වීදි පුරා සැරිසරන, කවුද මේ ‘බෝරා’?

පාට පාටින් අමුතු ඇඳුම් ඇඳගත්, පෙනුමෙන් රුසියානු මත්‍රියෝෂ්කා බෝනික්කන් වන් පිරිසක් මේ දිනවල කොළඹ පුරාවටම දකින්නට ලැබෙනවා. මොවුන් හැඳින්වෙන්නේ ‘බෝරා’ යන නමින් බව ඔබ දැනටමත් දන්නවා. පුරුෂයින් සුදු පැහැ ලෝගු හා දිගු ‍රැවුලුත්, රන් පැහැයෙන් වැඩ දැමූ රේන්ද තොප්පිත්, කාන්තාවන් දීප්තිමත් ළා වර්ණයන්ගෙන් මැසූ “රිධා” නම් ලෝගුත් කැපී පෙනෙනවා. නමුත් බෝරාවරුන් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ පෙනුම නිසාම පමණක් නොවෙයි. ඔවුන් ව්‍යාපාර ලෝකයේ ඉමහත් නමක් දිනාගත්තවුන්. “බෝරා” යන නමම පවා “වෙළෙන්දා” යන අර්ථ දෙන ”වෝරු’ යන ගුජරාති වදනින් බිඳී ආවක්. ඉතින් කවුද මේ බෝරාවරු? 

බෝරා කාන්තාවන් “රිධා” නම් වර්ණවත් ලෝගු නිසා කැපී පෙනෙනවා  (LA Daily News)

ඊජිප්තුවෙහි ඇදි මුල් 

ලංකාවේ වෙසෙන බහුතරයක් මුස්ලිම් ජනතාව සුන්නි මුස්ලිම්වරුන් වුව ද, බෝරාවරුන් ශියා මුස්ලිම්වරුන්. ඔවුන්ගේ ආගමික මුල්බිම වන්නේ ඊජිප්තුව යි. මුල් කාලයේ ආගමික නායකත්වය හේතුවෙන් හටගැනුණු දේශපාලනික කාරණාවන්, බෝරාවරුන් වෙනම ශියා ප්‍රජාවක් බවට වෙන්වෙන තැනට වර්ධනය වුණා. 

බෝරාවරුන්ගේ මුතුන්මිත්තන් ඊජිප්තුව පාලනය කළ මධ්‍යකාලීන රජ පෙළපතකින් පැවත එන්නන් බව ඔවුන් පවසනවා. මේ රජ පෙළපත මොහොමඩ් නබිවරයාගේ දියණිය වූ ෆාතිමාගෙන් පැවැත එන බව ඔවුන්ගේ විශ්වාසය යි. 

දොළොස්වන සියවසේ දී, ඔවුන්ගේ 21 වන ඉමාම්වරයා (නායකයා) වූ තයියිබ් මිනිස් ආශ්‍රයෙන් හුදෙකලා වාසය සඳහා පිටත්ව යනවා. බෝරාවරුන්ගේ විශ්වාසය වන්නේ ඒ ඉමාම්වරයාගෙන් පැවැත එන උරුමක්කරු වර්තමානයේ ඔවුන් අතර සිටින බව යි. මේ උරුමක්කාරයා තමන්ගේ අනන්‍යතාවය හෙළිකොට, බෝරාවරුන්ගේ නායකත්වය ලබාගනු ඇතැ යි ඔවුන් විශ්වාස කරනවා. ලොව පුරා වෙසෙන බෝරාවරුන් ඔවුන්ගේ ඉමාම්වරයා පැමිණ ඔවුන් එක්සත් කොට, ලෝක සාමය උදාවන දිනය පැමිණෙන තෙක් බලා සිටිනවා. 

බෝරා මස්ජීදයක් ඇතුළත (The Dawoodi Bohras)

වර්තමානයේ බෝරාවරුන්ගේ ආධ්‍යාත්මික නායකයා “ඉමාම්” යන නාමයෙන් හැඳිවෙන්නේ නැහැ. ඔවුන් හැඳින්වෙන්නේ “දායි අල් මුත්ලාක්” යනුවෙන්. මක් නිසා ද යත්, ඔවුන් බෝරාවරුන්ගේ නියම නායකයා තමන් හෙළිදරව් කරනා තෙක් බෝරාවරුන්ට නාමික නායකත්වයක් දෙනවා පමණක් නිසා යි. අනෙකුත් ඉස්ලාම්වරුන් මෙන් බෝරාවරුන් සෑම සිකුරාදාවකම පල්ලියේ ආගමික මෙහෙයන් පවත්වන්නේ ද නැහැ. අනුගාමිකයන්ට එවැනි මෙහෙයක් පැවැත්වීමේ හැකියාව ඇත්තේ නියම නායකයාට පමණක් බවත්, වර්තමානයේ නායකත්වය දෙන ආධ්‍යාත්මික නායකයින්ට එම හැකියාව නැති බවත් යන විශ්වාසය නිසා යි ඒ. 

