Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිය ගණනක් දෙනා ඝාතනය කළ අනවරත මිනීමරුවන් දෙදෙනෙක්

“Serial killer”, එහෙමත් නැත්නම් “අනවරත ඝාතකයෙක්” කියලා හඳුන්වන්නෙ සාමාන්‍යයෙන් මිනිසුන් තිදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කළ අයෙක්ට. ඔබ මොවුන් පිළිබඳව අසා තිබෙනවා විය යුතුයි.

මීට පෙර ලිපියකින් ඉදිරිපත් කළ “ටෙඩ් බන්ඩි” එවැනි අනවරත ඝාතකයෙක්. ලංකාවෙන් සිදුවීමක් ගෙන උදාහරණයක් දුන්නොත්, කොටකෙතන සිදුවුණු මිනීමැරුම් කීපය අනවරත ඝාතකයෙකුගේ ක්‍රියාවන් ලෙස සැලකිය හැකියි.

අනවරත ඝාතකයෙකු බිහිවන්නේ මන්ද යන්න ගැන නිශ්චිත පිළිතුරක් නැහැ. ඒ ඔවුන්ගේ ස්වභාවයද, පසුකාලයක වූ සිදුවීමක් නිසා ඔවුන් සමාජය දෙස බලන ආකාරය වෙනස් වුණාද, එසේත් නැත්නම් ඔවුන් හුදෙක් මානසික රෝගීන් විය හැකිදැ යි ආදී වශයෙන් විවිධාකාර අදහස් නම් පලවුණත්, ඒ සෑම අනවරත මිනීමරුවෙකුම පි‍ටුපස ඇත්තේ එකම අභිප්‍රාය වීම කිසිසේත්ම සිදු නොවිය හැක්කක්. ඔවුන් එවැනි ක්‍රියාවන්ට පොළඹවන හේතුව කුමක් වුවත්, ඔවුන් ඔබට දු‍ටු තැන හඳුනාගත හැකි අන්දමේ මැරවර පෙනුමක් සහිත පුද්ගලයින් යැයි මොහොතකටවත් සිතන්න එපා. ඒ ඔබේ අසල්වැසියා වුවත් විය හැකි බව මේ ලිපිය කියවීමෙන් ඔබට පැහැදිලි වෙයි.

වෛද්‍ය හැරල්ඩ් ශිප්මන්

Dr-Harold-Shipman.jpg වෛද්‍ය ශිප්මන්. (Mirror)

හැරල්ඩ් ෆ්‍රෙඩ්‍රික් ශිප්මන් අපගේ මෙම ලැයිස්තුවේ සඳහන් කිරීමට සුදුසු යැයි අප විසින් සලකන්නට හේතු දෙකක් තිබෙනවා. පළමු හේතුව නම් ඔහු තමාගේම රෝගීන් ඝාතනය කළ වෛද්‍යවරයෙකු වීම. දෙවනි හේතුව නම් ඔහු මෙතෙක් ලෝකයේ වැඩිම අනවරත මිනීමැරුම් සංඛ්‍යාවක් සිදුකළ පුද්ගලයින් අතර ඉහළින්ම සිටීමයි. ඔහු විසින් කරන ලදැයි අනාවරණය වී ඇති මිනීමැරුම් සංඛ්‍යාව 250ක්!

වෛද්‍ය ශිප්මන් විසින් සිදුකරන ලද ඝාතනයන් පිළිබඳව පලවුණු ප්‍රවෘත්තියක්. (Tumblr)

ශිප්මන් ඔහු වාසය කළ ප්‍රදේශයේ වැසියන් අතර ඉතාමත්ම ගෞරවයට පාත්‍රව සිටි, තරමක ප්‍රසිද්ධියක් ඉසිලූ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයෙක්. නමුත් 1998 වසරේ දිනයක ප්‍රදේශයේ වාසය කළ තවත් වෛද්‍යවරියක විසින් එහි මරණ පරීක්ෂකට සහ පොලිසියට පැමිණිලි කරන්නේ වෛද්‍ය ශිප්මන්ගේ බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත් රෝගීන් මරණයට පත්වීමේ ප්‍රතිශතය ඉතාම ඉහළ බවයි. එයින් බොහොමයක් දෙනා මැදිවිය පසුකළ කාන්තාවන් බවත්, ඔවුන්ගේ අන්තිම කැමැත්තෙන් තමන්ව ආදාහනය කරන ලෙස ඔවුන් ඉල්ලා සිටීමත් ඉතා සැකසහිත බවට ඇය විසින් පැමිණිලි කරනු ලබනවා.

පළමුවෙන් පොලීසිය විසින් මෙම පැමිණිලි නොසලකා හැරියත්, දිගින් දිගටම තවත් පැමිණිලි කීපයක් ලැබීම නිසා ශිප්මන්ගේ රෝගියෙකුව සිට සැකසහිත ලෙස මෑතකදී මියගිය කාන්තාවකගේ සිරුර ගොඩගනු ලබනවා. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වන්නේ ඇගේ සිරුරේ අසාමාන්‍ය ලෙස ඩයමෝර්ෆීන් නම් වේදනා නාශක ඖෂධයක් අඩංගු බවයි.

ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු කරගෙන යන පොලීසියට අනාවරණය වන්නේ වෛද්‍ය ශිප්මන් විසින් තමාගේ ඇතැම් රෝගීන් ඩයමෝර්ෆීන් අධිමාත්‍රා උපයෝගී කරගනිමින් මරාදමා, ඔවුන්ගේ අන්තිම කැමති පත්‍ර වලින් තමාට විශාල මුදල් ප්‍රමාණ ලැබෙන සේ ඒවාද වංචනික ලෙස වෙනස් කර ඇති බවයි.

