඩුබාහිරාදිය මිලදී ගන්න විශේෂිත වූ පලාත් තිබෙනවා. ඒ ඒ නාගරික ප්‍රදේශ අතර දුරත් ඇතැම් විට කිලෝමීටර 20-30 තරම් වෙනවා. සාප්පු සවාරියක් වුනත් අපිට අවශ්‍ය බඩු සහ ඒ තිබෙන තැන් ගැන මූලික අවබෝධයකින් තොරව ගියොත් ඒ සාප්පු සවාරිය වුවත් ඉන්දියාවේදී සාර්ථක කරගන්නට අපහසුයි.

අග්‍රා බලකොටුව

ඉන්දියානු විනෝද ගමනකදි වුවත් අපි නරඹන්නට සිතන තැන්, ඒවාට ලගාවන්නට යන කාලය, නවාතැන් ගැනීම්, නවතින කාලය, නැවත පිටත්වීම ආදිය ගැන යම්තාක් දුරකට අවබෝධයක් තිබීම ගමෙන් සාර්ථකත්වයට වැදගත් වේවි.

හොරු මංකොල්ල කාරයෝ සහ කෑම බීම

දිල්ලියේ වීදි කෑම කඩනම් එමට යි. ඒත් කොයි තරම් තිබුණත් පාර අයිනේ තිබෙන විලාශය දැක්කාම කන්න නම් හිතුනේ නෑ. ඒත් ලංකාවට ඇවිත් කලකට පස්සේ යූ ටියුබ් වීඩියෝ බලද්දි සුද්දෝ නම් කිසිම ගානක් නැතුව ඒවා කලා තලුමරමින්  “ඕහ්.. ඩිලීසස්” කියනවා. එතකොට නම් දිල්ලියේ ස්ට්‍රීට් ෆුඩ් නොකෑ කට ගැන. අයියෝ කියල හිතුණා.

ඉන්දියානු කෑම පළාතෙන් පළාතට වෙනස්. බොහෝවිට කේරළයේ කොටසක හැරුණා ම සමස්ථ ඉන්දියාවේම වෙජිටේරියන් කෑම භාවිතය වැඩියි.  සත්ත්ව මාංශ වලින් තොර රසවත් ආහාර රැසක් ඔබට ඉන්දියාවේදී රස විඳින්නට අවස්ථාව ලැබෙනවා. ආහාර වල ඇතැම් පළාත්වල පාවිච්චි කරන තෙල් නම් ලංකාවේ අපිට තරමක් අප්‍රසන්න ගතියක් තිබෙනවා..

බටහිර ජාතිකයින්ට නම් ඉන්දියාව කියන්නේ සමාජමය අතිනුත් තරමක් අභියෝගයක්. සුද්දන්ගේ සමාජයට ඉන්දියාව බොහෝවිට ආගන්තුකයි. නමුත් අපිට නම් ඉන්දියාව කියන්නේ එතරම්ම ආගන්තුක රටක් නෙමෙයි. ඉන්දියානු නාගරික ජනතාව බොහෝවිට ඉංග්‍රීසි බස යාන්තමින් හෝ දන්නවා. එයත් වඩාත් පහසුවක්.

ඉන්දියානු සංචාරයක නිරත වෙන්න ඔබත් ආසාවෙන් ඉන්නවා නම් මේ කාරණා කිහිපය ඔබට වඩාත් වැදගත් වෙයි. ඔබේ අදහසුත් බෙදාහදාගන්න ආසාවෙන්. ඔබටත් කමෙන්ට් හරහා එකතුවන්නට පුළුවනි.

Related Articles