ධනුෂ්ක ගුණතිලක හරහා සිනමාව කියැවීම හෙවත් Pink නැරඹීම

“කැමැත්ත දීම යනු එකඟ වීමයි. ලිංගික හැසිරීමකට එකඟ වීම ලිංගික කැමැත්ත ම (Sexual consent) යනුවෙන් හැඳින්වේ. ඕනෑම පුද්ගලයකුට ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමටත්, එය අවලංගු කිරීමටත් අයිතියක් ඇත. ලිංගික කැමැත්ත ප්‍රකාශ කිරීමටත්, එය අවලංගු කිරීමටත් සිය සහකරු/ සහකාරියට ඇති අයිති අයිතියට ගෞරව කිරීමට සෑම පුද්ගලයකුට ම වගකීමක් ඇත. යම් පුද්ගලයකුගේ කැමැත්ත නොමැතිව බලකිරීම මගින් ලිංගික හැසිරීමේ යෙදීම ලිංගික බලහත්කාරම හෝ ලිංගික හිංසනයක් ලෙස හැඳින්වේ.” සිවිල් සමාජ ක්‍රියාකාරිණියක හා නීතිඥවරියක එවැනි සටහනක් තබා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සංසිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල කතිකාවක් බවට පත්වීම නිමිති කොට ගෙන ය.

ලාංකේය පුරුෂෝත්තම ලිංගික අධිමානී පිරිස් 

සිඩ්නි පොලිසිය මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබුණේ ලිංගික ක්‍රියාවන් සිදුකරමින් සිටින අතරවාරයේ පැමිණිලිකාරියට සැකකරු කිහිප වරක් assault  (හිංසා) සිදු කර ඇති බව ය. එසේ ම ඇයගේ කැමැත්තෙන් තොරව ඇතැම් ක්‍රියා (කොණ්ඩම් පාවිච්චි නොකිරීම වැනි) එහි දී සිදු ව ඇති බවය. ලාංකේය පුරුෂෝත්තම ලිංගික අධිමානී බොහෝ දෙනෙක් මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රථම තීන්දු ලබා දී තිබිණි. 

ඒවායින් ගම්‍ය වූයේ  ධනුෂ්ක ගුණතිලක මෙම උපද්‍රවයට උපායශීලි ව ගොදුරු වී ඇති අහිංසකයකු හා වැරදිකාරිය ඕස්ට්‍රෙලියා ජාතික කාන්තාව බව ය. ඇයගේ වරද පෙන්වීමට උපුටා දක්වා තිබුණේ ඇය සමඟ කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම, ඇය dating site හමුවකින් හඳුනා ගැනීම, ඇය ඔහු සමඟ සමාජ ශාලාවකට යාම හා ඔහු සමඟ මත්පැන් පානය කිරීම, තමන්ගේ නවාතැන්පොළට ඔහු කැටුව යාම,  පමණක් නොව චෝදනා 4ක් යන්න, ‘වතාවන් 4ක් ලිංගිකව එක්වීම” ලෙස පවා ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට දෝෂ සහිතව පරිවර්තනය කරගෙන තිබිණි. 

ලිංගික බලහත්කාරකමක්

 මෙහෙව් ස්ත්‍රියකට “ලිංගික බලහත්කාරකමක්’ වෙන්නේ කොහොමද? තීන්දු ලබාදුන් බොහෝ දෙනෙක් අවධාරණය කර තිබුණේ එවැන්නකි. එහෙත් ඔවුන් නොදන්නේ එය ශ්‍රී  ලංකාව ද ඇතුළු ව ආසියාතික පිරිමින්ගේ පරපීඩක කාමුක ෆැන්ටසියේ ප්‍රකාශනයක් මිස සැබෑවට ම සිදු වූ දෙය නොවන බව ය. ධනුෂ්ක ගුණතිලකට මේවන විට දැඩි කොන්දේසි මත ඇප ලබා දී තිබේ. නඩුවේ තීන්දුව කුමක් වේදැයි නොදන්නා නමුත් ධනුෂ්කලා ඇතුළු ව බොහෝ දෙනාගේ සිතීමේ සීමාව හා එහි අවුල ගැන නම් යමක් කිව හැකි ය. එයට පාදක කරගනුයේ අනිරුද්ධ රෝයි චෞද්රිගේ Pink නමැති සිනමා කෘතිය යි. වෙනත් විදිහකට කියන්නේ නම් මෙය ධනුෂ්ක ගුණතිලකගේ කතාව නොව ඔවුන්ගේ සිතීම සලකුණු කෙරෙන සිනමා කෘතියක් පිළිබඳ කතාවකි. ධනුෂ්කලාට Pink හමුවීමකි.

