ලොව දුරින් ම පිහිටි අරුම පුදුම ගොඩනැගිලි 6ක්

නිවාස, ආයතන, කඩසාප්පු ආදී මෙකී නොකී බොහොමයක් ගොඩනැගිලි ඉදිකරන්නේ නගර හෝ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිතවයි. ඒ ඒවායෙන් ප්‍රතිලාභ ලබන්නේ මිනිසුන් වීම නිසා. සමහර ගොඩනැගිලි වුවමනාවෙන්ම මිනිස් වාසයට බොහෝ දුර ඈත පිහිටුවා තියෙනවා. ඒ අප එදිනෙදා ඉටු කරගන්න අරමුණුවලට වඩා බොහෝ සෙයින් වෙනස් වුණු අරමුණු වෙනුවෙන් මේ ගොඩනැගිලි ඉදි කළ නිසයි. මේ විදිහට විවිධ අරමුණු වෙනුවෙන් ලෝකයේ දුරස්ථව ඉදිකරපු ගොඩනැගිලි කීපයක් ගැන තොරතුරු මේ ලිපිය කියවීමෙන් ඔබට දැනගන්න පුළුවන්.

1. හේලි VI පර්යේෂණාගාරය

“හේලි VI” ඇන්ටාක්ටික් පර්යේෂණ ආයතනය (Halley VI Research Station) මීට පෙර ඉදි කළ පර්යේෂණ ආයතන 5ට පසු ඉදි වූ වඩා සාර්ථක ම පර්යේෂණ ආයතනය බවයි පැවසෙන්නේ. එහි පාදම කොටස නිරන්තරයෙන් වෙනස් වන සහ ගොඩනැගිලි ඉදිකිරීමට එදිරිවාදිකම් කරන ඇන්ටාක්ටික් පරිසරයට ඔරොත්තු දෙන ලෙස සකසා තිබෙනවා. මේ නිසා එහි ආයුකාලය තවත් වැඩි වී තිබෙනවා. දැඩි සුළංවලට ඔරොත්තු දීම සඳහා මෙම ගොඩනැගිල්ල කොටස් කිහිපයක් ඒක රේඛීයව පෙළගස්වා එකිනෙක සම්බන්ධ කර ඉදිකර තිබෙනවා. මෙම සැකැස්ම නිසා සුළං හමන දිශාවේ පමණක් හිම ප්ලාවනය සිදුවන අතර සුළං මුවාවේ හිම එකතු වීම වැලකෙනවා. මේ හේතුවෙන් හිම ඉවත්කිරීමේ අවශ්‍යතාව අඩු කරගැනීමට හැකියි. එසේම එමඟින් වාහන ගමනාගමනයට අවශ්‍ය ඝන අයිස් මතුපිටක් ද නිර්මාණය වනවා.

halley vi
හේලි VI ඇන්ටාක්ටික් පර්යේෂණ ආයතනය- SpringerLink

ගොඩනැගිල්ලේ පාදවලට හයිඩ්‍රොලික් බල සැපයුමක් ලබාදී තිබෙනවා. එමඟින් හිම පතනය වන ප්‍රමාණය අනුව ගොඩනැගිල්ල පොළවෙන් ඉහළට එසවීම කළ හැකියි. එම පාදවල පතුල අවශ්‍ය විටක හිම මත ලිස්සා යා හැකි ලෙසයි සකස් කර ඇත්තේ. එම නිසා ගොඩනැගිල්ල වෙනත් ස්ථානයකට ගෙනයා හැකි වනවා. මෙම පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ වසරකට මීටර 400 බැගින් මුහුද දෙසට ගමන් කරන මීටර 150 ක් පමණ ඝනකමක් ඇති අයිස් තට්ටුවක් මතයි. මේ අයිස් තට්ටුව Brunt Ice Shelf ලෙසින් හඳුන්වනවා. මෙම චලනය නිසා වසර කීපයකට වරක් හේලි VI ද නැවත ගොඩබිම දෙසට ඇදගෙන යා යුතුයි. ඒ සඳහා හිම මත ගමන් කළ හැකි බර ඇදීමේ වාහන උපයෝගී කරගනෙනවා.

