Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොකර්බි සහ ලොකු බොරු

1988 දෙසැම්බර් 21 වන දින ස්කොට්ලන්තයේ ලොකර්බි නුවරට කඩා වැටුනු PAN AM යානයේ පරික්ෂණය පිළිබඳ තොරතුරු අපි පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. එහිදී ලිබියාවේ අල් මෙග්‍රාහී වැරදිකරුවකු වූ බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සලකා බලා සානුකම්පිත හේතුන් මත නිදහස් වූ බවත් ඒ ලිපිය කියවූ ඔබ දන්නවා. මේ සිද්ධිය, සිද්ධි දාමයක් ලෙස ඇදීගිය අතර අල් මෙග්‍රාහී මෙම සිද්ධියට ඈඳීමට හේතුවූයේ, ඔහු මෝල්ටාවේ දී මිලදී ගත් කමිසයක් හා කුඩයක් මෙම යානය පිපිරීමට හේතු වූ බෝම්බය සහිත බෑගයේ තිබී සොයා ගැනීම යි. එමෙන්ම මෙම බෝම්බය තිබුණේයැ යි සැක කරන ලද පරිපථ කොටස් ස්විසර්ලන්තයෙන් ලිබියාවට ආනයනය කරන ලද ඒවා බැවින්, මෙහි සැකය ලිබියානු නායක ගඩාපිගේ සෘජු අනුදැනුම මත අල් මෙග්‍රාහී විසින් කරන ලද්දක් බව අවසානයේ තීරණය වුණා. ඔබ මෙම ලිපිය කියවන්නට පෙර, පෙර ලොකර්බි පිපිරීම සම්බන්ධයෙන් ලියැවුණු ලිපිය කියවන්නේ නම් වඩා උචිත යි. 

සැළකිය යුතු යි: මේ ලිපිය ලියැවෙන්නේ ලොකර්බි සිදුවීම කුමන්ත්‍රණයක් බව කියන, නීතියෙන් සහ රජයෙන් සත්‍ය සිද්ධිය යට ගැසූ බව කියන පිරිසකගේ ප්‍රකාශයන් අළලා යි. 

එහෙත් මෙම තීරණය සැලසුම් සහගතව කළ දෙයක් බවත්, ලිබියාවේ තෙල් සම්පත කොල්ලකෑම සඳහා ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ලිබියාව හිරකිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බවත් ඇතැම් ගවේශනශීලී මාධ්‍ය ආයතනයන් හා නිරීක්ෂක කණ්ඩායම් සැක පහළ කළා. මෙයින් වැඩි පිරිසකට අනුව බෝම්බය මෝල්ටාවේ සිට නොව එංගලන්ත හීතෲ ගුවන්තොටින් ගුවන් යානයට ඇතුළුකර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය කාල බෝම්බයක් නම් පහසුවෙන් මුහුදට ඉහළින් පුපුරා යන ලෙස සැලසුම කළ හැකිව තිබූ බවත්, ලොකර්බි වැනි ප්‍රදේශයක අහසේ පුපුරවා හරිනවාට වඩා, ගුවන් ගමනේ වැඩිදුරක ඇති මුහුදට ඉහළින් පුපුරවා දැම්මේ නම් සාක්ෂ්‍ය සැඟවීම පහසු යි. එය කාල බෝම්බයක් නම් සාක්ෂ්‍ය ඉතිරි වන සේ ලොකර්බි අහසේ පුපුරවා හැරියේ ඇයි? ඔවුනට අනුව මෙය කාල බෝම්බයක් නොව, කිසියම් උසක දී පුපුරා යන ලෙස බැරෝමීටයක් ඇටවූ දෙයක්. එසේ නම් මෙම බෝම්බය මෝල්ටාවෙන් ගුවන්ගත වීම පිළිගත නොහැකියි්කේ, එසේ වූයේ නම් බෝම්බය මීට කලින් පිපිරිය යුතු බැවින්. 

