ඉන්දියානුවන්ගෙන් ලොවට ආ නව නිපැයුම්

දීර්ඝ හා ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ඉන්දියාව අතීතයේ භාරතය ලෙස පැවැති කාලයේ පටන් නව සොයා ගැනීම උදෙසා කීර්තියක් උසුළා තිබේ. මැදපෙරදිග ප්‍රදේශයේ තිබුණු ශිෂ්ටාචාර හා නැගෙනහිර දිග ආසියාවේ පැවති ශිෂ්ටාචාරයන් අතර ගොඩබිම් මාර්ගය වෙළඳ ගනුදෙනු සියල්ලම පාහේ සිදුවූයේ ඉන්දියාව හරහායි. පසුකාලීනව යුරෝපීය අධිරාජ්‍යයන් විසින් ආසියාවේ යටත් විජිත අල්ලා ගැනීමේ තරගයක යෙදී සිටින කාලයේදී ඉන්දියාවේ අයිතිය දිනා ගැනීමට බොහෝ රටවල් විශාල පරිශ්‍රමයක් දැරූහ.

බොහෝ කාලයක් තිස්සේ වෙනත් ශිෂ්ටාචාරවල දැනුම් පද්ධතීන්ට නිරාවරණය වීම, ප්‍රාඥයන් බොහෝ දෙනෙකු ජීවත් වීම ඇතුළු කාරණා හේතුවෙන් ඉන්දියානුවන් අතීතයේ සිටම නව දේ සොයා ගැනීමට මහත් දස්කමක් දක්වති. මේ ලිපියෙන් කියවෙන්නේ ඉන්දියානුවන් විසින් ලොවට දායාද කරන ලද එවන් වැදගත් නව සොයා ගැනීම් කිහිපයක් පිළිබඳවයි.

1. බොත්තම්

නූතනයේ ප්ලාස්ටික්, වීදුරු, ලී වැනි අමුද්‍රව්‍යවලින් අලංකාර බොත්තම් තැනෙන අතර කලකට පෙර පිත්තල බොත්තම් ඇල්ලූ මුලාදෑනි පරණ කෝට් එක අපේ ගම්තුලානවලද ජනප්‍රිය තේජස දනවන ඇඳුමක් විය.

නූතන බොත්තම් බොහෝවිට යුරෝපීයයන්ගේ හඳුන්වා දීමක් වන නමුදු මුලින්ම බොත්තම් භාවිත කළා යැයි සැලකෙන්නේ ඉන්දු නිම්නයේ විසූ මොහන්ජදාරෝ වරුන්ය. ක්‍රි. පූ 2000ටත් පෙර කලදී මොහන්ජදාරෝ වාසීන් බොත්තම් භාවිතයට ගෙන ඇති බැව් විද්‍යාඥයින් විසින් ද සනාථ කර ඇත.

thebrunettediaries.com

2. චෙස්

ඉන්දියානු ගුප්ත අධිරාජ සමයේ චතුරංග නැමැති ක්‍රීඩාවක් විය. එය චෙස්වලට වඩාත් සමානකමක් දක්වන්නකි. එයින් චෙස් බිහි වී යැයි ප්‍රකට මතයක් පවතී.

චීනයේ හැං රාජවංශය සමයේ චීනයේද චෙස් හි ප්‍රාථමික අවධියේ ක්‍රීඩාවක් පැවතී ඇති බවට සොයාගෙන ඇති හෙයින් චින්නු ලොවට චෙස් ගෙනාවෝ යැයි සුළු පිරිසක් විස්වාස කරති. චතුරංග සේනාව ලෙස හැඳින්වෙන ඇත්, අස්, රිය, පාබල නැමැති සේනාවෝ චතුරංග ක්‍රීඩාවෙන් නිරූපනය වී යැයි සැලකේ. චෙස් ඉතිහාසයට බෞද්ධ භික්ෂූන් වහන්සේද සම්බන්ධ බවට චූල මතයක්ද පවතී.

3. කපු රෙදි

විජයාවතරණයේදී කුවේණිය කපු කටිමින් සිට ඇති බැව් අපේ ඉතිහාස කතාන්දර වල දැක්වේ.

