Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

உயிரியல் விஞ்ஞானிகள் அறிந்திராத புதிய உயிரினங்கள் பசுபிக் சமுத்திரத்தில்

“2016 වර්ෂයේ දී පවා අපි තවමත් මේ ලෝකයේ සැඟවී තිබෙන දේවල් සොයා ගනිමින් සිටින බව සිතීම විශ්මයජනක හැඟීමක්. විශේෂයෙන් ම ඒ සොයා ගැනීම අඩි 20 කට වඩා දිගින් වැඩි ක්ෂීරපායී සත්ත්වයෙක් වීම ඇත්තෙන් ම පුදුමාකාර යි.”

මෙහෙම කියන්නේ ජාතික සාගරික සහ වායුගෝලීය සංවිධානයේ නිරිතදිග ධීවර විද්‍යා මධ්‍යස්ථානයේ සේවය කරන ගවේෂක අණුක ජාන විද්‍යාඥ ෆිලිප් ඒ. මොරීන්. ඔහු විසින් මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ 2016 වර්ෂයේ මැද බාගයේ දී පමණ ශාන්තිකර සාගරයෙන් අලුත් ම ජීව විශේෂයක් සොයා ගැනීමෙන් අනතුරු ව යි.

නිරිත දිග ධීවර විද්‍යා මධ්‍යස්ථානය  (archdaily.com)

ජපන් බසින් ‘කරාසු’ යනුවෙන් හඳුන්වන්නේ කපුටාව වුවත් මේ සොයාගත් අලුත් අමුත්තා පක්ෂියෙක් නම් නෙමෙයි, ගැඹුරු මුහුදේ දී පැහැදිලිව දැකිය නොහැකි තද කළු පැහැය නිසා ම ‘කරාසු’ ලෙස නම් ලද මහා හොටඋලා (Giant Beaked Whale) විශේෂයට අයත් තල්මසෙක්. සියවස් ගණනාවක් තිස්සේ මිනිස් ඇසින් වසන් වී ශාන්තිකර සාගරයේ සැඟ වී සිටි ඒ තල්මස් අමුත්තා ගැන තොරතුරු යි මේ.

හොකයිඩෝ වෙරළේ අමුතු තල්මසුන්

කරාසු තල්මසුන් ගැවසෙන ප්‍රදේශ (cetus.ucsd.edu)

ජපානයට අයත් හොකයිඩෝ දූපතේ උතුරු වෙරළ තීරයට 2013 වර්ෂයේ දී මියගිය තල්මසුන් තිදෙනෙක් ගොඩ ගැසුවා. මෙසේ මියගිය තල්මසුන් වෙරළට පාවී පැමිණීම එතරම් දුර්ලභ කරුණක් නොවුණත් මේ තල්මසුන් තිදෙනාම ජීව විද්‍යාඥයින් එයට පෙර දැක ඇති තල්මසුන් විශේෂයන්ට වඩා වෙනස් වුණා. උතුරු ශාන්තිකර සාගරයේ දී දක්නට ලැබෙන බෙයාඩ්ගේ හොටඋලා (Baird’s Beaked Whale) විශේෂ 22 කට ම වඩා කුඩා සහ අඳුරු පැහැයෙන් යුතු වූ මේ තල්මසුන් තිදෙනා, දිගින් අඩි 24 ක් පමණ වූ අතර රාත්තල් 16,000 ඉක්ම වූ බරකින් යුක්ත වුණා.

dr.dk

වෙරළට ගොඩ ගැසූ බෙයාඩ්ගේ හොටඋලෙක් නිරීක්ෂණය කරන ජපන් සිසුන්

අලුත් තල්මසුන් තිදෙනා කවුරුන් ද යන්න ගැන නිසි අදහසක් නොතිබීම හේතුවෙන් ඔවුන්ව ඩී. එන්. ඒ. පරීක්ෂණයන්ට ලක්කිරීමට ජීව විද්‍යාඥයින් තීරණය කළ අතර එයින් ලද ප්‍රතිඵල ඉඟි කළේ මේ තල්මසුන් තිදෙනා හොටඋලා විශේෂයට අයත් විය හැකි අලුත් ම තල්මසුන් විශේෂයක් විය හැකි බව යි. නමුත් පර්යේෂණ කණ්ඩායම් සතුව අවසාන නිගමනයකට එළැඹීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තිබුණේ නැහැ. මේ නිසාම ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීම ජාතික සාගරික සහ වායුගෝලීය සංවිධානයේ නිරිත දිග ධීවර විද්‍යා මධ්‍යස්ථානයේ සේවය කරන ගවේෂක අණුකජාන විද්‍යාඥ ෆිලිප් ඒ. මොරීන් ඇතුළු කණ්ඩායමට භාර වුණා.