ලොකර්බි සිද්ධියේ නීති කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ නව මතයන් ඉදිරිපත් කළ කිහිපදෙනෙකු සිටියා. මේ ගැන ආන්දෝලාත්මක හෙලිදරව්වක් කරන ලද්දේ ලොකර්බි සිද්ධියේ එකම වරදකරු වූ අල් මැග්‍රාහී විසින් කරන ලද අභියාචනාවේ නීතිඥ ජෝජ් තොම්සන්. ජෝජ් තොම්සන්, අල් මෙග්‍රාහී දිනපතාම පාහේ මුණ ගැසීමට සිරගෙදරට ගොස් තිබුණා. මුල දී ඔහු හා කතා කිරීම ප්‍රතික්ෂේප කළ මෙග්‍රාහී පසුව ඔහු හා කතා කරමින් නිරන්තරයෙන්ම තමන්ගේ නිර්දෝශීභාවය ප්‍රකාශ කර තිබුණා.

ස්කොට්ලන්ත නීතියට අනුව සොයා ගන්නා සෑම සාක්ෂ්‍යයක්ම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අතින් සහතික කළ යුතු යි. නමුත් තොම්සන්ට අනුව මෙම සහතික කිරීම්වල ගැටළු මතුව තිබෙනවා. මැග්‍රාහී මෙම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ කරගන්නේ ඔහු මෝල්ටාවේ දී මිලට ගත් අළු පැහැති කමිසයක් හේතුවෙන්. එනිසා මෙම කමිසයේ කොටස් ඉතා වැදගත් සාක්ෂ්‍ය බවට පත්වීම ස්වාභාවික යි. එහෙත් ස්කොට්ලන්තය ජර්මනියට ලබාදුන් කමිස කොටස් හා ස්කොට්ලන්තය උසාවියට ඉදිරිපත් කළ කමිස කොටස් අතර වෙනස්කම් පවතිනවා. විශේෂයෙන්ම ස්කොට්ලන්තය උසාවියට ඉදිරිපත් කළ කමිස කොටස් වඩා හානි වී තිබිම පුදුම සහගත යි. ඊටත් වඩා පුදුම සහගත වන්නේ මුල දී “ඇදුම්” ලෙස වර්ගීකරනය කර තිබූ මෙම කොටස, පසුව “සුන්බුන්” ලෙස වර්ගීකරණය කිරීම යි. එම වෙනස පහත දැක්වෙනවා.

 
වෙනස් කෙරුණු සාක්ෂ්‍ය/ Al Jazeera English

එමෙන්ම ලොකර්බි සිද්ධියේ සාක්ෂ්‍යපත්‍ර 800කින් අති විශාල ප්‍රමාණයක පසුව නිවැරදිකිරීම් ගණනාවක්ම සිදු වී තිබිමත් මෙම සැකය තවත් වැඩි කරන බව මේ තොම්සන් පැවසුවා.

මේ ගැන වැඩිදුර පරීක්ෂණ සඳහා 2011 දී නීතිඥ ජෝජ් තොම්සන් මෝල්ටාවට යනවා. පසුගිය ලිපියෙන් අප කතා කළ පරිදි ලොකර්බි සිද්ධිය මෝල්ටාවට ගැට ගැසෙන්නේ, අල් මෙග්‍රාහීගේයැ යි කියන කමිසය මෝල්ටාවේ නිපදවා තිබීම නිසා යි. එම කමිසය ටෝනි ගෞචි නම් අයගේ සාප්පුවෙන් මිලට ගත් බවට ගෞචි දෙන ලද සාක්ෂ්‍යය මෙම නඩුවේ අතිශය තීරණාත්මක සාක්ෂ්‍යය යි. 1989 සැප්තැම්බර් 1 වෙනිදා ටෝනි ගෞචි ලබාදුන් සාක්ෂ්‍යයට අනුව අල් මෙග්‍රාහී සාප්පුව වැසීමට ආසන්න අවස්ථාවේ පැමිණ ජැකට් එකක් ඉල්ලා තිබෙනවා. ගෞචි, අල් මෙග්‍රාහීගේ ඇඳුමේ ප්‍රමාණය විමසා ඇති අතර, එහිදී මෙග්‍රාහී තමන් මෙය මිලට ගන්නේ තමා සඳහා නොවන බව පවසා තිබෙනවා. සාක්ෂ්‍ය දීමේ දී, සිදුවීමට මාස කිහිපයකට පෙර මෙම නන්නාඳුනනා තැනැත්තා මිලට ගත සියළුම අයිතමයන්ගේ ගණන් පමණක් නොව, ඔහු තමාට ලබා දුන් මුදල හා නෝට්ටු වර්ග පවා ගෞචිට මතක තිබුණා.

