Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව කොරෝනාවෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

COVID19 පැතිරෙන ආකාර මොනවාද යන්න පිළිබඳව අපගේ පාඨකයන් අපේ ෆේස්බුක් පිටුවේ තැබූ Commentවලට පිළිතුරක් වශයෙන්, නව කොරෝනාවෛරසය ගැන දැනට සොයාගෙන ඇති කරුණු අනුව විද්‍යාත්මක පහදා දීමක් කරන්නට අපි තීරණය කළෙමු. සියල්ලෝම මාධ්‍යවේදීන්යැ යි සිතාගෙන ඉන්නා සමයක, බොරු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන බැවින් සත්‍ය පසුබිම ගැන දැනුවත්ව සිටීම වැදගත් ය.

වෛරසයකට පෘෂ්ඨයක් මත කොපමණ කාලයක් ජීවත් විය හැකිදැ යි සොයා බැලීමට පෙර, වෛරසයක් ක්‍රියා කරන ආකාරය ගැන අපි පළමුව අවධානය යොමු කරමු.

වෛරසයක ක්‍රියාකාරීත්වය

තැඹිලි පැහැයෙන් ඇත්තේ RNA ය. (sciencemag.org)

ප්‍රජනනය සඳහා අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා ඇති කිරීමට තරම් එන්සයිම, වෛරසවලට නොමැත. එබැවින් ඒවාට බැක්ටීරියා, දිලීර, ශාක හෝ සතුන්, මිනිසුන් ආදීන්ගේ, ධාරක සෛලයක් අවශ්‍ය වේ. වෛරසය ගුණනය වන්නේ මේ ධාරකයාගේ උපකාරයෙනි. එය වෛරසයට වාසිදායක නමුත් ධාරකයාට මාරාන්තික විය හැක. තවත් ආකාරයකින් කිවහොත්, වෛරස යනු අන්වීක්ෂීය පරපෝෂිතයන් ය.

ධාරක සෛලය නොමැතිව වෛරසයකට දිගුකාලීනව පැවතිය නොහැක. කෙසේ වෙතත්, එය නව ධාරකයකට ආසාදනය වන තෙක් ජීවත් විය හැකි කෙටි කාලයක් ඊට තිබේ.

ධාරකයෙන් පිටත තිබිය දී වෛරසයක් ආකාර දෙකකට බෙදිය හැකිය. 

1) එය නොවෙනස්ව පවතී හෝ ආසාදිතව පැවතිය හැකිය. නැතහොත්; 

2) එය හුදෙක් හඳුනාගත හැකි මට්ටමේ තිබිය හැක. එයින් අදහස් කරන්නේ; එය හඳුනාගැනීමට ප්‍රමාණවත් තරම් ජානමය ද්‍රව්‍ය ඇති නමුත්, ධාරක සෛල සමග සම්බන්ධ වීමට තවදුරටත් හැකියාවක් නොමැති බව යි.

ඩයමන්ඩ් ප්‍රින්සස් (Diamond Princess) නෞකාවේ නව කොරෝනා වෛරසය තිබූ බව හඳුනාගත්තේ ඉහත 2 වන ආකාරයෙනි. දින 17ක් වෛරසයේ RNA (රයිබෝනියුක්ලෙයික් අම්ලය/ වෛරසයේ ජානමය තොරතුරු ගෙන යන ව්‍යුහ) නොනැසී නෞකාවේ අභ්‍යන්තර පෘෂ්ඨයන්හි තිබුණි. කෙසේ වෙතත්, හුදෙක් RNAවලට පමණක් (වෛරසයේ බාහිර කොටස් නොමැතිව) තවකෙකුට ආසාදනය විය නොහැකි ය.

