Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තමන් මිය ගිය පුද්ගලයෙකැයි සිතෙන කෝටාඩ් මෝහය

කෝටාඩ් මෝහය යනු ශරීරයේ කොටස් මිය ගොස් ඇති බවට හෝ මිය යමින් පවතින බවට හෝ ශරීර කොටස් නොපවති යැයි වැරදි විශ්වාසයන් මොළය මඟින් ඇති කරන දුර්ලභ මානසික තත්ත්වයකි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වන්නේ දැඩි මානසික අවපීඩනය සහ ඇතැම් මානසික ආබාධ සමඟ ය. කෝටාඩ් මෝහය වෙනත් මානසික රෝග සහ ස්නායු රෝග තත්ත්ව සමඟ ද ඇති විය හැකි බවට කරුණු සොයා ගෙන ඇත.

කෝටාඩ් ආබාධය පිළිබඳව දැක්වෙන සිතුවමක් - www.deviantart.com
කෝටාඩ් ආබාධය දැක්වෙන සිතුවමක් – www.deviantart.com

රෝග ලක්ෂණ

මෙම මානසික ව්‍යාකූලතාවෙන් පෙළෙන පුද්ගලයන් තමන් ඇවිදින මළවුන් හෝ අවතාර බවත්, තම ශරීරය දිරාපත් වෙමින් පවතින බවත්, ඔවුන්ට ලේ සහ අභ්‍යන්තර අවයව අහිමි වී ඇති බවටත් විශ්වාස කරයි. ඇතැම් පුද්ගලයන්ට මුළු ශරීරය ම සම්බන්ධයෙන් මේ ආකාරයට හැඟෙන අතර ඉන් කොටසකට එය දැනෙන්නේ ඔවුන්ගේ අවයව හා අත් පා සම්බන්ධයෙන් පමණි. 2011 වර්ෂයේ දී මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ සමාලෝචනය මඟින් පෙන්වා දී ඇත්තේ ලේඛනගත සිද්ධීන්ට ගොදුරුවූවන්ගෙන් 89% ක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව යි.

කෝටාඩ් මෝහය සම්බන්ධ අනෙකුත් රෝග ලක්ෂණ:-

  • තමා මිය ගොස් හෝ මිය යන බවට පවසන හඬ ඇසීම.

  • ජීවතුන් අතර සිටීම ප්‍රතික්ෂේප කිරීම.

  • දැඩි මානසික අවපීඩනය හෝ දුක. (Melancholia)

  • ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.

  • ශාප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස්.

  • වේදනාවන්ට සංවේදී නොවීම.

  • කතා කිරීම නතර කිරීම.

  • සමාජශීලි නොවීම.

මනස ලෙඩ කරන බයිපෝල අක්‍රමිකතාව  – www.betterhelp.com

 

ඇති වීමට හේතුව

කෝටාඩ් මෝහ තත්ත්වය ඇතිවීමට නිශ්චිත ව බලපාන හේතුව කුමක්ද යන්න තවමත් හඳුනාගෙන නොමැත. එය ඇති විය හැකි අවදානම් සාධක කිහිපයක් හඳුනාගෙන තිබේ. ඇතැම් අධ්‍යයන මඟින් සොයා ගෙන ඇත්තේ මෙම තත්වය ඇතිවන්නේ බොහෝ දුරට වයස අවුරුදු 50 දී  බව යි. කෝටාඩ් මෝහය නව යොවුන් වියේ දී ඇති විය හැකි බවත්, මෙම රෝගය වැලඳුණු අවුරුදු 25 ට අඩු පුද්ගලයන් බයිපෝල අක්‍රමිකතාවයෙන් ද පෙළෙන බවත් නවත ම අධ්‍යයන වාර්තා මගින් හෙළි වී ඇත. කාන්තාවන්ට කෝටාඩ් මෝහ තත්වය ඇති වීමට වැඩි ඉඩකඩක් ද පවතියි.

