අලිමංකඩ මුදාගැනීම සඳහා දියත් කළ බලවේගය මෙහෙයුම

1990 වසරේ ජූනි මාසය වන වීට ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක වෙමින් පැවතුණා. නමුත් එම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කෙරුණේ කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පොලිසිවලට අනියුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරින් 600 දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන මරා දමනු ලැබීම සමග යි. එදා කොටි ත්‍රස්තවාදීන් සිදුකළ අමානුෂික සමූහ ඝාතනය නිසා එතෙක් ක්‍රියාත්මක වෙමින් තිබුණු සටන් විරාමය අවසන් වී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වුණා. 

පළමු ඊළාම් යුද්ධයට වඩා ප්‍රචණ්ඩකාරී  ස්වභාවයක් ගත් දෙවන ඊළාම් යුද්ධයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටන් කිහිපයක් පැවතුණා. එම සටන් අතුරින් අලිමංකඩ මුදවාගැනීමට දියත් කළ බලවේගය මෙහෙයුම අමතක කරන්නට බැහැ. 

අලිමංකඩ කඳවුර 

1952 වසරේ ඉදිකෙරුණු අලිමංකඩ කඳවුර ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තිබෙන පැරණිතම කඳවුරක්. යාපන අර්ධද්වීපයට ගොඩබිමෙන් ඇතුළු වන ගමන් මාර්ගය අලිමංකඩ හරහා වැටී තිබුණු නිසා එහි බලය තහවුරු කර ගැනීම කොටි සංවිධානයට වාසිදායක වුණා. එම නිසා අලිමංකඩ ප්‍රදේශයේ බලය අල්ලා ගැනීම සඳහා ඔවුන් ප්‍රබල උත්සාහයක නිරත වුණා. නමුත් පළමු ඊළාම් යුද්ධය පැවති කාල සමය තුළ කොටි ත්‍රස්තයන්ට අලිමංකඩට විශේෂ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. 

අලිමංකඩ කඳවුර (Sri Lanka Army)

අලිමංකඩට කොටි ත්‍රස්තයන්ගෙන් තර්ජන 

1990 වසරේ ජූනි මාසයේ දී දෙවන ඊළාම් යුද්ධය ආරම්භ වීමෙන් පසුව කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය වැඩි වන ආකාරය දක්නට ලැබුණා. එතෙක් පැවති සටන් විරාම කාලයේ දී හොඳින් සංවිධානය වුණු කොටි ත්‍රස්තයන් කෙටි කාලයක් තුළ හමුදා කඳවුරු කිහිපයකටම දැවැන්ත ප්‍රහාරයන් එල්ල කළා. එම ප්‍රහාර මාලාවේ පළමු ප්‍රහාරය වුණේ 1990 වසරේ ජූනි මාසයේ දී කොකාවිල් කඳවුරට එල්ල කළ ප්‍රහාරය යි. ඉන් අනතුරුව මාන්කුලම් සහ සිලාවතුර යන කඳවුරුවලට ද ප්‍රහාර එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් ක්‍රමයෙන් සිය බලය ව්‍යාප්ත කරගැනීමට උත්සාහ කළා. එලෙස කොටි ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබීමත් සමගම අලිමංකඩ කඳවුරේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළා. ඒ අනුව සිංහ රෙජිමේන්තුවේ 6 වන බලඇණිය අලිමංකඩ කඳවුරට අනියුක්ත කරනු ලැබුවා. එහි පළමු අණදෙන නිලධාරියා ලෙසින් මේජර් සනත් කරුණාරත්න කටයුතු කරන විට දෙවන අණදෙන නිලධාරියා ලෙසින් මේජර් ලලිත් බුද්ධදාස කටයුතු කළා. 

කොටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි 

ප්‍රමාණයෙන් විශාල කඳවුරක් වුණු අලිමංකඩ සවිමත් ආරක්ෂක වළල්ලකින් වට වී තිබුණා. කඳවුරේ උතුරු සීමාවේ සිට දකුණු සීමාවට තිබුණු දුර කි. මී. 5ක් පමණ වන විට බටහිර සීමාවේ සිට නැගෙනහිර සීමාව දක්වා තිබුණු දුර කි. මී. 3.5ක් ලෙසින් සටහන් වුණා. දෙවන ඊළාම් යුද්ධය ආරම්භයේ සිටම අපගේ හමුදාවන්ට දරුණු ප්‍රහාරයන් එල්ල කළ කොටි ත්‍රස්තවාදීන් 1991 වසරේ මාර්තු මාසය වන විට අලිමංකඩ කඳවුර උතුර, දකුණ සහ නැගෙනහිර යන දිශා තුනෙන්ම වට කර තිබුණා. එසේම කඳවුරට බටහිරින් පිහිටි කලපුවට එපිටින් තිබුණු මුහුදු ප්‍රදේශයේ බලය මුහුදු කොටින්ට හිමිව තිබුණා. එම නිසා අලිමංකඩ කඳවුරට මුහුදින් සහ ගොඩබිමෙන් කිසිදු ආධාරයක් ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ. එවකට සන්නද්ධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසින් කටයුතු කළ මේජර් ජගත් අල්විස් විසින් මේජර් සනත් කරුණාරත්නට පුද්ගලිකවම කතා කොට අලිමංකඩ කඳවුරට ඉදිරියේ දී විශාල ප්‍රහාරයක් එල්ල වීමට වැඩි ඉඩකඩක් තිබෙන බව පවසා සිටියා. එහි දී මේජර් අල්විස් ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු රැසක් ද ලබාදුන්නා.

දරුණු ප්‍රහාරයක් පිළිබඳව පෙර සලකුණක්

අලිමංකඩට ගොඩබිම් මාර්ගවලින් සහ මුහුදු මාර්ගවලින් ළඟාවීමට තිබුණු අපහසුතාවය නිසා කඳවුරට අවශ්‍ය වුණු ආහාර, බෙහෙත් ද්‍රව්‍යය, යුධ උපකරණ සහ අනිකුත් දේවල් හෙලිකොප්ටර් මඟින් ගෙන එනු ලැබුවා. ඊට අමතරව නිවාඩු ලබා පිටව යන සෙබළුන් මෙන්ම නිවාඩු අවසන් වී යළි කඳවුරට එන සෙබළුන් ප්‍රවාහනය කිරීම සඳහා හෙලිකොප්ටර් භාවිතා කළා. 

එලෙස හෙලිකොප්ටර් භාවිතා කරමින් අලිමංකඩ කඳවුරට අවශ්‍ය දේවල් සපයමින් සිටින අතර තුර කොටි ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයකට සූදානම් වී සිටින බව හැඟවෙන ආකාරයේ සිදුවීමක් දකින්නට ලැබුණා. ඒ 1991 වසරේ අප්‍රේල් 22 වැනිදා කඳවුර වෙත ගොඩබැසීමට ගිය හෙලිකොප්ටරයකට මෝටාර් ප්‍රහාර එල්ලවීම යි. එම සිදුවීමත් සමගම කඳවුරට යළි හෙලිකොප්ටර් ගොඩ බෑමට නොහැකි බව ගුවන් හමුදාවෙන් දන්වා සිටියා. එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ කඳවුර තුළට හෙලිකොප්ටර් ගොඩ බෑම සඳහා කඳවුරු සීමාවන් තවත් විශාල කළ යුතු බවයි.

කඳවුරු සීමාවන් විශාල කිරීම සඳහා ක්ෂණික මෙහෙයුමක් 

අලිමංකඩ කඳවුරේ සීමාවන් පුළුල් කිරීම සඳහා මෙහෙයුමක් කරන ලෙස මේජර් සනත් කරුණාරත්නට අණ ලැබුණා. එම නිසා ඔහුගේ නායකත්වය යටතේ තමිලමඩම් නම් ප්‍රදේශය අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ වුණා. අප්‍රේල් 27 වැනිදා ආරම්භ වුණු මෙහෙයුම අතරතුර ශ්‍රී ලංකා හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටන් පැවතුණා. එම සටන්වලින් පසුව අපගේ වීරෝදාර යුධ හමුදාවන් තමිලමඩම් ප්‍රදේශයේ බලය තහවුරු කරගත්ත ද සෙබළුන් 28ක් මියගොස් 64ක් තුවාල ලබා තිබුණා. 