ඔහු විසින් මරාදමන ලද අවසන් පුද්ගලයින් කීපදෙනාගෙන් එක් අයෙකුගේ අවසන් කැමතිපත්‍රයක්       (home.bt.com)

වසර කීපයක් තිස්සේ ඔහුට විරුද්ධව වූ නඩුව විභාග වුණු අතර, 2000 වසරේ ජනවාරි 30වන දා ඔහුව ඔප්පු කළ හැකි මිනීමැරුම් 15කට වරදකරු බවට පත්කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලබනවා. කෙසේ නමුත් 2004 වසරේ ජනවාරි 13 වනදා ඔහුව රඳවා තබා සිටි වේක්ෆීල්ඩ් බන්ධනාගාර කුටිය තුල දී ඔහු සියදිසි නසාගන්නවා. මියයන විට වෛද්‍ය ශිප්මන් 58වන වියෙහි පසුවුණා.

පේද්‍රෝ අලෝන්සෝ ලෝපෙස්

මේ කොලොම්බියානු ජාතිකයා නම් අපේ අර වෛද්‍යවරයාත් පරදවන තරමට තරුණ ගැහැණු ළමුන් සංඛ්‍යාවක් ලිංගික අතවරයන්ට ලක්කර ඝාතනය කර ඇති අයෙක්. ඔහු විසින් සිදු කරන ලදැයි පාපොච්ඡාරණය කර ඇති මිනීමැරුම් සංඛ්‍යාව 300කට අධිකයි!

ලෝපෙස් බොහෝවිට සිදුකර ඇත්තේ තනිව සිටින ගැහැණු ළමුන් පාලු ප්‍රදේශයකට හෝ අත්හැර දමා ඇති ගොඩනැගිල්ලකට හෝ කො‍ටුකර අල්ලාගැනීමයි. පසුව ඔවුන්ට ලිංගික අතවරයන් සිදුකරන ඔහු අවසානයේ ඔවුන් ඝාතනය කිරීමට හුරුව සිටියා. පළමුව තම මවු රට වන කොලොම්බියාවේත්, ඉන්පසු අසල්වැසි පීරු සහ එක්වදෝරයේත් සංචාරය කරමින් මෙම අපරාධ සිදුකිරීමට ඔහු පෙළඹී තිබුණා.

පේද්‍රෝ ලෝපෙස්. (Alchetron)

1978 දී තිස්වයස්ව සිටි ඔහු පීරුහි ගැහැණු දරුවෙකු පැහැරගැනීමට තැත්කිරීමේදී එහි ගෝත්‍රික පිරිසකට හසුව ඔවුන් විසින් ඔහුව ඝාතනය කිරීමට සූදානම්ව සිටියා. එහිදී ඇමරිකානු මිශනාරිවරයෙකු විසින් ඔහුව මරණයෙන් ගලවා පොලිසියට බාරදීම උචිත බව ගෝත්‍රිකයින්ට ඒත්තු ගැන්වීම නිසා ඔහුව නීතියට කො‍ටුවුණා.

පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුකරන ලද පාපොච්ඡාරණයන්ට අනුව ඔහු විසින් එක්වදෝරයේදී වයස අවුරුදු 9 – 12 අතර ගැහැණු දරුවන් 110කුත්, පීරු සහ කොලොම්බියාහි දී ගැහැණු දරුවන් 240කුත් ඝාතනය කර දමා තිබුණා. මෙම තොරතුරු කෙතරම් පිළිකුල්සහගත සහ ඇදහිය නොහැකි වූයේද යත් පොලිසිය විසින් ඔහුව විශ්වාස කළේත් නැහැ. නමුත් හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් නිසා ඔහු විසින් සමූහ මිනී වළක වළලා තිබූ සිරුරු කීපයක් අනාවරණය වූ අතර, ඉන්පසුව ඔහු තවත් එවැන් සිරුර් 53ක් තිබූ ස්ථානයන්ට යෑමට පොලීසියට මග පෙන්වා තිබුණා.

මරාදැමුනු දැරියකගේ සිරුර අනාවරණය කරගත් ස්ථානයක් එක්වදෝරියානු පොලිස් නිලධාරියෙකු විසින් පෙන්වා දෙයි. (Murderpedia)

ඔහු මානසික රෝගයකින් පෙලෙන්නෙකු යැයි සලකූ අධිකරණය 1980 දී ඔහුව බන්ධනාගාරයට නියම කර තිබුණා. එතැනින් මානසික රෝහලකට ඇතුලත් කරන ලදුව රෝගය පාලනය වීම සහ යහපත් කල්ක්‍රියාව යන කාරණා දෙක මත පදනම්ව 1998 දී ඔහුව නිදහස් කරනු ලැබ තිබුණා. අද වන විට ඔහු කොතැනක ජීවත් වනවාදැයි යන්න පිළිබඳව කිසිම තොරතුරක් නැහැ.

මේ ආකාරයට කුමන හෝ හේතුවක් නිසා මිනීමැරුම් ගණනාවක් සිදුකළ අයෙකු විධිමත් ක්‍රියා පටිපාටියකින් තොරව නැවතත් සමාජයට නිදහස් කර යැවීම ආරක්ෂිත ද? ඔවුන්ව පුනරුත්තාපනය කිරීම සාර්ථක ද? ඔබේ අදහස් පහතින් සඳහන් කරන්න.

මුලාශ්‍ර: Murderpedia

              Biography.com

කවරයේ පින්තුරය: (Sick Of Your Crap)

Related Articles