Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතියෝපියාවේ ලලිබෙලා හි අරුම පුදුම දේවස්ථාන​

ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා නගරයට කිලෝ මීටර 645 ක් පමණ ඈතින්, ඉතියෝපියානු ශිෂ්ඨාචාරයේ හදබිම වන අම්හාරා කඳුකර ප්‍රදේශයේ ලලිබෙලා නගරය පිහිටා තිබෙනවා. පැරණි රාජධානියක් වූ මෙය වර්තමානයේ නම් කුඩා නගරයක්. මෙය වඩාත් ම ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එහි අැති ගලින් තැනූ ඉතියෝපියානු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථාන හේතුවෙනි.

ලලිබෙලා හි මේ ආකාරයේ ගලින් තැනූ පල්ලි එකොළහක් වන අතර ඒවා පිහිටි පර්වත කැණීමෙන් තැනූ ඒවායි. එනම්, මෙම දේවස්ථාන තනා ඇත්තේ තනි කලුගල් පර්වත කැණීමෙනි. ඒවා පොළව මට්ටමෙන් බොහෝ උස් කලුගල් නොවන අතර එම දේවස්ථාන සමහරක් පොළව මට්ටමෙන් පහළට වන්නට පිහිටා තිබෙනවා.

නව යෙරුසලම​

ඉතියෝපියාව සියවස් ගණනාවක් තිස්සේ ක්‍රිස්තියානි ධර්මය ස්ථාපිතව පවතින ප්‍රදේශයක් වනවා. අවට ප්‍රදේශවල ඉස්ලාම් දහම ව්‍යාප්ත වෙද්දීත්, ඉතියෝපියානු කඳුකරයේ ක්‍රිස්තියානි දහම ආරක්ෂා වී පැවතුණා. එමෙන්ම එයටම අනන්‍ය වූ ඉතියෝපියානු ඕර්තඩොක්ස් නිකායක් එහි නිර්මාණය වුණා.

සාන්ත ජෝර්ජ් දේවස්ථානය (being30yo.com)

පුරාවෘත්තවලට අනුව ලලිබෙලා නගරයේ දේවස්ථාන නිර්මාණය කළේ ගෙබ්‍ර මෙස්කෙල් ලලිබෙලා (Gebre Mesqel Lalibela) නම් වූ ඉතියෝපියානු අධිරාජ්‍යයාගේ සමයේදීයි. ඔහු 1181 – 1221 සමයේ ඉතියෝපියාවේ අධිරාජයා ව සිටියා. 1187 දී යෙරුසලම ඉස්ලාමීය හමුදා අතට පත්වීමත් සමඟ එහි වන්දනා ගමන්වල නිරත වීමේ අවස්ථාව ක්‍රිස්තියානීන්ට අහිමි වූ අතර එයට විකල්පයක් ලෙස ලලිබෙලා හි ක්‍රිස්තියානි දේවස්ථාන ඉදි කෙරුණ බව සැළකෙනවා.

ලලිබෙලා හි දේවස්ථාන එකොළහ ජෝර්දාන් ගඟෙන් උතුරේ සහ දකුණේ පිහිටි දේවස්ථාන වශයෙන් බෙදී පවතිනවා. ගඟෙන් උතුරේ බීට් මේධානි අලෙම් (ලොව ගැලවුම්කාරයාණන්ගේ දේවස්ථානය​), බීට් මාරියම් (මරියතුමියගේ දේවස්ථානය​), බීට් මස්කල් (කුරුසියේ දේවස්ථානය​), බීට් ඩෙනගෙල් (කන්‍යාවරියන්ගේ දේවස්ථානය​) බීට් ගොල්ගොතා මයිකල් (ගොල්ගොතා මයිකල් දේවස්ථානය​) යන දේවස්ථාන ද, ගඟෙන් දකුණේ බීට් අමනුවෙල් (එමානුවෙල් දේවස්ථානය​), බීට් කෙඩුස් මර්කොරෙයුස් (සාන්ත මර්කොරෙයුස් දේවස්ථානය​​), බීට් ඇබා ලිබානොස් (ලිබානොස් ඇබට්වරයාගේ දේවස්ථානය​​), බීට් ගේබ්‍රියෙල් රෆායල් (ගේබ්‍රියෙල් රෆායල් දේවස්ථානය​​), බීට් ලෙහෙම් (ශුද්ධ වූ පාන්වල දේවස්ථානය​) යන දේවස්ථාන පිහිටා තිබෙනවා. බීට් ගියෝර්ජිස් (සාන්ත ජෝර්ජ්ගේ දේවස්ථානය​) අනෙක් දේවස්ථානවලින් ඈතින් පිහිටා තිබෙන නමුත් උමං පද්ධතියකින් ඊට සම්බන්ධව පවතිනවා.

ලලිබෙලා (Ethiopia Travel)

මෙම දේවස්ථාන සියල්ලම මේ ආකාරයෙන් එකිනෙක හා උමං මගින් සම්බන්ධව තිබෙන අතර මෙම උමං මාර්ග නිර්මාණය කර ඇත්තේ එ් ඔස්සේ වැසි ජලය බැස යාමට ද හැකි වන අයුරින්.

