Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ අරුම පුදුම එල්ලෙන සොහොන්

චීනයෙන් අරුම පුදුම එල්ලෙන මිනී පෙට්ටි සමුහයක් ගැන අහන්නට ලැබෙනවා. මේ මිනී පෙට්ටි එල්ලනු ලැබුවේ කොහොමද, මෙම සිදුවීම සිදු වූයේ කුමන වකවානුවකද, මේ හා සම්බන්ධ යම් මිත්‍යා විශ්වාස තිබෙනවාද හා මෙම එල්ලෙන මිනී පෙට්ටි මුලින්මදැක්කේ කවුරුන් විසින්ද වගේ කාරණා බොහොමයක් එක්ක මේ ලිපියෙන් කතා කරන්නේ මෙම අරුම පුදුම එල්ලෙන මිනී පෙට්ටි ගැනයි.

පිහිටීම

මෙම එල්ලෙන මිනී පෙට්ටි ගැන වාර්තා වන්නේ චීනයේ නිරිත දිග ප්‍රදේශයෙන්. හුණු ගල් වලින් නිර්මාණය වූ ශිඛරමය කන්දක් ගයිෂු ප්‍රදේශයේ දක්නට ලැබෙන අතර, මෙම කඳු වැටියෙහි එල්ලෙන ලීයෙන් කරන ලද පෙට්ටි දැකගැනීමට පුළුවන් බව වාර්තා වනවා. මෙම පෙට්ටි මීටර් 30ක පමණ උසින් දැක ගන්නට පුළුවන්. බැලූ බල්මටම එ්වා තුළින් ඉපැරණි භාවයත්, ඓතිහාසික ස්වරූපයත් විද්‍යාමාන වනවා.

නමුත් මෙහි දී මතුවන ගැටළුව වන්නේ මෙම දැවයෙන් නිම කරන ලද පෙට්ටි මෙවැනි හුණුගලින් නිම වූ කන්දකට රැගෙන ගියේ කොහොමද, යන්නත් එහි අරමුණ කුමන ආකාරයේ එකක්ද කියන එකයි.

දැවයෙන් නිම කල පෙට්ටි තුල ඇති අස්ථි කොටස් (vieclam.bfstc.edu.vn)

අන්තර්ජාලය තුළ පළවන වාර්තාවලට අනුව මෙම දැවයෙන් නිම කරන ලද පෙට්ටියක් කිලෝග්‍රෑම් සිය ගණනක් බරයි. එයට හේතුව වන්නේ මෙහි අන්තර්ගත වන්නේ මිය ගිය පුද්ගලයාගේ දේහය පමණක් නෙවෙයි: එම පුද්ගලයා විසින් භාවිත කරන ලද පිඟන් බදු වැනි දේවල්ද එහි අඩංගු වනවා.

මුල්ම වරට හමු වීම

වොන් හව් මෑන් යනුවෙන් හඳුන්වන්නේ හොංකොං ජාතික මාධ්‍යවේදියෙකු මෙන්ම ගවේෂකයෙක්. මොහු ප්‍රකාශ කරන අන්දමට මෙවැනි එල්ලෙන සොහොන් මුලින්ම දැක ගන්නට ලැබුණේ සිෂුආන් ප්‍රදේශයේ අැති ශිඛරමය කන්දකින්.

යැංග්ට්සි නදියේ ගවේෂණයක නියැලීමට 1985 වර්ෂයේදී වෝන්ට සිදු වූ අතර ඒ නැෂනල් ජෝග්‍රැෆික් ආයතනයේ වැඩසටහනක් වෙනුවෙනුයි. මෙහිදී මුල්ම වරට මොහුට මෙම එල්ලෙන මිනී පෙට්ටි දකින්නට ලැබුණ බවත්, එමගින් ඔහු විශ්මයට පත් වූ බවත් වාර්තා වනවා. මෙහි පුදුම සහගත බව නිසාම මේ ආකාරයේ එල්ලෙන සොහොන් ගැන සෙවීමට පටන් ගත බවත්, එය පසුව ඇබ්බැහි වීමක් දක්වා වර්ධනය වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

යැංග්ට්සි නදිය පිහිටා තිබෙන්නේ මධ්‍යම දිග චීනයේ. ඒ අනුව එම නදිය ආශ්‍රිතව පර්වතවලින් යුක්ත වූ කඳු වැටි දක්නට ලැබෙන බව සඳහන් වනවා. එම කඳුවැටිවල ස්වභාවික ලෙන් හා කුහර දක්නට ලැබෙන බවත්, ඒවායේ මෙම මිනීපෙට්ටි රාශියක් දක්නට හැකි බවත් තව දුරටත් විස්තර වනවා. එමෙන්ම සමහර අවස්ථාවල දැවමය පොලු මතද මෙම මිනී පෙට්ටි රඳවා තිබෙනවා.

ඉතා ඉහළ උසක පිහිටි දැවයෙන් නිර්මිත මිනී පෙට්ටි (mannaismayaadventure.com)

වසර තුන්දහසක් පමණ පැරණි මෙම මිනී පෙට්ටි වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ “ෆුජියාන්” ප්‍රදේශයේයි. ඒ වගේම හුබෙයි ප්‍රදේශයේද මෙම එල්ලන මිනී පෙට්ටි දක්නට හැකි අතර, එම එල්ලෙන මිනී පෙට්ටි මීටර් 100 ක පමණ උසින් දැක ගන්නට හැකියි. එම ප්‍රදේශයේ පමණක් එල්ලෙන මිනී පෙට්ටි 131 ක් පිහිටා තිබෙනවා.