ප්‍රිබිලොෆ් දූපත් සමූහයේ ශාන්ත ජෝර්ජ් දූපත

ශාන්ත ජෝර්ජ් දූපතට ගොඩ ගැසූ කරාසු තල්මසා (සොයා ගැනීමට කල් ගත වීම නිසා පිටත සම වියැකී ගොස් ඇත) (news.nationalgeographic.com)

විද්‍යාඥ ෆිලිප් ඒ. මොරීන් ඇතුළු කණ්ඩායම හොකයිඩෝ වෙරළෙන් හමු වූ තල්මසුන් තිදෙනා ගැන වැඩි දුර පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින අතරේ දී ඇලස්කාවේ බේරිං මුහුද මධ්‍යයේ පිහිටා ඇති ප්‍රිබිලොෆ් දූපත් සමූහයට අයත් ශාන්ත ජෝර්ජ් දූපතට මිය ගිය තල්මසෙකුගේ මළසිරුරක් ගොඩ ගැසුවා. පාළුවට ගිය වෙරළේ අර්ධ වශයෙන් වැළලී ගොස් තිබුණු මළසිරුර පළමුව දැක ඇත්තේ තරුණ ජීවවිද්‍යා ගුරුවරයෙක්. ඔහු වහාම එහි වාසය කළ ලොම් සහිත සීල් මසුන් පිළිබඳ ගවේෂකවරියකට මේ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ශාන්ත ජෝර්ජ් දූපතට ගොඩ ගැසූ කරාසු තල්මසාගේ සමීප සේයා රුවක් (news.nationalgeographic.com)

මියගිය තල්මසා ව නිරීක්ෂණය කිරීමට පැමිණි ගවේෂකවරිය දුටුවේ නිරතම දක්නට ලැබෙන ප්‍රමාණයෙන් තරමක් විශාල අළු පැහැති බෙයාඩ්ගේ හොටඋලෙකු යි. නමුත් සමීප අධ්‍යයනයකින් පසුව මියගිය තල්මසාගේ සම අඳුරු පැහැයෙන් වැඩි බවත්, පෘෂ්ඨීය වරල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සහ නම්‍යශීලී බවත් ඇය හඳුනා ගත්තා. එසේම මියගිය තල්මසා වැඩුණු බෙයාඩ්ගේ හොටඋලෙක් වීමට තරම් විශාල නොවුණ ද, ගෙවී ගිය කහ පැහැ දත් පැවසුවේ වෙනස්ම කතාවක්.

ජපන් ධීවර ජනශ්‍රැතීන් හි සඳහන් කරාසු තල්මසුන්

හොකයිඩෝ හි සාම්ප්‍රදායික ධීවර ජනතාව (gettyimages.com)

මෙසේ හමු වූ තල්මසුන් ගැන දිගින් දිගට ම පර්යේෂණයන් හි නිරත වූ විද්‍යාඥයින්ගේ අවසන් නිගමනය වූයේ හොකයිඩෝ වෙරළෙන් සහ ශාන්ත ජෝර්ජ් දූපතෙන් හමුවූයේ බෙයාඩ්ගේ හොටඋලා විශේෂයක් නොව එයට හාත්පසින්ම වෙනස් නවතම තල්මස් විශේෂයක් බවයි. ප්‍රමාණයෙන් කුඩා, තරමක් අමුතු පෙනුමක් හිමි මේ කාලවර්ණ අලුත් තල්මසුන් විශේෂය වසර ගණනාවක් තිස්සේ ජපන් ධීවරයින් හඳුන්වා ඇත්තේ ‘කරාසු’ යන නාමයෙන්.

දශක අටකට ආසන්න කාලයක් පටන් ජපන් ධීවරයින් කරාසු තල්මසුන් දැක ඇති බවට සාක්ෂි පවතිනවා. බොහෝමයක් ජපන් තල්මසුන් නරඹන්නන් ඔවුන්ව වාර්තා කර ඇත්තේ බෙයාඩ්ගේ හොටඋලා ලෙසයි. නමුත් අඩි 40 ක් පමණ දිගකින් යුක්ත බරින් රාත්තල් 24,000 ඉක්මවන අළු පැහැයෙන් යුතු බෙයාඩ්ගේ හොටඋලා තල්මසුන්ට වඩා කරාසු තල්මසුන් ප්‍රමාණයෙන් කුඩා වන අතරම පැහැයෙන් ද කාල වර්ණයට හුරු වෙනවා.

