නුවරඑළිය හරහා රාගලට ගිය පුංචි කෝච්චියේ සිහිවටන

අද නුවරඑළියට යන වැඩිදෙනෙක් භාවිත කරන්නේ මහා මාර්ගය යි. නමුත් 1900 මුල් දශක හතර තුළ මේ කඳුකර නගරයට වැඩි දෙනෙක් ගියේ පුංචි කෝච්චියෙන්.

අද නම් එහෙම පාරක් තිබුණු බවක් වත් වැඩි දෙනකුට මතක නැහැ. පැරණි දුම්රිය පාරේ නටබුන් තැන තැන අදත් හමුවෙනවා. මේ එම පැරණි මතකයේ සිහිවටන ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

පුංචි කෝච්චි පාරේ අශ්වලාඩම් වංගුව- elakiri.com

අලුත් දුම්රියකට ඉල්ලීම්

 වර්ෂ 1800 අග භාගයේ උඩපුස්සැල්ලාව, කඳපොළ ,රාගල අවට කඳු හිස් එළිකර වැවූ කඳුරට තේ වගා සාරවත් ව පැතිරෙමින් තිබුණා. මේ වනවිට උඩරට දුම්රිය මාර්ගය ද හපුතලේ දක්වා ඉදිකර භාවිත කරමින් තමයි තිබුණේ. එය බදුල්ල දක්වා ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුවෙමින් පැවතුණේ.

ඒ වන විට ඉංග්‍රීසින්ගේ නිවාඩු නිකේතනයක්, දඩබිමක් සහ එළවළු වගාබිමක් ලෙස ප්‍රකටව පැවති  නුවරඑළියට ළඟ ම දුම්රිය ස්ථානය වුණේ නානුඔය යි.  නානුඔය  සිට තවත් සැතපුම් 12.4ක් දුරින් (කිලෝ මීටර් 19.8ක්) ඉහළ බෑවුමක පිහිටි නුවරඑළියට ඒ වනවිටත් හොඳ මහාමාර්ග පැවතුණේ නැහැ. අශ්වයන් පිටේ තමයි යුරෝපීයයන් වැඩි දෙනෙක් නුවරඑළි ගියේ.

රාගල දක්වා පැවති දුම්රිය මාර්ගය- bbc.com

 

නුවරඑළියට එපිටින් පිහිටි උඩපුස්සැල්ලාව තේ වගාකරුවන්ගේ සංගමය 1895 දී ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ තම ප්‍රදේශයට දුම්රිය මාර්ගයක් ලබාදෙන ලෙස යි. එවකට ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ එම කාරණය යටත්විජිත භාර ලේකම් නොයෙල් වෝකර්ට ලිඛිතව දන්වා සිටියා. නමුත් යටත් විජිත ලේකම්වරයා මේ යෝජනාව මුලින් ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට හේතුව වශයෙන් දක්වා තිබෙන්නේ දුම්රිය මග ඉදිකිරීමට යන වියදම ආර්ථික අතින් වාසි ආයෝජනකයක් නොවන බව දක්වමින්.

කිහිප වරක් ම යටත් විජිත ලේකම්වරයා නුවරඑළිය දුම්රිය පාර ඉදිකිරීමේ යෝජනාවට විරුද්ධ වුව ද වෙස්ට් රිජ්වේ ඒ ගැන ලොකු උනන්දුවක් දක්වා තිබෙනවා.  ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව යටත් විජිත ලේකම්වරයාගෙන් අරමුදල් ලබා ගෙන  1900 වර්ෂයේදී සැතපුම් 19. 17 ක් දිගින් යුතු දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා.

No photo description available.
රේල් පාර පැවති ස්ථානයේ ‘උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය’ නමින් සඳහන් පුවරුවක් –  facebook.com/SobasiriSL

පුංචි කෝච්චිය නුවරඑළියටත්

මේ වනවිට සබරගමුව පුංචි කෝච්චි පාරේ යෝජනාව අනුමත වී එය තැනීමට කටයුතු සැලසුම් කරමින් පැවතුණේ. ඒ අතර ම තමයි නුවරඑළිය – උඩපුස්සැල්ලාව රාගල පාරේ වැඩ පටන් ගත්තේ. බෑවුම අධික නිසා පළලින් අඩු පටු දුම්රියක් තමයි මේ පාරටත් සැලසුම් කර තිබුණේ . ඒ අනුව පීලි අතර පරතරය අඩි 2 යි අඟල් 6 ක් වූ පටු දුම්රිය පාරේ වැඩ ඉතා දුෂ්කරතා ඔස්සේ සිදුකරමින් පැවතුණා. අසල්වැසි ඉන්දියාවේ නීල්ගිරි කඳුකර දුම්රිය මගේ අදටත් භාවිත කරනුයේ අඩි 2 යි අඟල් 6 ක් වන පටු දුම්රිය යි.

