Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා විහාරබිමේ යටගියාව මතු කරන සෙල්ලිපි 4ක්

මහින්දාගමනයෙන් පසු ලක්දිව පිහිටුවුණු පළමු ආරාමික ප්‍රදේශය මහා විහාරය ලෙසින් හඳුන්වනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ ස්ථාපිත කෙරුණු මහා විහාර භූමිය තුළ ශ්‍රී මහා බෝධිය, ස්වර්ණමාලී මහා සෑය, ලෝවාමහාපාය වැනි සිද්ධස්ථාන දක්නට ලැබෙනවා. මහා විහාර සංකීර්ණයට අයත් ප්‍රධාන සිද්ධස්ථාන පිහිටා තිබෙන්නේ ‘සිංහ වික්‍රාන්තිය’ නම් වුණු ක්‍රමවේදයකට අනුව බවට මතයක් පවතිනවා. ‘සිංහ වික්‍රාන්තිය’ යනුවෙන් හඳුන්වන්නේ සිංහයෙකු දකුණු පසට ආපසු හැරී බලන විට සිංහයාගේ දෘෂ්ටිය වැටෙන සහ ශරීරාංග පිහිටන ස්ථාන යි. ඒ අනුව මහා විහාරයට අයත් ප්‍රධාන අංග පහත දැක්වෙන ආකාරයට පිහිටා තිබෙන බව විද්වතුන්ගේ මතය යි.

1) ශ්‍රී මහා බෝධිය – සිංහයාගේ වල්ගය අග පිහිටි තැන  

2) ලෝවාමහාපාය – දකුණු පාදය පිහිටි තැන 

3) සන්නිපාත ශාලාව (ලහබත්ගෙය) – වම් පාදය පිහිටි තැන 

4) ධාතුඝරය – නාභිය පිහිටි තැන 

5) රංසිමාලිකය – පපුවේ වම්පස පිහිටි තැන 

6) දාන ශාලාව – දකුණු අත පිහිටි තැන 

7) ස්වර්ණමාලී මහා සෑය – වම් අත පිහිටි තැන 

8) කණ්ඨ පොකුණ – උගුර පිහිටි තැන 

9) පිළිමගෙය – දෘෂ්ටිය වැටෙන තැන 

සිංහ වික්‍රාන්තිය (අනුරාධපුර මහා විහාරය)

අනුරාධපුර යුගයේ මුල් කාලයේ දී පැවති විශාලතම විහාර සංකීර්ණය වුණු මහා විහාරය දියුණු කිරීම සඳහා විවිධ රජවරුන් ඇපකැප වී වැඩ කළා. අනුරාධපුර යුගයෙන් පසුව බිහිවුණු පොළොන්නරු යුගයේ දී බලයට පත්වුණු ඇතැම් රජවරුන් පවා මහා විහාරයට අයත් වුණු සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කළා. ඒ අයුරින් මහා විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන් විහාර භූමියේ කරවූ  සෙල්ලිපි කිහිපයක් කැණීම්වල දී හමුවුණා. අප මෙම ලිපියෙන් ඔබට කියන්නට යන්නේ මහා විහාර භූමියෙන් හමුවුණු සෙල්ලිපි 4කින් අනාවරණය වුණු වටිනා ඉතිහාස කරුණු පිළිබඳව යි. 

1) ගජබා රජුට අයත් ස්වර්ණමාලී මහා සෑ සලපතළ මළුවේ ලිපිය  

19 වන සියවසේ දී අනුරාධපුරය පූජා නගරය ආශ්‍රිතව කැණීම් කටයුතු සිදුවුණා. එම කැණීම්වල දී ස්වර්ණමාලී මහා සෑ මළුවේ තිබී මෙම ශිලා ලිපිය සොයාගත්තා. එඩ්වඩ් මුලර් 1883 වසරේ දී ප්‍රකාශයට පත්කළ Ancient Inscriptions of Ceylon ග්‍රන්ථයේ මුල්ම වරට ඒ පිළිබඳව සඳහන් කර තිබුණා. මෙම ශිලා ලිපියේ අන්තර්ගතයට අනුව මෙය ශ්‍රී මහා බෝධියට දකුණින් පිහිටි දක්ඛිණ විහාරයට අයත් එකක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසා සිටියා. එතුමන් අනුමාන කරන්නේ මෙය පසු යුගයක දී දක්ඛිණ විහාරයේ සිට ස්වර්ණමාලී මහා සෑ මළුවට ගෙන එන්නට ඇති බව යි. පහතින් දක්වා තිබෙන්නේ මෙම සෙල්ලිපියේ අන්තර්ගත දේ පිළිබඳ තොරතුරු යි.