ටෝනි ගෞචිගේ අරුම පුදුම මතකය/ Al Jazeera English

2001 දී ද සංචාරකයෙකු ලෙස මෝල්ටාවට පැමිණි ජෝජ් තොම්සන් ටෝනි ගෞචි මුණගැසී, එම හමුව රහසිගත ලෙස පටිගත කර තිබුණා. එම කතාබහට අනුව ස්කොට්ලන්ත ටෝනි ගෞචි අතිශය වියදම් සහගත සංචාරයන්හි ගෙන ගොස් තිබුණා. එනිසා ටෝනි ගෞචි සාක්ෂ්‍ය දීම සඳහා පෙර පුහුණු කරන ලද බවට සැක මතුවුණා.     

තවත් සැක උපදවනසුළු කරුණක් වන්නේ, ටෝනි ගෞචි විසින් මුල දී ඉතා පැහැදිලිව දුන් සාක්ෂ්‍යයේ අල් මෙග්‍රාහී මිලට ගත්තායැ යි කියන බඩු ලැයිස්තුවේ මෙම ප්‍රශ්නකාරි කමිසය ඇතුලත් නොවීම යි. 1990 ජනවාරියේ දී ටෝනි ගෞචිගෙන් නැවත ප්‍රශ්න කිරීමේ දී තමන් ඔහුට කමිසයක් විකිණුවේ නැති බව කියා සිටියා.

“That Time when the man came, I am sure I did not sell him a shirt” – මුලින් දුන් සාක්ෂ්‍යය/ Al Jazeera English

 

එහෙත් එම වසරේ සැප්තැම්බර් මස ටෝනි ගෞචි තවත් කට උත්තරක් දෙමින් කියා සිටින්නේ, තමන් තමන්ගේ සාප්පුව අස්පස් කරමින් සිටිය දී කමිස පෙට්ටි වගයක් දැකීමෙන්, අල් මෙග්‍රාහී බේජ් වර්ණ කමිස මිලට ගත් බව තමන්ට මතක් වූ බව යි. එහෙත් පසුව මෙම “බේජ්” යන වචන කපා ඉවත් කොට තිබුනා. 

සාක්ෂ්‍යවල බේජ් යන වචනය කපා තිබූ අයුරු/ Al Jazeera English

එමෙන්ම ටෝනිගේ සාක්ෂ්‍යයේ දි මෙම ප්‍රශ්නගත කමිසයේ කර ප්‍රමාණය 16 1/2″ බව සඳහන් කෙරුනා. එහෙත් ජෝජ් තොම්සන් කමිස නිෂ්පාදකයෙකු හමුවී ඒ ගැන විමසීමේ දී එම නිෂ්පාදකයා පවසා ඇත්තේ, මෙම කමිසය කුඩා පිරිමි දරුවකුගේ කමිසයක් බවට තමන් ස්කොට්ලන්ත පොලිසිය හමුවේ සාක්ෂ්‍ය දුන් නමුදු තමන් උසාවිය වෙත කැඳවීමක් නොලද බව යි. 

