Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වනයෙන් පැමිණ මිනිස් ඇසුරට වැටුණු සතුන් ගැන තවත් කතාවක්

සුනඛයින්ගෙන් ආරම්භ වූ වන සතුන් හීලෑ කිරීම, මිනිසුන්ගේ පරිණාමය සඳහා විශාල වශයෙන් බලපෑම් සිදුකර ඇති බව පැවසීමේ වරදක් නැහැ. මෙසේ ගෘහාශ්‍රිත සතුන් බවට පත් වූ වන සතුන්ගෙන් ලද ආරක්ෂාව, ආහාර පාන, ඇඳුම් පැලඳුම් සහ ශ්‍රමය, පැරණි මිනිසුන්ට ස්ථිර වාසස්ථාන තනා ගැනීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. මේ ලිපිය එසේ වනයෙන් පැමිණ මිනිස් ඇසුරට වැටී පසුකාලීන ව ගෘහාශ්‍රිත සුරතලුන් බවට පත් වූ සතුන් කිහිපදෙනෙකු ගැන යි. මීට පෙර ලිපියක දී අපි එවන් තවත් සතුන් කිහිපදෙනෙකු ගැන තොරතුරු ගෙන ආවා.

අළු වෘකයා සහ ගෘහාශ්‍රිත සුනඛයා

විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන ගෘහාශ්‍රිත සුනඛයින්ගේ පූර්වජයා ලෙස සැලකෙන්නේ විද්‍යාත්මක ව Canis lupus යන නාමයෙන් හඳුන්වනු ලබන අළු වෘකයා යි. මිනිස් පරිණාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන සුනඛයින් හීලෑ කිරීම, අදින් වසර 14,000 – 32,000 අතර කාලයේ දී සිදු වී තිබෙනවා. නමුත් වෘකයින් සහ සුනඛයින් අතර පවතින රූප විද්‍යාත්මක වෙනස්කම් නිරීක්ෂණය කරන ඇතැම් විද්‍යාඥයින්ගේ මතය වන්නේ සුනඛයින්ගේ පූර්වජයා, මේ වන විට වඳ වී ගොස් ඇති සත්ත්වයෙකු විය හැකි බව යි.

© Rob Blanken

කෙසේ වුව ද මිනිසා විසින් ප්‍රථමයෙන් ම හීලෑ කරන ලද සත්ත්ව කාණ්ඩය ලෙස සැලකෙන්නේ සුනඛයින් වන අතර මේ වන විට එකිනෙකට වෙනස් ගෘහාශ්‍රිත සුනඛ විශේෂ 400ක් පමණ දැකගැනීමට ලැබෙනවා. මෑතකාලීන ව සිදුකර ඇති පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත්තේ සුනඛයින්ගේ මූලාරම්භය පමණක් නොව, සුනඛයින් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාවය පවා දිගින් දිගට ම වෙනස් වෙමින් පවතින බව යි.

බෙසෝ අයිබෙක්ස් සහ ගෘහාශ්‍රිත එළුවා

පැරණි මිනිසුන් විසින් ගෘහාශ්‍රිත ව ඇති කිරීම සඳහා දෙවැනියට තෝරාගෙන ඇති සත්ත්ව විශේෂය වන්නේ විද්‍යාත්මක ව Capra aegagrus ලෙස හඳුන්වනු ලබන බෙසෝ අයිබෙක්ස් හෙවත් කැලෑ එළුවා යි. අදින් වසර 11,000කට පමණ පෙර සාරවත් චන්ද්‍රවංකයේ (නැගෙනහිර දිග මධ්‍යධරණී කලාපයේ දෙගංමැදි ශිෂ්ටාචාරය ආශ්‍රිත ව පිහිටි අඩ සඳක හැඩය ගත් සාරවත් භූමි කොටසක්) මුල්කාලීන පදිංචිකරුවන් විසින් සම්, මස්, සහ කිරි ලබාගැනීම සඳහා බෙසෝ අයිබෙක්ස් සත්ත්වයින් ඇති කිරීම ආරම්භ කර තිබෙනවා.

© Pinterest

මේ වන විට ගෘහාශ්‍රිත එළුවන් විශේෂ 200ක් පමණ වාසය කරන අතර ඇතැම් එළු විශේෂ සුරතල් සතුන් ලෙස ද, කැෂ්මියර් එළුවන් වැනි විශේෂ කිහිපයක් සුඛෝපභෝගී කබා නිෂ්පාදනය සඳහා අවැසි ලෝම ලබාගැනීමට ද ඇති කිරීම සිදුවෙනවා. එසේ ම මස් ලබාගැනීම සඳහා විශේෂයෙන් ම ඇති කරන එළු විශේෂ ද නැතුවා ම නොවෙයි.

මවුෆ්ලොන් සහ ගෘහාශ්‍රිත බැටළුවා

ගෘහාශ්‍රිත බැටළුවන්ගේ පූර්වජයා ලෙස සැලකෙන මවුෆ්ලොන් සත්ත්වයින් විද්‍යාත්මක හඳුන්වන්නේ Ovis orientalis යන නාමයෙන්. අදින් වසර 10,000කට පමණ පෙර බැටළුවන් හීලෑ කිරීම ආරම්භ කර ඇත්තේ ද සාරවත් චන්ද්‍රවංකයේ මුල්කාලීන පදිංචිකරුවන් විසින් බව යි පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් හෙළිදරව් වී ඇත්තේ. වර්තමානයේ දී බොහෝ විට බැටළුවන් ඇති කිරීම සිදුකරන්නේ ලෝම ලබාගැනීමට වුව ද, අතීතයේ දී බැටළුවන් ඇති කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මස් සහ සම් ලබාගැනීම යි. ඒ හේතුවෙන් මුල්වරට බැටළුවන් හීලෑ කිරීමෙන් සහස්‍ර කිහිපයක් ඉක්ම යන තුරු ලොම් සැපයීම සිදු කළ හැකි බැටළු විශේෂ බිහිවීමක් සිදු වී නැහැ.