නානුඔයෙන් පුංචි කෝච්චි පාර ආරම්භ වී වංගු ගැසෙමින් යන අයුරු ( කහ පාටින් දැක්වේ) The Uva Railway- railway to the moon, Hemasiri Fernando කෘතියෙනි.

නානුඔය දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන පටු දුම්රිය මාර්ගය, දැන් පවතින කොළඹ- නුවරඑළිය ප්‍රධාන මාර්ගය හරහා ගොස් ඒ අසල තිබෙන කන්දෙහි ඇති කැපුමක් ඔස්සේ ගමන් කර තිබෙනවා.  දැනට රේල් පාර පැවති ස්ථානයේ ‘උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය’ නමින් සඳහන් පුවරුවක් සවි කර තිබෙනවා. දුම්රිය පාරක සලකුණු නම් ඒ අසල දකින්න නැහැ. වටපිටාව වෙනස් වී ඇති නිසා.

දුම්රිය පාරේ මුල් අදියර විදිහට  නානුඔය සිට නුවරඑළිය දක්වා දුම්රිය මග ජනතාවට විවෘත වූයේ වර්ෂ 1903 දෙසැම්බර් මස 14 වැනිදා යි. දෙවන අදියර කඳපොළ දක්වා ඉදිවූ අතර තෙවන අදියර රාගල දක්වා  ​ඉදිකෙරුණා. වර්ෂ 1904 අග වන විට සමස්ත දුම්රිය මග ඉදිකිරීම අවසන් වුණා.

No photo description available.
නුවරඑළිය දුම්රිය ස්ථානය එදා – facebook.com/SobasiriSL

මාර්ගයේ අත්හදා බැලීම්වලිවන් පසුව 1905 ජූලි 25 දා සිට සම්පූර්ණ මාර්ගයේ ම දුම්රිය ධාවනය ආරම්භ කර තිබෙනවා. දුම්රිය මාර්ගය විවෘත කරන ලද්දේ එවකට ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් විසින් බව සඳහන් වෙනවා.

මේ පාරේ බෑවුම කෙතරම් අධික ද කිව්වොත් සැතපුම් 6.45ක් තුළ අඩි 1000ක උසක් තරණය කළ යුතු වුණා. දුම්රිය පාර තැනීමට ගිය වියදම එවකට පරිදි  රුපියල් ලක්ෂ 16.5 කට ආසන්න වූ බව සඳහන් වෙනවා.  

කඳු කපාගෙන යන දුම්රිය පාර- Henry Cave- The Ceylon Government Railway කෘතියෙනි.

 

දුම්රිය නැවතුම්

දුම්රිය මග තුළ පැවති ප්‍රධාන දුම්රිය ස්ථාන සංඛ්‍යාව 5 ක්.  ඒවා නම් නානුඔය සිට සැතපුම් 4 ක් දුරින් බ්ලැක්පූල් දුම්රිය ස්ථානය, සැතපුම් 6.5 ක් දුරින් නුවරඑළිය දුම්රිය ස්ථානය, සැතපුම් 12 ක් දුරින් කඳපොළ දුම්රිය ස්ථානය, සැතපුම් 16.5 ක් දුරින් බෲක් සයිඩ් දුම්රිය ස්ථානය, සහ නානුඔය සිට සැතපුම් 19 ක් දුරින් රාගල දුම්රිය ස්ථානය ආදී වශයෙන්.    

නුවරඑළිය සහ කඳපොළ අතර අතිරේක දුම්රිය නැවතුම්පොළවල් 3 ක් ද ඉදිකර තිබුණා. ඒවා නම් නානුඔය සිට සැතපුම් 8.5 ක් දුරින් පීඩ්රූ නැවතුම්පොළ, සැතපුම් 9.5 ක් දුරින් සමර්හිල් නැවතුම්පළ සහ සැතපුම් 10.5 ක් දුරින් පෝර්ට්වුඩ් නැවතුම්පළ යි.