මහලු රෝගී නීතිඥයා (අම්තාබ් බච්චන්) – www.gqindia.com

Pink චිත්‍රපටයට පාදක වී ඇත්තේ මෑත යුගයේ ඉන්දියාවෙන් වාර්තා වූ සමූහ ස්ත්‍රී දූෂණ මෙන් ම ඊට එරෙහි ව ඉන්දීය ස්ත්‍රී ව්‍යාපාර ගෙන ගිය විරෝධතා ව්‍යාපාර ය. තරුණියන් තිදෙනකු හා මහලූ නීතිඥවරයෙක් මූලික කර ගනිමින් දිගහැරෙන තිර කතාවක නම Pink බවට පත්වන්නේ ද, ඒ නමින් ක්‍රියාකාරී වූ සමාජ ව්‍යාපාරයක් ද පැවති නිසා විය හැකි ය.

රූමත්වීම දේශපාලනිකය

 චිත්‍රපටයේ කතාව හරි ම සරල ය. තට්ටු නිවාස පේළියක ඉහළ නිවසක කුලියට ජීවත්වන රූමත් තරුණියන් තිදෙනෙකි. (රූමත්වීම දේශපාලනිකය*) තම නිදහස උපරිමයෙන් භුක්තිවිඳින මේ තිදෙනා කලින් දන්නා හඳුනන මිතුරන් කිහිපදෙනෙක් සමඟ විනෝදවීම සඳහා හෝටලයකට යයි. එහි දී මත්පැන් පානය කරන ඔවුන් අසැබි කතා කියමින්, අතපත ගාමින් සිට හදිසියෙන් එක් තරුණයෙක් තමා සමඟ තනි වූ එම තිදෙනා අතරින් කෙනකු හා ලිංගිකව එකතු වන්නට උත්සාහ ගනි යි. එම උත්සාහය දැඩි වෙද්දී තරුණිය තරුණයාට අසල ඇති බෝතලයකින් පහර දෙයි. තරුණයන් තම ලජ්ජාව වසන් කර ගැනීමටත්, තරුණියන් සිද්ධිය අමතක කර දැමීමටත් උත්සාහ කරයි. එහෙත් තරුණයන් මේ තරුණියන්ගෙන් පළි ගැනීමට දිගින් දිගට ම උත්සාහ කිරීමත්, ඔවුන්ට තර්ජනය කිරීමත් නිසා අවසන නීතියේ පිහිට පැතීමට ඔවුන්ට සිදුවේ. 

බොහෝ දෙනා කල්තියා දන්නා  පරිදි මුදලින් හා සමාජ බලයෙන් ඉහළ පාංතික තරුණයන්ගේ පැත්ත ගන්නා පොලිසිය තරුණයාට පහර දුන් තරුණිය කුදලාගෙන ගොස් පොලිස් කූඩුවේ දමයි. සිදුවිය යුතුවාසේ ම දිගින් දිගට ම පීඩාවට පත්වන තරුණියන්ට ආරක්ෂාව ලබාදෙනු පිණිස වීරයෙක් ඉස්මතු වෙයි. අතපය වීසි කරන ජනප්‍රිය හින්දි සිනමාවේ වීරයන් වෙනුවට මෙම කතා පුවත දිගහැරෙන්නේ අධිකරණ කුටියක් පාදක කරගනිමින් වන බැවින් මහලූ නීතිඥ වීරයෙක් එයට ආදේශ වී තිබේ. ඔහු මෙම තරුණියන් යටකී දුෂ්ටයන්ගෙන් බේරා ගෙන ඔවුන්ට සාධාරණත්වය ඉටුකර දෙයි. ස්ත්‍රීත්වයේ වසඟය පුරුෂ ස්වෝත්තමවාදී මානයකින් වසා තමාට රිසි ලෙස අර්ථදක්වා ගැනීමට එරෙහි ව මහලු රෝගී නීතිඥයා (අම්තාබ් බච්චන්) අධිකරණ භූමිය වෙව්ලූම්කවන අන්දමේ ප්‍රකාශයක් ද එහිදී කරයි.