inside halley vi
පර්යේෂණාගාරය ඇතුළත – archicakes.cz

මෙම ගොඩනැගිල්ල පෙර සැකසූ කොටස්වලින් සමන්විත වන අතර 2007 දී මුල්වරට ඇන්ටාක්ටිකාවට රැගෙන යාමට පෙර දකුණු අප්‍රිකාවේදී සවිකර අත්හදා බැලුණා. ඇන්ටාක්ටිකාවේදී එහි කොටස් එකලස් කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා භාවිත කළ හැක්කේ මහද්වීපයේ කෙටි ගිම්හාන සෘතු කාල සීමාව පමණයි. එය මාස 3ක් වැනි කෙටි කාලයක් පවතිනවා. හේලි VI සම්පුර්ණයෙන්ම එකලස් කර අවසන් කිරීම සඳහා ගිම්හාන සෘතු 3ක් ගත වී තිබුණා. හේලි VI පර්යේෂණාගාරය පර්යේෂණ කටයුතු සඳහා විවෘත කෙරුණේ 2013 පෙබරවාරි මාසයේ සිටයි. සෑම වසරකම ගිම්හාන සෘතුවේදී පර්යේෂකයන් 50ක් පමණ මෙහි රැඳී සිටිමින් පර්යේෂණවල නිරත වනවා. ශීත සෘතුවේදී මේ අගය ඉතා අඩුයි.

2. ඊසෝ හෝටලය

චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය මධ්‍යයයේ ඇති “ඊසෝ හෝටලය” (ESO Hotel) මිනිසුන්ට ගොඩනැගිලි ඉදිකරන්නට සීමා මායිම් නොමැති බව තවදුරටත් පෙන්වා දෙනවා. 2008 දී තිරගත වුණු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ (Quantum of Solace) රූගත කිරීම් සඳහා මෙම හෝටලය භාවිත කෙරුණ නමුත් එය මහජනතාව වෙනුවෙන් විවෘත හෝටලයක් නම් නොවෙයි. ඒ වෙනුවට “යුරෝපීය දකුණුදිග නිරීක්‍ෂණාගාරය (European Southern Observatory – ESO) ට අයත් Paranal නිරීක්‍ෂණාගාරයේ පර්යේෂකයන්ට නවාතැන් ගැනීම සඳහා මෙය වෙන් කර තිබෙනවා.

eso hotel
ඊසෝ හෝටලය – reddit

මෙම ගොඩනැගිල්ල මුළුමනින්ම කොන්ක්‍රීට්වලින් ඉදිකිරීම සඳහා කාන්තාර භූමියේ පිහිටීම ස්වභාවික ලෙසම යොදාගෙන තිබෙනවා. කාමර 108ක්, කාර්යයාල 18 ක්, පුස්තකාලයක්,  උද්‍යාන, හුමාල ස්නාන සහ පිහිනුම් තටාක පහසුකම්වලින් ඊසෝ හෝටලය සමන්විතයි.

eso hotel and paranal observatory
ඊසෝ හෝටලයට ඈතින් දිස්වන්නේ Paranal නිරීක්‍ෂණාගාරයයි – flickr

මුහුදු මට්ටමේ සිට මීටර 2400ක් ඉහළින් පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල වෙත ජල සැපයුම තරමක අභියෝගයක් වී තිබෙනවා. ඒ මෙම ප්‍රදේශයට වසරකට මිලි මීටර 10ක වත් වර්ෂාපතනයක් නොලැබෙන නිසාවෙන්. ගොඩනැගිල්ල ඉදිකිරිමේදී ද විශාල ටැංකි යොදාගෙනයි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ජලය ප්‍රවාහනය කර ඇත්තේ. රත් පැහැයෙන් වර්ණ ගන්වා ඇති හෝටලයේ කොන්ක්‍රීට් බිත්ති කාන්තාරයේ වර්ණයට හොඳින් මිශ්‍රවී දිස්වනවා. මෙම කොන්ක්‍රීට් බිත්ති සතුව ඇති තාප ස්කන්ධය මඟින් හෝටලය තුළ දේශගුණය කාන්තාරයේ කටුකත්වයෙන් වෙන්කර තබාගැනීමට උදව් කරනවා.