උඩුපුස්සැල්ලාවේ ධාවනය වූ දුම්රියක් – lankadeepa.lk

ඊට අමතර ව නානුඔය සිට සැතපුම් 12 ක් දුරින් 12.40 නම් නැවතුම්පොළක් ද සැතපුම් 14.5 ක් දුරින් ශාන්ත ජෝන් නැවතුම්පොළ ලෙස තවත් නැවතුම්​පොළවල් 2 ක් කඳපොළ සහ බෲක් සයිඩ් දුම්රිය ස්ථාන අතර ඉදිවුණා.

මෙම දුම්රිය නැවතුම්පොළවල්   ඉදිවීමට ප්‍රධාන හේතුව වූයේ තේ ප්‍රවාහනයට පහසුවීමට යි.   ගල්අඟුරුවලින් දිවූ මේ වාෂ්ප දුම්රිය ගමන් කළේ ඉතාම සෙමින් බවත් එය පැයට සැතපුම් 6-7ක් තරම් වේගයක් බවත් පැවසෙනවා. මේ නිසා නානුඔය සිට රාගල දක්වා ගමන් කිරීමට එයට පැය දෙකහමාරක් ගත ව තිබෙනවා.

නුවරඑළිය අසල සිදු වූ පුංචි කෝච්චියේ අනතුරක්- elakiri.com

මේ පුංචි කෝච්චිය දුම්රිය මැදිරි 11 කින් යුක්ත වුණා.  භාණ්ඩ ප්‍රවාහනයට මැදිරි 5 ක් වෙන්කර තිබුණා. දිනකට දුම්රිය 16 ක් පමණ එකල ධාවනය වී තිබෙනවා.  ආණ්ඩුකාරවරයා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක් පවා දුම්රියක තිබුණු බව සඳහන්.  මේ දුම්රිය මාර්ගය සඳහා ම එංගලන්තයේ ෂාප් ස්ටුවර්ට් සමාගම නිෂ්පාදිත සැහැල්ලු එන්ජින් හතරක් 1903 දී ආනයනය කර තිබෙනවා.

හන්ස්ලට් සමාගම නිෂ්පාදනය කළ තවත් දුම්රිය එන්ජිමක් 1904 දී මිල දී ගෙන තිබෙන බව සඳහන්. 1930 වනවිට තවත් දුම්රිය මේ මාර්ගයට යොදවා ඇති අතර සම්පූර්ණ දුම්රිය සංඛ්‍යාව හතක් බව සඳහන් වෙනවා. මෙහි දුම්රිය එන්ජින්වල සහ මැදිරිවල අලුත්වැඩියා කටයුතු සිදු වුණේ සැතපුම් 128ක් දුරින් පිහිටි දෙමඩගොඩ දුම්රිය කර්මාන්ත ශාලාවේදි යි.

කඳපොළ දුම්රිය ස්ථානය- Henry Cave- The Ceylon Government Railway කෘතියෙනි

උසම දුම්රිය නැවතුම

වර්තමාණය වන විට වැඩිම උසකින් පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 6204 ක් උසින් පිහිටි පට්ටිපොල දුම්රිය මාර්ගය යි.  උඩුපුස්සැල්ලාව මාර්ගයේ පිහිටා තිබූ කඳපොළ දුම්රිය ස්ථානය පැවතුණේ මුහුදු මට්ටමේ සිට අඩි 6316 ක උසකින් යුක්ත යි. එය එවකට ලංකාවේ වැඩි ම උසකින් පිහිටි දුම්රිය නැවතුම වුණා.

කඳපොළ නගරයේ බස් නැවතුම ආසන්නයේ ම කඳපොළ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලේ ශේෂ දැකගත හැකි යි. අද එහි ඇත්තේ ගබඩාව පමණයි.  දුම්රිය වේදිකාව පැවති ගොඩනැගිල්ල මහා මාර්ගයේ සංවර්ධන කටයුතුවලදී විනාශ වී ගොස් ඇති බව පෙනෙනවා.

