Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහනුවර ගියත් උවමනාවෙන් නොබලන තැන් – 2 වන කොටස

මහනුවර කියන්නේ යුනෙස්කෝ ලෝක උරුම නගරයක්. කවුරුත් යන ප්‍රසිද්ධ පූජනීය තැන් පමණක් නොවේ, තවත් දැකබලා ගත යුතු තැන් රාශියක් එහි තිබෙනවා. නගරයේ දිනපතා ඇවිද්දත් නගර වැසියන් පවා එහි ඇති වටිනා තැන් බොහොමයක් ගැන දන්නේ අඩුවෙන්. ඒවායේ වැදගත්කම ගැන හොඳින් දැනුවත් වීමට තැනකුත් නැහැ.

ඉතින් මේ ලිපියෙන් ගෙන එන්නේ එවැනි ස්ථාන කිහිපයක් ගැනයි. මෙහි පළමු කොටස මෙතැනින් කියවා බලන්න පුළුවන්. මහනුවරට යන ඔබත් මේ ස්මාරක ළගින් කෙතරම් ගියත් හැරිලා බැලුවේ නැහැ නේද?

දුක්බර කතාවක් සඟවා ගත් ඔරලෝසු කණුව

නගරය හැඩ කරන ඔරලෝසු කණුව (wikipedia.org)

මහනුවර නගරයට යන වැඩි දෙනෙක් අදත් මඟසලකුණු කියන්නේ ඔරලෝසු කණුව මුල් කරගෙනයි; ඔරලෝසු කණූව ළගින් හැරිලා යන්න, එතන ඉඳන් කිලෝමීටරයක් වමට යන්න ආදී වශයෙන්. නගරය මැද පිහිටි මෙම ඔරලෝසු කණුව උඩරට සම්ප්‍රදායේ සැරසිලි රටාවලින් සරසා තිබෙනවා. මෙම හෝරා ස්ථම්භය ඉදිකරන ලද්දේ 1950 දී හජ්ජි මොහොමඩ් ඉස්මයිල් නම් ව්‍යාපාරිකයා විසින්. එහි පිටුපස ඇත්තේ ඉතා දුක්බර කතාවක්.

වර්ෂ 1947 අගෝස්තු 14 දා වැසි සහිත දිනයක්. එදා කොළඹ සිට මහනුවර බලා ඔස්ටින් 7 මෝටර් රථයක් ගමන් කරමින් තිබුණා. එහි සිටියේ ව්‍යාපාරික ඉස්මයිල්ගේ පුත් වූ ෂාකි ඉස්මයිල් ඇතුළු සිව්දෙනෙක්. මෝටර් රථය කඩුගන්නාව තරණය කරන විට නායයාමකට හසුවුණා. විශාල ගල්පර්වතයක් කන්දේ සිට පෙරළී විත් රථය යටකළා. හතරදෙනාම කාර් එකත් සමඟ ගල්කන්දට යටවුණා.

මින් ඉතා ශෝකයට පත් ව්‍යාපාරික ඉස්මයිල් තම පුතු ඇතුළු පිරිස සිහිපත් කිරීමට නගරයට අඩුපාඩුවක්ව පැවති ඔරලෝසු කණුවක් තැනීමට තීරණය කළා. නගර සභාවෙන් අවසර ගෙන ඉදිකළ එහි සැලසුම් ශිල්පියා වුණේ ෂර්ලි ද අල්විස්. එංගලන්තයෙන් ඔරලෝසුව ආනයනය කෙරුණා. 1950 දෙසැම්බර් 23 දා ඔරලෝසු කණූව විවෘත කළේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක සහ මහනුවර පුරපති ඊ. එල්. සේනානායක විසින්.

කෝපි කාලේ වරුණ කියන වතුර මල

කෝපි වවන්නන්ගේ වතුර මල (wikipedia.org)

19 වැනි සියවසේ මහනුවර අවට කඳු බෑවුම් අක්කර ලක්ෂ දෙකහමාරක් කෝපි වගාවෙන් වැසී තිබුණා. . කෝපි රට පැටවීමෙන් එකල ඉංග්‍රීසි වැවිලිකරුවන් විශාල ආදායමක් ලබාගත්තා. පසුව රෝගයකින් කෝපි වගාව වඳවී ගියත් මහනුවර නගරය මැද පිහිටි වතුර මල ඒ කාලයේ සෞභාග්‍යය අදටත් පවසනවා.