වර්තමාන පාකිස්ථාන සීමාවේ පවතින ඉන්දු නදිය මූලික කරගෙන සිදුකරන ලද පුරාණ කැණීම්වලදී ක්‍රි පූර්ව 3000කට එපිටදී කපු වගාවන් තිබූ බවට සාක්ෂි දනවන පුරාවිද්‍යා සාධක හමු වී තිබේ. ඉන් පසුකාලීනව අරාබි වෙළඳුන් මගින් කපු ලොව වටා සංක්‍රමණය වන්නට ඇතැයි සැලකේ. බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වූ ක්‍රි. පූ. 4 වන ශතවර්ෂය කාලයේද රෙදි නිෂ්පාදනය යම් තරමකින් දියුණු වී තිබී ඇති බැව් එම කාලයේ ඓතිහාසික මූලාශ්‍ර පිරික්සීමේදී පෙනි යයි.

විජයාවතරණයේදි කපු කටිමින් සිටි අපේ කුවේණියගේ චිත්‍රයක් (2.bp.blogspot.com)

4. දශම, වර්ගජ සමීකරණ සහ බිංදුව

නිව්ටෝනිය භෞතික විද්‍යාව අපහසු වූ කල භෞතික විද්‍යාව හදාරන සිසුන් නිව්ටන් ගේ හිසට ඇපල් ගෙඩියක් කුමකට වැටණේ දැයි සිතති. නිව්ටන් භෞතික විද්‍යාත්මක සමීකරණ සොයා ගත්තා සේම වීජ ගණිතයේ එන දශම, වර්ගජ සමිකරණ සහ බිංදුව ඇතුලත් වීජ ගණිත කොටස් මුලින්ම ලොවට හඳුන්වා දී ඇත්තේ ඉන්දියානුවෝය. ඉන් පසු ඉන්දියානු දැනුම සේද මාවත ඔස්සේ යුරෝපය කරා ගොස් ඒවා නැවත තවත තවත් වැඩිදියුණු වී අපගේ ගණිත පොත පත වෙත පැමිණ තිබේ.

අද පවා ඉන්දියානුවෝ ගණිතයේ දක්ෂයෝ වෙති. වර්ගජ සමිකරණ සම්බන්ධ විසඳීම් ක්‍රි ව 700 දී පමණ බ්‍රාහ්මණගුප්ත නම් ගණිතඥයෙකු විසින් සොයාගෙන ඇත. ශ්‍රී නිවාස රාමනුජන් හා හරිශ් චන්ද්‍ර මෑත ඉතිහාසයේ ජනප්‍රිය වූ ඉන්දීය ගණිතඥයෝ දෙදෙනෙකි.

1887 සිට 1920 දක්වා අවුරුදු 32ක් තරම් කෙටි කලක් දිවි ගෙවූ ශ්‍රී නිවාස රාමනුජන් අපට සමීප දකුණු ඉන්දීය මදුරාසියෙන් බිහි වූ දීප්තිමත් ගණිතඥයෙකු විය. ඔහුගේ කාලයේ ඔහු සොයාගෙන ඇති නවතම ගණිත ප්‍රමේයයන් ගණන දහස් ගණනකි. රාමනුජන් විසින් අලුතින්ම ලොවට හඳුන්වා දෙනු ලැබූ ගණිත කර්ම 3900කට වඩා තිබේ.

5. අකුරු ලියන තීන්ත

පුස්කොල පොත් ලිවීම (dinamina.lk)

ලිවීමට යොදා ගන්නා වර්තමාන කාබන් තීන්තවලට වඩාත් සමීප තීන්ත වර්ගයක් ක්‍රි පූ 3000කට එපිට කාලයේදි ඉන්දියානුවන් විසින් පාවිච්චි කර තිබේ. සත්ව ඇට පිලිස්සීමෙන් ලැබෙන තාර භාවිත කරමින් ඔවුන් කාබන් නිපදවාගෙන තිබේ. පසුකාලිනව චීනය සහ ඊජිප්තුව කරා සංක්‍රමණය වූයේ ඉන්දියානුවන් නිපදවා ගත් තීන්ත යැයි සැලකේ.

මේ ඉන්දියානුවන්ගේ ඉපැරණි තීන්ත මගින් තියුණු තුඩක් ආධාරයෙන් යමක් ලියූ විට එය කාලයක් යනතෙක් බොඳ වීමකින් තොරව ආරක්ෂා වී තිබේ. ඇතැම්විට අපගේ ඉපැරණි පුස්කොළ පොත් ලිවීමද මෙම කාබනික තීන්ත ආශ්‍රයෙන් හුරු වූ කර්මයක් වන්නට ඇත.