මේ හා බැඳී විශ්වාස

මෙතරම් උසින් මෙම මිනී පෙට්ටි පිහිටා තිබීමට හේතු “ටෑන්ග්” රාජවංශයට අයත් ඉපැරණි සාහිත්‍ය මුලාශ්‍ර ප්‍රකාශ කරනවා. ඒ අනුව මියගිය අයට ගරු බුහුමන් දැක්වීමක් ලෙස මේ ආකාරයකට උසකින් තැන්පත් කරන්නට කටයුතු කර තිබෙනවා. නමුත් ඇතමුන් පවසන්නේ සත්ත්ව උවදුරුවලින් දේහ ආරක්ෂා කිරීමට මෙන්ම වගාවන් සඳහා භුමිය ආරක්ෂා කර ගැනීම වැනි හේතුත් මේ සඳහා බලපාන්නට ඇති කියලයි.

අධ්‍යනයන්

පර්යේෂණ කරන ආකාරය (youtube.com)

මෙම අරුම පුදුම එල්ලෙන සොහොන් සම්බන්ධයෙන් මුලින්ම අධ්‍යනයක් කිරීමට අවස්ථාව හිමි වන්නේ 2000 වර්ෂයේදීයි. වොන් මහතාට චීන ගවේෂණ හා පර්යේෂණ සංගමයට සම්බන්ධ වීමට අවස්ථාව උදා වීමත් සමග යුනාන් ප්‍රාන්තයේ වශී ප්‍රදේශයේ කන්දක පිහිටා තිබෙන සොහොන් සමීපයට යාමට අවස්ථාව උදා වූ අතර, දිරා පත් වූ ලී මත තැන්පත් කොට තිබූ මෙහි කැණීම් කිරීමේ භාග්‍යද උදා වුවා. ඒ සඳහා අතිශය කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව වොන් මහතා පවසා අැති අතරම, මෙහි දී එම පර්යේෂණ කණ්ඩායමට තාවකාලික පලංචි බැඳ එ්වා මතින් ගමන් කිරීමට සිදු වූ බවද වාර්තා වනවා.

මෙහි දී පැරණිම මිනී පෙට්ටි ‘ටෑන්ග්” රජ වර්ෂයට අයත් වූ බව තහවුරු වූ නමුත්, බොහොමයක් මිනී පෙට්ටි තුල එක් දේහයක් වෙනුවට දේහ කිහිපයක අස්ථි කොටස් දක්නට හැකි වුණා. ඉන් පසුව එළඹුණු නිගමනය වූයේ මිය ගිය පසු භූමදාන කොට ඉන් අනතුරුව දිරාපත් වීමෙන් පසු අස්ථි කොටස් පමණක් එල්ලෙන මිනී පෙට්ටිවල තැන්පත් කර ඇති බවයි. එමෙන්ම වොන් මහතාගේ විශ්වාසය වන්නේ බෝවරුන් නම් වූ කැරලිකාර ගෝත්‍රිකයන් මෙම සම්ප්‍රදායේ උරුම කරුවන් වන බවයි.

වෙනත් රටවල සම්ප්‍රදායන්

වෙනත් රටවල්වලද මළවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන සම්ප්‍රදායන් රැසක් දක්නට ලැබෙනවා. ඒ අනුව චීනයට මායිම් වූ ටිබෙටයේ හා මොන්ගෝලියාවේ මළ සිරුරු කැබලි කර ගිජුලිහිණියන්ට පිදීමේ අහස් භුමදානයක් ගැන වාර්තා වනවා. මෙම තත්ත්වය අදටත් සිදු වන බව අන්තර්ජාලය පළ වන වාර්තාවල සඳහන් වෙනවා.

පිලිපීනයේ සගාඩා ප්‍රදේශ වාසීන් 2007 වර්ෂය දක්වාම මේ විදියට කඳු ශිඛරවල භූමදාන සම්ප්‍රදායක් අනුගමනය කර තිබෙනවා. එමෙන්ම ඉන්දුනීසියාවේ හා පිලිපීනයේ ද එල්ලෙන මිනී පෙට්ටි දැක ගන්නට පුළුවන් කියලයි වාර්තා වන්නේ.

මේ ආකාරයට සලකා බැලූ විට පෙනී යන්නේ විවිධ රටවල ඔවුන්ට ආවේණික වූ සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුව අමුතුම චාරිත්‍ර අනුගමනය කරන බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සාහිත්‍ය මුලාශ්‍රවල වැඩි වශයෙන් සඳහන් නොවන හෙයින් එම සමාජවල පවතින මෙවැනි අපූරු සිරිත් ගැන දැන ගැනීමට තිබෙන අවස්ථාව බොහොම අඩුයි. කෙසේ නමුත් ලෝකය පුරා තිබෙන මෙවැනි අපුරු, විශ්මය උපදවන සුළු චාරිත්‍රවලින් පෙනෙන්නේ විවිධත්වය නිසාම ලෝකය තවත් සුන්දර වන බවයි.

කවරයේ පින්තුරය: cookiesound.com

මුලාශ්‍ර:

  1. China’s hanging coffins: Mysterious cliffside cemeteries – CNN
  2. The Hanging Coffins of China: Mysteries Along the Yangtze
  3. හොල්මන් තාලයේ එල්ලෙන සොහොන්, 2017/07/29, http://dinamina.lk

Related Articles