pink හි රූමත් තරුණියන් තිදෙනා – www.firstpost.com

එපා කියන්නෙ එපා! ඒක සම්පූර්ණ වාක්‍යයක්

‘‘යාළුවා වුණත්, පෙම්වතිය වුණත්, ගණිකාවක වුණත් එපා කියන්නෙ එපා’’ ඒක සම්පූර්ණ වාක්‍යයක්. ඒකෙ තේරුමට වෙන කිසි දෙයක් අවශ්‍ය වන්නේ හෝ අදාළ වන්නේ නෑ,”

චිත්‍රපටය නිමා වුව ද, සිනමා ශාලාවෙන් එළියට බහින  ඕනෑම ප්‍රෙක්ෂකයකුගේ සිත තුළ හොල්මන් කරන්නේ මෙම වාක්‍ය ඛණ්ඩය යි. චිත්‍රපටය නිමාවන්නේ අතිශය කම්පනයක් හා සංවේදිතාවක් ඉතිරි කරමිනි. චිත්‍රපටයේ පරිමිතිය ඉතා පටු හා සීමිත වෙද්දීත්, චිත්‍රපටය තුළ ඉබාගාතේ යන තේමා ශීර්ෂ තිබිය දී වුවත් රෝමොද්ගමනය සිදුවනසුලු අත්දැකීමක් බවට මෙය පත්වීම යනු අධ්‍යක්ෂවරයාගේ ප්‍රොපගැන්ඩාව සාර්ථක වීමකි.

2016  වසරේ සැප්තැම්බරයේ ප්‍රථම වරට තිරගත වන මෙම චිත්‍රපටය ඉතාමත් කෙටි කලක් තුළ ප්‍රේක්ෂක හා විචාරක අවධානය දිනා ගැනීමට සමත් වන්නේ ද, සම්මානයට පාත්‍ර වන්නේ ද ඒ නිසාම ය. මෙපමණකින් සෑහීමට පත්වීමට හැකියාවක් ඇද්ද? චිත්‍රපටයේ මඟහැරී යාමට නියමිත හා අවශේෂ බවට ඒත්තු ගැන්වීමට උත්සාහ ගෙන ඇති සමකාලීන දෘෂ්ටිවාදයේ හෙවණැල්ල චිත්‍රපටයේ රූප රාමු අතර බොහෝවිට හොල්මන් කරනු දැකිය හැකි ය. චිත්‍රපටය අවසානයේ ඇතිකරන කම්පනය විඳ දරා ගන්නා අතරම රූප රාමු අතර කොනිත්තන හිඩැස් සිදු කරන ලබන ආමන්ත්‍රණය නොතකා හළ නොහැකි ය. එය ප්‍රශ්නයක් ලෙස වරනඟන්නේනම් ඇසිය යුතු වන්නේ ‘‘ අවසානයේ කෙල්ලො දිනුවා, එත් ඒ ඇතිද?’’ යන්න ය. අපගේ අදහස වන්නේ කිසිසේත් ම එතෙකින් සෑහීමට පත්විය නොහැකි බව ය. 

Pink චිත්‍රපටයට නිම කළ පෝස්ටරයක් – timesofindia.indiatimes.com

අනාගත විපත් කල් තියා දැකීම

චිත්‍රපටය ආරම්භයේ දී ම එහි ප්‍රධාන චරිතය වූ නීතිඥ දීපක් සේගල් (අම්තාබ්) යම් රෝගී තත්ත්වයකින් පෙළෙන නමුත් අනාගතයේ සිදුවිය හැකි විපත් කල් තියා දැකීමේ අරුම හැකියාවකින් යුක්තවීම එහි පෙළ ගැටගැසීමට දුර්වල සංඥාවක් ලබාදෙයි.