දමිල, බෙංගාලි, මලයාලම් සහ සිංහල අකුරු ලිවීමේදී වටකුරු ස්වභාවයක් ගනී. ශාක පත් ඉරු මත තියුණු තුඩකින් අකුරු ලිවීමේදි ඉංග්‍රීසි බස මෙන් වූ සරල රේඛා ගහන අක්ෂර නිර්මාණයට වඩා වටකුරු අකුරු ලිවීම පහසු වීම මෙම භාෂාවන්හි අකුරුවල හැඩය සකස්වීමට සැලකිය යුතු බලපෑමක් වූ බවට පුරා විද්‍යාඥයින් අදහස් දක්වා තිබේ.

6. ඔප්ටිකල් ෆයිබර් හරහා පින්තුරයක් යැවීම.

නූතන සන්නිවේදන විප්ලවයේ විශාල දියුණුවක් ඇතිවීමට ප්‍රකාශ තන්තු හෙවත් ඔප්ටිකල් ෆයිබර් නම් වූ සම්ප්‍රේෂණ මාධ්‍යය හේතු විය. සන්නිවේදනය සඳහා ඔප්ටිකල් ෆයිබර් යොදාගැනීම නොබෙල් ත්‍යාගලාභී සර් චාල්ස් කේ කාඕ නැමැති හොංකොං සම්භවයක් සහිත විද්‍යාඥයා විසින් 1960 දී අත්හදා බලා මුලින්ම තහවුරු කොට තිබේ.

කෙසේ නමුත් ඊට වසර 6කට ප්‍රථම 1954 දී නරින්දර් සිං කොපානි සහ තවත් නෙදර්ලන්ත ජාතිකයෙක් එංගලන්තයේ ඉම්පීරියල් කොලේජ් නැමැති ඉංජිනේරු විද්‍යාලයේදී ඔප්ටිකල් ෆයිබර් තන්තු හරහා ඡායාරූපයක් සම්ප්‍රේෂණය කොට තිබේ. නරින්දර් සිං යනු ඉන්දීය සික් ජාතිකයෙකි. ඔප්ටිකල් ෆයිබර් හරහා පින්තූරයක් තැනකින් තැනකට සම්ප්‍රේෂණය කිරීමෙන් ඇරඹුණු මෙම තාක්ෂණය නූතනයේ අන්තර් මහද්වීපික දත්ත සම්ප්‍රේෂණය දක්වා පුළුල් වී තිබේ. විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සිය ගණනක් ඔප්ටිකල් ෆයිබර් තාක්ෂණික දියුණුව කරා දායක වී ඇති අතර ඒ අතරින් ඉන්දීය සම්භවයක් සහිත නරින්දර සිංගේ නමද ඔප්ටිකල් ෆයිබර්  වංශ කතාවේ ප්‍රධාන තැනක් ගනී.

7. ප්ලාස්ටික් සැත්කම්

පුරාණ ආයුර්වේදයට අනුව සැත්කමක් සිදුකරන අයුරු (1.bp.blogspot.com)

ආයුෂ පිළිබඳව වූ වේද ග්‍රන්ථයන්හි මූලික ග්‍රන්ථයක් වන ආථර්ව වේදයේ සුස්රුතා සාමිතා නම් කොටසේ නූතනයේ “ප්ලාස්ටික් ස’ජරි” ලෙස හඳුන්වනු ලබන විධි ක්‍රම ගැන හඳුන්වාදීමක් සිදු කොට තිබේ. ඒ ක්‍රි. පූ. 600 තරම් වූ ඈත කාලයේදීය. එම කාලයේ ලියූ ලේඛන පිරික්සීමේදී ද එකල වෛද්‍යවරුන්ට අවයව බද්ධ කිරිමේ දැනුම මැනවින් තිබී ඇති බැව් තහවුරු වේ. මුහුණේ කොටස් සැකසීම, අනතුරුවලට ලක් වූ අවයව නැවත සැකසීම වැනි කාර්යයන් ගැනද ක්‍රි. පූ. සමයේ ඉන්දියානු වෛද්‍ය ග්‍රන්ථයන්හි සඳහන් වන බැව් වාර්තාවලින් පෙන්වා දි තිබේ.

කාර්මික විප්ලවයත් සමග යුරෝපීයයන් ලොව රජ කරන්නට මත්තෙන් ශතවර්ෂ ගණනාවක් පුරාවට ඉන්දියානු අධිරාජ්‍යය ඉතා ප්‍රබලව පැවතුණි. ඔවුන් විසින් නූතන ශිෂ්ඨාචාර වෙත කෙලින්ම දායාද කර ඇති දේ අල්ප වුවත් පැරණි කාලය සැලකූ විට බොහෝ ක්ෂේත්‍රවලින් ඉන්දියානුවෝ කාලයට වඩා ඉදිරියෙන් සිට ඇත.

කවර පිංතුරය: worldchess.com

Related Articles