නව කොරෝනාවෛරසය සහ පෘෂ්ඨ මත ජීව කාලය

නිතර, වැඩි දෙනෙක් ස්පර්ශ කරන පෘෂ්ඨ ගැන සැලකිලිමත් වන්න (slashgear.com)

“කොරෝනා” යන වචනය අපි බහුලව පාවිච්චි කළත්, එය ‍2003 දී සාර්ස් ඛේදවාචකයට තුඩුදුන් SARS-CoV-1 නමැති වෛරසයේ ළඟම ඥාතියෙකි. ඒ අනුව, නව කොරෝනාවෛරසයේ සැබෑ නම SARS-CoV-2 වේ. (2019-nCoV ලෙස ද හඳුන්වනු ලැබේ.) COVID-19 යනු, එම වෛරසය නිසා ඇති වන රෝගයේ නම යි.

දැනට ඇති දත්ත අනුව උණුසුම් මෙන්ම ශීත පරිසරවල ද එක සේ පැතිරෙන, මදුරුවන් හරහා නොපැතිරෙන, මෙම වෛරසයට දිගු කාලයක් පෘෂ්ඨ මත ස්වාධීනව ජීවත් විය නොහැකි ය. පෘෂ්ඨය අනුව කාලය පහත පරිදි වේ.

  • තඹ (උදා: කාසි, කේතල, උයන භාණ්ඩ) – පැය 4 යි
  • ඇලුමිනියම් (උදා: සෝඩා කෑන්, ටින්ෆොයිල්, වතුර බෝතල්) – පැය 2 සිට 8ක් දක්වා
  • මල නොබැ‍ඳ‍ෙන වානේ (උදා: ශීතකරණ, භාජන සහ බඳුන්, බේසම, වතුර බෝතල්) – දින 2 සිට 3ක් දක්වා
  • අනෙකුත් ලෝහ (උදා: දොර අල්ලු, ස්වර්ණාභරණ, රිදී භාණ්ඩ) – දින 5 යි
  • දැව (උදා: ගෘහ භාණ්ඩ) – දින 4 යි
  • ප්ලාස්ටික් (උදා: කිරි බහාලුම් සහ ඩිටර්ජන්ට් බෝතල්, බස් ආසන, බෑග්, විදුලි සෝපාන බොත්තම්) – දින 2 සිට 3ක් දක්වා
  • කාඩ්බෝඩ් (උදා: ඇසුරුම් පෙට්ටි) – පැය 24 යි
  • වීදුරු (උදා: වීදුරු කෝප්ප, දර්පන, ජනෙල්) – දින 5ක් දක්වා
  • පිඟන් මැටි (උදා: පිඟන්, කෝප්ප) – දින 5 යි
  • කඩදාසි
    • මිනිත්තු කිහිපයක සිට දින 5 ක් දක්වා

මීට අමතරව, පිසගත් ආහාරවල සහ නල ජලයෙහි නව කොරෝනාවෛරසය රැ‍ඳ‍ෙන බවට වාර්තා වී නොමැත.

හිතට වධ දෙන ප්‍රශ්න

සමාජ මාධ්‍ය හරහා පැතිරෙන කටකතාවලට නොරැවටෙන්න (nyt.com)

COVID-19 රෝගය සඳහා බලපාන SARS-CoV-2 වෛරසය සම්බන්ධව ඔබට නිරන්තරයෙන් නැඟිය හැකි ප්‍රශ්න සඳහා පිළිතුරු මෙසේ යි.

1. තනි වෛරස අංශුවකින් රෝග වැළඳිය හැකි ද?

    • විවිධ වෛරසවලට ඒවා ශරීර ගත විය යුතු ප්‍රමාණ තිබේ. ඇතැම් ඒවායේ 10ක් පමණ වන අතර, තවත් ඒවා මිලියන ගණනක් විය හැක. තනි අංශුවකට එතරම් බලපෑම් කළ නොහැක.

2. ARS-CoV-2 වැඩිපුර ආසාදනය වන්නේ කෙසේ ද?

    • ආසාදිතයකුගේ කැස්සකින් පෘෂ්ඨයක් මත වෛරස පතිත විය හැකියි. එය අක්‍රීය වන්නට පෙර නීරෝගී කෙනෙක් එය අල්ලා, අත නොසෝදා, ඇස/නාසය/මුඛය ස්පර්ශ කළහොත් එය ශරීර ගත වේ. දැනට වාර්තා වී ඇති ආකාරයට වැඩිපුර පැතිරෙන්නේ ළඟ සිටීමට වඩා පෘෂ්ඨ මඟිනි.

