ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

‘80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා. එම කාලය තුළ ත්‍රස්තවාදීන් සමග ගොඩබිමේ දී කළ සටන්වල දී ශ්‍රී ලංකා යුධ හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. එහිදී කැපී පෙනෙන සේවයක් ඉටුකළ, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුධ ඉතිහාසය තුළ දක්නට වීර සෙබලුන් කිහිප දෙනෙකුම බිහිකළා. එම යුධ වීරයන් අතුරින් මේජර් ජෙනරාල් විජය විමලරත්න, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් ජගත් ඩයස් වැනි විරුවන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඒ ඔවුන් යුධ බිමේ දී පෑ වීරත්වය නිසා යි.  

රජරට රයිෆල්ස් බලඇණිය ආරම්භය 

70 දශකයේ අග භාගය වන විට යාපනය ප්‍රදේශය ආශ්‍රිතව දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වර්ධනය වන ආකාරය දක්නට ලැබුණා. එම නිසා අනාගතයේ දී රටේ ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනය ගැන සලකා බලා 1 වන රජරට රයිෆල්ස් නමින් හමුදා බලඇණියක් ස්ථාපනය කිරීමට තීරණය කළා. ඒ අනුව 1980 වසරේ ජනවාරි 15 වැනිදා එම බල ඇණිය තාවකාලික ස්ථානගත කළේ අනුරාධපුර ගුවන් තොටුපළට යාබදව පිහිටි උතුරු මැද ප්‍රදේශ මූලස්ථානය තුළ යි. එලෙස ආරම්භ වුණු බලඇණිය සඳහා එවකට යුධ හමුදාවට අයත් වුණු සියළුම රෙජිමේන්තුවලින් නිලධාරීන් කැඳවා තිබුණා. එහි පළමු අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළේ ලුතිනන් කර්නල් ඩබ්ලිව්. කේ. නානායක්කාර යි.

රජරට රයිෆල්ස් බලඇණියට ස්ථීර කඳවුරක් ලැබීම 

රජරට රයිෆල්ස් බලකාය සඳහා ස්ථීර කඳවුරක අවශ්‍යතාවය මතු වුණා. එම නිසා අනුරාධපුරයේ සාලියපුර නම් ග්‍රාමය ආශ්‍රිතව අක්කර 100ක පමණ විශාලත්වයකින් යුත් භූමි භාගයක් කඳවුර ඉදිකිරීම සඳහා තෝරා ගත්තා. 1980 වසරේ අග භාගය පමණ වන විට එහි ඉදිකිරීම් ආරම්භ වුණා. ඉදිකිරිම් සැලැස්මට අනුව මුලින්ම ලඳු කැලෑව සහ විශාල ගස් ඉවත් කර ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය භූමිය සැකසිම සිදුකරනු ලැබුවා. ඉන් පසුව කඳවුරු මාර්ග පද්ධතිය සකස් කොට ගොඩනැගිලි ඉදිකිරීම් ආරම්භකළා. ඒ යටතේ නේවාසිකාගාර ගොඩනැගිලි සංකිර්ණ 04ක්, ඉදිරිපසින් මුරහල, ඊට යාබදව අවි ආයුධ හා පතොරම් ගබඩාව ඉදි වුණා. ඒවා ඉදිකිරීමෙන් පසුව කඳවුරේ බටහිර මායිමට ආසන්නව සෙසු නිලයන් සඳහා භෝජනාගාරය සහ මුළුතැන්ගෙය සම්පුර්ණයෙන් ඉදිකිරිම අවසන් කොට, මුලස්ථාන ගොඩනැගිල්ලක් ද සෑදුවා. 

මෙහි ආරක‍ෂක කටයුතු සඳහා අනුඛණ්ඩයක් වශයෙන් එවකට උපකරණ පාලක සැරයන් මේජර් වශයෙන් කටයුතු කළ බළලත් නිළධාරි 11 ජී. රඹුක්වැල්ල ඇතුළු තිස් දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් යොදවනු ලැබුවා.