ලලිබෙලා හි ශිල්පීය කුසලතාව​​

වසර 900 කට පෙර තනි කලුගල්වලින් මෙවන් නිර්මාණ සිදුකළේ කෙසේ ද යන්න සිතා ගැනීමටත් නොහැකි තරම් කලාත්මකභාවයක් සහ නිමාවක් මෙම දේවස්ථානවල දකින්නට තිබෙනවා. මේවායේ කවුළු, කැටයම්, කණු යනාදී සියල්ලම තනි ගලක් හැරීමෙන් නිර්මාණය කර තිබීම ආශ්චර්යයක් ලෙස සැළකිය හැකියි. ඉතිහාසකරුවන් විශ්වාස කරන්නේ මෙම දේවස්ථාන නිර්මාණයට ගල්කටු වැනි සරල මෙවලම් පමණක් භාවිත කොට ඇති බවයි. එහෙයින්  මෙහි කලාත්මකභාවය සහ ඉංජිනේරු ශිල්පය පිළිබඳ ඔවුන් ද මවිතය පළ කරනවා.

ලලිබෙලා (Ethiopia Travel)

මෙම දේවස්ථානවලින් බීට් මේධානි අලෙම් දේවස්ථානය ලොව තනි ගලකින් නිර්මිත විශාලම දේවස්ථානය බවට විශ්වාස කෙරෙනවා. ලලිබෙලා සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

ලලිබෙලා හි පූජනීයත්වය​

ඉපැරණි අක්සුම් රාජධානිය ඉතියෝපියානු ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගේ ප්‍රධානම පූජනීය නගරය වන අතර ඉන්පසු ඔවුන් සිය වැදගත් ම පූජනීය ස්ථානය ලෙස සළකන්නේ ලලිබෙලා දේවස්ථාන සංකීර්ණයයි. පාවහන් නොමැති දෙපයින් කිලෝ මීටර සිය ගණනක් ගෙවාගෙන​, ඇතැම් විට මාසයක පමණ කාලයක් තිස්සේ ගමනේ යෙදෙමින් ලලිබෙලා වෙත පැමිණෙන වන්දනාකරුවන් දහස් ගණන් දකින්නට පිළිවන්. සිය ජීවිත කාලය තුළ එක් වතාවක් හෝ ලලිබෙලා දැක ගතයුතු බව ඉතියෝපියානු ක්‍රිස්තියානි ලබ්ධිකයන් විශ්වාස කරනවා.

අවට ප්‍රදේශය (famouswonders.com)

ඉතියෝපියානු ක්‍රිස්තියානි ලබ්ධිකයන් ලලිබෙලා වැඳ පුදා ගැනීම සළකන්නේ යෙරුසලම වැඳ පුදා ගත්තා හා සමාන ගෞරවයකින්.

මෙහි දේවස්ථාන එකොළහේම සෑම දිනකම දේව පූජාවන් පවත්වනු ලබනවා. සෑම දේවස්ථානයක් ම භාර පූජකවරයකු සිටින අතර ඔහු දේවස්ථානයේ ප්‍රධාන ආරක්ෂකයාද වනවා. මෙම දේවස්ථානවල ඉතියෝපියානු ක්‍රිස්තියානි ලබ්ධිකයන් පූජනීයත්වයෙන් සළකනු ලබන ගිවිසුම් කරඬුවේ පිටපත් ද තැන්පත් කර තිබෙනවා යයි විශ්වාස කරනු ලබනවා. එනමුත් ඒවා දැක ගැනීමට අවසර ඇත්තේ පූජකයන්ට පමණයි. එමෙන්ම එය දුටු අයකුට නැවත පල්ලියෙන් පිටවීමට අවසර ලැබෙන්නේ ද නැහැ. දෙවියන් විසින් මෝසස්ට ලබා දුන් බව කියන දස පනත අඩංගු මෙම ගිවිසුම් කරඬුව අක්සුම් හි පිහිටි දේවස්ථානයක තැන්පත් කර ඇතැයි ඉතියෝපියානුවන් විශ්වාස කරනවා.

වන්දනාකරුවෙක් (Ethiopia Travel)

ඉතියෝපියාව අප අතර වඩාත් ප්‍රසිද්ධ ව පවතින්නේ සාගත පිළිබඳව වුණත් එරට ඉතාම ප්‍රෞඪ ඉතිහාසයකින් හෙබි, එමෙන්ම වර්තමානයේ ඉතා වේගයෙන් දියුණු වන රාජ්‍යයක්. ඒ රටේ තවත් විස්තර ඉදිරියේදී ඔබට ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

කවරයේ රූපය: ශාන්ත ජෝර්ජ් දේවස්ථානය​ (Imgur)

මූලාශ්‍ර:​

  1. Rock-Hewn Churches, Lalibela, UNESCO
  2. Ethiopia’s Monolithic Churches of Lalibela (VIDEO), CNN

Related Articles