තයියිබ් නම් ඉමාම්වරයා හුදෙකලා වාසයට පිටව ගිය බව ඉහත දී ප්‍රකාශ කළා. ඔහුගේ නික්ම යාමෙන් අනතුරුව බෝරාවරුන්ගේ සභාවේ හැසිරවීමේ කටයුතු බාර ගත්තේ පෙර කී පෙළපතින් පැවැත ආ යේමන ‍රැජිනක වූ ආර්වා යි. බෝරාවරුන්ගේ පළමු දායිවරයා (‘වැඩ බලන’ ආධ්‍යාත්මික නායකයා) ඈ විසින් පත් කෙරුණා. වර්තමානය දක්වා බෝරාවරුන්ගේ නායකයා පැවැත එන්නේ එම පරපුරෙන්. මේ අතරේ එක්තරා දායිවරයෙකුගේ සමයේ දී ඔවුන්ගේ සභාව යේමනයෙන් ඉන්දියාවට මාරු වුණා. අදටත්, ලොව පුරා බෝරාවරුන්ගේ නායකයා වසන්නේ මුම්බායි හි යි. 

ලංකාවට අතු විහිදෙයි 

බෝරාවරුන් ලංකාවට පැමිණියේ එක්තරා අන්දමක අහම්බයකින් බව කිව හැකියි. ලංකාවට පැමිණි පළමු බෝරා ව්‍යාපාරිකයා වූ ජාෆර්ජී ඊසාජී ලංකාවේ ගාල්ලට ගොඩබැස්සේ ඉන්දියාවේ සිට මාලදිවයින් කරා රුවල් යාත්‍රාවක වෙළඳාමේ යමින් සිටිය දී කුණා‍ටුවකට හසුවීම නිසා යි. ලංකාවේ වෙළඳාම් කිරීමට ඇති අවස්ථාව දු‍ටු ඔහු සිය වෙළඳාම මෙහි පිහි‍ටුවා ගත්තේ 1830 වර්ෂය ආසන්නයේ යි. ඒ ආසන්නවම තම පවුලත්, තම වෙළඳ සහකරුවනුත් ඔහු විසින් ඉන්දියාවෙන් මෙහි ගෙන්වා ගැනුණා. ඉක්මනින්ම ලංකාව ගැන ආරංචිය බෝරාවරුන් අතර පැතිර ගිය අතර ඉන්දියාවේ ඈත කොන්වල සිටි බෝරාවරුන් වෙළඳාම සඳහා මෙහි පැමිණියා. 

ගාල්ලේ බෝරා පල්ලිය, ජමාලි මස්ජීදය 2004 සුනාමි ව්‍යසනයෙන් පසු  (The Dawoodi Bohras)

 බෝරාවරුන් පළමුවෙන්ම වාසය සඳහා ‍තෝරාගත්තේත්, තම පල්ලිය පිහි‍ටුවන ලද බිම වූයේත් ගාල්ල යි. 19 වන සියවසේ මැද භාගයේ දී කොළඹ නගරය වෙළඳාම් සඳහා ප්‍රසිද්ධියට පත් වූ පසු ඔවුන් පිටකො‍ටුව ආසන්නයට සංක්‍රමණය වුණා. මුල් කාලයේ ඔවුන්ගේ වෙළඳාම වී ඇත්තේ උම්බලකඩවලට සහල් හුවමාරු කිරීම යි. 

එදා පටන්ම අදටත්, බෝරාවරුන් ආනයන-අපනයන වෙළඳාමේ සාර්ථකව නිරත වෙනවා. ඔවුන් ලංකාවේ නිපදවෙන දේ අපනයන කරන අතර විදේශීය වෙළඳ භාණ්ඩ ආනයනය කරමින් මුදල් උපයනවා. ලංකාවේ විශාලම තේ අපනයනකරුවා වන්නේ බෝරාවරුන් බව අදටත් බොහෝ දෙනා නොදන්නා කරුණක්. ඒ, 1969 දී අබ්බාස්, ආබිද්, හා ඉනායත් අක්බාරලි සහෝදරයන් ආරම්භ කළ ‘අක්බාර් බ්‍රදර්ස්’ සමාගම මඟින්. ජාෆර්ජී සොහොයුරන් තේ, රබර්, සහ ඇඟලුම් අපනයනයේ යෙදෙනවා. යූසුෆාලිවරුන් පාලනය කෙරෙන හේමාස් සමාගම මූලිකවම ඖෂධ වෙළඳාමේත්, ලුක්මන්ජීවරුන් විසින් පාලිත මැන්කො සමූහය ප්ලාස්ටික් නිෂ්පාදන සහ ප්‍රවර්ධන කටයුතුවලත්, ඩීබග් ආයතනය තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ කටයුතුවලත් යෙදෙනවා. මින් පෙර පිටකො‍ටුවේ කයිසර් වීදියේ තිබූ, දැන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා ශාඛාවන් පිහිටි රෝයල් ස්වීට් මාට් අයත් වන්නේ පැරණි බෝරා පවුලක් වූ ඩවූඩ්භෝයිවරුන්ට යි. 