සාලියපුර කඳවුර  (army.lk)

පැවරුණු රාජකාරි 

මෙම බලඇණිය ස්ථාපිත කළ මුල් අවධියේ දී ඔවුන් යාපනය ප්‍රදේශයට ගොස් එහි රාජකාරි කටයුතු සිදුකර යළි සාලියපුර කඳවුර වෙත පැමිණෙන්නට වුණා. 1983 වසර පමණ වන විට රජරට රයිෆල්ස් බලකායේ ස්වේච්ඡා බලඇණි ත්‍රිකුණාමලය සහ මින්නේරිය යන ප්‍රදේශවල පිහිටුවා තිබුණා. 1983 වසරේ මැයි 18 වැනිදා උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතන 46ක් සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණා.  එහි රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා රජරට රයිෆල්ස් බලකායේ භට පිරිසක් යාපනය ප්‍රදේශයට අනියුක්ත කළා. 

මැතිවරණ දිනයේ දී යාපනයේ කන්දර්මඩම් නම් ඡන්ද මධ්‍යස්ථානයට එල්ල වුණු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් එස්. එස්. ජයවර්ධන නම් සාමාන්‍ය සෙබළා මිය ගියා. ඒ අනුව ඔහු යම් ප්‍රහාරයකින් මරණයට පත්වුණු මුල්ම රජරට රයිෆල්ස් සෙබළා බවට පත්වුණා. 

ගජබා රෙජිමේන්තුව සෑදුණු හැටි 

1981 වසරේ මාර්තු 15 වැනිදා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වවුනියාව ඉරට්ටපෙරියකුලම් කඳවුරේ දී ආරම්භ කළා. එලෙස ආරම්භ වුණු පළමු විජයබාහු පාබල රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් බළකාය ඒකාබද්ධ කොට නව පාබල ඒකකය ආරම්භ කළේ 1983 වසරේ අග භාගයේ දී යි. අභිනවයෙන් ආරම්භ වුණු රෙජිමේන්තුවට “ගජබා” යන නම යෝජනා කළේ, අනුරාධපුර යුගයේ රජකම් කළ ගජබා රජු සිහිවීම සඳහා යි. “සමගිය ශක්තිය යි” යන තේමා පාඨය යටතේ ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණිය ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වුණේ 1983 වසරේ ඔක්තෝබර් 14 වැනිදා යි. 

ගජබා රෙජිමේන්තුවේ ආරම්භය (army.lk)

ගජබා රෙජිමේන්තුවේ පළමු අණදෙන නිලධාරියා 

ගජබා රෙජිමේන්තුවේ පළමු අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළේ එවකට ලුතිනන් කර්නල්වරයෙකු ලෙසින් කටයුතු කළ විජය විමලරත්න යි. ලංකා යුධ හමුදා ඉතිහාසය තුළ බිහිවුණු ශූරතම නිලධාරියෙකු වුණු ඔහු හමුදා සේවයට එක් වුණේ  1961 වසරේ දී, කැඩෙට් නිලධාරියෙකු ලෙසින්. ඉන්පසු ඉන්දියානු යුධ හමුදා පීඨයෙන් මූලික යුධ පුහුණුව ලැබූ විජය විමලරත්න 1963 වසරේ ලුතිනන්වරයෙකු ලෙස ලංකා පාබල හමුදාව සමග එක් වුණා. ඔහු සතුව තිබුණු දක්ෂතාවය නිසා 1965 වසරේ දී ලුතිනන් තනතුරටත්, 1968 වසරේ දී කපිතාන් තනතුරටත් උසස්වීම සඳහා අවස්ථාව ලැබුණා. 

1969 වසරේ දී පිහිටුවාගත් ගැමුණු හේවා බලකායේ ආරම්භක සාමාජිකයෙකු වුණු මොහු මලයාසියාවේ දී වනාන්තර යුධ පුහුණු පාඨමාලාවක් සාර්ථකව නිමා කරනු ලැබුවා. 1981 වසරේ දී ඇරඹුණු පළමු විජයබාහු පාබල රෙජිමේන්තුවේ පළමු අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළ මොහු 1982 වසරේ දී ලුතිනන් කර්නල් තනතුර දක්වා උසස්වීමක් ලැබුවා. ඉන් වසරකට පමණ පසුව ආරම්භ වුණු ගජබා රෙජිමේන්තුව පිහිටුවීම සඳහා මූලිකත්වය ගත්තේ විජය විමලරත්න යි. ඊළාම් යුද්ධය ආරම්භයේ සිටම යුදබිම තුළ දී සිය වීරත්වය ප්‍රදර්ශනය කළ මෙම රණවිරුවා 1987 වඩමාරච්චි සටන, බලවේගය ක්‍රියාන්විතය ඇතුළු මෙහෙයුම් රැසකට දායකත්වය ලබා දී තිබෙනවා. එලෙස දශක 3කට වැඩි කලක් රණබිමේ දී විස්කම් පෑ විමලරත්න සෙන්පතියා 1992 වසරේ යාපනය අරාලි තුඩුවේ දී පුපුරා ගිය බිම් බෝම්බයකට හසුව ජීවිතයෙන් සමුගත්තා.