කෝටාඩ් මෝහ ආබාධය වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකි වෙනත් මානසික සෞඛ්‍ය තත්ත්ව:-

  • භින්නෝන්මාදය (Schizophrenia)

  • මානසික අවපීඩනය (Depression)

  • පශ්චාත් මානසික අවපීඩනය (Postpartum depression)

  • බයිපෝල අක්‍රමිකතාව (Bipolar disorder)

  • විඝටන ආබාධය (Dissociative disorder)

  • කෝටාඩ් ආබාධය පිළිබඳව දැක්වෙන සිතුවමක් - www.deviantart.com
    කෝටාඩ් මෝහය (Cotard delusion-CD) –  www.wikiwand.com 

කෝටාඩ් ආබාධය සදහා බලපාන ස්නායු ආබාධ තත්ත්ව:-

  • ඩිමෙන්ශියාව (Dementia) – මතකය සහ විනිශ්චය නැතිවීම.

  • අපස්මාරය

  • ඉරුවාරදය

  • ආඝාතය (Stroke)

  • පාකින්සන් (Parkinson) – මොළයේ ස්නායු සෛලවලට හානි වීම.

  • එන්සෙෆලෝපති (Encephalopathy) – වෛරසයක් හෝ විසක් මොළයට බලපෑමෙන් ඇතිවන තත්වයකි.

  • ස්ක්ලේරෝසිස් (Sclerosis) – මොළය සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත ව ඇතිවන බරපතල රෝගී තත්වයකි.

කෝටාඩ් තත්ත්වය හඳුනා ගැනීම

බොහෝ විට මෙම තත්ත්වය සාමාන්‍යයෙන් මානසික රෝගී තත්ත්වයක් ලෙස හඳුනා නොගන්නා නිසා කෝටාඩ් තත්ත්වය හඳුනා ගැනීම සදහා සම්මත නිර්ණායක නොමැත. එබැවින් රෝගියාගේ ඉතිහාසය සහ මනෝචිකිත්සක රෝග ලක්ෂණ අනුව මෙම තත්ත්වය පිළිබඳ ව නිගමනවලට වෛද්‍යවරු පැමිණෙති.

යම් කිසි ආකාරයට ඔබට මෙම ආබාධය ඇති විය හැකි යැයි ඔබ සිතන්නේ නම්, ඔබට ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ ව සටහනක් තබා ගන්න, එම රෝග ලක්ෂණ ඇති වන විට එම ලක්ෂණ කොපමණ කාලයක් පවතිනේද යන්න පිළිබඳ ව ද සටහන් කර ගන්න. එමඟින් වෛද්‍යවරයාට රෝගය පිළිබඳ නිගමන සදහා එළඹීමට ඔබේ සටහන උපකාරී වනු ඇත.

සිදු කළ හැකි ප්‍රතිකාර

කෝටාඩ් ආබාධ තත්ත්වය සමනය සදහා ඖෂධ ප්‍රතිකාර, සංජානන චර්යා චිකිත්සාව (CB ), මනෝචිකිත්සාව සහ විද්‍යුත් කම්පන ප්‍රතිකාරය (ECT)  යන ප්‍රතිකාර ක්‍රම භාවිත කරයි. මෙහි දී මෙම විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නේ අනෙකුත් ප්‍රතිකාර ක්‍රම උත්සාහ කිරීමෙන් අනතුරුව ය.

කෝටාඩ් ආබාධ තත්ත්වය සඳහා භාවිතා කරන ඖෂධ කිහිපයක්:-

  • මනෝවිරෝධක ඖෂධ

  • විෂාද නාශක

  • කාංසාව වැගැක්වීමේ ඖෂධ

 රෝග ලක්ෂණ දරුණු වුව ද ප්‍රතිකාර මගින් කෝටාඩ් ආබාධ තත්ත්වය සුව කළ හැකි ය. සාමාන්‍යයෙන් මේ සඳහා ප්‍රතිකාර කිරීමේ දී ඖෂධවලට සාපේක්ෂව විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය බොහෝ විට පලදායි භාවිතයක් වේ.

