Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රට රටවල දී නොකළ යුතු අපූරු සිරිත් විරිත්

ලෝකයේ රට රටවල් හැඩයෙන් පමණක් නෙමෙයි සංස්කෘතිය, නීතිය, යොදා ගන්නා භාෂාවන්, සිරිත් විරිත්, මුදල් ඒකක සහ ආහාර පාන වැනි බොහෝමයක් කාරණාවන්ගෙන් එකිනෙකට වෙනස්. සමහර අවස්ථාවල දී එක් රටක දී වලංගු  වෙන සිරිත් විරිත් තවත් රටක දී තහනමට ලක් වන්නේ කිසිදු හේතුවක් නොමැති ව යි.

සංචාරයට කැමති උදවිය අනවශ්‍ය කරදරවලට නොපැටලී සිටීම සඳහා එවැනි සිරිත් විරිත් ගැන දැන සිටීම වැදගත්.

මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ලෝකයේ රටවල් කිහිපයක දී සංචාරකයින් විසින් නොකළ යුතු එවැනි අපූරු සිරිත් විරිත් කිහිපයක තොරතුරු යි.

ඉන්දියාව

(howtokissgifs.com)

අපේ අසල්වැසි ඉන්දියාව තමන්ගේ සංස්කෘතිය සහ සදාචාරය ගැන ඉහළින් ම හිතන රටක්. ඒ හේතුවෙන් ප්‍රසිද්ධියේ සිප ගැනීම ඉන්දියාවේ නීතිය මගින් තහනම් කර තිබෙනවා.

මීට අමතර ව විරුද්ධ ලිංගිකයන් අතර මොන ම ආකාරයේ හෝ ශාරීරික ස්පර්ශයන් ඉන්දියාවේ දී තහනම්. මේ වැරදි සිදු කරොත් ඉන්දියානු නීති පොතේ හැටියට සිර ගත කිරීමක් මගින් දඬුවම් කළ හැකි යි.

ජපානය

(wordsinfreedom.com)

සාමාන්‍යයෙන් අවන්හලකට ගිහින් ආහාර වේලක් ගත්තාට පස්සේ තමන්ට සංග්‍රහ කරපු භෝජනාගාර සේවකයා වෙනුවෙන් පුංචි සන්තෝසමක් ඉතුරු කිරීම ලංකාවේ අපේ පුරුද්දක්.

නමුත් ජපන් ජාතිකයන් මෙය සලකන්නේ ඉතාමත් පහත් ක්‍රියාවක් විදියට යි. ඒ නිසා ජපානයේ සංචාරය කරන විට දී ආහාර ගැනීමෙන් පසු තමන්ගේ ඉතුරු මුදල් සියල්ල පසුම්බියට දමා ගන්න අමතක කරන්න එපා.

රුසියාව

(thespruce.com)

සතුට සැමරීමේ දී තෑග්ගක් ලෙස මල් කලඹක් ලබා දීම ලෝකයේ බොහෝ රටවල දී මෙන් ම රුසියාවේ දී ද සිදු වෙනවා. නමුත් රුසියාවේ දී තෑග්ගක් විදියට මල් කලඹක් ලබා දෙන විට සෑම විට ම මල් ඔත්තේ සංඛ්‍යාවක් සහිත කලඹක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න.

රුසියානු ජාතිකයන් අවමංගල උත්සවවල දී සහ ගුණානුස්මරණ උත්සවයන් හි දී පමණක් ඉරට්ටේ මල් සංඛ්‍යාවක් සහිත මල් කලඹ යොදා ගන්නා අතර සතුටුදායක අවස්ථාවක දී ලබා දිය යුතු නියම මල් කලඹක් මල් ඔත්තේ සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බව ඔවුන්ගේ විශ්වාසය යි.

කොරියාව

(realsimple.com)

කොරියානු ජාතිකයන් ඔවුන්ගේ ආචාරශීලී බව නිසා ම ලෝක ප්‍රසිද්ධ යි. මේ නිසා කොරියාවේ දී යම් කිසි පුද්ගලයෙක්ට කිසිවක් ලබා දීමේ දී (විශේෂයෙන් ම මුදල්) ඒ සඳහා දෑත ම යොදා ගත යුතු යි.

කොරියානු ජාතිකයන් එය ගෞරව සම්ප්‍රයුක්ත බවේ සංකේතයක් ලෙස සලකනු ලබනවා.

සිංගප්පූරුව

(quotesgram.com)

පිරිසිදුකමෙන් ඉහළ ම ස්ථානයක වැජඹෙන සිංගප්පූරුවේ දී සංචාරකයෙක් වඩාත් සැලකිලිමත් විය යුත්තේ දඩ පිළිබඳ ව යි. එයට හේතුව වන්නේ පොදු ස්ථාන පිරිසිදු ව පවත්වාගෙන යාම සඳහා සිංගප්පූරු රජය විසින් පනවා ඇති විවිධ නීති රීතීන්.

ඒ අනුව කුරුල්ලන්ට කෑම ලබා දීම, පාරේ කුණු දැමීම හෝ පොදු ප්‍රවාහන සේවයක් තුළ දී ආහාර ගැනීම වැනි දේ වැනි (සිංගප්පූරු නීතිය යටතේ) වරදක් සඳහා දඩයකට යටත් වීමට ස්වදේශිකයන්ට මෙන් ම විදේශිකයන්ට ද සිදු විය හැකි යි.

