Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ඉතිහාසය

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් වන කොළොම්බියාව එතරම් සාමකාමී රටක් නොවෙයි. ඈත අතීතයේ සිටම කොළොම්බියාව තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබුණේ ගරිල්ලා සංවිධාන සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් රටපුරා ඇතිකරන ලද භීෂණකාරී තත්ත්වය නිසා යි. එහි දී කොළොම්බියානු මත්ද්‍රව්‍ය රජවරුන් වශයෙන් සැලකූ පැබ්ලෝ එස්කොබාර් සහ මිගෙල් ඔරෙජුවාලා මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් ලැබෙන මුදලින් එරට දේශපාලන කටයුතු හසුරවද්දී විවිධ ගරිල්ලා කණ්ඩායම් එරට ආරක්ෂක අංශයන් සමග සටනට පිවිසුණා. කොළොම්බියානු ආරක්ෂක අංශවලට එරෙහිව සටන් කළ ප්‍රධානතම ගරිල්ලා කණ්ඩායම වුණේ ෆාර්ක් සංවිධානය යි. 

පැබ්ලෝ එස්කොබාර් (gettyimages)  

1948 දී කොළොම්බියාවේ දේශපාලන ගැටුම් ඇරඹුණු හැටි 

1930-1946 කාල සමය තුළ කොළොම්බියාවේ ලිබරල් පක්ෂය විසින් එරට පාලනය කෙරුණා. එම පාලන කාලයේ දී ඔවුන් හඳුන්වාදුන් ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නිසා කොන්සර්වේටිව් පක්ෂයේ බොහෝදෙනෙකුට සිය ඉඩම් අහිමිවුණා. 

වසර 16ක් විපක්ෂයේ සිටි කොන්සර්වේටිව් පක්ෂයට යළි බලය ලබාගැනීමට හැකිවුණේ 1946 ජනාධිපතිවරණයේ දී යි. ලිබරල් පක්ෂය තුළ මතුව තිබුණු අභ්‍යන්තර අර්බුදයක් නිසා ජෝජ් ගයිටන් සහ ගේබ්‍රියල් ටර්බේ යන ලිබරල් පක්ෂ අපේක්ෂකයන් දෙදෙනාම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණා. ලිබරල් පාක්ෂිකයන්ගේ ඡන්ද දෙදෙනෙකු අතර බෙදීගිය නිසා මරියානෝ ඔස්පිනා පෙරේස් නම් කොන්සර්වේටිව පක්ෂ අපේක්ෂකයා 41.4%ක ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

කොන්සර්වේටිව් පක්ෂය විපක්ෂයේ සිටි කාලයේ දී ලිබරල් පාක්ෂිකයන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වුණු නිසා ඔවුන් බලයට පැමිණි විගසම ලිබරල් පාක්ෂිකයන්ට හිරිහැර කරන්නට පටන් ගත්තා. දෙපාර්ශවය අතර ඇතිවුණු එම ගැටුම් අතරතුර පෙර කී ජෝර්ජ් ගයිටන් වෙඩි තබා මරාදැමුනා. 1948 අප්‍රේල් 9 වැනිදා වාර්තා වුණු එම සිදුවීමෙන් පසුව ලිබරල්වාදීන්ට වැඩි බලයක් තිබුණු නගරවල කැරලි ඇතිවුණා. ලිබරල්වාදීන් ආරම්භ කළ කැරලි මැඩපැවැත්වීම සඳහා කොන්සර්වේටිව් පාක්ෂිකයන්ට අවි ආයුධ ලබාදීමට එවකට සිටි රජය කටයුතු කළා. එසේම පොලිසියේ සහාය ද ඒ සඳහා ලබාදුන්නා.

ජෝර්ජ් ගයිටන්ට වෙඩි වැදීමෙන් පසුව (CGTN America) 

ලිබරල් සහ කොමියුනිස්ට් පාක්ෂිකයන් එකතු වෙයි 

ලිබරල් ආධාරකරුවන්ට පහර පිට පහර එල්ලවන විට ඔවුන් වනගත ප්‍රදේශවලට එකතු වී කොන්සර්වේටිව් පක්ෂ රජය පෙරළා දැමීමට සැලසුම් කළා. එහි දී කොමියුනිස්ට් පාක්ෂිකයන්ගේ සහාය ද ඔවුන්ට හිමි වුණා. රජයට එරෙහිව එකතු වුණු පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් කුඩා ගොවීන් සහ ඉඩම් කම්කරුවන් ලෙසින් රැකියාවේ නිරතව සිටියා. රජයට එරෙහිව පෙළගැසුණු 10000ක පමණ කැරලිකරුවන් අතරින් වඩාත් කැපී පෙනුනේ මැනුවෙල් මරුලන්ඩා නැමැති පුද්ගලයා යි. 

