Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ අන්නාසි වගාව ගැන තොරතුරු බිඳක්

පදමට ලුණු කුඩු සහ මිරිස් කුඩු තැවරූ අන්නාසි කැබැල්ලක් ආහාරයට ගන්න කවුරුත් කැමතියි. අන්නාසි කියන්නේ ලාංකිකයන් අතර එතරම්ම ජනප්‍රිය පළතුරක්. මෙම පළතුර සතුව තිබෙන ප්‍රණීත රසය නිසා එයට දේශීය වෙළඳපොල තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා. එම නිසා තනි වගාවක් හෝ අතුරු බෝග වගාවක් ලෙස අන්නාසි වගා කිරීමට බොහෝ දෙනෙකු පෙළඹී සිටිනවා. 

අන්නාසි වගාවට හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වය

රළු පෙනුමක් සහිත වුණත්, අන්නාසි සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන බෝගයක් නොවෙයි. එයට වඩාත් හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වයන් තිබෙනවා. 

1) අන්නාසි වගාව සඳහා වසර පුරා පැතිරුණු මි.මි 1500 – 3000 පමණ වර්ෂාපතනයක් අවශ්‍ය යි.

2) වායුගෝලීය උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 24-32 අතර අගයක පැවතීම වඩාත් සුදුසු යි. 

3) වගාවට වඩාත් සුදුසු වන්නේ වැලි ලෝම පස සහ ලැටරයිට් පස යි. මැටි හෝ හුණු අධික පස් වගාව සඳහා සුදුසු වන්නේ නැහැ. එසේම එසේම හොඳින් ජලය බැස නොයන ඉඩම්වල ද වගාව සඳහා සුදුසු වන්නේ නැහැ.

4) පසේ PH අගය 5.5-6 අතර පැවතිය යුතු යි.

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ 

අන්නාසි වගාවට සරිලන , ඉහත සඳහන් අන්දමේ දේශගුණය ඇති පහතරට තෙත් කලාපය, පහතරට අන්තර් කලාපය, උඩරට අතරමැදි කලාපය යන කලාපයන්වල අන්නාසි වගාව සාර්ථකව සිදුකළ හැකියි. ඒ අනුව ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, කුරුණෑගල, මොණරාගල, අම්පාර, බදුල්ල වැනි දිස්ත්‍රික්ක, සාර්ථකව අන්නාසි වගාව සිදුකළ හැකි ප්‍රදේශයන් අතර වනවා. 

වියළි කලාපය තුළ ද අන්නාසි වගාව සිදුකිරීමේ හැකියාව තිබුණත්, ඒ සඳහා අමතර ජල සම්පාදනයක් අවශ්‍ය යි. එසේම වගාව තුළ සෙවණ ශාක ස්ථාපිත කළ යුතු යි.

අන්නාසි වත්තක් (sandithapineapple.lk)

අන්නාසි ප්‍රභේද

ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කරන අන්නාසි ප්‍රභේදයන් 2ක් දක්නට ලැබෙනවා. මුරුසි සහ කිව් යන නම්වලින් හඳුන්වනු ලබන එම අන්නාසි ප්‍රභේදයන් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

මුරුසි ප්‍රභේදය 

ක්වීන් කාණ්ඩයට අයත් වන මෙම අන්නාසි ප්‍රභේදය ලංකාව තුළ ඉතාමත් ජනප්‍රිය යි. ගස මධ්‍යස්ථ ප්‍රමාණයට විශාල වන මෙම ප්‍රභේදයේ අන්නාසි ගෙඩිය කේතු ආකාර හැඩයක් ගන්නවා. එසේම අන්නාසි ගෙඩියේ පොත්තේ වැඩි ගැඹුරකින් පිහිටා ඇති ඇස් හොඳින්ම පිටතට නෙරා තිබෙනවා. 