*සෙල්ලිපිය ලියවී තිබුණු ආකාරය 

සිධ- වහබ රජහ මනුමරක තිස මහරජහ 

පුති මහරජ ගයබහු ගමීණී අබය 

දකිණි අබය අරබ විහර කරය වරුකවිය 

බොජිකපති සොවන කොතරි කොටු පොහොතකරහිය  

ජිනපඩි සතරෙ කොටු දිනෙ දකපති බිකුසගහ 

අටය චතරි-පචෙනි පරිබුජනක කොටු දිනෙ 

*අර්ථය 

යහපතක් වේවා! වසභ මහරජුගේ මුණුපුරු, තිස මහරජුගේ පුත්‍ර, ගජබාහු ගාමිණී අභය මහරජු, දක්ඛිණ අභයාරාම විහාරය කරවා, එහි පොහොය ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වරුකවි වැවේ ආදායම් බද්ද, ජලබද්ද භික්ෂූන්ගේ සිවුපසය සඳහා දෙන ලදී.

සෙල්ලිපියේ ඡායාරූපයක් (අනුරාධපුර මහා විහාරය)

2) ගජබා රජුගේ ශිලා ලිපිය – 2 

මෙම ශිලා ලිපිය මහා විහාරයට අයත් ථූපාරාමය භූමියෙහි පිහිටා තිබෙනවා. 1926 වසරේ දී ථූපාරාම ස්ථුපය සහ පිළිමගෙය වටා බැඳ ඇති ප්‍රාකාරයේ බටහිර දෙස එළි පෙහෙළි කරමින් සිටි අවස්ථාවේ මෙම ශිලා ලිපිය හමුවුණු බව පැරණි ලේඛනවල සඳහන්ව තිබෙනවා. ඒ අයුරින් හමුවුණු ශිලා ලිපිය පසු කලෙක එම ස්ථානයේ තිබුණු අයුරින්ම බැම්මට බැඳ සවිකර තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. පහත දක්වා තිබෙන්නේ එම ශිලා ලිපියෙහි අන්තර්ගතය යි. 

*සෙල්ලිපිය ලියවී තිබුණු ආකාරය 

සිද්ධං මහරජ වහබයහ මරුමණක 

තිස්සමහරජහ පුති මහරජි ගමිණි අබය

නකරහි ගොනගිරි උතවිය දකපති ච 

බොජකපති ච රතන අරබ විහරහි බිකුසග 

හටය සොවණ කුතරිනි දක අත පඩවය 

චතර පච පරිබුජන කොටු දිනෙ නකර ගණක ත 

න… නකර වවිය දකපති පරිවවට කොටු දිනෙ 

*අර්ථය 

වසභ මහරජුගේ මුණුපුරු, තිස මහරජුගේ පුත්‍ර, ගජබාහු ගාමිණී අභය මහරජු, රතන අරබ ආරාමයේ භික්ෂූන්ට රන් කෙණ්ඩියෙන් පැන් වත් කොට, නගරය තුළ පිහිටි ගොනගිරි උතවි සඳහා වූ ජල බද්ද සහ රාජකීය බද්ද දෙන ලදී. නගර ගණකාධිකාරීවරයා විසින් නුවර වැවේ ජල බද්ද දෙන ලදී.