මැනුවෙල් මරුලන්ඩා ඇතුළු පිරිස කොන්සර්වේටිව් පක්ෂ රජයට එරෙහිව සටන් වදිද්දී අසීරු අවස්ථාවන් රැසකට මුහුණදෙන්නට සිදුවුණා. 1955 වසරේ දී කොළොම්බියානු රජය ඇමරිකාවෙන් විශාල ණය මුදලක් ලබාගෙන කඳුකර පෙදෙස්වල රැඳීසිටි ගරිල්ලා භටයන්ට ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවල බලපෑම නිසා මැනුවෙල් මරුලන්ඩා ඇතුළු පිරිසට ඇන්ඩීස් කඳු පාමුල පිහිටා තිබුණු වනාන්තර ප්‍රදේශ දක්වා පසුබැසීමට සිදුවුණා. ඉන්පසු මැනුවෙල් මරුලන්ඩාට එම ප්‍රදේශයේ සිටි මාක්ස්වාදී දර්ශනයක් තිබුණු පුද්ගලයෙකු හමුවුණා. යාකොබෝ අරීනාස් නමින් හැඳින්වුණු ඔහු මරුලන්ඩාගේ ගරිල්ලා භටයන් සමග එකතුවුණා.

1948-1958 කාලයේ දී කොළොම්බියාවේ ඇතිවුණු ගැටුම් (CGTN America)  

ෆාර්ක් ගරිල්ලා සංවිධානය ආරම්භ වීම 

මරුලන්ඩා සහ අරීනාස් එකතුවීමෙන් පසුව කොන්සර්වේටිව් රජයට එරෙහිව සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට හැකියාව ලැබුණා. එනමුත් ඔවුන් බලාපොරොත්තු නොවුණු ආකාරයට 1958 වසරේ දී ලිබරල් සහ කොන්සර්වේටිව් පක්ෂවල ප්‍රභූවරුන් එකඟතාවයකට පැමිණියා. කෙසේ නමුත් ඉඩම් ගැටුම් නිරාකරණය වී නොතිබුණු නිසා ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රචණ්ඩ ක්‍රියා එලෙසම පැවතුණා. ඒ වන විට ලිබරල් ආධාරකරුවන් රැසක් ගරිල්ලා කණ්ඩායම හැරගොස් සිටියා. එම නිසා මරුලන්ඩා සහ අරීනාස් සමග සිටි වැඩි දෙනෙකු  කොමියුනිස්ට් පාක්ෂය සමග දේශපාලනයේ නිරතව සිටි අය යි.

1964 වසර පමණ වන විට කොළොම්බියා ගරිල්ලන්ගේ ක්‍රියාකාරකම් නිසා රජය දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. රජයට අවශ්‍ය වුණේ සම්පූර්ණයෙන්ම කොළොම්බියා ගරිල්ලන් විනාශකර දැමීමට යි. ඒ සඳහා පිඹුරුපත් සකස් කළ කොළොම්බියා ආරක්ෂක අංශ, 16000ක පමණ භට පිරිසක් ගුවනින් සහ ගොඩබිමෙන් කොළොම්බියා ගරිල්ලන් සිටි ප්‍රදේශය වෙත යවනු ලැබුවා. 

1964 මැයි 27 වැනිදා කොළොම්බියා හමුදා විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මරුලන්ඩා ඇතුළු පිරිස අසීරු තත්ත්වයකට පත්වුණා. එම අවස්ථාවේ ගරිල්ලන් 50කට ආසන්න පිරිසක් දිවි බේරාගෙන කෝකා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශය වෙත පළා ගියා. එලෙස කඳුකරයට පළාගිය ගරිල්ලන් පිරිස එකතු වී ෆාර්ක් නම් ගරිල්ලා සංවිධානය පිහිටුවා ගත්තා. ෆාර්ක් (FARC) යන කෙටි යෙදුමේ  දිගු අර්ථය වුණේ “කොළොම්බියාවේ විප්ලවවාදී සන්නද්ධ හමුදා” යන්න යි. 

මැනුවෙල් මරුලන්ඩා (FT)

ෆාර්ක් ගරිල්ලන් සටන් වැදුණේ කා සමග ද?

1964 වසරේ දී කොළොම්බියානු හමුදාවන් එල්ල කළ දැවැන්ත ප්‍රහාරය හමුවේ ගරිල්ලා භටයන් රැසක් මරණයට පත්වුණා. ජීවිතය බේරාගෙන කඳුකරයට පළාගිය ගරිල්ලා භටයන් කොළොම්බියානු ආරක්ෂක අංශ සමග බද්ධ වෛරයෙන් පසුවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ෆාර්ක් නම් සංවිධානය පිහිටුවා ගත්තේ කොළොම්බියානු ආරක්ෂක අංශවලට ප්‍රහාර එල්ලකිරීම සඳහා යි. මුල් යුගයේ දී එම අරමුණ ඇතිව ආරම්භ වුණු ෆාර්ක් සංවිධානය පසු කලෙක කොළොම්බියාවේ සිවිල් වැසියන්ට ද දැඩි හිසරදයක් වුණා. ඒ ෆාර්ක් ගරිල්ලන් මුදල් සොයාගැනීම සඳහා සිදුකළ ක්‍රියාකාරකම් නිසා යි.