3. නිවසට ගෙන එන භාණ්ඩවලින් වැළඳිය හැකි ද?

    • තැපෑලෙන් ලැබුණු යමක, අසුරන ලද පුද්ගලයා ආසාදිතයෙක් නම්, සති කිහිපයකට පසු ඔබට එය ලැබෙද්දී වෛරසය අක්‍රීය වී තිබිය හැක. එහෙත් තැපැල්කරු ආසාදිතයෙක් නම්, ඔබට ද වැළඳිය හැකියි. හොඳම දේ, අසුරන ඉවතලා, විෂබීජනාශක යොදා අත් සෝදාගැනීම හා මුහුණ ස්පර්ශයෙන් වැළකීම යි.

4. සෑම විනාඩි 15කටම වරක් ජලය පානය කිරීමෙන් COVID-19 වෛරසය දේහයෙන් ඉවත් කළ හැකි ද?

    • වැඩිපුර ජලය පානයෙන් නව කෙරෝනාවෛරසය ඉවත් කළ හැකි බවට සොයා ගෙන නොමැත. එනමුත්, හොඳ සෞඛ්‍ය පුරුද්දක් වශයෙන් විජලනය වළක්වා ගැනීමට ජලය පානය කරන ලෙස WHO නිර්දේශ කරයි.

5. රසම්, කුළුබඩු, සුදු ළූණු, දෙහි, සහ කහවලින් COVID-19 වැළැක්විය හැකි ද?

    • එවැන්නක් විද්‍යාත්මකව සොයාගෙන නොමැත.

6. උණු ජලය ස්නානයෙන්, UV බල්බවලින්, සහ හිරු එළියෙන් නව කොරෝනාවෛරසය නැසෙනවා ද?

    • ඒවායෙන් නව කොරෝනාවෛරසය නැසෙන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත.

7. වැළ‍ඳ‍ෙන්නේ වයස්ගත අයට පමණ ද?

    • ඕනෑම වයසක කෙනෙක්ට COVID-19 ආසාදනය විය හැක.

සමාජ මාධ්‍ය හරහා අවධානය අපේක්ෂාවෙන් විවිධ අය කරන ප්‍රකාශ, WhatsApp Groupවලින් ලැබෙන Forward කළ පණිවිඩ වැනි රජය හෝ ‍වගකිව යුතු සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශ කර නොමැති මූලාශ්‍ර ඔබට විවිධ කතා කියා තිබෙනවා විය හැක. 

වෛරසයටත් වඩා වේගයෙන් ඒවා ගමන් කරන බැවින්, එවැන්නක් ඔබ Share කරනවා නම් ඇතැම් විට එය මිනීමැරුමකට උල්පන්දම් දීමක් තරම් භයානක ප්‍රතිඵල ගෙන දිය හැකියි. එනිසා, කරුණාකර එසේ කිරීමෙන් වළකින්න.

ඔබට COVID-19 පිළිබඳ නවතම පුවත් අපගේ @RoarSinhala ට්විටර් ගිණුමෙන් සහ සජීවී බ්ලොග් සටහනින් ලබාගත හැකියි.

කවරය: medium.com

මූලාශ්‍රයයන්:

  • ලෝක සෞඛ්‍ය සංවිධානය (Myth busters වෙබ් පිටුව)
  • වසංගත රෝග විද්‍යාඥයකු හා හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ජන වෛද්‍ය අංශයේ මහාචාර්යවරියක වන වෛද්‍ය ජූලියා මාකස්, සහ යේල් විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ මහාචාර්ය අකිකෝ ඉවාසාකි සමග TheGuardian කළ සාකච්ඡාවක්
  • webmd.com
  • howstuffworks.com

Related Articles