ටෝනි ගෞචිගේ තවත් සාක්ෂ්‍යයකින් කියවුනේ අල් මෙග්‍රාහී ඔහුගෙන් කුඩයක් මිලදී ගත්තේ ඒ වේලාවේ දී එම ප්‍රදේශයට වර්ෂාපතනයක් තිබූ නිසා යනුවෙන්. නමුත් මෙග්‍රාහීගේ ගුවන් ගමන් සැලසුම් අනුව ඔහුට මෙම කඩයට යා හැකිව තිබූ  එකම දිනය දෙසැම්බර් 7 වෙනිදා යි. කාලගුණ වාර්තා අනුව, එදින එම ප්‍රදේශයට පස්වරු 5 -7 අතර කාලයේ වර්ෂාවක් වැටී තිබුනේ නැහැත. වර්ෂාව වැටී තිබුනේ ඊට කිලෝමීටර් පහකට පමණ එපිට ප්‍රදේශයකට යි. මෙම කුඩය ද ලොකර්බිහි ගුවන් යානය අනතුරට ලක් වූ ප්‍රදේශයේ දී සොයාගත් අතර, එය ද අල් මෙග්‍රාහීගේ සාක්ෂ්‍යය සඳහා යොදාගත්තා. ටෝනිගේ පරස්පර කතා අතර තවත් අවුල් සහගත ප්‍රකාශයක් දක්නට ලැබුණා. ඔහුට අනුව අල් මෙග්‍රාහී ඔහුගේ කඩයට පැමිණි දිනයේ දී එම ප්‍රදේශයේ වාර්ෂිකව සිදුකරන පරිදි නත්තල සඳහා විදිවල විදුලි බුබුළු දල්වා තිබී නැහැ. නමුත් නිල වාර්තාවල සඳහන් වන පරිදි 1988 වසරේ නත්තල සඳහා වීදි ආලෝකමත් කිරීම අරඹා ඇත්තේ දෙසැම්බර 6 වෙනිදා යි.  

මෙම පරීක්ෂණවල දී මුලින් සැක කරන ලද්දේ පිපිරුම සිදුකරන ලද්දේ බැරෝමීටරයක් මඟින් පුපුරා යන බෝම්බයකින් බව යි. අල් මෙග්‍රාහීගේයැ යි සැක කෙරෙන සූට්කේස් කැබලි අතර පරිපථයක කොටසක් තිබී හමුවූ අතර, එම පරිපථ ස්ව්ට්සර්ලන්තය ලිබියාවට අපනයනය කරන ලද රේඩියෝවක කොටස් බව හෙළිවුණා. ඒ අනුව ලොකර්බි බෝම්බ සිද්ධියට ලිබියාව ගැටගැසුනා. එහෙත් හේයිස් නම් වෝහාරික විශේෂඥයෙකු එම කැබැල්ල පිළිබඳ සාක්ෂ්‍යය පසු කලෙක ලොග් පොතට ඇතුළත් කර ඇති බව පැහැදිලියැ යි මෙය කුමන්ත්‍රණයක් බවට සැකකරන පිරිස් චෝදනා කරන්නේ, ඉන් පසුව ඇති ලොග් පොතේ පිටු අංක එකකින් වැඩි කර ඇති නිසා යි. විශේෂයෙන්ම නඩු කටයුත්තක දී ලොග් පොතක් අතරට පිටු එකතුකිරීම නොකළ යුතු නමුත් එසේ සිදුවී තිබුණා. හෙයිස්ට අනුව මෙම පරිපථ කැබැල්ල අල් මෙග්‍රාහී මෝල්ටාවේ දී මිලට ගත් කමිස කැබලි අතර එතී තිබී සොයා ගෙන ඇත්තේ 1989-මැයි-12 වන දින යි. එහෙත් ජර්මනියේ පරීක්ෂණ කණ්ඩායම්වලට අනුව මෙම කැබැල්ල සොයාගෙන ඇත්තේ 1990-ජනවාරි-22 වන දින යි. මෙය ස්කොට්ලන්ත උසාවිය නොසලකා හැර තිබුණා. ඒ අනුව මෙම නඩු විභාගයේ වැදගත් සාක්ෂ්‍ය වන අළු පැහැති කමිසයේ මෙන්ම, පරිපථයේ ලොග් පත්‍ර වෙනස් කිරීම ද ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති බවට ජෝජ් තොම්සන් චෝදනා කර තිබුණේ මෙම කරුණු මත පිහිටා යි.

නඩුවක තවත් වැදගත් අවස්ථාවක් වන්නේ චූදිතයා හඳුනාගැනීම යි. ටෝනි ගෞචිගේ සාක්ෂ්‍යවලින් සැකකරු තමන්ට ලිබියානු භාෂාවෙන් කතාකළ බවත්, ඔහු ලිබියානුවෙක් බවත් සඳහන් වෙනවා. එහෙත් එම කොටස වෙනත් කුඩා අත් අකුරුවලින් මෙන්ම තද තීන්තයෙන් පසුව එකතු කළ එකක් බව පෙනෙන්නට තිබෙනවා.