මේ අතරතුර අප හමුදා බුද්ධි අංශය කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් විදුලි පණිවිඩවලට රහසිගතව සවන් දුන්නා. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ කොටි ත්‍රස්තවාදීන් මිය යන ත්‍රස්තයන්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා මිනී පෙට්ටි සැකසීම, ආහාර සහ ආයුධ එකතු කිරීම, ආයුධ පිරවූ ට්‍රැක්ටර් වෙඩි නොවදින තහඩු යොදා සකස් කිරීම ආදී ක්‍රියාකාරකම්වල නිරත වන බව යි. එම තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව ඉක්මනින්ම ක්‍රියාත්මක වුණු බුද්ධි අංශ නිලධාරින් මේජර් සනත් කරුණාරත්නට ඒ බව දන්වා සිටියා. 

ත්‍රස්තවාදී ප්‍රහාරය ආරම්භ වෙයි 

බුද්ධි අංශය ලබාදුන් තොරතුරෙන් පසුව ක්‍රියාත්මක වුණු මේජර් කරුණාරත්න ප්‍රහාරයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කළා. නමුත් මාස 2ක් යන තුරු විශේෂ දෙයක් සිදුවුණේ නැහැ. 1991 වසරේ ජූලි මුල් සතිය වන විට ප්‍රහාරය නුදුරු දිනයක දී එල්ල වීමට ඉඩ තිබෙන බවට බුද්ධි අංශ විසින් අනතුරු අඟවනු ලැබුවා. 

ඔවුන් පවසා සිටි අයුරින්ම ජූලි 10 වැනිදා පාන්දර 5.20ට පමණ ප්‍රහාරය ආරම්භ වුණා. පැය කිහිපයක් තුළ එල්ල වුණු එම ප්‍රහාරය ඉතාමත් දරුණු එකක් වුණා. එම සටන සඳහා කොටි ත්‍රස්තවාදීන් බලගතු මි.මී. 23ක මැෂින් තුවක්කුවක් පවා යොදාගෙන තිබුණා. එය එම අවධියේ දී අපගේ හමුදාවන්ට නුපුරුදු අවියක් වුණු නිසා තත්ත්වය තරමක් බරපතළ වුණා. 

තීරණාත්මක දින කිහිපයක් 

එම ප්‍රහාරයෙන් පසුව තුවාල ලැබූ සෙබළුන් සහ මියගිය සෙබළුන් දක්නට ලැබුණා. එලෙස තුවාල ලැබූ සෙබළුන් රැගෙන යාම සඳහා හෙලිකොප්ටර් කිහිපයක් පැමිණිය ද ඒවාට කඳවුර වෙත ගොඩබැසීම සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ත්‍රස්තවාදීන් විසින් කඳවුර වෙත දිගින් දිගටම එල්ල කළ ප්‍රහාරයන් නිසා යි. එලෙස තුවාලකරුවන් රැගෙන යාමට අවස්ථාවක් නොලැබුණු නිසාම වටිනා සෙබළුන් රැසකගේ ජීවිත අහිමි වුණා. ඒ අතර දෙවන අණදෙන නිලධාරි ලලිත් බුද්ධදාසත් සිටියා. මෙම ප්‍රහාරය එල්ල වන බවට පෙර සිටම තොරතුරු ලැබී තිබුණු නිසා දින 14ක් පිටත කිසිවෙකුගේ ආධාරයක් නැතිව සටන් කිරීම සඳහා අවශ්‍ය දේවල් කඳවුර තුළ තිබුණා. එම අවස්ථාවේ දී කඳවුරේ අණදෙන නිලධාරියාව සම්බන්ධ කරගත් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව පවසා සිටියේ කඳවුර බේරාගැනීම සඳහා අවශ්‍ය භට පිරිස් හැකි ඉක්මනින් එවන බව යි. එතෙක් කඳවුර රැකගනිමින් සටන් කරන ලෙසට ඔහු තවදුරටත් උපදෙස් දුන්නා.

ඩෙන්සිල් කොබ්බෑකඩුව (Denzil Kobbekaduwa)

පළමු ආරක්ෂක වළල්ල බිඳ වැටෙයි 

ජූලි 10 වැනිදා රාත්‍රියේ නැවතත් කඳවුර වෙතට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරයේ දී පළමු ආරක්ෂක වළල්ල දෙසට පැමිණි බුල්ඩෝසරයට RPG වලින් පහරදුන්නත් එහි ගමන නැවැත්වීමට හැකි වුණේ නැහැ. එම බුල්ඩෝසරය තුළ සිටි ත්‍රස්තවාදීන් හමුදා භට පිරිස් වෙත නොකඩවා ප්‍රහාර එල්ල කළා. දරුණු ප්‍රහාර හමුවේ පළමු ආරක්ෂක වළල්ල තුළ රැඳී සිටීමට අපහසු වුණු නිසා හමුදා භට පිරිස්වලට දෙවන ආරක්ෂක වළල්ල වෙත පසුබැසීමට සිදුවුණා. එලෙස පසුබසින අතරතුර හමුදා භටයින් ඔවුන්ගේ ගිනි අවි හැරෙන්නට සෙසු සියලුම දේවල් එහි දමා ඇවිත් තිබුණා. එම නිසා සටන ඉදිරියට ගෙන යාම පහසු වුණේ නැහැ. 