කරාසු තල්මසාගේ සිතුවමක් (cosmosmagazine.com)

කලාතුරකින් දකින්නට ලැබී ඇති කරාසු තල්මසුන් ජපානයේ හොකයිඩෝ දූපතට උතුරින් ඇති මුහුදු තීරය ආසන්නයේ ඇති නොමුරෝ සමුද්‍ර සන්ධියේ පමණක් ගැවසෙන අතර ඔවුන්ව දැකගැනීමට ලැබෙන්නේ ද වසන්ත ඍතුවේ දී පමණයි. එසේම කරාසු තල්මසුන්ගේ අඳුරු වර්ණය සහ සයුර මතුපිටට නොපැමිණ පිහිනීමට හැකියාව ලබාදෙන නම්‍යශීලී පෘෂ්ඨීය වරල හේතුවෙන් ඔවුන්ව මුහුදේ දී දැකීම ඉතා අපහසුයි.

කරාසු තල්මසුන් ගැන සාක්ෂි

ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ ඇති කරාසු තල්මසාගේ හිස් කබල (news.nationalgeographic.com)

කෙසේ නමුත් කරාසු තල්මසුන් ගැන සිදුකරන ලද සියලුම පර්යේෂණ සිදුකර ඇත්තේ මියගිය තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද නිදර්ශක යොදා ගනිමින් පමණයි. තවමත් ස්වභාවික වාසභූමියක දී කරාසු තල්මසුන්ව නිරීක්ෂණය කර නොමැති නිසා ඔවුන් පිළිබඳව විස්තරාත්මක තොරතුරු අනාවරණය කරගැනීමට විද්‍යාඥයින්ට හැකි වී නැහැ.

නමුත් පර්යේෂණ කටයුතු අතරතුර දී 1948 වසරේ දී එලූෂන් දූපත්හි දී සොයා ගන්නා ලද බෙයාඩ්ගේ හොටඋලෙකු ලෙස හඳුනාගෙන ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබුණු කරාසු තල්මස් හිස්කබලක් සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායම් සමත් වී තිබෙනවා. එසේම ලොස් ඇන්ජලීස් හි ස්වභාව ඉතිහාස කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණු ඇලස්කාවෙන් සොයා ගත් තවත් නිදර්ශකයක් ද මේ වන විට පර්යේෂකයන් සතු යි.

උනලස්කා උසස් පාසලේ ඇති කරාසු තල්මසාගේ සම්පූර්ණ සැකිල්ල (bbc.com)

මීට අමතරව 2004 වසරේ දී උනලස්කා දූපතට ගොඩ ගැසූ කරාසු තල්මසෙකුගේ පටක නිදර්ශක රැස් කර ගැනීමට පර්යේෂකයින් හැකි වී ඇති අතර එම තල්මසාගේ සම්පූර්ණ සැකිල්ල උනලස්කා උසස් පාසලේ ජීව විද්‍යා සිසුන් පාසල් විද්‍යාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අලුත් තල්මසාට අලුත් නමක්

අලුත් තල්මස් විශේෂයක් ලෙස නිශ්චිතව හඳුනා ගත්ත ද තවමත් අලුත් අමුත්තාට විද්‍යාත්මක නාමයක් ලබා දී නැහැ. මේ නිසා තවමත් ඔවුන් හඳුන්වන්නේ කරාසු තල්මසුන් ලෙස යි. නමුත් අලුත් අමුත්තාට නමක් ලබාදීම සඳහා ජපන් පර්යේෂකයන් මේ වන විට ඊට අවශ්‍ය කරන නිල කාර්ය පටිපාටිය අනුගමනය කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව නුදුරේදීම කරාසු තල්මසුන් සඳහා විද්‍යාත්මක නාමයක් සහ පොදු නාමයක් හිමි වනු ඇති අතර ම ඔවුන් පිළිබඳව නිශ්චිත තොරතුරු සහ ඔවුන් අනෙකුත් හොටඋලන්ගෙන් වෙනස්වන අයුරු දැන ගැනීමට ද සත්ත්ව ලෝකය ගැන උනන්දු සැමට අවස්ථාව ලැබෙනු ඇත.

කවරයේ පින්තූරය : (wallpapersafari.com)

Related Articles