Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාසල හැර යන ඔබට ඊළඟට කළ හැකි දේවල් 5ක්

අගෝස්තු මාසයත් සමග මෙතෙක් කල් ගත කළ පාසල් ජීවිතය අවසන් කර ඔබ සමාජයට පිවිසෙනවා. දෙමව්පියන්ගෙන් යැපෙමින් ගත කළ කාලය වෙනුවට දැන් ඔබේ හැකියාවන් වර්ධනය කර ගනිමින් රැකියාවකට සුදුසු පරිදි හැඩගැසිය යුතු වෙනවා. තනියම වගකීමක් ගන්න, තමන් පොඩි කාලේ ඉඳලා ආස කරපු ඉලක්කවලට ළඟා වෙන්න සූදානම් වෙන්නට දැන් කාලය හරි. ඉතින්, ඒ ගැන හිතමින් ඉන්න ඔබට අත්වැලකුයි මේ.

5. පරිගණක හැකියාවන් වර්ධනය කරගන්න

සෑම ක්ෂේත්‍රයකටම පරිගණක හැකියාවන් වැදගත් (globalgiving.org)

ඔබ කුමන ක්ෂේත්‍රයක රැකියාවක් අරමුණු කළත් වර්තමාන සහ අනාගත රැල්ල යොමුව පවතින්නේ පරිගණක හා සම්බන්ධ ගමනකුයි. මේ නිසා ඔබේ දැනට තිබෙන පරිගණක සාක්ෂරතාව වර්ධනය කරගැනීම සඳහා පාඨමාලාවක් හැදෑරීම හෝ අවම වශයෙන් අන්තර්ජාලය හරහා ඉගෙනීම කරන්නට පුළුවන්.

වැඩිදුර කියැවීමට: හැම කෙනෙක්ම පරිගණක භාෂාවක් ඉගෙනගත යුත්තේ ඇයි?

මූලික මට්ටමේ පරිගණක දැනුමක් තිබෙන කෙනෙක්ට දැන් පාඩම් කරන්න වෙලාව ගත කිරීමක් නොවන නිසා ගෙදර තිබෙන පරිගණකයෙන්ම ඔෆිස් පැකේජ, ෆොටෝෂොප් වැනි මෘදුකාංග සඳහා අන්තර්ජාලයේ ඇති වීඩියෝ නරඹමින් අත්පොත් තියන්නට පුළුවන්. පරිගණක අංශයෙන් ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා නම් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT වැනි පාඨමාලාවක් හැදෑරීම, Android apps සැකසීමට ඉගෙනීමට යොමු විය හැකියි. ඔබ ඉලෙක්ට්‍රොනික අංශයට ප්‍රිය නම් Arduino development ගැන අවධානය යොමු කරන්න.

4. ඉංග්‍රීසි ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය යි

නූතන රැකියාවන්ට සහ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි දැනුම අනිවාර්යයි (epfl.ch)

ලොව වැඩිපුරම භාවිතා වන පොදු භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව නූතන රැකියාවන්ටත්, වැඩිදුර අධ්‍යාපනය සඳහාත් අත්‍යාවශ්‍ය යි. බොහෝ සිසුන් විශ්වවිද්‍යාලයයට පිවිසීමෙන් පසුව ද තමන්ගේ ඉංග්‍රීසි හැකියාවන්ගේ දුර්වල බව නිසා තම දක්ෂතා විදහා පාන්නට නොහැකිව අපහසුතාවයට පත් වෙනවා. එනිසා A/L අවසන්ව ගෙදර ගත කරන කාලය ඉංග්‍රීසි පාඨමාලා‍වක් සඳහා යොමු කිරීමෙන් ඵලදායීව, අනාගතය වෙනුවෙන් වැඩදායීව යොදා ගන්නට හැකියි.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේදී ලිවීම, කියවීම, සවන් දීම මෙන්ම සංවාදයන්හි දී හොඳින් යොදා ගැනීම කළ යුතු වෙනවා. ෆිල්ම් සහ TV Series බලද්දී ඉංග්‍රීසි උපසිරැසි සමග නැරඹීමෙන් ශ්‍රවණ හැකියාවන් පහසුවෙන්ම වර්ධනය කරගන්න පුළුවන්. එනමුත් ක්‍රමානුකූලව අනෙකුත් හැකියාවන් ද සමඟ ඔබේ ඉංග්‍රීසි දැනුම ඔප මට්ටම් කරගන්නට ලොව ප්‍රමුඛතම ඉංග්‍රීසි විශේෂඥයා වන British Council සමඟ එකතුවී ඔබේ මට්ටමට සහ අවශ්‍යතාවයට ගැලපෙන පාඨමාලාවකට යොමුවීම හොඳම ක්‍රමය යි.

3. කොරියානු, ජපන්, හෝ ජර්මන් වැනි අමතර භාෂා ඉගෙන ගන්න

විශේෂිත භාෂා දැන සිටීම ඔබේ වටිනාකම වැඩිකරලනවා (bergerpaints.com)

වෙනත් රටක සේවය කරන්නට ඔබ ප්‍රිය කරනවා නම් හෝ තමන්ගේ පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගන්නට කැමති නම් අමතර භාෂාවන් ඉගෙන ගැනීම ඕනෑම රැකියාවකට බොහොම වටිනවා. එය ඔබේ CV එකට අමතර වටිනාකමක් එක් කරනවා. 