ECT ප්‍රතිකාරය - www.pngitem.com
ECT ප්‍රතිකාරය – www.pngitem.com

කෝටාඩ් ආබාධ තත්ත්වය ඇති කරන සංකූලතා

 පුද්ගලයා තමන් මිය ගිය ඇති බැව් සිතීම නිසා ඇතැම් විට ආහාර නොගැනීම, ස්නානය නොකිරීම, තමන් පිළිබඳ දක්වන සැලකිල්ල අඩු වීම සහ සමීපතමයන් ඈත් කිරීමට පටන් ගනී. දිගින් දිගට ම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මන්දපෝෂණ තත්ත්වය ඇති විය හැකි ය.

ඇතැම් පුද්ගලයන් තමන්ට නැවත මිය යා නොහැකි බව පෙන්වීම සදහා සිය දිවි නසාගැනීමට ද උත්සාහ කරයි. ඇතැම් පිරිස්, ඔවුන් ශරීරයට සහ ජීවිතයට කොටු වී ඇති බැව් සිතීම නිසා එයින් මිදීමට ඇති එක ම විකල්පය මිය යාම බව ද සිතයි.

කෝටාඩ් ආබාධය - https://medium.com
කෝටාඩ් ආබාධය – medium.com

මෙම ආබාධ තත්වය සම්බන්ධව සිදුවීම් රාශියක් ලොව පුරා වාර්තා වේ. ඉන් ප්‍රසිද්ධ සිදුවීම් 2ක් පහතින් දක්වා ඇත.

2008 වර්ෂයේ දී, නිව් යෝර්ක් මනෝ චිකිත්සකයෝ, 53 හැවිරිදි රෝගියකු වන ලී ගැන වාර්තා කළහ. එහිදී ඇය, තමන් මිය ගොස් ඇති බවත්, ඇයගේ ශරීරයෙන් කුණු වූ මස් මෙන් ගන්ධයක් වහනය වන බවත් පැමිණිලි කළා ය. එහිදී ඇය තම පවුලේ අයගෙන් ඉල්ලා සිටියේ ඇය මියගිය අය සමඟ සිටීමට හැකි වන පරිදි මෘත ශරීරාගාරයකට ගෙන යන ලෙස යි.

ඔවුහු පසුව ඒ වෙනුවට ලී මානසික වෛද්‍ය ඒකකයට ඇතුළත් කළහ. එහිදී ඇය චෝදනා කළේ පරිපූරක වෛද්‍යවරුන් ඇයගේ නිවසට ගිනි තැබීම සදහා උත්සාහ කළ බව යි. මාසයක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු ඇයගේ මාන්සික තත්ත්වය යහපත් විය.

2009 වර්ෂයේ දී, බෙල්ජියම් මනෝ චිකිත්සකයෝ, 88 හැවිරිදි පුද්ගලයකුගේ විෂාදය රෝග ලක්ෂණ සහිත ව රෝහලට පැමිණීම වාර්තා කළහ. එහිදී එම පුද්ගලයා තමන් මිය ගොස් ඇති බවත්, කිසිවෙක් ඔහු මිහිදන් කර නොමැති බවටත් ප්‍රකාශ කර ඇත. ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුගේ එම මිථ්‍යාව පහ ව ගියේ ය.

මනස ලෙඩ කරන බයිපෝල අක්‍රමිකතාව ගැනත් කියවන්න.

කවරයේ ඡායාරූපය -  කෝටාඩ් මෝහය - twitter.com/thegooddeath

මුලාශ්‍ර:

www.medicinenet.com

www.healthline.com

www.emedicinehealth.com

www.mentalfloss.com

Related Articles