ථූපාරාමය (Mapio.net)

3) ස්වර්ණමාලී මහා සෑ සලපතළ මළු සෙල්ලිපිය (බුද්ධදාස රාජ්‍ය සමය)

ලංකාවේ, බ්‍රිතාන්‍ය ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී බෙල් 1890 වසරේ දී පුරාවිද්‍යා වාර්ෂික වාර්තාවේ දක්වා තිබුණේ මෙය 5 වන සියවසට අයත් සෙල්ලිපියක් බවයි. 1928 වසරේ සෙනරත් පරණවිතාන ශූරීන් ලංකා විද්‍යා සඟරාවට ලියූ ලිපියක මෙම සෙල්ලිපිය පිළිබඳව වාර්තා කර තිබුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් එහි දක්වා තිබුණේ නිශ්ශංකමල්ල රජතුමන් ස්වර්ණමාලී මහා සෑ සලපතළ මළුවේ ඉදිකර තිබුණු කුඩා ශිලාමය ස්ථුපය අසලින් හමුවුණු ශිලාමය සුන්බුන්වල මෙම සෙල්ලිපිය අන්තර්ගතව තිබුණු බව යි. ඔහු එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සෙල්ලිපියෙන් කොටස් පමණක් හමුවුණු බව යි. නමුත් පසු කලෙක අපගේ පුරාවිද්‍යාඥයන් මෙම සෙල්ලිපියේ ඉතිරි කොටසත් සොයාගත්තා. පහත දක්වා තිබෙන්නේ එම සෙල්ලිපියේ අඩංගු සටහන යි.

*සෙල්ලිපිය ලියවී තිබුණු ආකාරය 

සිද්ධම්: මපුරුමක මහරජ අපයහ පුත බුදදස මහසෙන මහ ර

ජ  අපයහ ලකණාකරක සුමණයහ පුත මහලකණකරක සිවයහ මකලක ණකරක 

සයරයහ ජිත කමල අබ කරවික ටබි සවසතනට පෙත අනුමොවතු මපුරුවක හට වෙඨවය 

*අර්ථය 

යහපතක් වේවා! මහ පරුමක දෙටුතිස් මහ රජුගේ පුත් බුද්ධදාස මහසෙන් මහ රජුගේ ද, ලක් නගරයෙහි සුමණගේ පුත් මහලක නගරයේ සිවගේ ද, මකලක නගරයේ සයරයගේ දියණියන් වූ කමලා ද අපගේ කරවික ටැඹයි. මේ පින් සියලු සත්වයන්ට අනුමෝදන් වෙත්වා. මහරජතුමාට ශුභ සිද්ධියක් වේවා.  

මෙහි සඳහන්ව තිබෙන්නේ ඉහත සඳහන් පිරිස ස්ථුපයකට යූපස්ථම්භයක් (යූපගලක් හෙවත් යූපස්ථම්භයක්) කරවා පූජා කිරීම පිළිබඳව යි. එහි යූපස්ථම්භය යනුවෙන් සඳහන් කර ඇති අංගය මුල් යුගයේ ඉදිවුණු ස්ථුපවල හතරැස් කොටුවට සවි කර තිබුණු බව පැරණි ලේඛනවල ලියැවී තිබෙනවා. 

ස්වර්ණමාලී මහා සෑයේ පැරණි ඡායාරූපයක් (Mapio.net)

4) මහා පරාක්‍රමබාහු රජතුමාගේ ස්වර්ණමාලී මහා සෑ ලිපිය 

හමුවන විට බොහෝ සෙයින් විනාශයට පත්ව තිබුණු මෙම සෙල්ලිපිය අද වන විට ස්වර්ණමාලී මහා සෑ සලපතළ මළුවේ උතුරු සහ නැගෙනහිර ආයක අතර අතුරා තිබෙනවා. අද වන විට මෙම සෙල්ලිපියේ දක්නට ලැබෙන්නේ පේළි 13ක් පමණ යි. නමුත් මෙහි පේළි 21ක් තිබුණු බව එඩ්වඩ් මලර් විසින් 1883 වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද Ancient Inscriptions of Ceylon ග්‍රන්ථයේ සහ 1894 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වර්තාවේ දක්වා තිබෙනවා. එසේම දැනට ඉතිරිව තිබෙන කොටස්වල ද බොහෝ තැන් මැකීගොස් ඇති නිසා එහි ලියැවී ඇති සමහර දේ තේරුම් ගන්නට අපහසු යි. එහි ඉතිරිව තිබෙන කොටස්වල දක්වා තිබෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවට සහ අනුරාධපුරයට සිදුකළ සේවය පිළිබඳව යි. පහත දක්වා තිබෙන්නේ සෙල්ලිපියේ ඉතිරිව ඇති පේළි 13න් කියවෙන දේයි (මෙහි මැකී ඇති තැන් තිත් ඉරිවලින් දක්වා තිබෙනවා).