ඉන් පසුව තිබෙන්නේ ද ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක දක්නට ලැබෙන වැඩි ම ආනතිය සහිත කොටසයි. එය බෲක්සයිඩ් දක්වා විහිදෙනවා. කඳපොළ – බෲක්සයිඩ් කොටසේ ආනතිය 1/16 ක් ලෙස සඳහන් වෙනවා.  ඒ අනුව එම මාර්ගයේ සෑම අඩි 16 ක් තුළ ම එක් අඩියකින් මාර්ගයේ උස වෙනස් වෙනවා.

නානුඔය දුම්රිය ස්ථානය අද- Wikipedia.org

නානුඔය හන්දිය

පුංචි කෝච්චිය ආරම්භ වීමත් සමඟ නානුඔය දුම්රිය මග දුම්රිය හන්දියක් බවට පත් වුණා. ඒ බදුල්ලටත් රාගලටත් දුම්රිය මාර්ග බෙදුණු බැවිනු යි.  දුම්රිය ස්ථානය තුළ ඇති ආපන ශාලාව ඉදිරිපිට පොළොවේ UPR ලෙස පුංචි කෝච්චි පාරේ ආරම්භය සලකුණු කර තිබුණත් පසුව දැනගන්නට ලැබුණේ ඒ ස්ථානයත් වෙනත් ඉදිකිරීම් නිසා වැසී ගොස් ඇති බව යි. 

No photo description available.
නානුඔය දුම්රිය ස්ථාන පොළොවේ UPR ලෙස පුංචි කෝච්චි පාරේ ආරම්භය සලකුණු කර ඇත – facebook.com/SobasiriSL

නානුඔය දුම්රිය ස්ථානයෙන් වම් පසට දිවයන්නේ උඩුපුස්සැල්ලාව මාර්ගය වන අතර දකුණට දිව යන්නේ බදුලු දුම්රිය මාර්ගය යි. උඩුපුස්සැල්ලාව  පැවතියේ නානුඔය සිට නුවරඑළියට යන ප්‍රධාන මහා මාර්ගයට සමාන්තර ව කඳුවලට ඉහළින්.   උඩපුස්සැල්ලාව පටු  (UPR)  මාර්ගය වෙනම ම මාර්ගයක් ලෙස පැවතුණු අතර එහි පටු දුම්රිය නවතා තිබුණා.

ලංගම ඩිපෝවට අයත්  නුවරඑළිය දුම්රිය ස්ථාන ගොඩනැගිලි- Ft.lk

 

ලංකාවේ දුම්රිය මාර්ග ගැන පොතක් ලියූ හෙන්රි කේව් සදහන් කරන්නේ නුවරඑළියට යන දුම්රිය මගීන් නානුඔයෙන් බැස පටු දුම්රියට නැගගත යුතු බවයි:

දුම්රිය නුවරඑළිය පසුකර උඩපුස්සැල්ලාව දිස්ත්‍රික්කයට පිවිසේ. නුවරඑළිය ලංකාවේ ඉතා අලංකාර කඳු ප්‍ර දේශයයි. සීඝ්‍ර කඳු නැග්ම සහ අධික වංගු මේ පාරේ විශේෂ ලක්ෂණයයි. බ්ලැක්පූල් දක්වා දුම්රිය පාර ලෙස යොදාගෙන ඇත්තේ පැවතුණු කරත්ත පාරය.  කරත්ත යන්නෙත් ඒ පාරේමය. බ්ලැක්පූල්වලදී එය වෙනම පාරක් බවට පත්වේ. නුවරඑළිය අවට පැතිර ඇත්තේ එඩින්බර්ග් වතුයයේ තේවගාය. ඒ අතරින් දුම්රිය පාර නුවරඑළීයට පිවිසේ. (Henry Cave- The Ceylon Government Railway).

No photo description available.
දුම්රිය නුවරඑළිය පසුකර උඩපුස්සැල්ලාවට යමින් -trips.lakdasun.org

වර්තමාන සිහිටවන

මේ දුම්රිය මාර්ගයේ ඇතැම් සිහිවටන අතීතය සිහිපත් කරමින් අදටත් දකින්න ලැබෙනවා.  බෲක්‌සයිඩ් දුම්රිය ස්‌ථානය රටබීම හලක් බවට පත්ව තිබෙනවා.  නුවරඑළියේ පිහිටි අලංකාර දුම්රිය ස්‌ථාන ගොඩනැගිල්ල අද ශ්‍රී ලංගම ඩිපෝවේ කොටසක් ලෙස භාවිත කරනවා. කාර්යාලයක් ලෙසත් එහි කොටස් භාවිත කරනවා.  