විජය විමලරත්න (Daily News)

පරම වීර විභූෂණ සම්මානය ලබාගත් ගජබා රෙජිමේන්තු විරුවන් 

ශ්‍රී ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවේ සෙබලෙකුගේ හෝ නිළධාරියකුගේ වීරත්වය උදෙසා පිරිනැමෙන ඉහළම හා ගෞරවාන්විතම සම්මානය වන්නේ පරම වීර විභූෂණ පදක්කම යි . එම වීර පදක්කම දිනාගත් හමුදා සෙබලුන් තිදෙනෙකු ගජබා රෙජිමේන්තුව නියෝජනය කළා. 90 දශකයේ දී ඉන් සෙබලුන් දෙදෙනෙකු පරම වීර විභූෂණ පදක්කම දිනාගැනීමෙන් පසුව තවත් ගජබා රෙජිමේන්තු විරුවෙකු එම වීර පදක්කම දිනාගත්තා. ඒ අනුව මෙරට යුධ හමුදා ඉතිහාසය තුළ පරම වීර විභූෂණ සම්මානය ලබාගත් ගජබා රෙජිමේන්තු රණවිරුවන් තිදෙනෙකු හමුවනවා. පහත දක්වා තිබෙන්නේ ඔවුන් එම සම්මානය දිනාගැනීම සඳහා පෑ හපන්කම්.

දෙවන ලුතිනන් ඩබ්ලිව්.ටී නිශ්ශංක

දෙවන ලුතිනන් නිශ්ශංක ගජබා රෙජිමේන්තුවේ තෙවන බලඇණියට අනියුක්ත හමුදා ඛණ්ඩයක් භාරව සිටි  නිලධාරියා ලෙසින් පුනරීන්වල නගතෙවන්තුරෙයි කඳවුරේ සේවය කළා. 1993 වසරේ නොවැම්බර් 11 වැනි දින අළුයම එම කඳවුරට විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එදා කොටි ත්‍රස්තයන් විශාල ප්‍රමාණයක් කලපුව හරහා බෝට්ටුවලින් ද, ගොඩබිමින් ද පැමිණ ප්‍රහාරය දියත් කළා. එම අවස්ථාවේ දී නිශ්ශංකගේ සේනාංකය කොටි ත්‍රස්තවාදීන්ට ප්‍රති ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එම ප්‍රහාර හමුවේ පසුබැස ගිය ත්‍රස්තයන් හොඳින් සංවිධානය වී යළි ප්‍රහාර එල්ල කළා. එහි දී ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ දරුණු ප්‍රහාරයන් හමුවේ නිශ්ශංක විසින් මෙහෙයවූ සේනාංකය අඩපණ වුණා. නමුත් නිශ්ශංක රණවිරුවා සිය ජීවිතය පිළිබඳව නොතකමින් සේනාවට අණ දුන්නා. 

හමුදා බලය ක්‍රමයෙන් අඩුවෙමින් පැවති අවස්ථාවේ දී සිය සගයන් සතුරන්ට හසුවන බව අවබෝධ කරගත් නිශ්ශංක ග්‍රෙනේඩ් දෙකක් අතට ගෙන එහි පින් ගලවා සතුරන් මැදට ගියා. එහි දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ නොසැලී ඉදිරියට ගිය මෙම රණවිරුවා සතුරාත් විනාශ කරගෙන එය පුපුරවා ගත්තා. එදා නිශ්ශංක කළ වීරකම නිසා 1996 වසරේ පෙබරවාරි 4 වැනිදා  පරම වීර විභූෂණ සම්මානය හිමි වුණා. එම සම්මානය හිමිකරගත් පළමු ගජබා රෙජිමේන්තු සෙබලා ලෙසින් ඔහු ඉතිහාසගත වුණා.