‘‘ පරිස්සම් වෙන්න’’ හෙතෙම අනතුරු අඟවයි. මෙම විධානය පසුපස පවත්නා දෘෂ්ටිවාදී ගොඩනැංවීම කෙබඳු ද? තරුණියන් නිදහසේ දිවි ගෙවීම හේතුවෙන් ඔවුන්ට පරිස්සම්වීමට සිදුව ඇත්තේ කාගෙන් ද? සමාජක්‍රමයක් ඇය වන් ස්ත්‍රීන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමා තිබිය දී තිදෙනකු පමණක් පරිස්සම් සහගතවීම යනු කුමක් ද? පරිස්සම් වන්නේ කුමකට ද? පරිස්සම් කර ගත යුතු වටිනාකම් යනු මොනවාද? මේ සා බොහෝ ප්‍රශ්න මතුවීම වැලැක්විය නොහැකිය.

තම අභිමතය පරිදි හසුරුවා ගැනීමට නොහැකිවීම හෝ තම සිතැඟියා ඉටුකර ගැනීමට නොහැකි වන අවස්ථාවලදී ස්ත්‍රිය ‘‘ කෙළි බඩුවක් ’’ බවට පත්කිරීම ඉන්දියාවේ පමණක් නොව මේ මොහොතේ ලාංකේය සමාජ යථාර්ථය තුළ ද මහා පොදු සාධකය බවට පත්ව තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ දරුවකුගේ පියාට ඒඞ්ස් වැලඳී ඇති බවට ප්‍රචාරයක් යවමින් දරුවාට පාසලක් අහිමි කිරීමේ ගෞරවය හිමි කර ගත් ප්‍රදේශයේ ඇතැම් ජනයා  දරුවාගේ මවට ගරු නම්බු නාමයෙන් පිදීමේ සිදුවීම පසුපස ද පැවතියේ මෙවන් අත්දැකීමකි. ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීම වුව ද, මෙම යථාර්ථයට කිසිසේත් ම දෙවෙනි වන්නේ නොවේ.

තරුණියන් තිදෙනකු හා මහලූ නීතිඥවරයෙක් මූලික කර ගනිමින් දිගහැරෙන තිර කතාවක නම Pink ය – www.justdial.com

තමාට වූ ලැජ්ජාව පිරිමසා ගැනීම සඳහා  ඕනෑම දෙයක් සිදුකිරීමට පසුබට නොවන පුරුෂෝත්තම සමාජය කදිම ලෙස මෙම චිත්‍රපටය තුළ නිරූපණය කර තිබිණි. මෙම තරුණියන් කුලී නිවසින් පලවා හැරීමේ කුමන්ත්‍රණය අරඹා එය අසාර්ථක වන තන්හි ෆලක්ට රැකියාව අහිමිකරලීමට ඔවුන් යොදන උපක්‍රමය වන්නේ ද ඇයගේ ඡායාරූපයක් සමඟ තමා විකිණෙන බවට මුදල සඳහන් කළ පෝස්ටුවක් අන්තර්ජාලයට මුදාහැරීම ය. 

මහලු වීරයෙක් ලවා තරුණියන් තිදෙනාට නීතියෙන් නිදහස දීම

ශික්ෂණයකින් තොරව තොරතුරු තාක්ෂණය ගමට වැදීමේ බරපතළ විපාකයන්ට ඉන්දියාව මෙන්ම ලංකාවද එක හා සමාන අන්දමින් ගොදුරු බවට පත් වුවද ඉන්දීය සිනමාව හෝ සාහිත්‍ය කලාව තරමේ ප්‍රකාශන මාදිලියකින් වේදනා සමනය කරගැනීමට අපට හැකියාවක් ලැබී නැත. නීරාජ් ගයිවන් ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව 2015 දී නිර්මාණය වූ මසාන් චිත්‍රපටය ද මෙම ගැටලුව මනාව ස්පර්ශ කර ඇති බව මෙහිලා සිහිපත් කළ යුතු ය. මාලක දේවප්‍රිය මෙම ගැටලුවේ ම තවත් මානයක් කැමරාවට හසුකරගෙන ඇතත් එය ලාංකේය ප්‍රේක්ෂාගාරයට තාමත් දුර වැඩිවීම අපගේ අවාසනාවම ය. 