3. බිෂොප් රොක් දූපතේ ප්‍රදීපාගාරය

ලෝකයේ කුඩාම දුපත ලෙස ගිනස් වාර්තා පොතේ දැක්වෙන්නේ “බිෂොප් රොක්” දූපතයි. එය එංගලන්තයට නිරිත දෙසින් අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති “සිලී ආකිපෙලගෝ” (Scilly archipelago) දුපත් සමූහයේ බටහිර කෙළවරේ ම ඇති දූපත වනවා. මෙම දුපතට ආසන්නම එංගලන්ත ප්‍රධාන ගොඩබිමට අයත් නගරය වන්නේ “පෙන්සැන්ස් “(Penzance) නගරයයි. දුපතේ සිට මෙම නගරයට දුර කිලෝමීටර 70 ක් වනවා. ටෙනිස් පිටි 3ක විශාලත්වයට සමාන කුඩා භූමි ප්‍රමාණයක් ඇති (45 m X 16 m) මෙම දුපතේ මුළු වපසරිය පුරාවටම වාගේ ප්‍රදීපාගාරයක් ඉදිකර තිබෙනවා. එංගලන්තයට අයත් ප්‍රදීපාගාර අතරින් උසින් වැඩිම ප්‍රදීපාගාරය ලෙස “එඩිස්ටන් ප්‍රදීපාගාරය” සමඟ සමතැන හිමි කරගෙන ඇති මෙහි උස මීටර 49ක්.

bishop rock lighthouse steel
යකඩින් තැනු මුල් ප්‍රදීපාගාරයේ සැලැස්ම – aboutscilly.com

උතුරු අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර නාවික ගමන් වැඩි වශයෙන් සිදුවීම ඇරඹුණු 19 වන සියවසේදී මෙම දුපත් සමූහය ආශ්‍රිතව බොහෝ නෞකා විනාශ වීම සිදුවුණා. ඒ බ්‍රිතාන්‍යය වෙත නැවත පැමිණෙන නෞකාවලට මෙම දුපත් හොඳින් දර්ශනය නොවීම හේතුවෙන්. මේ නිසා 1847 දී මීටර 37 ක් උස ප්‍රදීපාගාරයක් යකඩ කකුල් මතින් ඉදිකරන්නට බ්‍රිතාන්‍යයන් සැලසුම් කළා. 1850 දී මුහුදට සෝදාගෙන යෑම නිසා ප්‍රදීපාගාරය එක්වරක් හෝ දැල්වීමටවත් ඔවුන්ට අවස්ථාවක් උදෑවුයේ නැහැ. අද පවතින ප්‍රදීපාගාරය ඉදිකිරීම ඇරඹුණේ 1851 දීයි. කළුගල් යොදාගෙන මෙය නිර්මාණය කර ඇති අතර එහි අත්තිවාරම ජල මට්ටමට පහතින් ඉදිකළ යුතු නිසා ඒ සඳහා කොෆර්ඩෑම් එකක්ද බ්‍රිතාන්‍යයන් ඉදිකර තිබුණා. 1858 දී පළමුවරට ප්‍රදීපාගාරය දැල්වුණු අතර 1881 දී එය නැවත ශක්තිමත් කර මීටර 49ක් උසකට සාදා නිම කළා.

bishop rock lighthouse today
ප්‍රදීපාගාරය අද දිස්වන අයුරු – rove.me

මෙම ප්‍රදීපාගාරයේ පාදම කොටසේ ජල ටැංකියක්ද ඉදිකර තිබෙනවා. ඒ ප්‍රදීපාගාරය නඩත්තු කරන්නන් හට පිරිසුදු ජලය ලබාගැනීම සඳහායි. එතනින් ඉහළට තවත් මහල් 9 කින් මෙය සමන්විතයි. ඒවා උපකරණ ගබඩා කාමර, තෙල් ගබඩා කාමර, විසිත්ත කාමරයක් සහ නිදන කාමරයක් ආදියෙන් සමන්විතයි. 9 වන මහලට ඉහළින් ප්‍රදීපාගාරයේ ප්‍රධාන ලාම්පුව පිහිටා තිබෙනවා. මෙම ප්‍රදීපාගාරය වෙත බෝට්ටු මඟින් ළඟා වීම අසීරු නිසා එය මුදුනේ හෙලිපෑඩ් එකක් ඉදිකිරීමට ද 1976 දී කටයුතු කෙරුණා. එය 1992 වනතෙක් නිරන්තර භාවිතයට ලක්වූවත් ඉන්පසුව ප්‍රදීපාගාරය සම්පුර්ණයෙන්ම ස්වයංක්‍රීය කළ නිසා අද වන විට එතරම් භාවිතයට ගැනෙන්නේ නැහැ.

