இலங்கையின் ஆடைக் கைத்தொழில்

සුන්දර ලෙස අඳින්න පළඳින්න කාන්තාවෝ බොහෝ පි‍්‍රය කරති. ශ්‍රී ලංකාවේ රෙදි සාප්පුවල ඔවුන් පැය ගණන් ගත කරන්නේ් ඒ නිසාය. නිරන්තරවම අලුත් වන විලාසිතා හා රෙදිපිළි ලෝකයේ අතරමං වන කාන්තාව ලංකාවේ පේෂකර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබෙන බව ඇතැම් විට නොදන්නවා විය හැකිය. ශ්‍රී ලංකාවේ පේෂ කර්මාන්තය හා එහි ඵෙතිහාසික තත්ත්වය ගැනයි මේ සටහන.

ඇඟළුම් කර්මාන්තයේ වර්තමානය

ඇඟළුම් කර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ ලබා ඇති ආර්ථික වර්ධනය (Joint  Apparel Associations Forum of Sri Lanka)

ඇඟළුම් කර්මාන්තය ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට වඩාත්ම කැපී පෙනෙන දායකත්වයක් දක්වන්නා වූ කර්මාන්තකි. රටේ ප‍්‍රමුඛතම අපනයන කර්මාන්තයක් ලෙස ඇඟළුම් කර්මාන්තය පසුගිය වසර හතරක කාලය තුළ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එය රටේ මුළු අපනයනවලින් සියයට 45ක් පමණ වන අතර රටේ නිෂ්පාදන ශ‍්‍රම දායකත්වයෙන් 33%ක් පමණ වේ. මුළුමණින්ම පුද්ගලික කර්මාන්තයක් ලෙස ලෝක වෙළඳපොළේ සාර්ථකත්වයට පත්ව තිබෙන කර්මාන්තයක් ලෙසත් ඇඟළුම් හඳුන්වා දිය හැකිය. 2016 වසරේ ලංකාවේ ඇඟළුම් අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 4.8% ක් දක්වා වර්ධනය වී තිබුණි.

ඇඟළුම් අපනයනයෙන් අතිවිශාල ආදායමක් රටට හිමි වුවත් ඇඟළුම් නිපදවීමේ කාර්යයට උර දී සිටින කාන්තාවන් ඇඟළුම් සේවිකාවන් ලෙස සමාජය තුළ හංවඩු ගැසෙන අන්දම සදාචාරවත් සමාජයකට කිසි ලෙසකින්වත් ගැළපෙන්නේ නැත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2002 සිට 2010 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ කාන්තා ශ‍්‍රම බලකායේ දායකත්වය පිරිමි ශ‍්‍රම දායකත්වය මෙන් දෙගුණයකි.

ඉතිහාසය ලියැවෙන්නට පෙර යුගවල සිටම සළුපිළි නිෂ්පාදනයෙන් ශ‍්‍රී ලංකාව උසස් තැනක් ගත් බවටත්, ලක්දිව එම නිෂ්පාදන අංශයෙන් දේශ දේශාන්තරවල ප‍්‍රසිද්ධියක් ඉසිලූ රටක් බවටත් අනාවරණය කෙරෙන සාක්ෂි අපේ ඉතිහාසය පුරා ඕනෑ තරම් තිබේ. යම් රටක් සළුපිළි නිපැයුමෙන් දියුණු වූයේ නම් එහි ජනතාව ගුණධර්ම අතින්, ශිෂ්ට සම්පන්න අතින් උසස් තත්වයකට පැමිණ සිටි බව පිළිගත යුතු සත්‍යයකි.

පේෂකර්මයේ පුරාවත

ශ්‍රී ලංකාවේ පේෂකර්ම පුරාණය දස දෙසට අධිපති ව විසූ බව කියන රාවණ රජුගේ පාලනය හා සම්බන්ධ බවට පුරාණ පතපොතේ සඳහන් වේ. එම පුරාණ කතාවලට අනුව ලංකා පුරයෙහි සියගණන් කඩු, ධජ, පතාකවලින් ශෝභාසම්පන්න වූ බවත්, රාවණ මාලිගාව විවිධ විචිත‍්‍ර වර්ණයෙන් යුත් වියන් තිර රෙදි, බුමුතුරුණු ආදී සැරසිලිවලින් මනහර වී පැවති බවත් පෙරදිග පැරණිතම වීර කාව්‍යය වන රාමායණයෙහි සඳහන් වී අැත.