පොදුවේ මහලු වීරයෙක් ලවා තරුණියන් තිදෙනාට නීතියෙන් නිදහස දිනාදෙන්නට කැමරාව වෙහෙසීමට වැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් අතරමඟ දී රැකියාවෙන් හැළී, ජීවිතය හකුළා ගන්නට සිදුවන ෆලක්ගේ ඉරණම මහා ආඛ්‍යානය තුළ සැඟව යාම කනගාටුදායක ය. ෆලක්ට අත්වූ ඉරණම හුදෙක් රැකියාවක් අහිමිවීම පමණක් නොවේ. ඇයට ඇයගේ පෙම්වතා වූ වැඩිහිටි මහාචාර්යවරයාගේ ආදරය ද අහිමි වේ. අතිශය පුද්ගලික සබඳතා ලෝකයට අනාවරණය වේ.  සමාජයක් ලෙස ඇයට සිදුකෙරෙන අපකීර්තිය  හා චරිත ඝාතනවලින් තවත් බොහෝ ගැහැට ඇයට අත්විඳීමට නියමිත ව තිබිය දී ‘‘ ඉක්බිතිව සියල්ලෝම සතුටින් ජීවත්වූහ’’ වැනි අවසානයක් කරා ඉක්මනින් අප දැක්කීමට අධ්‍යක්ෂවරයා උත්සුක වී තිබේ.  

නඩු විභාගයෙන් තරුණියන්ට සාධාරණ ඉෂ්ට වන බව සැබෑ ය. සැබෑ ලෝකයේදී මෙවන් ප්‍රශ්නයක දී ඒ මොහොත දක්වා කරන්නට සිදුවන කැපකිරීම්, විඳින්නට සිදුවන ගැහැට, අහිමිවිය හැකි දේ කෙතරම් ද? තරුණයෙක් හා තරුණියක සිනමා ශාලාවක බොක්ස් එකක සිටිය ද පොලිස් අත්අඩංගුවට ගන්නා රටක, කොණ්ඩමයක් අත තිබූ වරදට ප්‍රශ්න කරන රටක නීතිමය ආධාර ලබාදෙන්නට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව කට්ට කන නීතිඥවරුන් සිනමා කෘතියක ම මිස අන් කවර තැනක නම් දකින්න ද? තම සැමියා ඝාතනය කළ පොලීසියට එරෙහිව තනියම නඩු කියන ඇඹිලිපිටියේ එක් දරු මව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමේදී වුව නඩු ක්‍රියාදාමය පවා කෙතරම් පුරුෂෝත්තමව පීඩාව නඩත්තු කරන්නේ ද යන්න ඒත්තු ගන්වයි. 

ගැලවුම්කාර නීතිඥයා පවා අසන ප්‍රශ්න කෙරෙන් මිනාල් පමණක් නොව ප්‍රෙක්ෂකයා ද රිදුම් ලබයි – thinkerviews.com

විත්තියේ හරස් ප්‍රශ්න

වරක්  දූෂණයට පත්වූ ස්ත‍්‍රීයක ප්‍රසිද්ධ නඩු විභාගයක දී ම සියදහස් වාරයක් දූෂණයට ලක් වෙයි. ස්ත්‍රී දූෂණ චෝදනා ජලය යට ඇති අයිස් කඳු මෙන් ඉතා ස්වල්පයක් මිස නීතිමය ක්‍රියාමාර්ගයක අංශු මාත්‍රයක හෝ ඇස නොගැටී කාලයේ වැල්ලෙන් සැඟ ව යන්නේ ඒ නිසා ය. විත්තියේ හරස් ප්‍රශ්න පමණක් නොව ඇතැම්විට ගැලවුම්කාර නීතිඥයා පවා අසන ප්‍රශ්න කෙරෙන් මිනාල් පමණක් නොව ප්‍රෙක්ෂකයා ද රිදුම් ලබයි. එහෙත් ඒ ප්‍රශ්න පුරුෂය.