කෝපි වැවිලිකරුවන් 1875 දී මෙම වතුර මල ඉදිකළේ වේල්ස් හි කුමාරයා වූ ඇල්බට් එඩ්වඩ්ගේ මහනුවර සංචාරය සැමරීමටයි. ඔහු මහනුවරට පැමිණියේ 1875 දෙසැම්බර්වලදීයි.

වතුර මලෙහි ඇති ඵලකයක් (flickr.com/Charith Gunarathna)

එංගලන්ත මූර්ති සහ වාත්තු සැරසිලි කලාවට අනුව මෙය තනා තිබෙන්නේ ලෝහවලින්. ග්ලාස්ගෝවල ස්මිත් සමාගමේ නිෂ්පාදයක් වූ මේ වතුර මල එංගලන්තයේ සිට නැව් මගින් ගෙන්වා තිබෙනවා. පත්තිනි දේවාලය සහ මුලාදෑනි මණ්ඩපය අසල පිහිටා තිබෙන එය අදටත් ක්‍රියාත්මකයි. අබලන් වී තිබුණු මෙම වතුර මල 1996 දී DFCC බැංකුව විසින් අලුත්වැඩියා කරනු ලැබූ අතර එය යළිත් 2013 දී ප්‍රතිසංස්කරණය කෙරුණා.

වතුර මල අසල විවේකයෙන් (flickr.com/Charith Gunarathna)

කඩයක් වූ ගිරාගම වලව්ව

ගිරාගම වලව්ව (කුසුම්සිරි විජයවර්ධන)

යටිනුවර වීදියේ වෙළෙඳසල් අතර පිහිටි මෙම ඉපැරණි ගොඩනැගිල්ල එදා ප්‍රභූ පවුලකට වාසස්ථානය වුණා; ඒ ගිරාගම දියවඩන නිලමේවරයාට. අද එය වෙළඳසලක්. මේ නිසා ගොඩනැගිල්ලේ පෞරාණිකත්වය පවා එක්වරම ඇස ගැටෙන්නේ නැහැ.

මහනුවර නගරයේ පැරණි ස්වරූපය වෙනස් නොකර තිබෙන එකම වලව් ගොඩනැගිල්ල ගිරාගම වලව්වයි. එය ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක්. දිරායමින් පැවති මෙම ගොඩනැගිල්ල මෑතක දී ලෝක උරුම ස්මාරක සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙල යටතේ පැරණි ස්වභාවය ඉස්මතු වන සේ සංරක්ෂණය කෙරුණා. එයට රජයෙන් රු. ලක්ෂ 157ක් වියදම් කර තිබෙනවා.

මෙය ඉදිකර තිබෙන්නේ 1814 දීයි. එහි හිමිකරු වූ ගිරාගම නිලමේ කලක් මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස ද කටයුතු කළා. ගිරාගම පරපුරේ පැරැන්නන් හතර කෝරලේ දිසාව ලෙස ද සේවය කර තිබෙනවා. 1818 දී උඩරට කැරැල්ලට සම්බන්ධ වීම නිසා ගිරාගම නිලමේ ඉංග්‍රීසින් විසින් කොළඹට යවනු ලැබුවා. ඔහු එහිදී මියගියා.

යටිනුවර ගිරාගම වලව්වේ උපන් ඔහු නිල නිවාසය ලෙස භාවිත කර ඇත්තේ මහනුවර පිහිටි මෙම වලව්ව. පසුව ගිරාගම නිලමේගේ දියණියක විසින් මෙම ගොඩනැගිල්ල විකුණා දමා තිබෙනවා. පසුව එහි අයිතිය ගිරාගම පරපුරෙන් ගිලිහී ව්‍යාපාරික ස්ථානයක් බවට පත් වුණා.