*සෙල්ලිපියේ පේළි ලියවී තිබුණු ආකාරය 

සිරිසඟබො පරාක්‍රමබාහු චක්‍රවතතීන් වහන්සේ 

… බලා වදාරා තුන් රජයෙවු නොඑක් ප්‍රසිද්ධ ස්ථාන ද 

ලක්දිව්  මුළුල්ලේ සින්දී තුබු මහ වැවු මුළුල්ල බන්දවා සොරො 

වා නමින් පරාක්‍රම සමුද්‍රයයි එක් දාන වැවක් 

පඬාය ආදී වූ අලුත් වැමැ නොඑක් තෙනැ මහ වැවු හාරවා 

… ගං හෝ වලැ හැලි බන්දවා ලක්දිව මුළුල්ලේ ජරාවාස 

… ජෙතවන මහා විහාරය ආදි නොඑක් දහස් ගණන් විහාර 

සූතිගර දාගැබයැ රත්නාවලී දාගැබයැ 

මහ දාගැප් ද අභිනවයෙන්ම කරවා 

පතැස් උයන් ආදී වූ කරවා අනුරාධපුරයට වැඩ 

රත්නමාලී මහා සෑ වහන්සේ ඇතුළු අනෙක් දාගැප් ….

… ලෙ විචාරා වදාරා දෙමළුන් බැස කෙළෙ 

… ලක් දිවට අවුත් දෙමළු …

*අර්ථය 

සිරිසඟබො පරාක්‍රමබාහු චක්‍රවර්තී රජු අභිෂේකයෙන් 29 වන වර්ෂයෙහි ලක්දිව පුර ගොස් නොයෙක් ප්‍රසිද්ධ ස්ථාන ද සිඳී තිබුණු මහ වැව් පද්ධතිය බඳවා, ඒවායේ සොරොව් ආදිය ද කරවා, තමන්ගේ නමින් පරාක්‍රම සමුද්‍රය නමින් ජලය බෙදා හරින වැවක් තම රාජ්‍යයෙහි කරවා, පඬාය ආදී වූ අලුත් මහ වැව් නොයෙක් තැන සාරවා, ගංගා ඇළවල වේලි බන්ඳවා, ජරාවාසව පැවති ජේතවන දාගැබ ආදී වූ නොයෙක් දහස් ගණන් විහාර, සූතිගර දාගැබ ද, රත්නාවලී දාගැබ ද මහා දාගැබ් ද අභිනවයෙන්ම කරවා, පොකුණු උයන් ආදිය කරවා, අනුරාධපුරයට ගොස් රුවන්මැලි සෑ වහන්සේ ඇතුළු අනෙකුත් දාගැබ් පරීක්ෂාකොට…

ඉහත විස්තරයේ දක්වා තිබෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් පොළොන්නරුවේ ඉදිකරවන ලද වැව් සහ වෙහෙර විහාර පිළිබඳව යි. එසේම රජතුමා, සොළීන් විසින් විනාශ කරන ලද අනුරාධපුරයේ වෙහෙර විහාර ද ප්‍රතිසංස්කරණය කළ බව මෙහි සඳහන් කර තිබෙනවා. 

පොළොන්නරුවේ නටබුන්වල පැරණි ඡායාරූපයක් (Lankapura)

කවරයේ ඡායාරූපය- අනුරාධපුර පූජා නගරයේ පැරණි නටබුන් 

මූලාශ්‍ර- අනුරාධපුර මහා විහාරය- මහාචාර්ය ටී. ජී. කුලතුංග

Related Articles