4. ලෝක විනාශ දිනයේ සේප්පුව

ලෝකයේ දුරස්ථව ම පිහිටා ඇති “ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව” ගැන මීට පෙර ලිපියකින් විස්තර ගෙන ආවා. හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් කුමන හෝ ආකාරයෙන් වගා සම්පුර්ණයෙන් විනාශ වී ගියහොත් ඒවා නැවත වගා කිරීමට අවශ්‍ය වන බීජ ලබා ගත හැකි රහසිගත බීජ තැන්පතුවක් ලෙස යි මෙය ක්‍රියාත්මක වන්නේ. මෙය ලෝක විනාශ දිනයේ සේප්පුව නමින් (Doomsday Vault) ලෙසත් හඳුන්වනවා. මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ නෝර්වේ රාජ්‍යයට අයත් විශාලතම දූපත ලෙස සැලකෙන ස්පිට්ස්බර්ගන්හි ලොන්ග්ඉයර්බයන් නිම්නයේ බටහිර වෙරළ තීරයට යාබදව, එනම් උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 1,300 ක් පමණ දුරින්. මෙම ගොඩනැගිල්ලේ මෙතරම් දුරස්ථව ඉදිකර තිබෙන්නේ එහි ආරක්ෂාව වෙනුවෙන් වන අතර මෙම කලාපයේ උෂ්ණත්වය සෑම විට ම සෙල්සියස් අංශක 0 ට අඩුවෙන් පවතින නිසා බීජ සංරක්ෂණයට සවිකර ඇති ශීතකරණ/උණුසුම්කරණ ක්‍රියාවිරහිත වූවත් ඒවා විනාශ නොවී පවත්වා ගැනීමට එම පරිසර තත්වය හේතුවක් වනවා.

Svalbard vault
ස්වැල්බාඩ් ලෝක බීජ තැන්පතුව වෙත පිවිසීමේ ද්වාරය – croptrust.org

මෙම ගොඩනැගිල්ල සකස් කර තිබෙන්නේ සිලිකා කන්දක් තුළ මීටර 150 ක් දුරට සකස් කළ උමගක් තුළයි. මෙම ගොඩනැගිල්ලේ බීජ තැන්පතුව මුහුදු මට්ටමේ සිට මීටර 130ක් උසින් පිහිටන ලෙස සකස් කර තිබෙනවා. එමඟින් ධ්‍රැව අයිස් දියවීමකදී වුව ද ඇති වන ජල මට්ටම ඉහළ යාමකට පවා ඔරොත්තු දිය හැකියි. ගොඩනැගිල්ලේ විශාල ප්‍රමාණයක් කන්ද තුළ පිහිටා තිබෙන අතර පිටතට පෙනෙන්නේ එහි පිවිසුම් කොටස පමණයි.

svalbard vault plan
ගොඩනැගිල්ලේ සැලැස්ම -Time Magazine

5. ටාෂ් රබාත් ගොඩනැගිල්ල

කිරිගිස්ථානයේ දකුණු දිගට වන්නට පිහිටි නරීන් (Naryn) ප්‍රාන්තයේ කෙළවර ටාෂ් රබාත් (Tash Rabat) නම් මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙනවා. ක්‍රි.ව. 10 වන ශත වර්ෂයේදී පමණ මෙය ආශ්‍රමයක් වශයෙන් ඉදිකර ඇතිබවයි සැලකෙන්නේ. පසුකාලීනව එය සංචාරකයන් සහ වෙළෙඳුන් සඳහා නවාතැන්පළක් වශයෙන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ යුරෝපය සහ ආසියාව යා කෙරෙන සේද මාවතේ පිහිටා තිබීම හේතුවෙන්. කාමර 31 ක් සහ ශාලා සහිත මෙම ගොඩනැගිල්ලේ වහලය අර්ධගෝලාකාර හැඩයක් ගන්නවා. මුළු ගොඩනැගිල්ලම නිර්මාණය කර තිබෙන්නේ කුඩු ගල් සහ මැටි යොදාගනිමින් වන අතර ඒවා ඒ ප්‍රදේශය අවටින්ම සොයාගත් අමුද්‍රව්‍යයි. 