මුරුසි ප්‍රභේදයේ ඉදුණු ගෙඩිවල මදය තද රන්වන් කහ පැහැයක් ගන්නවා. ගෙඩිය ඉදුණු විට පොත්තේ පැහැයෙන් මදයේ රසය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. තද පැණි රස ගතියකින් යුත් මෙම අන්නාසි ප්‍රභේදයේ Brix අගය 15ක්  (යුෂ මි.ලි 100ක අඩංගු සුක්‍රෝස් ප්‍රමාණය) පමණ වනවා. 

සාමාන්‍යයෙන් මෙම වර්ගයට අයත් අන්නාසි ගසකින් මොරෙයියන් වැඩි ප්‍රමාණයක් ලබාගත හැකියි. ගෙඩියක සාමාන්‍ය බර කි.ග්‍රෑ 1.5-1.8 අතර වන මුරුසි අන්නාසි ප්‍රභේදයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 16ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි.

මුරුසි ප්‍රභේදය (Fruit Shop)

කිව් ප්‍රභේදය 

කේයින් කාණ්ඩයට අයත් වන මෙම අන්නාසි ප්‍රභේදයේ පත්‍රවල කටු දක්නට ලැබෙන්නේ නැහැ. මුරුසි ප්‍රභේදයට වඩා විශාල ගස් දක්නට ලැබෙන මෙම ප්‍රභේදයේ අන්නාසි ගෙඩිය සිලින්ඩරාකාර හැඩයක් (බැරල් හැඩයක්) ගන්නවා. අන්නාසි ගෙඩියේ පොත්තේ අඩු ගැඹුරකින් පිහිටා ඇති ඇස් විශාල, පැතලි ස්වරූපයක් ගන්නවා. 

කිව් ප්‍රභේදයේ ඉදුණු ගෙඩිවල මදය ලා කහ පැහැයක් ගන්නවා. ගෙඩිය ඉදුණු විට පොත්තේ පැහැයෙන් මදයේ රසය පිළිබඳව අවබෝධයක් ලබාගත නොහැකියි. මුරුසි ප්‍රභේදයට සාපේක්ෂව ඇඹුල් රසයෙන් වැඩි මෙම අන්නාසි ප්‍රභේදයේ Brix අගය 11ක් පමණ වනවා. 

සාමාන්‍යයෙන් මෙම වර්ගයට අයත් අන්නාසි ගසකින් ලබාගත හැකි මොරෙයියන් ප්‍රමාණය මුරුසි ප්‍රභේදයට සාපේක්ෂව අඩු යි. ගෙඩියක සාමාන්‍ය බර කි.ග්‍රෑ 2-2.5 අතර වන කිව් අන්නාසි ප්‍රභේදයෙන් හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 25ක පමණ අස්වැන්නක් ලබාගත හැකියි.

කිව් ප්‍රභේදය (Daily News) 

අන්නාසිවලින් සිදු කරන නිෂ්පාදන 

අන්නාසිවල ඇති ප්‍රණීත රසය නිසා එහි මදය ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රිය කරනවා. විවිධ සලාද වර්ග සෑදීම සඳහා ද, පිසීම සඳහා ද අන්නාසි යොදාගන්නවා. ඊට අමතරව අන්නාසි භාවිතා කරමින් විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ අන්නාසි භාවිතා කරමින් බහුලව සාදනු ලබන ආහාර වර්ග යි.

1) සිසිල් බීම              2) චට්නි 

3) අයිස් ක්‍රීම්              4) කෝඩියල් 

5) ජෑම්                      6) ටොෆී වර්ග 

7) පුඩින් වර්ග

අන්නාසි කෝඩියල් (Shopee)

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

අන්නාසි වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ අන්නාසි පිටි මකුණා සහ අන්නාසි කුරුමිණියා යන පළිබෝධකයන් දෙදෙනා යි. එසේම ගෙඩි සහ ගොබය කුණුවීමේ රෝගය සහ මැලවීමේ වෛරස් රෝගය මඟින් ද අන්නාසි වගාවට හානි සිදුවනවා. 

