චාරිකා

විනාඩි 4 ක කියවීමක්

කිතුල්ගල කුරුලු කැලේ සුන්දරත්වය විඳගන්න

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

සිරිපා වන්දනා වාරයේදි බොහෝ දෙනෙක් සිරිපා වඳින්නට යන්නේ කොළඹ හැටන් පාරේ කිතුල්ගල පසුකරගෙනයි. මේ වැඩිදෙනෙක් කිතුල්ගල නැවතී විවේක අරන් දිවා ආහාරයත් රුගෙන යාමට පුරැදු වෙලා ඉන්නවා. ඒ අතර කැලණි නදියෙන් දිය නා විනෝදවෙනවා. ඒ අතර ඔබට පහසුවෙන් චාරිකා කළ හැකි සුන්දර වනාන්තරයක් ගැනයි අප මේ පවසන්නට යන්නේ.  කිතුල්ගලට කොළඹ සිට කි. මී. 90ක් දුරයි. මේ නිසා එක්දින චාරිකාවක් වශයෙන් වුණත් මෙහි පැමිණීමට පුළුවන්.

කැලණි නදියේ ස්නානය කරන සිරිපා සංචාරකයන් (කුසුම්සිරි විජයවර්ධන)

වනාන්තරයට ගමන් මග

කිතුල්ගල තානායම අසල පිහිටි තොටුපොළෙන් කැලණි නදියෙන් එගොඩ වී පරවලතැන්න ගම්මානය හරහා කි. මී. එකහමාරක් ගමන් කිරීමෙන් මේ වනාන්තරයට ළඟාවිය හැකියි. මේ ගැමියන්ගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ඔරුවයි. පාසල් ළමුන් පාසල් යන්නේද ඔරුවෙන් එගොඩවීමෙන්. පොළට කඩයට ගොස් ගෙනෙන බඩුභාණ්ඩ ගමට ගෙනයන්නේද ඔරුවෙන්.

ගඟ තරණය කර කුඩා තේවතු හරහා කිලෝමීටරයක් ගමන් කරන විට වනයේ ආරම්භයට අප පිවිසෙනවා. එහි සිට ඉදිරියට ගමන් කළ අපි මඳ බෑවුමක් නැගීමෙන් පසු පිවිසෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු මධ්‍යස්ථානයටයි. ඔබට අවශ්‍ය නම් එයට පිවිස වනාන්තරය ගැන තොරතුරු ලබාගැනීමටත් පුළුවන්. විවේක ගැනීමටත් පුළුවන්. එහි සිට ඇති අඩිපාරේ යනවිට වනය විනාශ වූ තැන්වල යළිත් වැවුණු පඳුරු වනාන්තර දැකගත හැකියි. ඊට පසු අඳුරු මහ  වනයට අප පිවිසෙනවා.

කුරුලු කැලේ වනාන්තරය (කුසුම්සිරි විජයවර්ධන)

ආවේණික දුලබ ශාක හා සතුන්

මෑතකදී පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් මේ වනයට ම ආවේණික Balunocarpus kitulgalensis නම් ‘දූන්’ ශාකය සොයාගත්තා. ඒ වගේම අපේ රටට ආවේණික දික්හොඹු ගස් මැඬියා, කොටගමගේ කුරු ගෙම්බා යන මැඬි විශේෂද මෑතකදී මේ වනයෙන් හමුවුණා. අපට එහෙම කීවේ සංරක්ෂණ මධ්‍යස්ථානයේදී හමුවූ වනසංරක්ෂණ නිලධාරියෙක්.

මඳක් විවේකගත් අපි එහි සිට වනය තුළට දිවෙන අඩි පාරේ ගමන් කළා. අඩි සියයයට වැඩි උසකින් යුත් වනතුරු අතරින් වැටී ඇති මාවත අනන්තය තෙක් ඇදී යන්නාක් වැනියි. නොකඩවා ඇසෙන රැහැයි නාදයත් පක්ෂි නාදයත් අවට නින්නාද දෙනවා. පක්ෂින් නැරඹීමට පැමිණි විදේශිකයෙක් ගමන් කරන්නේ පාදයට අපූරු ආවරණයක් දමාගෙනයි. ඒ කූඩැල්ලන්ගෙන් වන ගැහැටවලින් වැළකීමට. මේ වනයේ කූඩැල්ලන් සුලබ නිසා ඔබත් ඉන් වැළකීමට සබන් වැනි දෙයක් පාදවල ආලේප කර ගත යුතුයි. නැත්නම් කූඩැල්ලන් දෂ්ඨ කිරීමෙන් කකුල්වල ලේ පෙරාගෙන යන්නට වන බව නම් නිසැකයි. ඒ අතර පක්ෂින්ගේ හඬ පටිගත කරන පක්ෂිවේදියෙක්ද අපට හමුවුණා. තවත් තැනක ත්‍රිපාද මානාගෙන උඩ බලාගෙන සිටියේ පක්ෂි ඡායාරූප ශිල්පියෙක්.