එයට සමීප කාලයෙහි ව්‍යාස ඍෂීන් විසින් ලියන ලද මහා භාරතයෙහි සඳහන් තොරතුරුවලින් ද ඉහත අදහස ප‍්‍රකාශ වේ. ‘අට්ටාලක ශතා කිර්ණාං පතාකද්ධවජ සෝභිතාම්’ යනුවෙන් රාමායන සුන්දර කාව්‍යයෙහි ද ඇති සඳහනෙන් මෙම කරුණු ස්ථිර කෙරෙන බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි. රාමායණය රචකයා පේෂ කාර්මිකයන් හඳුන්වා දී ඇත්තේ ‘තන්තුවායින්’ යනුවෙනි. පේෂ කර්මාන්තයට අත්‍යවශ්‍ය කපු ඈත අතීතයේ සිට මෙරට වගා කෙරුණු බවට ද සාක්ෂි ඇත.

විජයගේ ආගමනයේදී කපු කටිමින් සිටින කුවේණිය (cerandib.com)

කුවේණි පුවතින් විස්තර කෙරෙන ආකාරයට කපු නෙලීම, පෙළීම, කපු කැටීම යනාදිය මෙරටෙහි බහුලව පැවති බව පැහැදිලි වේ. එය මෙරට රෙදිපිළි කර්මාන්තය පිළිබඳ පළමු ලිඛිත සාක්ෂිය වශයෙන්ද දැක්විය හැකිය. කි‍්‍රස්තු පූර්ව පස් වැනි ශතවර්ෂයේදී කුවේණි ලංකාව පාලනය කළ රැජිණ ලෙස ඉතිහාසයේ සඳහන් වී තිබේ. ක්‍රිස්තු පූර්ව 483 සිට 445 ඉතිහාස සිද්ධීන් අනුව කුවේණිය විජය කුමරුට හමුවන විට අැය තම්මැන්නා වෙරළේ කපු කටිමින් සිටි වගත්, පසුව විජය කුමරු කුවේණියව සරණ පාවා ගන්නා ලද බවත් සඳහන් ය. මහා වංශයේ මෙම විස්තරය අනුව පැහැදිලි වන්නේ ඒ අවධිය වන විටත් මේ රටෙහි පෙහෙකම් පැවැති වගයි.

යම් ප‍්‍රමාණයකට දියුණුව පැවති මෙරට පේෂ කර්මාන්තය දඹදෙණිය රාජධානිය කරගෙන විසූ තුන් වැනි විජයබාහු රජතුමා විසින් තවත් දියුණු කර ඇත. මේ කාලයෙහි ඉන්දියාවෙන් පැමිණි පේෂ කාර්මිකයන් සිල් රෙදි හෝ ගෝනි රෙදි වියා ඇති බවට සාක්ෂි පවතී. පේෂ කර්මාන්තය දියුණු කිරීමට සිතූ තුන් වැනි විජයබාහු රජතුමා රටේ මහත්මයකු ඉන්දියාවට යවා පෙහෙකම් ඇදුරන් අට දෙනකු ලංකාවට ගෙන්වාගෙන, ඔවුන්ගේ පදිංචිය සඳහා ගම්වර ද තාන්න මාන්නද භාර්යාවන් ද දුන් බව ඉතිහාසය විස්තර කරයි. කාලයකට පසුව ඒ අයගෙන් පැවත එන අය උඩරට රජවරුන්ගේ අප‍්‍රසාදයට ලක්වීම නිසා ඔවුන් නිරිතදිග වෙරළ ප‍්‍රදේශයට යවා ඇත. ඉන්පසු ඔවුන්ට සිදු වූයේ රජයේ අවශ්‍යතාවය සඳහා කුරුඳු වගා කොට සකස් කොට එවීමය.

අත් පිස්නා, තුවා, ඉඳුල් කඩ, පිරිමි රාජකාරිවලට අඳින අැඳුම්, ගැහැනුන් අඳින රෙදිපිළි, පිරිමි දියට අඳින දියකච්ච, ලේන්සු, සළු, පැදුරු හා ඇඳ රෙදි සඳහා ඇතිරිලි, බුමුතුරුණු, කසල ගෙනයන උර, භාණ්ඩ වැසීම සඳහා වූ ආවරණ, කොට්ට උර, සිවුරු, හැට්ට, තොප්පි ආදිය එකල පෙහෙකරුවන් වැඩියෙන් නිෂ්පාදනය කළහ. මෙම භාණ්ඩ හුදෙක් එදිනෙදා අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නිෂ්පාදනය කළා මිස විලාසිතාවන්ට මුල් තැනක් නොදුන් බවක් පෙනෙන්නට තිබේ. විලාසිතාවන් ගැන එකල සළකා තිබෙන්නේ ඉතා අඩු මට්ටමකිනි.

අතීතයේ උඩරට ප‍්‍රදේශයන්හි කපුරු වැවීම බහුලව සිදුවිය. උඩරට සිට අනුරාධපුරය දක්වා කපුරු වගා කෙරී ඇත. රොබට් නොක්ස්ගේ වාර්තා අනුව කපුරු යනු එකල ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට හුවමාරු කෙරුණු විශේෂිත වෙළඳ ද්‍රව්‍යයකි.

