සාගර දූෂණය පිළිබඳව තොරතුරු බිඳක්

මීට දින ගණනාවකට පෙර, ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ නිව් ඩයමන්ඩ් නම් නෞකාව  ගිනිගැනීමකට ලක් වුණා. නැව තුළ ගින්න පැතිර යමින් පැවති අවස්ථාවේ එහි තිබුණු තෙල් කාන්දු වී මුහුදට එකතු වීමට ඉඩ තිබුණු නිසා ඉක්මනින්ම ගින්න නිවා දැමීම සඳහා මෙහෙයුම් ආරම්භ වුණා. එවැනි අවස්ථාවක තෙල් මුහුදු ජලයට එකතු වීමෙන් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීන් අනතුරු අඟවනු ලැබුවා. නමුත් පාර්ශවයන් ගණනාවක් එකතු වී සාර්ථකව සිදුකළ මෙහෙයුම් නිසා, එවැනි පාරිසරික විනාශයක් සිදු නොවී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකි වුණා. 

සාගර දූෂණය යනුවෙන් හඳුවන්නේ කුමක්ද?

සාගරය මිනිසාට සම්පතක්. විවිධාකාරයේ මත්ස්‍යයන්, වෛවර්ණ කොරල්පර, මුහුදු හතු, සහ මුහුදු ඇල්ගී වැනි මිලියන ගණනක් ජෛවීය සම්පත් සාගරයේ වෙසෙනවා. නමුත් මිනිසුන් දිගු කාලයක සිට අහිතකර අපද්‍රව්‍ය මුදා හරින්නට භාවිතා කරන්නේ සාගරය යි. ඉන් සාගරයටත්, එහි වෙසෙන ජීවි සම්පත්වලටත් හානි සිදුවනවා. එම සංසිද්ධිය සාගර දූෂණය ලෙසින් හඳුන්වනු ලබනවා. 

සාගර දූෂණය සිදුවන ආකාර 

සාගර දූෂණය සිදුවන ප්‍රධානම ක්‍රමය වන්නේ ඍජුවම සාගරයට අපද්‍රව්‍ය මුදාහැරීම හෝ වක්‍ර ලෙස ගංඟා, ඇළ දොළ හරහා අපද්‍රව්‍ය සාගරයට මුදාහැරීම යි. එහිදී සිදුවන්නේ කර්මාන්තශාලා, රෝහල්, භෝජනාගාර සහ  නිවෙස් වැනි ස්ථානවලින් ඉවත්කරන අපද්‍රව්‍ය සාගරයට පහකිරීම යි. පසුගිය දශක කිහිපයක කාලය තුළ මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන ආකාරය දක්නට ලැබුණා.

සාගර ජලයට අපද්‍රව්‍ය එකතු වී ඇති අවස්ථාවක් (azocleantech.com)

සාගරයට මුදාහරින අපද්‍රව්‍ය අතර ඝන අපද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය, ලෝහ අපද්‍රව්‍ය, අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දේ අඩංගු යි. එහි දී කර්මාන්තශාලාවලින් පිටකරන අපද්‍රව්‍ය සමගින් මුහුදු ජලයට එකතුවන බැර ලෝහ සහ රසායනික ද්‍රව්‍ය නිසා සාගර දූෂණය විශාල වශයෙන් සිදුවනවා. ඉන් සිදුවන බලපෑමට හොඳම උදාහරණය වන්නේ 1950 වසරේ දී ජපානයේ මිනමාටා බොක්ක ආශ්‍රිත ප්‍රදේශය තුළ පැතිර ගිය මිනමාටා රෝගය යි. එදා මිනමාටා බොක්ක ආසන්න ප්‍රදේශයේ ජනතාවට අමුතුම ආකාරයේ රෝගයක් වැළඳී තිබුණා. පසුව කළ සොයාබැලීමක දී අනාවරණය වුණේ එම ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් නිකුත් වන රසදිය බොක්කට මුසුවී මාළුන්ගේ ශරීරයට ඇතුළු වී ඇති බව යි. එම මත්ස්‍යයන් අනුභව කළ මිනිසුන්ට රෝගය වැළඳුණු බව පැහැදිලි වුණා.

මිනමාටා රෝගයට ගොදුරු වුණු කෙනෙක් (nippon.com)

ඉන්දියාව, බංගලාදේශය, චිලී ඇතුළු රටවල් ගණනාවක්ම මිනිස් මලද්‍රව්‍ය සෘජුවම මුදාහරිනු ලබන්නේ සාගරයට යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් මලද්‍රව්‍ය සමග විවිධ රෝගකාරක ද මුහුදු ජලයට එක්වී, දියවැල් ඔස්සේ සමුදුර පුරා පැතිර යනවා. එසේම මිනිස් මලද්‍රව්‍ය නිසා මුහුදු දිය නෑමේ යෙදෙන්නන් විවිධ ආසාදන හා රෝගාබාධවලට ලක්වීමේ ප්‍රවණතාවයක් ද තිබෙනවා. ඇතැම් සාගර ප්‍රදේශ ආශ්‍රිතව බෝවන මුහුදු ජීවීන් මිනිස් ආහාරයට නුසුදුසු තත්ත්වයට පත්ව තිබෙන්නේ ද එම හේතුව නිසා යි.

ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසක් (The Hindu)

සාගර දූෂණය සිදුවන තවත් ප්‍රධාන ආකාරයක් වන්නේ මුහුදු ජලයට තෙල් වර්ග එකතුවීම යි. තෙල් ගෙනයන නැව්වලින් ජලයට තෙල් කාන්දුවීම, තෙල් නෞකාවල ඉතිරිවන අපද්‍රව්‍ය හා ටැංකි සේදු වතුර මුහුදු ජලයට එක් කිරීම, අනතුරුවලින් තෙල් නෞකා මුහුදුබත්වීම, මුහුද හරහා තෙල් යැවෙන නල තුළින් ජලයට තෙල් කාන්දුවීම වැනි කාරණා හේතුවෙන් මුහුදු ජලයට තෙල් එකතුවිය හැකියි. 

මුහුදු ජලයට තෙල් එකතු වුණු අවස්ථාවක් (theafricareport.com)

සාගර දූෂණය නිසා ලැබෙන අහිතකර ප්‍රතිඵල 

පසුගිය දශක කිහිපය තුළ සාගර දූෂණය වැඩි වශයෙන් සිදුවුණා. ඉන් අහිතකර ප්‍රතිඵල රැසක් ලැබුණා. පහත දක්වා ඇත්තේ සාගර දූෂණය හේතුවෙන් ලැබී ඇති අහිතකර ප්‍රතිඵල සමහරක්.

1) සාගර දූෂණය නිසා සාගරය තුළ සහ අවට දිවි ගෙවන සතුන් විනාශයට ලක් වනවා. මත්ස්‍යයන්ගේ කරමල් තුළ තෙල් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් සිරවීම නිසා ඔවුන්ට මරණය උරුමවීම නිදසුනක් ලෙස දැක්විය හැකියි.

2) කොරල්පර විශාල ලෙස විනාශයට පත්වීම. එලෙස කොරල්පර විනාශ වීම හේතුවෙන් මුහුදු ඛාදනය ද වැඩි වශයෙන් සිදුවන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

3) ආහාර දාම ඔස්සේ බැර ලෝහ මිනිසාගේ සිරුරට ඇතුල් වීම. 1950 වසරේ ජපානයේ මිනමාටා බොක්ක ආශ්‍රිතව රෝගයක් පැතිරයාම මෙයට නිදසුනක් ලෙස දැක්විය හැකියි.

4) ඇල්ගී, ඇතැම් දිලීර, සහ බැක්ටීරියා අධි වර්ධනයක් පෙන්වීම.

5) සාගර ජීවින්ට ස්වාභාවික වාසස්ථාන අහිමිවීම.

6) සාගර ජීවීන්ට ප්‍රජනන හැකියාව අහිමිවීම.

7) සාගර ඔක්සිජන් මට්ටම අඩුවීම.

8) සාගර ජලයේ උෂ්ණත්වය ඉහළයාම.

9) ඉස්සන්, කකුළුවන්, මත්ස්‍යයන් වැනි සතුන් මිනිසාගේ පරිභෝජනය සඳහා නුසුදුසු තත්ත්වයට පත්වීම. 

10) ධීවර කර්මාන්තය අඩපණ වීම. 

සාගර දූෂණය වැලැක්වීම සඳහා ඇති කරන ලද සම්මුති 

සාගර දූෂණය ලොව විශාලතම පරිසර ගැටළුවක් බවට පත්වුණේ මීට දශක ගණනාවකට පෙර යි. එම නිසා සාගර දූෂණය වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන් ද පියවර ගනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පහත සඳහන් සම්මුතීන් ත්‍රිත්වය ඇති කිරීමට කටයුතු කළා.

1) නැව් මඟින් සිදුවන සාගර දූෂණය වැලැක්වීම සඳහා 1973 වසරේ දී ඇති කරන ලද මාර්පෝල් සම්මුතිය

2) නැව් සහ ගුවන් යානා මඟින් අපද්‍රව්‍ය මුහුදට දැමීම අත්හිටුවීම සඳහා 1975 වසරේ දී ඇති කරන ලද  ලන්ඩන් සම්මුතිය 

3) ගොඩබිම් ජල මාර්ගවලින් අපද්‍රව්‍ය මුහුදට ගලායාම වැලැක්වීම සදහා 1976 වසරේ දී මධ්‍යධරණී මුහුද අවට රටවල් විසින් ඇතිකරගත් බාර්සිලෝනා සම්මුතිය

70 දශකයේ දී සාගර දූෂණය පාලනය කිරීම සඳහා මේ සම්මුතීන් ඇති කරනු ලැබුවත්, සාගර දූෂණයෙහි අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ලෝකය කාර්මීකරණයට ලක්වීමත් සමග වර්ධනය වුණු සාගර දූෂණය ඉදිරි දශක කිහිපය තුළ තවත් වර්ධනය වනු ඇති. 

කවරයේ ඡායාරූපය- සාගර පතුල තුළට අපද්‍රව්‍ය එකතු වී ඇති ආකාරය (GreenBiz)

Related Articles