මෙක්සිකෝව

(animarius.com)

අමුතු ම ආකාරයේ ආහාර පාන, ඇඳුම් පැලඳුම් සහ සිරිත් විරිත්වලට උරුමකම් කියන මෙක්සිකානුවන් විනෝදයට බර මිත්‍රශීලි ජන කොට්ඨාසයක් විදියට හඳුන්වන්න පුළුවන්.

ඒ නිසා මෙක්සිකෝවේ දී අහන්න ලැබෙන දේවල් එතරම් තදින් හිතට නොගැනීම ගැන වග බලා ගන්න. එයට හේතුව අවස්ථාවක් ලද විගස ම යම් කිසිවක් ගැන අනෙක් අයට විහිළු කිරීමට මෙක්සියානු ජාතිකයන් දැඩි කැමැත්තක් දැක්වීම යි.

තුර්කිය

(cap-formacaoformadores.blogspot.com)

යම් කිසිවක් හොඳින් සිදු වෙන බව පෙන්වීම සඳහා මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එක් කොට සංඥා කිරීම ලෝකයේ සෑම රටක ම පාහේ පිළිගත් දෙයක් වුවත් තුර්කියේ දී එය සැලකෙන්නේ ඉතාමත් අසභ්‍ය සංඥාවක් ලෙස යි. එසේ ම පමණ ඉක්මවා මත්පැන් පානය කර පොදු ස්ථානයක රැඳී සිටීම ද ඉතාමත් නින්දිත ක්‍රියවක් ලෙස තුර්කියේ දී සැලකෙනවා.

තුර්කියේ දී නොකළ යුතු තවත් දෙයක් තමයි අවන්හලක දී හෝ මත්පැන්හලක දී දත් ශුද්ධ කිරීම. තුර්කි ජාතිකයන් මෙය සලකන්නේ ප්‍රසිද්ධියේ රාමතෙල් හැරීම (burp) වැනි ම අශෝභන ක්‍රියාවක් ලෙස යි. මේ නිසා ආහාර වේලකින් පසු ව දත් ශුද්ධ කිරීමට අවශ්‍ය නම් එය විවේකාගාරයකට ගොස් සිදු කිරීම වඩාත් සුදුසු යි.

එක්සත් රාජධානිය

(huffingtonpost.co.uk)

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්ට පෝලිමේ සිටීමට නොහැකි බව අපි කවුරුත් පාහේ අත්දැකීමෙන් ම දන්නා කාරණාවක්. නමුත් මේ වැරදි පුරුද්ද එක්සත් රාජධානියේ දී සලකන්නේ ඉතාමත් අශිෂ්ට ක්‍රියාවක් ලෙස යි. ඒ නිසා ම නිසි ලෙස හඳුනා ගැනීමටත් පෙර පෝලිම් පනින පුද්ගලයෙක්ගේ චරිතය ගැන නිගමනයකට එළැඹෙන්න ඉංග්‍රීසි ජාතිකයින් පසුබට වන්නේ නැහැ.

එසේ ම ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ඔවුන්ගේ මුදල්, ඉතුරුම් හා ඉපැයීම් මාර්ග පිළිබඳ ව විමසීම  සලකන්නේ ද එතරම් ආචාරශීලි ක්‍රියාවක් ලෙස නෙමෙයි.

ජර්මනිය

(nypost.com)

ඒකාධිපති හිට්ලර්ගේ පාලනය නිසා දශක කිහිපයකට කලින් තමන්ගේ නමට කළු පැල්ලමක් එක් කර ගත් ජර්මනියේ ඒ පැල්ලම මකා ගන්න බලවත් උත්සාහයක් දරමින් සිටින නිසා ජර්මනියේ දී නාට්සීන් ගැන සඳහන් කිරීම හෝ ඔවුන්ගේ ආචාර ක්‍රම භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස යි ජර්මානු නීතිය මගින් දක්වා ඇත්තේ.

මීට අමතර ව ජර්මනියේ දී නොකළ යුතු තවත් දෙයක් තමයි උපන් දිනයට පෙර අදාළ පුද්ගලයාට ශුභ පැතීම. මේ සම්බන්ධයෙන් ජර්මානු ජාතිකයන් අතර විවිධ මිථ්‍යා විශ්වාසයන් පවතින අතර ඇතැම් විශ්වාසයන්ට අනුව එසේ උපන් දිනයට පෙර අදාළ තැනැත්තාට ශුභ පැතීම ඉතා අශුභ ක්‍රියාවක් වනවා පමණක් නොව ඔහුට හෝ ඇයට උපන් දිනට පෙර මරණය ගෙන දීමට ද හේතුවක් විය හැකි යි.

මැලේසියාව

මැලේසියාවේ සංචාරය කරන අයෙක් වැරදීමකින් හෝ තවත් අයෙකුගේ හිස නොඇල්ලීමට (විශේෂයෙන් ම කුඩා දරුවන්ගේ) වග බලා ගත යුතු යි. මැලේසියානු ජාතිකයන්ගේ විශ්වාසයන්ට අනුව මිනිස් සිරුරේ ඇති වඩාත් උත්තරීතර ම අංගය හිස වන අතර හිස අත ගෑම හෝ හිසකෙස් මතින් ඇඟිලි තුඩු යැවීම එම පුද්ගලයාට සිදු කරන බලවත් අපහාසයක් ලෙස යි සලකන්නේ.

කවරයේ පින්තූරය: (blog.pslove.co)

මූලාශ්‍ර: brightside.me, awesomeinventions.com, viralthread.com

Related Articles