බොහෝ ආයතන වෙනත් රටවල් සමග ගනුදෙනු කරන නිසා අදාල ගනුදෙනුකරුවන්ගේම භාෂාවෙන් තමන්ගේ සේවකයකුට/සේවිකාවකට කතා කරන්නට හැකි නම් එය ආයතනයට මහත් වටිනාකමක් ගෙන දෙනවා. ඉතින් ඒ වටිනාකම ගෙන දෙන පුද්ගලයා බවට ඔබට පත් වෙන්න බොහොම පහසුවෙන් පුළුවන්. YouTube වීඩියෝ මඟින් හෝ Duolingo වැනි වෙබ් අඩවියක්/ App එකක් හරහා ඔබට ප්‍රංශ, ජර්මන්, ජපන්, කොරියන්, හින්දි වැනි භාෂාවන් විශාල ප්‍රමාණයක් හැදෑරීමට අවස්ථාව තිබෙනවා.

2. ගණිතය ඔප මට්ටම් කරගන්න

“ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා” (guardian.ng)

ඉංජිනේරු ශිල්පය, පරිගණක ක්ෂේත්‍රය පමණක් නොව එදිනෙදා ගනුදෙනුවල දී පවා ගණිතය හොඳ මට්ටමක තිබීම ඔබට මහත් පහසුවක් වෙනවා. ඔබ පිවිසෙන ඕනම රැකියාවක දී, මුහුණදෙන ඕනෑම අවස්ථාවක දී ගණිතයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට සිදු වෙනවා. අනෙක් අය ගිණුම්කරණ, මිනුම්, කැෂියර් ආදියේ මුදල් ගනුදෙනු වැනි ගණිතය අවශ්‍ය වන තැන්වල දී පසුබාමින් සිටින විට ඔබට ඍජුව ඉදිරිපත්ව එය විසඳන්නට පුළුවන් නම්, ප්‍රමෝශන් එකක් ලබා ගැනීම කොහෙත්ම අපහසු දෙයක් නොවෙයි.

පාසල් කාලයේ කෙතරම් ගණිතය ඉගෙන ගත්තත් එහි භාවිතයක් නොමැතිව යන විට ක්‍රමයෙන් එම හැකියාවන් හීන වී යනවා. එනිසා Khan Academy වැනි වෙබ් අඩවියකින් ඔබට මුල සිටම ගණිත හැකියාවන් පුනරීක්ෂණය කරන්නට, ගණන් හදන්නට, ලොව වටා සිටින සිසුන් සමග ඒ ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව තිබෙනවා.

1. සම්මුඛ පරීක්ෂණ හැකියාවන් සහ සීමාවාසික පුහුණුවක් ලබන්න

Interview එකකට අවශ්‍ය පුහුණුව ලබන්නට හොඳම ක්‍රමය Interviewවලට මුහුණ දීමයි (toiimg.com)

රස්සාවක් කරන්න නම් පළපුරුද්ද අවශ්‍ය වන අතර පළපුරුද්ද ලබන්නට නම් රස්සාවක් කරන්නට ඕනෑ. මේක කෙළවරක් නැති දාමයක් වගේ බොහෝ දෙනෙක් හාස්‍යයට ලක් කළත් එයට පහසුම විසඳුම ඔබට මේ කාලය තුළ ලබා ගන්නට පුළුවන්. පළපුරුද්ද නොමැතිකම නිසා රැකියාවක් නොමැතිව සිටින්නන් මෙන්ම උපාධිධාරීන් පවා රැකියා නැතිව කල් ගෙවන ආකාරය මාධ්‍ය හරහා දකින්නට ලැබෙනවා. නමුත්, ඔබ වඩාත්ම ප්‍රිය කරන ක්ෂේත්‍රයේ කුඩා රැකියාවකට මේ කාලය තුළ යොමු වුණොත් දිනෙක එය ඔබේ CV එක දිදුලවන දෙයක් බවට පත් වෙනවා.

වැඩිදුර කියැවීමට: සම්මුඛ පරීක්ෂණවලට උපදෙස් සහ වෙබ් අඩවි

රැකියාවකට යද්දී සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබන්නට හොඳම ක්‍රමය සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීම යි. පාසලෙන් නික්මුණු ඔබට විශාල වියදම්, වගකීම් නැහැ. ඉතින් තවත් අවුරුදු කීපයක්ම ඔබේ ස්වයං දියුණුව වෙනුවෙන් යොමු කරන්නට හොඳටම අවස්ථාව තිබෙනවා. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පළපුරුද්ද පමණක් නොව අතට පොඩි ගාණකුත් හොයා ගන්නට කුඩා රැකියාවකින් ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න. එය දිනෙක ඔබව මහා ව්‍යාපාරිකයෙක් බවට පත් කරනු ඇති.

කවරය: vecteezy.com

Related Articles