වනාන්තරය හරහා වැටුණු අඩිපාර (කුසුම්සිරි විජයවර්ධන)

නරඹන්නන් දැනුවත් කිරීම සඳහා මෙහි සවිකර ඇති ප්‍රදර්ශන පුවරුවල වනයේ කිසිවක් රැගෙන නොයන ලෙසත් මතක සටහන් පමණක් ගෙන යන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. මෙම වනයට යන ඔබත් එය ක්‍රියාවට නැංවිය යුතුයි.

මහගසක වැවුණු පර්ණාංග (කුසුම්සිරි විජයවර්ධන)

පාපනා ඇල්ල ඉහළ සිට (කුසුම්සිරි විජයවර්ධන)

මඳ දුරක් පියමං කරන විට වනය මැදින් ගලනා පාපනා ඔය අපට හමුවෙනවා. ගල්පර්වත බහුල එම ස්ථානය ඉතා සුන්දරයි. පාපනා ඇල්ලත් එහිදී දැකගත හැකියි. අවශ්‍ය නම් එහිදී ඔබට ස්නානය කිරීමටත් පුළුවන්.

වනයේ විශාලත්වය

කුඩා කඳුගැට කිහිපයක් ආශ්‍රිතව පැතිරුණු මේ නිවර්තන වර්ෂා වනාන්තරය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්. එය මාකන්දා මූකලාන සහ බණ්ඩාර කැළය වශයෙන් කොටස් දෙකකට බෙදා ‍වන සංරක්ෂණ දෙපාර්මේන්තුව මගින් පාලනය කරනවා. මාකන්දා මූකලාන විශාලත්වයෙන් හෙක්ටයාර් 195ක්. එය පරවලතැන්න, කොස්කඳහේන, පල්ලෙබාගේ යන ගම්මානවලට සහ උතුරු පසින් කැලණි නදියට මායිම්වී පිහිටා තිබෙනවා. බණ්ඩාර කැලය හෙක්ටයාර් 154ක් විශාලයි. එය මායිම් වන්නේ, නාවෙල, බල්ලාහෙල, විලගම යන ගම්මානවලට සහ කැලණි නදියටයි. පොදුවේ මෙම වනාන්තරය හඳුන්වන්නේ කුරුලු කැළේ කියලයි.

වනයේ තුරු වියන යටින් යන අපට වේලාව නොදැනෙන්නේ වනගැබ තුළ රජයන අඳුර නිසයි. පක්ෂියකු කෑගසන හඬ සහ රැහැයි නාදය හැරෙන්නට වනය අපූරු නිශ්ශබ්දතාවයක ගිලී පවතිනවා. කොළයක් බිම පතිත වන හඩ පවා එහි නිශ්ශබ්දතාවයට බාධා නොකරයි. මංපෙත ඔස්සේ වැටී දිරාපත්වන දූන, හොර, බෙරු පත්‍ර අතරින් අපි ඉදිරියට පියමං කළා. එක් තැනක ලීපුවරුවල වනයේ නැරඹිය යුතු ස්ථාන සඳහන් කර තිබුණා. දේවාලය, කිරිබත්අතුල නම් ස්ථානය, ඇතාවැටුණු වළ, ලේන්තැරි ඇල්ලට යන මාර්ග එහි සටහන් කර තිබුණා.

පාපනා ඔයේ ජල තටාක (කුසුම්සිරි විජයවර්ධන)

මේ වනාන්තරය පිහිටා තිබෙන්නේ මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම ආරම්භයේමයි. ගූග්ල් සිතියම පිරික්සීමෙන් ඔබට ඒ බව වටහාගත හැකියි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 250 සිට 760 දක්වා උස් මට්ටමක පැතිර තිබෙනවා. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000-3000 අතරයි.

මේ වනාන්තරය ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් හිමිකර ගන්නවා. මත්ස්‍ය, උභයජීවින්, උරගයන්, පක්ෂින්, ක්ෂීරපායින් හා සමනළයන් යන සත්ත්ව කාණ්ඩවලට අයත් ජීවින් විශේෂ 411ක් මෙහි ජීවත් වෙනවා. ඉන් විශේෂ 119ක් ආවේණිකයි.