‘‘ ඔබ කන්‍යාවියක්ද?’’

‘‘ නෑ ’’

‘‘ ඔබේ කන්‍යාභාවය නැතිවුණේ කොයි කාලෙදිද?

‘‘ අවුරුදු 19 දි.

‘‘ කාගෙන්ද? කවුද පිරිමි ළමයා?

‘‘ මගේ බෝයි ෆ්‍රෙන්ඞ්’’

‘‘ නම මොකක්ද?

‘‘ අනීෂ් ’’

‘‘ එයා කීයක් ගෙව්වද?’

‘‘ එයා ඇයි ගෙවන්නෙ. අපි කැමැත්තෙන් එක්වුණේ.’

ලිංගික ශ්‍රමිකයන්ගේ ශ්‍රමය අපරාධයක් ද?

ස්ත්‍රියකට ආදරය තුළ ලිංගික ව එකතුවීමට පවත්නා අයිතියත්, එහිදී දෙදෙනා අතර වගකීම බෙදාහදා ගැනීමට සිදුවීමත්, එය හුදෙක් ගනුදෙනුවක් නොවන බවත් මෙමඟින් ඒත්තු යන බව සැබෑ ය. මිනාල් ගණිකා වෘත්තියේ නොයෙදුණු බවට අධිකරණයට තහවුරු කිරීමටත් මෙම සංවාදය මහලු නීතිඥයාට උපකාරීවන බව සැබෑ ය. 

මෙවන් ප්‍රශ්නවලට වලංගුභාවයක් ලැබෙන්නේත් , මෙවන් ප්‍රශ්නවලට උත්තර බඳින්නට සිදුවන්නේත් කන්‍යාභාවය තවදුරටත් පරම උත්තරීතර දෙයක් ලෙස සලකන හා ලිංගික ශ්‍රමිකයන්ගේ ‘‘ ශ්‍රමය   අපරාධයක්’’ ලෙස සලකන යුගයක පමණක් බැව්  මෙහිදී අපට අමතක නොවිය යුතු ය. එය කෙතරම් ඛේදවාචකයක් ද? මෙම හරස් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී මිනාල්ගේ පියාට අධිකරණයෙන් පිටතට යාමට සිදුවීම ම මෙහි බරපතළකම සංකේතවත් කරයි. මේ අයුරින් චිත්‍රපටයේ අවසානයේ සියුම් කම්පනයක් ජනිත කරමින් අපගේ ෆැන්ටසියට උත්තේජනයක් ලබා දුන්න ද, ඉන් මෙපිට රූප රාමු අතර හිඩැස් තුළින් තත්කාලීන දෘෂ්ටිවාදයේ නරුමභාවය හොල්මන් කිරීම නොතකා හළ නොහැකි ය.

නඩු විභාගයෙන් තරුණියන්ට සාධාරණ ඉෂ්ට වන බව සැබෑ ය – www.telegraphindia.com

දෘෂ්ටිවාදී නරුමභාවය

ධනුෂ්ක ගුණතිලක සංසිද්ධියේදී මතුවූ මෙම දෘෂ්ටිවාදී නරුමභාවය චිත්‍රපටය තුළ මතුවන සංවාද, සංසිද්ධිවල සමාන්තර ව කියවිය හැකි ය. නිදසුනක් ලෙස චිත්‍රපටයේ අධිකරණ තීන්දුවට ප්‍රථම මිනාල් පිළිබඳ ලබාදෙන තීන්දුවට අදාළව කියැවෙන්නේ මෙහෙව් දේ ය.

ඇය මත්පැන්බීම, රාත්‍රී සමාජශාලාවලට යාම, තරුණයන් ඇසුරු කිරීම, ඇය රූමත්වීම, කෙළිලොල්වීම නම් ඇය පිරිමින්ගේ අතවරයට ලක්වීමට සුදුසුකම් සැපිරීමකි. එනම් ඇය  ලිංගික භාණ්ඩයක් ලෙස හුවමාරුවීමට පූර්ව කොන්දේසි සපුරාලීමකි. ධනුෂ්ක ගුණතිලක සංසිද්ධියේදී ද, පුනරුච්චාරණය වන්නේ  මීට සමාන අදහස් පද්ධතියකි. 