මාණ්ඩලික සැරයන් පසන් ගුණසේකර   

1995 වසරේ නොවැම්බර් 29 වැනිදා වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පැවති රිවිරැස මෙහෙයුම නිසා යාපනය හමුදා අණසකට නතුවීමට ආසන්නව පැවතුණා. නමුත් ත්‍රස්තවාදීන්ට මුහුදු කොටි ආධාර ලැබුණු නිසා ඔවුන් අඛණ්ඩව හමුදාව වෙත ප්‍රහාර එල්ල කළා. එම සටන්වල දී තුවාල ලැබූ ත්‍රස්තයන්ව ප්‍රවාහනය කිරීම සහ සටන් සඳහා අවශ්‍ය දේවල් ප්‍රවාහනය කිරීම සිදුවුණේ රාත්‍රි කාලයේ දීයි. එම ත්‍රස්ත යාත්‍රාවන් සඳහා චිරතිව් දූපතේ සිටි ත්‍රස්තවාදීන් විසින් ආරක්ෂාව සපයනු ලැබුවා. 

එම නිසා චිරතිව් දූපත අත්පත් කරගැනීම සඳහා ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙහෙයුමක් ආරම්භ කළා. එදා පසන් ගුණසේකර රණවිරුවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තවත් 16 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සමගින් පැමිණ කොටි ත්‍රස්තයන් සමග කරට කර සටන් කළා. එම සටනින් පසුව චිරතිව් දූපත හමුදාව අතට පත්වුණා. නමුත් ගුණසේකර විරුවා මරණයට පත්වුණා. එදා රිවිරැස මෙහෙයුම සාර්ථක කරගැනීමට ඔහු දුන් සහාය නිසා 1998 වසරේ ඔක්තෝබර් 10 වැනිදා පරම වීර විභූෂණ පදක්කම හිමි වුණා.

ලුතිනන් පී.එන් පුන්සිරි 

2007 වසරේ ජූලි 2 වැනිදා පුන්සිරි රණවිරුවා තවත් කණ්ඩායමක් සගම එක්ව පාලම්පිඩ්ඩි ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදී ඉලක්කයක් වෙත ප්‍රහාරයක් එල්ල කළා. එම අවස්ථාවේ දී කොටි ත්‍රස්තවාදීන්ට දරුණු හානි සිදුවුණත් ඔවුන් යළි ප්‍රතිසංවිධානය වී වෙනස් දිශාවකින් පැමිණ පුන්සිරි ඇතුළු පිරිසට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් පසුව පුන්සිරි ඇතුළු පිරිස අසීරු තත්ත්වයකට පත්වුණා. එදා අත්බෝම්බ දෙකක් දෑතට ගත් පුන්සිරි රණවිරුවා සතුරා මැදට ගොස් එය පුපුරවා ගත්තා. එම නිසා සිය සගයන් රැසකගේ ජීවිත රැකදීමට ඔහුට හැකි වුණා. එදා ඔහු කළ වීරකම නිසා 2013 වසරේ මැයි 18 වැනිදා පරම වීර විභූෂණ පදක්කම හිමි වුණා.

ගජබා රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුධ හමුදාපතිවරයා 

ගජබා රෙජිමේන්තුවෙන් බිහිවුණු එකම යුධ හමුදාපතිවරයා වීමේ ගෞරවය වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හිමි වුණා. 1984 වසරේ මාර්තු 5 වැනිදා කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක් වුණු ශවේන්ද්‍ර සිල්වා සතුව තිබුණු සහජ හැකියාව නිසා ඉක්මනින්ම ඉහළ නිලයන් දක්වා උසස් වීමට හැකි වුණා. යුද්ධය වඩාත් දරුණු ලෙසින් පැවති 90 දශකයේ දී රණබිමේ දී නොසැලෙමින් සටන් කළ මේ දක්ෂ රණවිරුවා අවසන් සටනේ දී 58 වැනි සේනාංකය සඳහා අණදෙමින් විශිෂ්ට සේවයක් ඉටු කළා. 

ඉන් පසුව විවිධ තනතුරු ලබමින් හමුදා සේවය තුළ සිය කීර්තිනාමය පතුරවාගත් ශවේන්ද්‍ර 2019 වසරේ අගෝස්තු 18 වැනිදා 23 වැනි යුධ හමුදාපතිවරයා බවට පත්වුණා. 

ශවේන්ද්‍ර සිල්වා (The Hindu)

කවරයේ ඡායාරූපය- ශවේන්ද්‍රසිල්වා යුධ බිමේ දී (Twitter)

මූලාශ්‍රයන්- army.lk

                     අමරණීය සොල්දාදුවන් 29

Related Articles