සත්ත්ව විශේෂ ගැනත් දැනගන්න

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතරින්, විශේෂ 28ක් පමණ කිතුල්ගල ජීවත්වෙනවා. මේ නිසා මෙම වනය පක්ෂි පාරාදීසයක් වශයෙන් සොබාදහම් ලෝලීන් අතර ජනප්‍රියයි. කුරුලු කැලේ කියන්නෙත් ඒ නිසයි.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් වන කැහිබෙල්ලා මෙහි සුලබයි. අපටත් උන් කිහිප දෙනෙක්ම දැකගත හැකි වුණා. මෑතකදී සොයාගත් නිශාචර ආවේණික පක්ෂියකු වූ පඬුවන් බස්සා ද මෙහි වෙසෙනවා. . හිසසුදු ශාරිකාවා නම් දුලබ ආවේණික පක්ෂියා ද මෙහි වෙසෙනවා. ගිරා මලිත්තා, අළු ගිරවා, හබන් කුකුළා, මයිලගොයා, අළු කෑඳැත්තා, පුල්ලි වල් අවිච්චියා, සිළු කවුඩා, වත රතු මල් කොහා, රතු දෙමළිච්චා, අළු දෙමළිච්චා, ලංකා මූකලන් සැලලිහිණියා, මුදුන්බොර දෙමළිච්චා, දෑ දෙමළිච්චා, ලේ රතු කෑරලා, බඩරතු වැහිලිහිණියා වැනි ආවේණික පක්ෂිහු ද මෙම තුරු නිවහන් කොටගෙන සිටිනවා.

වනයේ පියමං කරන ඔබට තාරදැමූ පැරණි මහාමාර්ගයක නටබුන් හමුවේවි. දොළ පහරක් හරහා දමා ඇති කළුගලින් කළ පාලම් දක්නට ලැබේවි. පුදුමවෙන්න එපා. ඒ, 1970 දශකයේ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වන පෙත දැව සඳහා කැපූ සමයේ ඉදිකළ මාර්ගවල නටබුන්. ඒ කාලයේම සිංහරාජයේත් ගස් මහා පරිමාණයෙන් කැපුවා. පසුව ඒවා නවතා දැම්මා.  පසුගිය ආණ්ඩු කාලයේදී ද මේ මාර්ගය නැවත විශාල මාර්ගයක් ලෙස කැපීමේ ව්‍යාපෘතියකට සැලසුම් සකස් කළද පරිසරවේදීන්ගේ දැඩි විරෝධය නිසා එය අත්හිටවූවා.

ඔය හරහා අඩි පාරේ ඉදිකර ඇති කුඩා පාලමක් (කුසුම්සිරි විජයවර්ධන)

වනය හරහා ගලා බසින දොළ පාරේ කළුගල්වලින් නිර්මාණය වී ඇති ජල තටාකවල ඒ මේ අත පිහිනන මසුන් සුලබ යි. කැළණී ගං ද්‍රෝණියේ මේ වනබිම ආවේණික මසුන්ට කෙම්බිමක්. අප රටට ආවේණික මත්ස්‍ය විශේෂ 33 අතරින් විශේෂ 13ක් මින් හඳුනාගෙන තිබෙනවා.  අලංකාර බුලත්හපයන් සහ ලේතිත්තයන් නිදහසේ පිහිනනු අපට පේනවා. ඒ අතර පර්වත පෘෂ්ඨවල ඇලීසිටියේ ගල්පාඩින්. අශෝක පෙතියා ද මේ අවට දියමාර්ගවල ජීවත්වුණත් මෑතක සිට උන් දුලබ වෙලා. කොළ දිවියා, උණහපුලුවා, ඉත්තෑවා, දඬුලේනා, මූකලන් ලේනා, මුගටියා යන ක්ෂීරපායීහුද මෙහි සරනවා. ක්ෂීරපායී ලෝකයේ සුන්දර කොටියා ද මෙහි ජීවත් වුණත් උන් දැකගැනීම නම් අසීරු යි.

ඇතා නාපු වළ නම් ස්වභාවික තටාකය ස්නානය කිරීමට අපූරු තැනක්. ඒ අසල සංචාරකයන්ට ස්නානය කිරීමට, විවේක ගැනීමට සහ ඇඳුම් මාරු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. වනය මැදින් ගලනා පාපනා ඔය මෙහි දී ස්වභාවික ජල තටාකයකට වැටී ඉදිරියට ගලා බසනවා. මෙම විශාල ජල තටාකය පළිඟුවන් පිරිසිදු සීතල ජලයෙන් පිරීලා.

ලේන්තැරි ඇල්ල නම් කුඩා දියඇල්ල ද ඒ ආසන්නයේම පිහිටා තිබෙනවා. මේ වනාන්තරයට අමතරව කිතුල්ගල අවට පිහිටි බෙලිලෙන, ගල්වංගෙඩි පිහිටි ස්ථානය, බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය රූගත කළ ස්ථානය වැනි තැන්ද ඔබට නැරඹීමට පුළුවන්.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්