ෆාර්ක් ගරිල්ලන් (Aljazeera)

 ෆාර්ක් ගරිල්ලන් මුදල් සොයාගත් හැටි 

ෆාර්ක් සංවිධානය ආරම්භ කළ අවධියේ දී ඔවුන්ගෙන් කොළොම්බියානු ආරක්ෂක අංශවලට සැලකිය යුතු තරම් තර්ජනයක් එල්ල වුණේ නැහැ. ඒ, ෆාර්ක් සංවිධානය සතුව කුඩා ගරිල්ලා භටයන් ප්‍රමාණයක් සිටි නිසා යි. නමුත් ෆාර්ක් ගරිල්ලන්ට ක්‍රමයෙන් පිරිස එකතුවෙද්දී ඔවුන් ආරක්ෂක අංශවලට එරෙහිව හොඳින් සැලසුම් කළ ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සමත් වුණා. එනිසා කොළොම්බියානු ආරක්ෂක අංශ ද ෆාර්ක් ගරිල්ලන් සමග සටනට පිවිසුණා. එම සටන්වල දී භාවිතා කිරීමට විශාල අවි ආයුධ ප්‍රමාණයක් ගරිල්ලන්ට අවශ්‍ය වුණා. නමුත් ආයුධ මිල දී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රමාණයක් ගරිල්ලන් සතුව තිබුණේ නැහැ.

ගරිල්ලන් ධනවත් ඉඩම් හිමියන්ගේ මුදල් මංකොල්ලකන්නට පටනගත්තා. එසේම ධනවත් ප්‍රභූවරුන්, ඉඩම් හිමියන්, ව්‍යාපාරිකයන් වැනි උදවිය පැහැරගෙන ගොස් කප්පම් ලබාගත්තා. එමඟින් ෆාර්ක් සංවිධානය නඩත්තු කරගෙන යාමට හැකිවුණා. කොළොම්බියානු ආරක්ෂක අංශ මඟින් එල්ලවුණු තර්ජන ක්‍රමයෙන් වැඩි වෙද්දී ෆාර්ක් සංවිධානයට තවත් පිරිස් බලය අවශ්‍ය වුණා. නමුත් ප්‍රමාණවත් තරම් පිරිසක් සිය කැමැත්ත ඇතිව ෆාර්ක් ගරිල්ලන් සමග එකතු වුණේ නැහැ. එම නිසා ඔවුන් ළමුන් පැහැරගෙන සිය ගරිල්ලා ක්‍රියාකාරකම් සඳහා යොදාගත්තා. ෆාර්ක් සංවිධානය පුළුල් වෙද්දී මංකොල්ලකෑම් සහ කප්පම්ගැනීම් මඟින් ලැබුණු මුදල් ප්‍රමාණය සංවිධානයේ නඩත්තු කටයුතු සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ.

ෆාක් ගරිල්ලන් 1970 දශකයේ අග භාගයේ දී කොකේන් ජාවාරම ආරම්භ කළා. එමඟින් විශාල ආදායමක් ලැබුණු නිසා ෆාර්ක් ගරිල්ලන්ට කොළොම්බියා හමුදාවන් සමග කිසිදු ගැටලුවකින් තොරව සටන් කිරීමට හැකියාව ලැබුණා. 1980 දශකය ආරම්භ වන විට ෆාර්ක් සංවිධානයේ ක්‍රියාකාරකම් එරට රජයට ප්‍රබල අභියෝගයක් වී තිබුණා. නමුත් 1982 වසරේ දී කොළොම්බියාවේ ජනාධිපතිවරයා වශයෙන් බෙලිසාරියෝ බෙටන්කූර් තේරී පත්වීමත් සමගම ෆාර්ක් ගරිල්ලන්ට සාම සාකච්ඡා සඳහා ආරාධනා කෙරුණා.

දේශපාලනයට පිවිසෙයි 

ෆාර්ක් සංවිධානය සහ කොළොම්බියා අතර මුල්ම වරට පැවැත්වුණු සාම සාකච්ඡා සාර්ථක වුණා. එම නිසා 1984 වසරේ මැයි මාසයේ දී යූරිබ් නම් ගිවිසුම අත්සන් කළා. ඒ අනුව 1984-1987 කාල සමය තුළ දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වුණා. එම කාලයේ දී ෆාර්ක් ගරිල්ලන්ගේ ද සහයෝගය ඇතිව දේශප්‍රේමී සංගමය නමින් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කළා. 1986 වසරේ පැවති කොළොම්බියානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණු එම පක්ෂය ලක්ෂ 3කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා.