බ්ලැක්පූල් දුම්රිය ස්‌ථානයේ නටබුන් කිසිවක්‌ මේ වනවිට ඉතිරි ව නැතත් රජයේ ආහාර ගබඩාව පවත්වාගෙන යන ස්‌ථානය දුම්රිය ස්‌ථානය බවට සමහරුන් පවසනවා.  බ්ලැක්‌ ෆූල් පසු කර නුවරඑළිය දෙසට යන විට හමුවන කැලේගාල ගම්මානයේ කුඩා දුම්රිය බිංගෙයක්‌ තවමත් දැකගත හැකි යි.  එය හඳුන්වන්නේ අහස් බෝක්කුව කියල යි.

නුවරඑළිය බස් ඩිපෝවේ පිහිටි දුම්රිය මගී වේදිකාව- Ft.lk

 

අද මේ දුම්රිය මාර්ගයේ සැතපුම් දහනවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක දකින්නට ලැබෙන්නේ නිවාස යි. සමහර කොටස් තේවතුවලට යට වෙලා. තවත් ස්ථාන මහාමාර්ග බවට පත්වෙලා.

යකඩ සහ කළුගලින් කළ දුම්රිය පාලම්, බෝක්කු ආදිය තැන්තැන්වල පිහිටා තිබෙනවා.   කඳපොළ ගල්පාලම නමින් හඳුන්වන්නේ එවැනි පැරණි කෝච්චි පාලමක්. නුවරඑළියේ තුරඟ තරග පිටියට නුදුරින් ද යකඩ පාලමක් නටබුන් දැකගත හැකි යි.

No photo description available.
නුවරඑළිය දුම්රිය ස්ථානය එදා – facebook.com/SobasiriSL

 

දුම්රිය නවතී

මුල් කාලයේ වර්ෂයකට මගීන් 133000ක් සහ භාණ්ඩ ටොන් 24000ක් මේ දුම්රිය මාර්ගයේ ප්‍රවාහනය කර තිබෙනවා. 1940 පමණ වනවිට මෙම පටු මාර්ගයේ වාෂ්ප දුම්රිය ගමන් කිරීමේ දුෂ්කරතා පැන නැගී තිබෙනවා. මේ වනවිට ලොරිවලින් භාණ්‌ඩ ප්‍රවාහනය  ප්‍රචලිත වෙමින් තිබුණා. මහාමාර්ග ද ඉදිවුණා. මේ නිසා තේ ප්‍රවාහනයට ලොරි රථ යොදා ගැනීම ආරම්භ වුණා. 

No photo description available.
මෙම මාර්ගය භාවිත වූ දුම්රිය මැදිරියක් Tea Factory හෝටලයේ අදටත් සුරක්‍ෂිතව තිබෙයි – trips.lakdasun.org

දුම්රිය මාර්ගය පාඩු ලැබීමට පටන් ගත්තා. පාඩුව වර්ෂයකට පවුම් 30000ක් බව සඳහන්.  ඉංග්‍රීසි ආණ්ඩුව  උඩපුස්‌සැල්ලාව පටු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කළා. මුලින් ම වසා දැමුණේ රාගල සිට නුවරඑළිය දක්වා කොටස යි. ඒ  1942 දී.  මෙහි අනෙක් කොටස වන නානුඔය සිට නුවරඑළිය දක්වා කොටස වසා දැමිමේ තීරණය ගත්තේ ලංකා ආණ්ඩුව යි. ඒ අනුව 1948 අගෝස්‌තු 25 වන දින ලංකාවේ අති සුන්දර සහ උසින් ම පිහිටි දුම්රිය මර්ගය වසා දැමීම සිදු වුණා.  ඉන් මාස කිහිපයකට පසු එහි දුම්රිය පීලි ගලවා ඉවත්කර කර තිබෙනවා.

කවරය- 1900 කාලයේ නුවරඑළිය පුංචි කෝච්චි පාර  - Henry Cave- The Ceylon Government Railway කෘතියෙනි. 

මූලාශ්‍ර:

The Uva Railway- railway to the moon, Hemasiri Fernando

Henry Cave- The Ceylon Government Railway

Lankadeepa.lk

Divaina.lk

Bbc.com

Ft.lk

Related Articles