මානුෂීය කාරණා ගනුදෙනු පමණක් නොවේ

dating site එකකින් හමුවීම, ඔහු සමඟ අදහස් හුවමාරු කර ගැනීම, එකට සමාජශාලාවකට යාම, මත්පැන් පානය, ඉක්බිතිව නිවසට කැටුව යාමට ඉඩ දීම ආදී වශයෙන් මෙම ලැයිස්තුව බොහෝ දිගු ය. එහෙත් මේ බොහෝ දෙනා පිළිගැනීමට මැලිවන්නේ කුමක් ද? ලිංගික ශ්‍රමික කාන්තාවකට පවා තමන් අකමැති අයකු සමඟ ලිංගිකව එක් නොවී සිටීමට, ලිංගික සම්බන්ධයක් පවත්වන අතරතුරදී ඕනෑම අවස්ථාවක දී තමන්ට එය ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් පවත්නා බව යි. මූල්‍යමය ගනුදෙනුව හා බැඳුණු කොන්දේසි ගනුදෙනුවක ස්වරූපයෙන් ම විසඳාගත හැකි වුව ද, මානුෂීය කාරණා යනු ගනුදෙනු පමණක් නොවේ. සිදුව ඇත්තේ, ‘ මිනිස් සබඳතා” යනුවෙන් දෙයක් නොපැවතීම අභ්‍යාසවී, හුදු ගනුදෙනු පමණක් ජීවිතය ලෙස බාරගත්තවුන්ට අනෙකාගේ වේදනාව නොදැනීම ය. අනෙකා මනුෂයකු ලෙස බාර ගැනීමේ නොකැමැත්ත ය.

Pink චිත්‍රපටයේ ප්‍රථම භාගය ත්‍රාසජනක චිත්‍රපටයක මෙන් පිම්මේ විකාශනය වී එක මොහොතකට පසු සමස්ත චිත්‍රපටය ම අධිකරණ කුටියකට සීමා වෙයි. එහි කෙස් පැලෙන තර්ක විතර්ක හා මුහුණුවල අභිනයන්ගෙන් ඔබ්බට කිසිවක් ඇතුළත් කර නො ගන්නා තත්ත්වයක් තුළ වුවද, කෘතියේ අඛණ්ඩතාව නොබිඳ ප්‍රේක්ෂකයා විඩාවට පත් නොකර එය අවසානයක් කරා ගෙනයාමට අධ්‍යක්ෂවරයා සමත් ය.

එය මෙවන් ආකෘතියේ චිත්‍රපටවල අසීරු කර්තව්‍යයකි. චිත‍්‍රපටය තුළ සංවාදවල පවත්නා නිර්මාණශීලිභාවය ඊට දායක වූවා විය විය හැකි ය. මේ නිසාම දෝ 62 වන  ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ද ‘‘හොඳම සංවාද ’’ වෙනුවෙන් මෙම චිත‍්‍රපටය ඇගයීමට ලක්විය. අම්තාබ්ගේ මෙන් ම අනෙක් තරුණියන් තිදෙනාගේද රංගන අතිවිශිෂ්ට ය. එහෙත් චිත්‍රපටයක් යනු එපමණක් නොවේ. ඒ නිසා ම තවත් විටෙක අවශ්‍ය වන්නේනම් ‘‘සංවරව හැදෙන්න නොදන්නා ගැහැනු ළමයින්ට  ඕව හොඳ පාඩම් ’’ වැනි උපදේශයක් ලබාදෙන ජාතක කතාවක් බවට ද මෙය පෙරළා පත්කර ගත හැකි බව නොකියා බැරි ය.මන්ද යත්, ධනුෂ්ක ගුණතිලකලා යනු හුදු පුද්ගල නාම නොව ලාංකේය සමාජයේ සර්වනාම වන බැවිනි. 

කවරයේ ඡායාරූපය - Pink චිත්‍රපටය - www.filmibeat.com
මූලාශ්‍ර:
www.rottentomatoes.com 
www.bakamoono.lk youtu.be/AL2TShb6fFs

Related Articles