අන්නාසි පිටි මකුණා 

අන්නාසි වගාවට හානි කරන ප්‍රධාන පළිබෝධකයා වන්නේ පිටි මකුණා යි. මේ කෘමියා අන්නාසි පත්‍ර පාමුල කරඬුවේ ‍හා ගෙඩි මත බොහෝ විට දක්නට ලැබෙනවා. උන්ගේ ශරීරය මත සුදු පැහැති පිටි වැනි ද්‍රව්‍යක් විසිරී පවතිනවා. 

පිටි මකුණා ප්‍රධාන වශයෙන් වගාවට හානි කරනු ලබන්නේ අන්නාසි මැලවීමේ වෛරස් රෝග වාහකයා ලෙස යි. ඊට අමතරව ගසේ යුෂ උරා බීම ද සිදු කරනු ලබනවා. එසේම වැසි කාලයේ මැරුණු පිටි මකුණන් මතුපිට කළු පාට දිලීර වර්ධනය වීම නිසා ගෙඩියේ ගුණාත්මකභාවය අඩු වනවා. 

අන්නාසි පිටි මකුණා මර්දනය කිරීම සඳහා ප්‍රොෆෙනොපොස්, ප්‍රොතියෝපොස්, සහ ඇසිටැම්ප්‍රිඩ් යන පළිබෝධනාශක වර්ග නිර්දේශ කර තිබෙනවා. 

අන්නාසි කුරුමිණියා 

කාර්පෝපිලස් හියුමෙරාලිස් යන නාමයෙන් හඳුන්වන මෙම කුරුමිණියා කොලියෝප්ටෙරා ගෝත‍්‍රයට අයත් වනවා. සාමාන්‍යයෙන් අන්නාසි කුරුමිණියා මේරූ සහ ඉදුනු අන්නාසි ගෙඩිවලට හානි සිදු කරනවා. ශාක නිරෝධායන පළිබෝධකයෙකු වන මෙම කෘමියා  විසින් සිදුකරන හානිය නිසා අන්නාසි ගෙඩි ද්විතියීක දිලීර ආසාදනයන්වලට ලක් වනවා. 

මෙම රෝගය පාලනය කිරීම සඳහා අන්නාසි වගා බිම පිරිසිදුව තබාගත යුතු යි.

ගෙඩි කුණුවීමේ රෝගය 

මෙය කැපුම් හෝ තුවාල මඟින් පසෙහි ජීවත් වන සෙරටොසිස්ටික් පැරඩොක්සා දිලීරය ගෙඩි තුළට ඇතුල්වීම නිසා වැළඳෙන රෝගයක්. දිලීරය ඇතුල් වී දින දෙකක් පමණ ගතවන විට ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළුපැහැ වීමට පටන් ගන්නවා. එම කළුපැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළට ද පැතිරෙනවා. පස්, වැහි බිංදු, සුළඟ සහ රෝපණ ද්‍රව්‍ය මඟින් මෙම රෝගයේ පැතිරීම සිදුවනවා. 

ගෙඩි කුණුවීමේ රෝගය පාලනය කිරීම සඳහා පහත සඳහන් දේවල් සිදු කළ හැකියි.

1) ගෙඩිවලට හානි නොවනසේ ප්‍රවේශමෙන් නෙලා ගත් ගෙඩි පිරිසිදු ස්ථානයක ඇසිරීම 

2) ගෙඩි එක්රැස් කරන ස්ථානය ඉතා පිරිසිදුව තබාගැනීම සහ සියලුම අමතර ශාක කොටස් එම ස්ථානයෙන් ඉවත් කිරීම 

3) ගෙඩි රැස් කරන ස්ථානයේ කිසිවිටක සිටුවීමට ගන්නා පැළ නොතැබීම

4) රෝගය තදින් පවතී නම් ගෙඩි රැස් කරන ස්ථානය සහ අවට 2% ෆෝමලීන් ද්‍රාවණයක් මඟින් විෂබීජ නාශනය කිරීම 