ෆාර්ක් ගරිල්ලන් යළි අවි අතට ගනියි 

ෆාර්ක් ගරිල්ලන් සහාය දක්වන පක්ෂයේ සාර්ථකත්වය නිසා තරමක් කැළඹීමකට ලක්වුණු කොළොම්බියානු රජය යූරිබ් ගිවිසුම කඩ කරමින් ක්‍රියා කරන්නට පටන් ගත්තා. ඒ වන විට සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටි ෆාර්ක් ගරිල්ලන්ට යළි කොළොම්බියානු හමුදාවෙන් ප්‍රහාර එල්ලවන්නට පටන් ගත්තා. එසේම එරට සිටි ධනවතුන් විසින් පිහිටුවාගැණුනු මැර කල්ලි ද ෆාර්ක් ගරිල්ලන්ට ප්‍රහාර එල්ල කළා. ඊට අමතරව එම මැරයන් සිවිල් වැසියන්ට අඩන්තේට්ටම් කරමින් ඒවා ෆාර්ක් ගරිල්ලන්ගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කළා. ඔවුන් බලාපොරොත්තු වුණේ ෆාර්ක් ගරිල්ලන් කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ ඇතිව තිබුණු ප්‍රතිරූපයට හානි කිරීම යි.

කොළොම්බියානු රජය ගිවිසුම කඩකිරීමත් සමගම ෆාර්ක් ගරිල්ලන් යළි ආයුධ අතට ගත්තා. එවිට පෙර සිටියාටත් වඩා වැඩි පිරිසක් ෆාර්ක් ගරිල්ලන් සමග එකතු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ෆාර්ක් ගරිල්ලන්ගේ ක්‍රියාකාරකම්වල වර්ධනයක් සිදුවන ආකාරය දක්නට ලැබුණා. එය කොළොම්බියා රජයට හිසරදයක් වුණු නිසා නැවතත් ෆාර්ක් ගරිල්ලන් සමග සාම සාකච්ඡා පැවැත්වීමට තීරණය කළා. නමුත් ෆාර්ක් ගරිල්ලන් ඒ  සඳහා එකඟ වුණේ නැහැ.

ෆාර්ක් ගරිල්ලන් අඩපණ වීම 

2002 කොළොම්බියානු ජනාධිපතිවරණයෙන් අල්වාරෝ යුරිබේ ජයග්‍රහණය කළා. ඔහු මැතිවරණ සමයේ දී ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් ෆාර්ක් සංවිධානය මර්ධනය කිරීම සඳහා සිය උපරිම ශක්තිය යෙදුවා. ඒ සඳහා ඔහුට ඇමරිකාවෙන් මූල්‍යමය ආධාර ලැබුණා. එම කාල සමයේ දී කොළොම්බියා හමුදා එල්ලකළ ප්‍රහාර හමුවේ ෆාර්ක් ගරිල්ලන්ගේ ප්‍රබල සාමාජිකයන් කිහිපදෙනෙකුම මරණයට පත්වුණා. එසේම 2008 වසරේ දී මැනුවෙල් මරුලන්ඩා ද හෘදයාබාධයක් වැළඳීමෙන් මියගියා. ඔහුගෙන් පසුව ෆාර්ක් ගරිල්ලන්ගේ නායකයා වුණු අල්ෆොන්සෝ කැනෝ ද බෝම්බ ප්‍රහාරයක් නිසා මරණයට පත්වුණා. එම නිසා 2016 වසර පමණ වන විට ෆාර්ක් ගරිල්ලන්ගේ බලය අඩපණ වී තිබුණා. 

සාම මාවතට පිවිසීම 

ෆාර්ක් ගරිල්ලන්ගේ බලය ක්‍රමයෙන් අඩපණ වුණු නිසා ඔවුන් 2016 වසරේ සිට නැවතත් එරට රජය සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. 2017 වසරේ දී ඔවුන් ආයුධ බිම තබා දේශපාලන ප්‍රවාහයට පිවිසියා. ඒ අනුව වර්තමානය වන විට ෆාර්ක් ගරිල්ලන් එරට දේශපාලනයේ නිරතව සිටිනවා. අද වන විට එරට තුළ පවතින්නේ තරමක් සාමකාමී වාතාවරණයක්.

කවරයේ ඡායාරූපය- කඳුකරයේ සිටින ෆාර්ක් ගරිල්ලන් (Time.com)

මූලාශ්‍රයයන්- nacla.org 

Related Articles