© Benclic / Flickr

වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන බැටළු විශේෂ 200කට අධික ප්‍රමාණය අතරින් වැඩි පිරිසක් ලොම් ලබාගැනීම සඳහා ඇති කරන බැටළුවන්. ඒ අතර නිසි පරිදි ලොම් කැපීම සිදු නොකළහොත් අධික උෂ්ණත්වය හේතුවෙන් මිය යන බැටළු විශේෂ පවා සිටිනවා. එසේ ම මස් සහ කිරි ලබාගැනීම සඳහා ඇති කරන එළුවන් හා සමාන බැටළු විශේෂ ද දැක ගත හැකි යි.

වල් ඌරන් සහ ගෘහාශ්‍රිත ඌරන්

අදින් වසර 9,000කට පමණ පෙර මුල් ම වරට වල් ඌරන් අල්ලාගැනීම සඳහා උගුල් ඇටලීම සිදු කර ඇත්තේ තුර්කි ජාතිකයන් විසින්. එසේ ම චීන සහ යුරෝපා ජාතිකයන් ද වෙන් වෙන් ව වල් ඌරන් හීලෑ කිරීම සඳහා නොයෙක් උපක්‍රම අනුගමනය කර ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් තහවුරු වී තිබෙනවා. මිනිස් වාසස්ථාන ආශ්‍රිත ව රැඳෙමින් අහක දමන ලද ආහාර අනුභව කරන ඌරන්, පැරණි මිනිසුන් විසින් ඇති කර ඇත්තේ මස් බවට පත් කිරීම සඳහා යි.

© Mario Nonaka

නිතර දැක පුරුදු රෝස පැහැ ඌරන් මෙන් ම වල් ඌරන්ට සමාන ලොම් සහිත ඌරන් ද ඇතුළු ව දැනට ඌරන් විශේෂ 70ක් පමණ වාසය කරන අතර, ඔවුන් බොහෝ දෙනෙකු ඇති කරන්නේ මස් බවට පත් කිරීමේ අරමුණෙන්. නමුත් මෑතකාලීන ව සැත්කම් සඳහා අවැසි ශරීර කොටස් ලබාගැනීම වැනි වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා ද ඌරන් ඇති කිරීම සිදුවෙනවා.

කැලෑ අශ්වයින් සහ ගෘහාශ්‍රිත අශ්වයන්

Equus ferus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කැලෑ අශ්වයින් හීලෑ කිරීම ආරම්භ වී ඇත්තේ අදින් වසර 6,000කට පමණ පෙර දී යි. යුක්රේනය සහ කසකස්ථානය ආශ්‍රිත ව වාසය කළ පැරණි මිනිසුන් කැලෑ අශ්වයින් හීලෑ කිරීම සිදුකර ඇත්තේ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදාගැනීම සඳහා පමණක් නොව කිරි සහ මස් ලබාගැනීමේ ද අරමුණ ඇති ව යි. මුල්කාලීන කැලෑ අශ්වයින් මේ වන විට මිහිමතින් වඳ වී ගොස් ඇති අතර ඔවුන් පෙනුමෙන් මොංගෝලියානු කැලෑ අශ්වයින්ට සමාන බව යි වාර්තා වන්නේ.

(© San Diego Zoo) මොංගෝලියානු කැලෑ අශ්වයා

මේ වන විට ලොව පුරා අශ්ව විශේෂ 200ක් පමණ දැකගැනීමට ලැබෙන අතර වර්තමානයේ දී වැඩි වශයෙන් අශ්වයින් ඇති කිරීම සිදුකරන්නේ අශ්ව රේස් සඳහා යොදාගැනීමේ අරමුණෙන්. එසේ ම මස් ලබාගැනීම සඳහා අශ්වයින් බෝ කිරීම සිදුවන අවස්ථා ද පවතිනවා.

අප්‍රිකානු කැලෑ බළලා සහ ගෘහාශ්‍රිත බළලුන්

© Tim Sagorski

වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන ගණනින් 50කට අධික බළල් විශේෂ සියල්ලගේ ම පූර්වජයා ලෙස සැලකෙන්නේ අප්‍රිකානු කැලෑ බළලා යි. විද්‍යාත්මක ව Felis silvestris lybica ලෙස හැඳින්වෙන ඔවුන් අදින් වසර 9,500කට පමණ පෙර මිනිස් ඇසුරට වැටී ඇති බවට සාක්ෂ්‍ය පවතිනවා. එසේ ම පුරාවිද්‍යාඥයින් විසින් චීන ආශ්‍රිත ව සිදුකරන ලද කැනීම්වල දී වසර 5,300ක් පමණ පැරණි බළල් ඇට සැකලි සොයාගෙන ඇති අතර, ඊජිප්තු ජාතිකයන් විසින් අදින් වසර 4,000කට පමණ පෙර බළලුන් ව සුරතලුන් ලෙස ඇති කළ බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මුල්කාලීන මිනිසුන් බළලුන් හීලෑ කරගෙන ඇත්තේ ධාන්‍ය ගබඩා ආශ්‍රිත ව වාසය කරන මීයන් ඇල්ලීම සඳහා යි.

කවරයේ පින්තූරය : © Pinterest

Related Articles