ගොබය කුණුවීම සහ පාදස්ථ කුණුවීම 

පසෙහි ජීවත් වන පයිටොප්තෙරා දිලීර නිසා මෙම රෝගය ඇතිවනවා. අළුත් වගාවන්ට සෑදෙන ගොබ කුණුවීමේ රෝගය නිසා ලාබාල පත්‍ර පහසුවෙන්ම ගැලවී යනවා. එසේම කරඬුව ආසාදනයට ලක් වුණු විට එහි පත්‍රිකා පහසුවෙන්ම ගැලවී යන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. පාදස්ථ කුණුවීමේ දී පත්‍ර රතු පැහැයට හැරී මැලවී යනවා. එසේම ගස් පහසුවෙන් ඉදිරී වැටීමට ඉඩ තිබෙනවා. මෙම රෝගය දිලීර සහිත පස් සහ රෝපණ ද්‍රව්‍යය මඟින් ව්‍යාප්ත වනවා. 

පහත දක්වා තිබෙන්නේ රෝගය වැලැක්වීම සඳහා භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයක්.

1) නීරෝගී වගාවකින් මොරෙයියන් ලබා ගැනීම 

2) පැළ සිටුවීමට පෙර දිලීර නාශකයක් යොදා පූර්ව ප්‍රතිකාරක කිරීම 

3) වර්ෂාව අධික තෙත් කාළගුණයක් පවතින විට පැළ සිටුවීමෙන් වැළකීම 

4) වගා කරන ඉඩමෙහි ජලවහනය දියුණු කිරීම 

5) වැඩි ගැඹුරකින් පැළ සිටුවීමෙන් වැළකීම 

6) පවතින වගාවක ගොබ කුණුවීම දක්නට ලැබේ නම් නිර්දේශිත දිලීර නාශක පටු කෙමියක් සහිත දිලීර ඉසිනයකින් පැළවල ගොබය තුළට දැමීම 

7) පවතින වගාවකට පාදස්ථ කුණුවීම හෝ ගොබ කුණුවීම වැළඳුණු අවස්ථාවක රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත් කළ යුතු යි. එසේම නිර්දේශිත දිලීර නාශක ගසේ පාමුල සේදී යන ලෙස වත්කර ගස මුලට පස් එකතු කළ යුතු යි.

මැලවීමේ වෛරස් රෝගය 

අන්නාසි වගාවට වැළඳෙන භයානකම රෝගය වන්නේ පිටි මකුණා මඟින් පැතිරෙන මැලවීමේ වෛරස් රෝගය යි. අන්නාසි ගස්වලට මෙම රෝගය වැළඳීමෙන් පසුව පත්‍ර පළමුව තද රතු පැහැයට හැරී රෝස පැහැයට හැරෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එම අවස්ථාවේ දී පත්‍රය එහි දාරය දිගේ ඇතුළට නැමී යනවා. ඊට අමතරව රෝගී පත්‍රවල අග්‍රස්ථ ප්‍රදේශය වියලී යනවා. එලෙස රෝගය වැළඳුණු අන්නාසි ගස් ක්‍රමයෙන් මරණයට පත්වනවා. 

මෙම රෝගයෙන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා වගාව තුළ සිටින පිටි මකුණන් ඉවත් කළ යුතු යි. ඒ සඳහා නිර්දේශිත පළිබෝධනාශක භාවිතා කළ හැකියි. එසේම පිටි මකුණන් අන්නාසි වගාවට ගෙන එන කුහුඹුවන් වගා බිමෙන් ඉවත් කළ යුතු යි. තව ද රෝගය වැළඳුණු ගසක් වගා බිම තුළ තිබුණොත් එය ගලවා පුළුස්සා දැමිය යුතු යි.

කවරයේ වගාව- Experience Travel Group

මූලාශ්‍රයන්- dea.gov.lk

Related Articles