කඳුරට සමාජය තුළ රෙදිපිළි භාවිත වූ අන්දම (commons.wikimedia.org)

ලාංකීය පේෂකර්ම ශිල්පයේ ආරම්භය

ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඉන්දියානු ජනතාවද රෙදි සකස් කර ගැනීමට තණකොළ හා ගස් වැල් භාවිත කළ බව ‘සිඛ වළඳ විනිසෙ’හි සඳහන් වේ. නමුත් සද්ධර්ම රත්නාවලියෙහි සඳහන් සාධක අනුව මිනිසුන් සිරුරු ආවරණය කර ගැනීම සඳහා ඉන පටියක් හෝ පැළඳ සිට නැත. එහෙත් ශී‍්‍ර මහා බෝධිය මෙරටට වැඩම කෙරෙද්දී කුල 18 කට අයත් ශිල්පීන් පැමිණ තිබෙන අතර රෙදි වියන කුලයද ඒ අතර වූ බව සඳහන් වේ. ශී‍්‍ර මහා බෝධිය මෙරටට වැඩම කිරීමත් සමග රෙදිපිළි කර්මාන්තයේ ශිල්පීය නිපුණතාවන් සහිත පිරිස් මෙරටට පැමිණි බව ඒ අනුව අනුමාන කළ හැකිය.

ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවීම (dailynews.lk)

මහරත්මලේ ශිලා ලේඛනයෙන් හෙළි වන අන්දමට වැස්සෙන් ආවරණය සලසන තොප්පි සහ සළු නිෂ්පාදනය ඉපැරණි ඉතිහාසය තුලත් ලංකාවේ සිදු වී ඇතැයි මහාචාර්ය ඇල්ලවෙල මහතා සඳහන් කර තිබේ. ‘මස්ලින් යනුවෙන් හැඳින්වෙන ඉතා සුමුටු රෙදි වර්ගයක් ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදනය කර ඇති බවට සාක්‍ෂි හමු වී ඇති බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කර ඇත.

ධර්මාශෝක රජු දේවානම්පියතිස්ස රජු වෙත ගින්නෙන් පවිත‍්‍ර කළ හැකි ආකාරයේ ඇඳුම් කට්ටල දෙකක් ලබා දී තිබුණු බව සහස්සවත්තුපකරණයේ දැක්වේ. තවද ‘පෙරවි පට සැට්ට’ නමින් සිල්ක් හැට්ට වර්ගයක් ඉපැරණි ලංකාව තුළ භාවිත වී ඇති බව දම්පියාඅටුවා ගැට පදයෙහි සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා මාගම සිටියදී මල් හා සත්ත්ව මෝස්තර සහිත චීන රෙදි සියයක් රැගෙන එන ලෙස වෙළෙන්දෙකුගෙන් ඉල්ලීමක් කර ඇතැයිද සහස්සවත්තුපකරණයෙහි දැක්වේ. රසවාහිනියේ සඳහන් අන්දමට මාගම සටනින් පසු ගෝඨයිම්බර විසින් ඉදි කරන ලද පීඨීකාවේ දුටුගැමුණු රජ මල්වලින් සහ විචිත‍්‍ර රෙදිපිළිිවලින් සැරසී සිටි බව ද සඳහන් ව අැත.

ලාංකීය රජවරුන්ට උතුරු සළුව පැළඳීම අනිවාර්ය වී තිබුණු බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. රජවරුන් පමණක් නොව කුමර කුමරියන්ද උතුරු සළුව පැළැඳ සිට ඇත. රාමායනයෙහි දැක්වෙන අන්දමට සීතා කුමරිය නිතරම උතුරු සළුවක් පැළඳි බව වාර්තා වී තිබේ. තවද විජය රජු ඇතුළු අමාත්‍යවරුන්ට සරණපාවා ගැනීමට භාරතයෙන් කුමරියන් සෙවීමට අඬ බෙරකරුවෙකු යැවූ බවත්, තම දියණියව ලංකාවට යවා සරණ පාවා දීමට කැමති අය දෙකට නවන ලද සළුවකින් සිරුර ආවරණය කර නිවස ඉදිරියෙහි තබන ලෙසත් අඬබෙර ගැසූ බවත් මහාවංශයෙහි සඳහන්ය.

කවරයේ රූපය : (flickr.com)

මූලාශ‍්‍ර:

  1. JAAF (Joint  Apparel Association’s Forum of Sri Lanka)
  2. http://www.serendib.btoptions.lk
  3. www.exploresrilanka.lk
  4. ජන හා සංඛ්‍යාලේඛන
  5. රාමායණය
  6. සහස්සවත්තුපකරණය
  7. මහාවංශය
  8. එල්ලාවල, හේමා, පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය

Related Articles