දෙමහල් ගොඩනැගිල්ලක් වූ මෙහි ඉහළ මහල දැව සොල්දරයක්. යටිමහලේ කාමර 4ක් ද ඉහළ මහලේ කාමර 6ක්ද තිබෙනවා. උඩුමහලට පිවිසීමට අත්වැල සහිත තරප්පුවක් පිහිටා තිබෙන අතර දෙවන මහල වටා යන සේ සදළු තලයක් ඉදිකර තිබෙනවා. ඉහළ මහලේ පියස්සෙන් උඩට මතුවී තිබෙන මුරකවුළු ගොඩනැගිල්ලේ විශේෂ ලක්ෂණයක්.

ඇහැලේපොළ වලව්ව

ඇහැලේපොළ වලව්ව (කුසුම්සිරි විජයවර්ධන)

මෙරට අවසාන රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දිසාව කෙනෙක් වශයෙන් සිටි ඇහැලේපොළ දිසාව පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට මහනුවර යටත්කර ගැනීම සඳහා සහයෝගය දැක්වුවා. ඔහුට එ් වෙනුවෙන් ඉංග්‍රීසින් යටතේත් මහඅදිකාරම් තනතුරක් පිරි නැමුණා. ඔහු වාසය කළ වලව්ව පිහිටා තිබෙන්නේ ස්වර්ණ කල්‍යාණ වීදියේ (වර්තමාන රජ වීදිය) යි.

දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය මැද මිදුලකින් ද යුක්ත වන අතර ඉහළ මහලේ සදළු තලයක් සහිතයි. රවුම් කුළුණු ඕලන්ද ගෘහ නිර්මාණය සිහිපත් කරනවා. පසුව ඉංග්‍රීසින් මෙම ගොඩනැගිල්ලත් සමග එම භූමියේ රිමාන්ඩ් බන්ධනාගාරය පිහිටවනු ලැබුවා. ඊට පසු එම භූමියේ අලුතින් රිමාන්ඩ් සිරමැදිරි ගොඩනැගුවා.

අධිකරණ අමාත්‍යංශයට අයත්ව තිබූ එම ගොඩනැගිලිවලින් මෑතක දී බන්ධනාගාරය ඉවත් කළා. රජය සතු මෙම ඓතිහාසික වලව්ව ඊට පසු තවම කිසිදු කටයුත්තකට යොදාගෙන නැහැ. එය සංචාරක හෝටලයක් ලෙස සංවර්ධනය කරන බවටයි, ආරංචි වන්නේ.

පළමු ලෝක සංග්‍රාමයේ සිහිවටනය

පළමු ලෝක යුද ස්මාරකය (flickr.com/Charith Gunarathna)

මහනුවර නගරය මැද ජෝර්ජ් ආර්. ද සිල්වා උද්‍යානයේ පිහිටා ඇති කළුගල් කුළුණ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ නැහැ. අඩි 33ක් උස මෙම කුළුණ 1914-1918 දක්වා පැවති පළමු ලෝක යුද්ධයට මහනුවර අවටින් සහභාගී වී දිවි දුන් පුද්ගලයන් සිහිපත් කිරීමට ඉදිකර තිබෙනවා.

ස්මාරකයේ සැමරුම් (flickr.com/Charith Gunarathna)

මෙහි සටහන් කර ඇති නාමාවලියේ වැඩිදෙනෙක් ඉංග්‍රීසි ජාතිකයන්. ලෝක යුද්ධයට ග්‍රී ලංකාවෙන් ඉංග්‍රීසි වැවිලිකරුවන් රාශියක් සහභාගි වූ අතර ඔවුන් අතරින් විශාල පිරිසකගේ දිවි අහිමි වුණා. මහනුවර සහ කොළඹත් එම පුද්ගලයන් සැමරීමට කළුගල් කුළුණු ඉදි කර තිබෙනවා.

මහනුවර ගිහින් තියෙනවාද කියා අැසුවොත් ඔව් කියන අය කොතෙක් හමු වුවත් මෙවැනි වැඩි දෙනාගේ අවධානය යොමු නොවන තැන් උනන්දුවෙන් දැක බලාගෙන තිබෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. ඉතින් අායෙත් දවසක මහනුවර යන වෙලාවක මේ කියපු තැන් එහෙම‍ත් දැක බලා ගන්න අමතක කරන්න එපා.

කවරයේ රූපය: මහනුවර රැජිණගේ හෝටලය (lankapura.com)

Related Articles