කොටි බුල්ඩෝසරය (Wikipedia)

හසලක ගාමිණී වීරයෙකු වුණු හැටි 

ජූලි 11 වැනිදා රාත්‍රියේ ද යුධ හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර දරුණු සටනක් පැවතුණා. අභීතව සටන් කළ අපගේ වීරෝදාර හමුදා සෙබළුන් සාර්ථකව ප්‍රති ප්‍රහාර එල්ල කළා. පසුදින උදෑසන වන විට ත්‍රස්තවාදී මළසිරුරු රැසක් යුධ භූමිය තුළ දක්නට ලැබුණා. එම සටනින් පසුව කොටි ත්‍රස්තවාදීන්ට විශාල හානියක් සිදුවුණු නිසා ජූලි 12 වැනිදා කිසිදු ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. ඒ අවසරයෙන් කඳවුර තුළ තිබුණු බංකර් අලුත්වැඩියා කරගත් හමුදා සෙබළුන් ඊළඟ ප්‍රහාරය සඳහා සූදානම් වුණා. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ද දිගින් දිගටම මේජර් කරුණාරත්න සමග සම්බන්ධ වෙමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා.

බලාපොරොත්තු වුණු ආකාරයටම ජූලි 13 වැනිදා රාත්‍රියේ යළිත් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළා. එලෙස දරුණු ප්‍රහාර එල්ලවෙමින් තිබුණු අවස්ථාවේ එක්වරම දැවැන්ත බුල්ඩෝසරය කඳවුර වෙත එන ආකාරය දක්නට ලැබුණා. එම අවස්ථාවේ දී එහි සිටි හමුදා භටයන් කිසිවක් කරගත නොහැකිව අසරණව බලා සිටියත්, කෝප්‍රල් ගාමිණී කුලරත්න ලෙහෙසියෙන් පරාජය භාරගැනීමට සූදානම් වුණේ නැහැ. එම වීරෝදාර රණවිරුවා අත් බෝම්බ දෙකක් දෑතට ගෙන වෙඩි වරුසා මධ්‍යයේම බුල්ඩෝසරය දෙසට දිව ගියා. ඉන් පසුව බුල්ඩෝසරයට නැගි කෝප්‍රල් ගාමිණී අත් බෝම්බ පුපුරුවා හැරි නිසා සතුරාගේ සැලසුම අසාර්ථක වුණා. එදා කෝප්‍රල් ගාමිණී සිදුකළ වීර ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර ආරක්ෂා වුණා. එම නිසා හමුදා භටයෙකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානය ඔහුට පිරිනැමුණා. මෙරට හමුදා ඉතිහාසය තුළ එම සම්මානය දිනාගත් පළමු සෙබළා ලෙස ගාමිණී කුලරත්නගේ නම රන් අකුරින් ලියවුණා. 

ගාමිණී කුලරත්න (Defence.lk)

බලවේගය මෙහෙයුම ඇරඹෙයි

අලිමංකඩ කඳවුරේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබුණු නිසා ආධාරක භට පිරිස් ඉක්මනින්ම එහි එවීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළා. බලවේගය නමින් හැඳින්වුණු එම මෙහෙයුමට නායකත්වය දුන්නේ එවකට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි කීර්තිමත් නිලධාරියෙකු වුණු මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව යි. කොබ්බෑකඩුවගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වුණු මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙසින් කටයුතු කළේ බ්‍රිගේඩියර් විජය විමලරත්න යි. එහිදී විජය විමලරත්න යටතේ සටනට එක් වුණු පළමු බලකාය  සඳහා කර්නල් ඇන්ටන් විජේන්ද්‍ර අණ ලබාදෙන විට තෙවන බලකාය සඳහා අණ ලබාදුන්නේ කර්නල් සරත් ෆොන්සේකා යි. ඒ වන විට අලිමංකඩ වෙත ළඟාවීමට තිබුණු ගොඩබිම් මාර්ග ඇහිරී තිබුණු නිසා මෙය සමුදුරු ක්‍රියාන්විතයක් වුණා. 