 

වෙනස් කෙරුනු සාක්ෂ්‍ය/Al Jazeera English

ටෝනි ගෞචි ලබා දුන් සාක්ෂ්‍යවලට අනුව ඇඳි චිත්‍රයත්, අල් මෙග්‍රාහීගේ ඡායාරූපත් අතර ද පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනවා. එමෙන්ම අල් මෙග්‍රාහීව හඳුනාගැනීමට ටෝනි ගෞචි වෙත ඉදිරිපත් කළ අල් මෙග්‍රාහීගේ ඡායාරූප අවුරුදු 15ක් පැරණි වීමත්, එක වරක් දුටු පුද්ගලයෙක් එසේ හඳුනාගැනීමට හැකි වීමත් පුදුම සහගත යි. ස්කොට්ලන්ත නීතියට අනුව සාක්ෂ්‍යකරුවකුට සාක්ෂ්‍ය දීම උදෙසා මුදල් පරිත්‍යාග කිරීම නීතිවිරෝධී වුවත්, ටෝනි ගෞචි මෙම සාක්ෂ්‍යදීමෙන් අනතුරුව ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමෙන් ද පෙනීයන්නේ ඔහුව මුදල් දී පෙර පුහුණු කර ඇති බවට ජෝජ් තොම්සන් ප්‍රකාශ කරනවා.

ඇඳි චිත්‍රය සහ සැබෑ රූපය/ Al Jazeera English

මිනිසුන් දෙසිය ගණනකට අධික පිරිසක් මරාදැමූ මෙම සිද්ධියට ලිබියාව ගැට ගැසීමට හේතු මොනවා ද? මේ පිළිබඳව ඉඟියක් දෙන්නේ මෙම සිද්ධිය සමථයට පත්වන ආකාරය යි.

එවකට ලිබියානු පාලකයාව සිටි කර්නල් ගඩාෆි, අල් මෙග්‍රාහී හා අනෙක් සැකකරුවා ස්කොට්ලන්තයට භාරදීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා ලිබියාවේ කරන ලද සංචාරයකින් අනතුරුව ලිබියානු රජය එම සැකරුවන් ස්කොට්ලන්තයට භාරදෙනවා. මේ දිනවලම වාගේ ලිබියාවට තිබූ සම්බාධක පවා ඉවත්කරනු ලබනවා.

 ජෝර්ජ් තොම්සන් හමුවේ පලායන ටෝනි ගෞචි/Al Jazeera English

ඒත් මේ සිද්ධියත් සමගම Shell සමාගම ලිබියානු මුහුදේ ඛනිජතෙල් කැණීම සඳහා ස්ටලින් පවුම් මිලියන 550ක් ගිවිසුමක් අත්සන් කරනවා. එමෙන්ම අල් මෙග්‍රාහී විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාවත් ඔහු විසින්ම ඉවත් කරගනු ලබන්නේ ලිබියානු රජය විසින් කරන දැනුම් දීමකට යි. ඒ අනුව මිනිසුන් 200කට අධික ප්‍රමාණයක් සීතල අහසේ ඝාතනය කරමින් සාක්ෂ්‍ය නිර්මාණය කරන ලද්දේ ලිබියාවේ තෙල් සම්පත සූරා කෑමට විය හැකි බව, මෙම සිද්ධිය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කරන්නන්ගේ මතය යි. මේ පිළිබඳ ඔබේ මතය කුමක් ද?

 
ටෝනි බ්ලේයාර් හා ගඩාපි අතර හමුවීම් කිහිපයකින් එකක්/ BBC

References:

Al Jazeera English, Lockerbie: The Pan Am bomber

Al Jazeera English, Lockerbie: Case closed

Al Jazeera English, Inside Story - Who was really behind the Lockerbie bombing?

Tony Blair defends Colonel Gaddafi desert meeting, https://www.bbc.com/news/uk-politics-13070025

Cover image: Wired

Related Articles