ලාංකික බෝරාවරුන්

එකල බෝරා නායකයා සර්දාර් සායිෆුද්දීන් ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක සමග (පින්තූරය ලබාදීමේ ස්තුතිය: යුසුෆ් මාමුජී)

මෙරටට පැමිණි මුල් සමයේ වෙළඳ කටයුතු සඳහා නිතර ඉන්දියාවත් ලංකාවත් අතර ගමන් කළ ද, අද වන විට ඔවුන් ලංකාව සිය වාසය සඳහා ‍තෝරාගෙන, අනෙකුත් ලාංකිකයන් හා සාමයෙන් ජීවත් වෙනවා. 

1950 ගණන්වල මැද අවධියේ බෝරාවරුන් කුර්බාන් ආදමාලි නම් නියෝජිතයෙකු (බම්බලපිටියේ ආදමාලි වීථිය එම නම ලබා ඇත්තේ ඔහු සිහිවීම පිණිස යි) සෙනේට් සභාවට පත්කර යවන්නට සමත් වූ අතර, පසුව ඩඩ්ලි සේනානායකගේ රජයේ මන්ත්‍රීවරයෙකු ලෙස සයිෆුද්දීන් ජාෆර්ජී නම් බෝරාවරයා පාර්ලිමේන්තුව වෙත පත්කර හරිනවා. ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් පමණක් නොව වෛද්‍යවරුන්, සහ ක්‍රීඩකයින් ද ලාංකික බෝරා ප්‍රජාව රටට දායාද කර තිබෙනවා. 

බෝරාවරුන්ගේ ජීවිතය 

බෝරාවරුන් ඔවුන්ගේ වර්තමාන ආධ්‍යාත්මික නායකයා වූ 53 වන දායිවරයා, සායිද්නා මුෆාදල් ඉතා ගෞරවයෙන් සහ ආදරයෙන් අගය කරනවා. ඔවුන්ගේ නායකයා මෙහි පැමිණෙන ඕනෑම අවස්ථාවක්, බෝරා ප්‍රජාවට බොහෝ කාර්යයබහුල සමයක් වන්නේ ලොව වටා වෙසෙන අනෙකුත් බෝරාවරුන් ද එම අවස්ථාවට එකතු වන නිසා යි. 2008 වසරේ එකල බෝරා නායක සායිද්නා බුර්හනුද්දීන් මෙහි පැමිණි අවස්ථාවේ ඔහුගේ දේශනාවන්ට සවන් දෙන්නට, ලාංකික බෝරාවරුන් 2000ට අමතරව තවත් බෝරාවරුන් 15000ක් පමණ විදේශයන්ගෙන් මෙහි පැමිණියා. මෙවර ද, ඔවුන්ගේ ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට එම ආධ්‍යාත්මික නායකයා මෙහි පැමිණ සිටින අතර ලොව වටා රටවල් 40කින් බෝරාවරුන් 21000කට අධික ප්‍රමාණයක් මෙහි පැමිණ සිටිනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් අනතුරුව මෙරට පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර උත්සවය වන්නේ මෙය යි. මේ අවස්ථාවේ මෙවැනි උත්සවයන් පැවැත්වීම රටට හිතකර බව ඇතැමුන්ගේ විශ්වාසය වන්නේ එමඟින් බොහෝ විදේශ විනිමය ලංකාවට ඇදෙන අතරේ, නව වෙළඳ සබඳතා ආදිය ද හටගන්නා බැවිනුයි. 

 2019 සමුළුවට පැමිණි බෝරාවරුන්ගෙන් බම්බලපිටියේ වීථි පිරී  (Colombo Gazzette)

මූලාශ්‍රයයන්: 

ආසිෆ් හුසේන් Roar.lk වෙත ලියූ The Bohras - Plucky Business Barons

Encyclopaedia Britannica

The Sunday Times Sri Lanka

කවරය: twitter.com/zartajgulwazir

Related Articles