tash rabat
ටියාන් ශාන් කඳුකරයේ පිහිටි ටාෂ් රබාත් – mapcarta

අද වන විට මෙම ගොඩනැගිල්ල පෙර පරිදි භාවිතයට ගැනෙන්නේ නැහැ. සංචාරකයින්හට ගොඩනැගිල්ල නැරඹීමේ අවස්ථාව එහි සංරක්ෂණ කණ්ඩායම උදාකර දී තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් පැමිණෙන්නේ නම් 4×4 වාහනවලින් පමණක් ගමන් කිරීමට හැකි මාර්ගයක තවත් කිලෝමීටර 10 ක් දුර ගෙවා ටියාන් ශාන් (Tian Shan) කඳුකරයේ පිහිටි මෙම ස්ථානයට ළඟා විය හැකියි. ශීත කාලයේදී පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වන්නේ නැහැ. එම කාලයට සාමාන්‍ය වාහන ගමන් කළ හැකි මාර්ග ද හිමෙන් වැසී යන නිසා මුළු දුරම ගමන් කළ යුතු වන්නේ 4×4 වාහනයක් භාවිත කරමින් පමණයි. මෙහි පැමිණෙන සංචාරකයන්ට රාත්‍රියේ නවාතැන් ගැනීම සඳහා ගොඩනැගිල්ලේ සංරක්ෂණ කණ්ඩායම, සාම්ප්‍රදායික වටකුරු කුඩාරම් නිර්මාණය කර තිබෙනවා.

tash rabat round tent
ටාෂ් රබාත් ගොඩනැගිල්ල සහ ඈතින් සංචාරකයින්හට නවාතැන් ගැනීමට සකස් කර ඇති වටකුරු කුඩාරම්  – traveltriangle.com

6. ස්ෆින්ක්ස් නිරීක්ෂණාගාරය

ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳු මුදුනේ පිහිටා ඇති ස්ෆින්ක්ස් නිරීක්ෂණාගාරය ද (Sphinx observatory) ලොව මිනිස් වාසයෙන් දුරස්ථව පිහිටි තවත් ගොඩනැගිල්ලක්. මුහුදු මට්ටමේ සිට මීටර 3571 ක් උසින් පිහිටා ඇති මෙය යුරෝපයේ ඉහළින් ම පිහිටි ඉදිකිරීම ද වනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට හැකියාව ලැබී ඇත්තේ ඇල්ප්ස් කඳුවැටිය හරහා ඉදිකළ දුම්රිය මාර්ග පද්ධතිය සහ ස්ෆින්කස් නිරීක්ෂණාගාරය ආසන්නයේම ඇති යුරෝපයේ ඉහළින් ම පිහිටා ඇති දුම්රිය ස්ථානය 1912 දී ඉදිකිරීම හේතුවෙන්. ඒ නොවන්නට ඉදිකිරීම් සඳහා අවශ්‍ය කම්කරුවන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීම කිසිසේත්ම කළ නොහැකි වනවා.

sphinx observatory
ඇල්ප්ස් කඳුවැටියේ පිහිටි ස්ෆින්ක්ස් නිරීක්ෂණාගාරය – jungfrau.ch

1937 දී විවෘත කළ මෙම නිරීක්ෂණාගාරයේ මේ දක්වා වැඩි දියුණු කිරීම් රැසක් සිදු කර තිබෙනවා. මේ නිසා අද වන විට අභ්‍යවකාශ විද්‍යාව, ග්ලැසියර විද්‍යාව සහ කාලගුණ විද්‍යාව සම්බන්ධව ලොව ඇති ප්‍රමුඛ පෙළේ නිරීක්‍ෂණාගාරයක් ලෙස මෙය හැඳින්විය හැකියි. 

sphinx observatory tunnel
කඳු අභ්‍යන්තරයේ උමං මාර්ග පද්ධතිය සහ නිරීක්‍ෂණාගාරය වෙත දිවෙන විදුලි සෝපානය – rail.cc

ඊට අමතරව මෙම ස්ථානය සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ස්ථානයක් ද වනවා. ඒ යුරෝපය ඉහළට පෙනෙන ආකාරය මෙම ස්ථානයේ සිට නැරඹිය හැකිවීම හේතුවෙන්. දුම්රිය ස්ථානයේ සිට නිරීක්‍ෂණාගාරය වෙත දිවෙන භූගත සෝපානයක් ද සවිකර තිබෙන නිසා සංචාරකයන්ට පහසුවෙන් ස්ෆින්ක්ස් නිරීක්ෂණාගාරය වෙත ළඟා විය හැකියි.

කවරයේ ඡායාරූපය- ඇල්ප්ස් කඳුවැටියේ පිහිටි ස්ෆින්ක්ස් නිරීක්ෂණාගාරය - mamo.ch 

මූලාශ්‍ර:

theb1m.com

 trinityhouse.co.uk

atlasobscura.com

bas.ac.uk

designbuild-network.com

Related Articles