බලවේගය මෙහෙයුම අතරතුර (sinha regiment)

පළමු පියවර සාර්ථක වෙයි 

නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ද සහාය ලබාගෙන ක්‍රියාත්මක වුණු මෙම මෙහෙයුමේ මුල්ම පියවර වුණේ අලිමංකඩට ඉතාම කිට්ටු මුහුදු තීරය වුණු වෙත්තිලයිකර්නි ප්‍රදේශයට භට පිරිස් ගොඩබැස්සවීම යි. ඒ අනුව එඩිතර සහ වික්‍රම යන නෞකාවලින් පැමිණි භට පිරිස් වෙත්තිලයිකර්නි ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළත් කොටි ත්‍රස්තවාදීන් ඊට ඉඩක් ලබාදුන්නේ නැහැ. බ්‍රිගේඩියර් විජය විමලරත්න අණදුන් භට කණ්ඩායම් 2ක් පස්වරුවේ දී එහි ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. එම නිසා භට කණ්ඩායම් දෙකට යළි පසුබැසීමට සිදුවුණා. නමුත් ඉන් නොසැලුණු වීරෝදාර යුධ හමුදාව නැවතත් කළ උත්සාහයකින් පසුව වෙත්තිලයිකර්නි ප්‍රදේශයට ඇතුළුවීමට හැකි වුණා. එහි දී රියර් අද්මිරාල් වික්‍රමරත්න සහ කපිතාන් සමරවීර නෞකා සහ යාත්‍රා මෙහෙයවමින් විශාල සහායක් ලබාදුන්නා. 

දරුණු සටන් ඇවිළෙයි 

වෙත්තිලයිකර්නි ප්‍රදේශයට ඇතුළු වුණත් ඉන් ඉදිරියට ගමන් කිරීම ලෙහෙසි පහසු වුණේ නැහැ. වරින් වර කොටි ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළත් ඒවා සාර්ථකව මැඩපැවැත්වීමට අපගේ හමුදාවන්ට හැකි වුණා. ඉන් පසුව අලිමංකඩ කඳවුර වෙත ගිය ගමනේ දී මුල්ලෙයාන් කෝවිල අසල දී දරුණු සටනක් ඇති වුණා. වරින් වර දෙපසට දෝලනය වුණු එම සටන අවසානයේ දී ජයගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාව යි. එම දරුණු සටනින් කොටි ත්‍රස්තවාදීන්ට විශාල හානියක් සිදුවුණා. එලෙස අලිමංකඩ බේරාගැනීමට පැමිණි අමතර බට පිරිස් සමග ත්‍රස්තවාදීන් සටන් කරන අතරතුර අලිමංකඩ කඳවුර යළි පිළිසකර කිරීමට මේජර් කරුණාරත්නට හැකි වුණා. 

අවසන් සටනින් කොටි ත්‍රස්තවාදීන්ට අන්ත පරාජයක් හිමි වෙයි 

ඩෙන්සිල් කොබ්බෑකඩුව විසින් නායකත්වය දුන් බලවේගය මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක වුණු නිසා ජූලි 28 වැනිදා වන තුරු යළි කඳවුරට ප්‍රහාරයක් එල්ල වුණේ නැහැ. නමුත් බලාපොරොත්තු නොවූ අයුරින් ජූලි 28 වැනි දින රාත්‍රියේ දී කඳවුරට උතුරු දෙසින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් කපිතාන් ජයන්ත ප්‍රනාන්දු තම භට පිරිස්  මනාව මෙහෙයවමින් සිදුකළ සටන නිසා කොටි ත්‍රස්තවාදීන්ට අන්ත පරාජයක් හිමි වුණා. එලෙස කොටි ත්‍රස්තවාදීන් ලැබූ පරාජයත් සමගම ඔවුන් සටන අතහැර පසුබැස ගියා. 

කවරයේ ඡායාරූපය- බලවේගය මෙහෙයුම අතරතුර (sinha regiment)

*මූලාශ්‍රයයන්- රණමඟ ඔස්සේ නන්දිකඩාල්- කමල් ගුණරත්න 

                      Army.lk

Related Articles